දේශීය සහ බටහිර වෛද්‍ය පීඨ එකතුවෙන් රටට ඩොලර් ඉල්ලමක්!
මේ වන විට ලෝකයේ බිලියන 8.2ක් වන සමස්ත ජනගහනයේ ලොකුම සිහිනයක් වී ඇත්තේ සිය තරුණ බව රැකගැනීමයි. කාලාන්තරයක් පුරා ලොව සිදුවන වැඩිම පර්‌යේෂණ ගණනක මූලික අරමුණ වී ඇත්තේ වයසට යාම වලක්වන හෝ වයස්ගත වීමේ ලක්ෂණ ඉවත් කිරීමට හෝ සමත් මහඟු ඖෂධයක් සොයා ගැනීමය.
ඒ අතරේ මේ දස්කම සිදුකළ හැකි විස්මිත ඖෂධයක් - දේශීය පැළෑටියක් මූලික වශයෙන් භාවිත කරමින් නිෂ්පාදනය කිරීමට, කොළඹ විශ්ව විද්‍යාලයේ පර්‌යේෂණ කණ්ඩායමක් සමත්ව ඇති බවට වූ සුබවාදී ආරංචියක් දැන් ලැබී තිබේ. මේ නව සොයා ගැනීම ඊළඟ පරීක්ෂණ සම්පරීක්ෂණ කඩයිම් ද අතික්‍රමණය කළහොත් - මෙය ලංකාවට මහත් කීර්තියක් ලබා දෙන්නක් වන අතරම, ඩොලර් බිලියන ගණනාවක ආදායමක් ද හිමිකර දෙන්නක් වෙනු නිසැකය.
අපේ පාරම්පරික ආයුර්වේද ඥාන සම්භාරය – නූතන බටහිර වෛද්‍ය විද්‍යා දැනුම හා තාක්ෂණය සමග මුසුකර අනාගත ලෝකයේ ඵල ප්‍රයෝජනයට පිළිගැනීමට ඉවහල්වන අන්දමේ නව නිෂ්පාදනයක් එළිදැක්වීම අරමුණ කරගත් පර්‌යේෂණ කණ්ඩායමකගේ උත්සාහය හා කැපවීම නිසා මේ අපූරු ඖෂධය නිශ්පාදනය කිරීමට හැකි වී තිබේ.
“ඉරිදා ලංකාදීප”ය වෙනුවෙන් මේ විස්මිත පර්‌යේෂණය ගැන තොරතුරු අපට හෙළිදරව් කරනු ලැබුවේ - කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය පතිරගේ කමල් පෙරේරා විසිනි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, සාමාන්‍ය සෞඛ්‍ය සේවා ගැටලු, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ රෝග වැළැක්වීමේ අභියෝගාත්මක අවශ්‍යතා සපුරාලීම සඳහා දේශීය වෛද්‍ය පීඨය වෛද්‍ය වෘත්තිකයන් බිහි කිරීම සිදුකරයි. නව ලෝකයට ගැළපෙන සේ පාරම්පරික දැනුම යාවත්කාලීන කර යොදාගැනීම සහ ඒ සඳහා වූ පර්‌යේෂණ සිදුකරයි.
ඒ මහඟු ක්‍රියාදාමයේම ප්‍රතිඵලයක් ලෙස මේ විශිෂ්ට නව සොයාගැනීමට ද මග පැදී තිබේ.
ඒ අනුව, නිරෝගී වැඩිහිටියන් ගේ (ප්‍රකෘති) වයස්ගතවීම සහ ස්නායු සංජානන ක්‍රියාකාරීත්වයන් කෙරෙහි - බැකෝපා මොනියරි Bacopa monnieri හෙවත් අපේ රටේ පාරම්පරිකව ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙස භාවිතාවට ගන්නා “ලුණුවිල” ශාකයෙන් තැනූ ඖෂධීය අතිරේකයකින් සිදුකළ හැකි සානුබල සැපයුම ගැන සොයා බැලෙන පර්‌යේෂණයක තහවුරු කරගත් නිරීක්ෂණ දත්තයන්ට අනුව - “වයසට යාම වළක්වා තරුණ බව රැක දෙන ඖෂධයක්” නිපදවිය හැකි බව දැන් සනාථ වී තිබේ.
මහාචාර්ය කමල් පෙරේරා ප්‍රමුඛ විශේෂඥයින් පිරිසකගේ අධීක්ෂණය යටතේ මේ පර්‌යේෂණය සිදුකර ඇත්තේ ආචාර්ය රංගන ප්‍රදීප් ය.
