කන්ද උඩරට රජු ආයෙන් ඇවිත්


කන්ද උඩරට ස්වර්ණ කල්‍යාණ වීදිය එසේත් නොමැති නම් වර්තමානයේ රජ වීදියේ වර්තමාන ජනාධිපති මන්දිරය ඉදිරිපිට එසේත් නොමැති නම් අතීතයේ පිළිමතලව්වේ වලව්ව ඉදිරිපිට පිහිටා ඇති ඇහැළේපොළ වලව්වේ ප්‍රතිනිර්මාණය කෙරුණු අතීත කන්ද උඩරට රාජාවලිය පිළිබිඹු කෙරෙන ඉටිරූප කෞතුකාගාරය මේ මස 18 වැනි දින දී විවෘත කිරීමට නියමිතය.

මෙම ඉටි රූප මාලිගය තුළ ඇහැළේපොළ මහා අදිකාරම එසේත් නොමැති නම් ඇහැළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ හා එම කුමාරිහාමිගේද  වීර මැද්දුම බණ්ඩාර සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ ඉටිරූප මෙන්ම කන්ද උඩරට රාජධානියේ සෙන්පතියන්ගේද  පත්තිරිප්පුව වලාකුළු බැම්ම වැනි අග්‍රගණ්‍ය නිර්මාණ සිදු කරමින් මහනුවර නගරයට විරාජමාන අලංකාරයක් ගෙන දුන් දේවේන්ද්‍ර  මූලාචාරිගේ ඉටි රූප සහ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුද බිසවගේ ඉටි රූපද මෙම ඉටි රූප එකතුවට ඇතුළත්ව තිබේ.

එසේම මෙම කෞතුකාගාරය තුළ කන්ද උඩරට සංස්කෘතිය චාරිත්‍ර වාරිත්‍ර ගෘහ නිර්මාණ ශිල්පය කර්මාන්ත හා කලා ශිල්ප උඩරට එවකට වැසියන්ගේ ආහාර රටාව ආදිය පිළිබිඹු වන ආකාරයේ  ප්‍රතිනිර්මාණයන්ද එහිදී දැක බලා ගත හැකි වනු ඇත.

මෙරට පළමු සහ එකම ඉටිරූප කෞතුකාගාරය වශයෙන් සැලකෙන මෙම කෞතුකාගාරය මේ ආකාරයට හැඩ වැඩ ගැන්වීමට ඉකුත් රජය විශාල මෙහෙවරක් සිදුකළ අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  සිදුකළ මෙහෙවරද සිහිපත් කළ යුතුව ඇත. මෙම ඉටි රූප කෞතුකාගාරය මේ ආකාරයට ගොඩනැඟුණු ඉතිහාසය සම්බන්ධයෙන් කතා කිරීමට පෙර එම ඓතිහාසික මහා ගොඩනැගිල්ල වටා එති ඇති කඳුළු කතාවේ ඉතිහාසය පිළිබඳව දැනුවත් වීම වැදගත් යැයි සිතේ.

කන්ද උඩරට රාජධානියේ රජුට සමීපවම ඉහළම නිලතල දැරූ සෙන්පතියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වාසය කිරීම සඳහා මහ වාසලට ඉතාමත් ආසන්නයෙන් වලව් 18 ක් තිබූ බව ඉතිහාසයේ සඳහන්ය.

මෙම වලව් රජුගේ පරිපාලන කටයුතුවලට පහසුවීම සඳහා ඉදිකොට එම සෙන්පතියන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එහි පදිංචි කරවා ඇත්තේ කන්ද උඩරට රාජධානියට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවූ පරසතුරු ආක්‍රමණ වලට මුහුණ දීම සඳහා ඔවුන් ක්ෂණිකව රජවාසලට කැඳවාගැනීමටත් ගත යුතු යුද ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටත් තිබූ අවශ්‍යතාව හේතුවෙනි. 

එවකට අද මෙන් යාන වාහන මහා මාර්ග අධිවේගී මාර්ග නොතිබූ එම අවධියේ ගව් කීපයක් දුරින් සිටි පුද්ගලයෙකු වුවද යම් ස්ථානයකට යාම සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින් මහා වාසල අවටින් එම සෙන්පතියන්ට මෙම වලව් එසේත් නොමැති නම් නිල නිවාස ඉදිකර දුන්නා විය හැක.

ඒ කෙසේ නමුත් මෙම වලව් දහ අට අතරින් කන්දඋඩරට රාජධානියේ උඩරට යටත් වැසියන් අතර මහා කඳුළු ගංගාවක් එක් කළ වලව්ව වශයෙන් ඇහැළේපොළ වලව්ව හැඳින්විය හැකිය.

මෙම වලව්ව වටා ගෙතී ඇති මහා ඛේදවාචකය හේතුවෙන්ම අපගේ අවසන් රජු වශයෙන් සැලකෙන ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රාජත්වය පමණක් නොව වසර 2500 කටත් වැඩි මෙරට රාජාවලියටද තිත තැබීමට සිදුවිය.

