ඩොලර් බිලියන 3.7 ඉතිහාසයේ වැඩිම විදෙස් ආයෝජනය චීනයෙන්


ලවංගා දෑරංගල
මෙරටට හිමි වූ විශාලතම සෘජු විදේශ ආයෝජනය වාර්තා කරමින්  බලශක්ති අමාත්‍යාංශය, චීනයේ ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම සමග ගිවිසුම් ගතවීම ඉකුත් සිකුරාදා (17 දා) පෙරවරුවේ සිදු වූ අතර හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළ ව සිදු වූ මෙම ආයෝජනයේ වටිනාකම ඩොලර් බිලියන 3.7කි.

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින නිල සංචාරයට සමගාමී ව හිමි වූ මෙම ආයෝජනය මඟින් ඉදිකිරීමට නියමිත නව තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 2 ක ධාරිතාවකින් සමන්විත වන අතර ඉන් විශාල ප්‍රමාණයක් අපනයනය ඉලක්ක කොටගෙන සම්පාදනයට සැලසුම් කර තිබේ. 
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න මේ පිළිබඳ ව ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තනි විදෙස් ආයෝජනයක් වශයෙන් මෙරටට ලැබී ඇති විශාලතම ආයෝජනය මෙය වන බවත්, මීට පෙර සිදු වූ විශාලතම ඍජු විදෙස් ආයෝජනය වන කොළඹ වරාය නගර ආයෝජනයේ වටිනාකම ඇ.ඩො බිලියන 1.4 ක් වන බවත් ය. 
මෙම ආයෝජනය මෙරට ආර්ථික උන්නතිය උදෙසා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවත්, මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරමින් පෞද්ගලික අංශයේ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට සුදුසු ආයෝජන පරිසරය, විශ්වාසය හා සුරක්ෂිතභාවය ස්ථාපිත කිරීමට රජය පියවර ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.