මහාචාර්ය කමල් පෙරේරා විස්තර කළ ආකාරයට වයසට යාම යනු - අභ්‍යන්තර (ජානමය) සහ බාහිර (පාරිසරික) සාධක දෙකෙන්ම බලපෑම් ඇති කරන ආපසු හැරවිය නොහැකි ක්‍රියාවලියකි. මෙම සාධක පුද්ගලයන් වයසට යන ආකාරයෙහි ශාරීරික මානසික වෙනස්කම් වලට දායක වේ. නවීන විද්‍යාවට අනුව වයසට යාම සිදුවීමට ශාරීරික හා මානසික හැකියාවන් අඩුවීමක් පමණක් නොව - වඩාත් සංකීර්ණ ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක් ද ඇතුළත් වේ. මේ අනුව වයසට යාම ප්‍රධාන න්‍යායන් දෙකක් හරහා පැහැදිලි කළ හැකිය.
ක්‍රමලේඛිත න්‍යාය: වයසට යාම ජීව විද්‍යාත්මක ඔරලෝසුවක්, හෙවත් කාලරේඛාවක් අනුගමනය කරමින් සිදුවන බව යෝජනා කරන න්‍යාය වේ.
දෝෂ න්‍යාය: වයසට යාම සෛලවලට බලපාන පාරිසරික හානි නිසා සිදුවන බවත්, එහිදී ජාන හෙවත් DNA වලට සිදුවන හානි සහ හානිකර ද්‍රව්‍ය සෛල තුළ ඒකරාශී වීමට හේතු වන බවත්, යෝජනා කරන න්‍යාය වේ.
සෛලවලට බලපාන මේ ප්‍රධාන අභියෝග ජය ගැනීමේ මග විවර කර ගැනීම මගින් වයසට යාම පාලනයට හැකියාව ලැබෙනු ඇත.
මේ අන්දමට වයසට යාමේ එක් ප්‍රධාන සාධකයක් වන්නේ - ටෙලෝමියර් කෙටි වීමයි. ටෙලෝමියර් යනු ජාන හෙවත් වර්ණදේහවල කෙළවරේ ඇති ආරක්ෂිත ආවරණයකි. එය එක් එක් සෛල බෙදීමක් සමග ක්‍රම ක්‍රමයෙන් කෙටි වේ. ඒවා ඉතා කෙටි වූ විට - සෛල බෙදීම නතර වී යයි. මෙය සෛලීය බිඳ වැටීම ලෙස හැඳින්වෙන ක්‍රියාවලියකි. ටෙලෝමියර් දිග ටෙලෝමරේස් නම් එන්සයිමයක් මගින් පවත්වා ගෙන යනු ලැබේ. නමුත් වයසත් සමග එහි ක්‍රියාකාරීත්වය අඩු වේ. එසේම මතකය සහ තීරණ ගැනීම වැනි සංජානන හැකියාවන් අඩුවීම ඇතුළුව මොළයේ වෙනස්කම් සමග වයසට යාම ද සම්බන්ධ වේ. EEG (විද්යුත් එන්සෙෆලෝග්රැෆි) වැනි ශිල්පීය ක්‍රම භාවිතයෙන් මොළයේ ක්‍රියාකාරකම් හරහා මෙම වෙනස්කම් නිරීක්ෂණය කළ හැකිය.
ආයුර්වේද ඖෂධීය කසාය මගින්, වයසට යාම හා සම්බන්ධ මේ වෙනස්කම් - මන්දගාමී කිරීමට, ටෙලමියර් දිග පවත්වා ගැනීමට සහ සංජානන ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට හැකියාව ලැබේ ද යන්න නිරීක්ෂණය කිරීම මෙම අධ්‍යයනයේ අභිමතාර්ථය වී තිබේ.
එහිලා ආයුර්වේදය තුළ “බ්‍රාහ්මි” ලෙස හැඳින්වෙන ලුණුවිල පැළෑටියේ අන්තර්ගත ස්වාභාවික ඖෂධීය ගුණය භාවිත කිරීමට ඇති හැකියාව අධ්‍යයනය කිරීම මේ පර්‌යේෂණයේ මූලික අරමුණ වී ඇත.
මහාචාර්ය කමල් පෙරේරා පෙන්වා දෙන ආකාරයට ආයුර්වේදය තුළ බ්‍රාහ්මි ශාකය විස්තර කෙරෙන්නේ - ධී, ධෘති සහ ස්මෘති යන ඉතා වැදගත් මානසික හැකියාවන් තුනක් සහිත ඖෂධීය පැළැටියක් ලෙස ය. එම මානසික හැකියාවන් වන්නේ ධී - තාර්කික චින්තනය සහ බුද්ධිය නියෝජනය කරයි. ධෘති - තොරතුරු රඳවා ගැනීමේ හැකියාවට අදාළ වේ. ස්මෘති - මතකයන් සහ සිහිපත් කිරීම වශයෙනි.
මහාචාර්ය කමල් පෙරේරාට අනුව බ්‍රාහ්මි හෙවත් ලුණුවිලවල ස්වාභාවික ගුණාංග සහ ප්‍රතිලාභ අතරේ මේ සියල්ල අන්තර්ගතය.
එය සංජානන ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි. බ්‍රාහ්මි එහි නූට්රොපික් ගුණාංග සඳහා ප්‍රසිද්ධය. එය සංජානන ක්‍රියාකාරීත්වය, මතකය රඳවා තබා ගැනීම සහ මානසික පැහැදිලිකම සඳහා සහාය වේ. නිතිපතා පරිභෝජනය බුද්ධිය තියුණු කරන අතර, ඉගෙනීමේ හැකියාවන් වැඩි දියුණු කරන බව විශ්වාස කෙරේ.
ආතතිය සහ කාංසාව අඩු කරයි: එහි අනුවර්තනීය ගුණාංග සමග, බ්‍රාහ්මි ශරීරයේ ආතති ප්‍රතිචාරය සක්‍රිය කිරීමට උපකාරී වන අතර, සන්සුන් භාවය සහ විවේකය පිළිබඳ හැඟීමක් ප්‍රවර්ධනය කරයි. එය බොහෝ විට කාංසාව, මානසික අවපීඩනය සහ ස්නායු ආතතිය සමනය කිරීමට භාවිත කරයි.
මොළයේ සෞඛ්‍යයට සහාය වේ: බ්‍රාහ්මි හි ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය මොළයේ සෛල ඔක්සිකාරක හානි වලින් සහ වයසට යාම හා සම්බන්ධ සංජානන පරිහානියෙන් ආරක්ෂා කරයි. එය ස්නායු මාර්ග උත්තේජනය කරයි. ස්නායු සම්ප්‍රේෂක ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි. සහ ස්නායු නම්‍යතාව වර්ධනය කරයි.
හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි: බ්‍රාහ්මි තෙල් එහි පෝෂණ ගුණ සඳහා අගය කරනු ලැබේ, එය කෙස් කළඹ ශක්තිමත් කරයි, හිසකෙස් වැටීම අඩු කරයි සහ සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් ප්‍රවර්ධනය කරයි. එය හිසේ කැක්කුම සහ කැසීම වැනි හිස්කබලේ තත්ත්වයන් සමනය කිරීමට ද උපකාරී වේ. සම සුරකියි. රැලි වැටීම් වළක්වා සුමුදු බව ලබා දෙයි.
ආහාර ජීර්ණ අපහසුතාව සමනය කරයි: බ්‍රාහ්මි ආමාශය සන්සුන් කිරීමෙන්, ආම්ලිකතාවය අඩු කිරීමෙන් සහ අජීර්ණය, ඉදිමීම සහ ප්‍රකෝපකාරි බඩවැල් සින්ඩ්රෝමය (IBS) වැනි රෝග ලක්ෂණ සමනය කිරීමෙන් ආහාර දිරවීමට උපකාරී වේ. අක්මාව පිරිසුදු කර ශරීරගත විෂ ඉවත් කරයි.
බ්‍රාහ්මිවල ගුණාංග සහ ප්‍රතිලාභ එපමණක් නොවේ. ඒ මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි. ප්‍රතිඔක්සිකාරක සරුසාර නිසා සිරුර තුළ වයසට යාමට හේතු වන නිදහස් ඛණ්ඩ රැස්වීම වළක්වා තරුණ බව රැක දීමට දායකවෙයි.
බ්‍රාහ්මි සතු ඉහත කී තරුණ බව රැක දෙන ගුණාංග උපයෝගී කර ගනිමින් - වයසට යාම වැළැක්වීමට සුදුසු ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා එහි බලපෑම පරීක්ෂාවට ලක් කිරීමට මේ වෛද්‍ය පර්‌යේෂකයින් කටයුතු කර තිබේ. විශේෂයෙන්ම ජාන සතු ටෙලොමියරයන්හි ප්‍රමාණය රැකගැනීම සඳහා මෙහි බලපෑම සුවිශේෂී අවධානයට ලක්ව තිබේ.
ඒ අනුව මේ අධ්‍යයනයට සහභාගිවන්නන් අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදා ඇත. එක් කණ්ඩායමකට ඖෂධීය කසාය (BMFD) ලබා දී ඇති අතර, අනෙක් කණ්ඩායමට ප්ලේසෙබෝ (ක්‍රියාකාරී අමුද්‍රව්‍ය නොමැති ද්‍රව්‍යයක්) ලබා දී ඇත. ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර, සහ ප්‍රතිකාරයෙන් අනතුරුව කළ පසු විපරමකින් පසුව ඇගයුම හා තක්සේරුකරණය සිදු කර තිබුණි.
පර්ෙය්ෂණය සඳහා යොදා ගෙන තිබුණේ ආගන්තුක ද්‍රව්‍ය මුහු නොවන සේ පර්‌යේෂණාගාර තත්ත්වයන් යටතේ රෝපණය කර ගත් ලුණුවිල ශාකයේ කොටස්ය. සමස්ත අධ්‍යයනයට සහභාගිවෙන්නන් ගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කර පෙර පරීක්ෂාවකට ලක් කරන අතර, එය සංජානන දුර්වලතා කල්තියා හඳුනාගැනීමට සහ ස්නායු සන්නායක පරීක්ෂණය සහ මොළයේ විද්යුත් එන්සෙෆලෝග්රැෆි මගින් සමස්ත ස්නායු පද්ධතියේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සම්පූර්ණ පසු තක්සේරුවකට ද කටයුතු යොදා තිබේ.
මේ අධ්‍යයනයට, නීතිමය අයිතිය ලබා ඇති අතර, විශ්වවිද්‍යාලයීය පර්‌යේෂණ ප්‍රායෝගිකව සංවර්ධන ක්‍රමවේදය යටතේ ප්‍රතිලාභ ලැබෙන ආකාරයට, නිෂ්පාදනයට අවශ්‍ය මූලික සාකච්ඡා ද සිදුකර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම පුරෝගාමී සායනික අත්හදා බැලීම, දේශීය වෛද්‍ය පීඨය සහ බටහිර වෛද්‍ය පීඨය එක්ව සිදුකළ පළමු සහයෝගී අධ්‍යයනය සනිටුහන් කරයි. විශේෂයෙන් දේශීය වෛද්‍ය පීඨය, නිල වශයෙන් පීඨයක් බවට පත්වීමෙන් පසු පවත්වන ලද පළමු සායනික අත්හදා බැලීම මෙයයි.
මෙම පර්‌යේෂණ කණ්ඩායමට දේශීය වෛද්‍ය පීඨයේ ප්‍රධානී මහාචාර්ය පතිරගේ කමල් පෙරේරා, සහ මහාචාර්ය පී. ආර්. වරතැන්නේ සමග කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දිල්ෂානි දිසානායක සහ මහාචාර්ය නිලක්ෂි සමරනායක මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පර්‌යේෂක ලෙස දේශීය වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය (පරිවාස) වෛද්‍ය පීඨයේ, කායික විද්‍යා අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂක ආචාර්ය එච්. එල්.එන්. රංගන ප්‍රදීප් ඇතුළත් විය.
මෙම සොයාගැනීම්, ආයුර්වේදය ප්‍රධාන ධාරාවේ විද්‍යාත්මක කතිකාවකට ගෙන එමින්, වයස්ගත වීම සහ ස්නායු සංජානන ක්‍රියාකාරිත්වය පහත වැටීම වැළැක්වීම ඉලක්ක කරගත් නව ඖෂධ සංවර්ධනය සඳහා මග පෑදීමකි. එමෙන්ම නවීන විද්‍යාව සමඟ සාම්ප්‍රදායික දැනුම සහභාගිත්වයෙන් ඒකාබද්ධව ලබාගත හැකි ඵලදායී, ස්වාභාවික සහ පරිපූර්ණ සෞඛ්‍ය සේවා උපාය මාර්ගයන් ගැන අපූර්ව වූ ප්‍රායෝගික නිදසුනකි.
නිශා අත්තනායක