සැබවින්ම කන්ද උඩරට තිබූ වලව් දහ අට අතරින් මෙම ඇහැළේපොළ වලව්ව වටා ගෙතුනු ඛේදවාචකය හේතුවෙන් උඩරට වැසියන්ගේ නෙත් වලින් ගලා ගිය කඳුළු ගංගාවක් ඇතිකළ වලව්වක් වශයෙන් හැඳින්වූවාටද කම් නැත.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට නිලමේවරුන්ට වඩා සබරගමුවේ නිලමේවරුන් සමඟ වැඩි විශ්වාසයකින්  කටයුතු කළ අතර ඔවුන්ගේ කේලාම්බස් අසා තම ඉහළ නිලධාරීන් සමග විවිධ ගැටුම් ඇති කරගෙන තිබුණි. එසේම ජොන් ඩොයිලිගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ හරහා රජු දැඩි ලෙස බීමතට පෙලඹී තිබීමත් ඔහුගේ අවසානයට මෙන්ම මෙරට රාජාවලියට ද අවසානය ගෙන ආවේය.

රජුගේ මෙම අධික බීමත්කමත් නොමනා හැසිරීමත් හමුවේ ඇහැළේපොළ කුමාරිහාමිට කිසියම් නොමනා යෝජනාවක් ගෙන එමින් එම අදහස ඇයට ඉදිරිපත් කිරීමෙන් පසු ‘‘“පල වඩුගය’’ යනුවෙන් රජුට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් මෙම ඛේදවාචකය ආරම්භ වූ බව ඉතිහාසයේ සඳහන්ය.

මහනුවර රජ වාසල ඉදිරිපිට ඇති භූමියේ මේ වන විට දක්නට ඇති ධර්මරාජ ප්‍රාථමික විද්‍යාල ගොඩනැගිල්ලත් ශාන්ත පාවුළු ගොඩනැගිල්ලත් එවකට නොතිබූ බැවින් මෙම ඇහැළේපොළ වලව්ව කෙළින්ම රජවාසල සිව්මැදුරු කවුළුවලට දිස් වීමත් ගොඩනැගිලි දෙක අතර ඇති හිස් භූමියේ මහාවාසල අලි ගාලක් පැවතීමත් එම අලි ඇතුන්ට ආහාර දී අලින් දෙස බලා හිඳීම සඳහා රජුට විශේෂ ආසනයක් එම භූමියේ ඉදිකොට තිබූ බවද කියැවේ.

එවකට වලව්වකට වුවද ආරක්ෂක බැමි නොමැති වූ බැවින් ඇහැලේපොළ කුමාරිහාමි එළිපහළියට බසින විට රජුගේ ඇස ගැටෙන බැවින්ද දෙපාර්ශ්වය අතර ඇස් ගැටීම් වැඩි වූවාද විය හැකිය.

කෙසේ නමුත් ඇහැළේපොළ කුමාරිහාමි ‘‘“පල වඩුග රජා’’ යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් දැඩි කෝපයට පත්වූ රජු, කුමාරිය කෙසේ හෝ තම ග්‍රහණයට ගැනීමට අධිෂ්ඨාන කරගෙන ඇහැළේපොළ මහා අධිකාරමට රත්නපුරයට මාරුවක් දීමටද පියවර ගත්තේය. ඒ මොන දේ කළත් දැඩි පතිව්‍ුතාවත් ආරක්ෂා කළ ඇහැළේපොළ කුමාරිහාමිව රජුට නතු කර ගැනීමට කිසිසේත්ම නොහැකි වී තිබේ.

ඉන් දැඩි ලෙස කෝපයට පත් රජු, ඒ වන විටත් ඇහැළේපොළ මහාධිකාරමද රජුට එරෙහිව ගොස් තිබූ බැවින් ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු පවුලේ සියලු‍ දෙනා එම වලව්ව තුළ නිවාස අඩස්සියට පත් කළේය. රජු මොන ආකාරයයේ පළිගැනීම් සිදුකළද රජුගේ අසම්මත කාම ආශාවට ඉඩ  නොතැබූ ඇහැළේපොළ කුමාරිහාමි, තම පතිවෘත්තාව දිවිිහිමියෙන් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබුණි. 

වඩුග රජා යන පහත් නමින් රජු ඇමතීමත් ඒ වන විටත් ඇහැළේපොළ මහා අධිකාරම රජුට එරෙහිව ක්‍රියා කරමින් සිටීම නිසාත් දැඩි කෝපයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, 1914 මැයි මස 17 වැනි දින මෙරට රාජාවලියේ රජෙකු  විසින් ගත් පහත් නින්දිතම තීරණය ගනිමින් ඇහැළේපොළ පවුලේ කුමාරිහාමි ඇතුළු දරුවන් තිදෙනා ඝාතනය කිරීමට නියෝගය දුණි. වයස අවුරුදු දොළහ නොඉක්මවූ වැඩිමහල් සහෝදරයා වයස අවුරුදු අටේ බාල සහෝදරයා සහ ඒ වෙන විටත් මව් කිරි බොමින් සිටි කුඩා බිලිඳිය ඝාතනය කිරීමට රජුගේ නියෝගය විය.

කන්ද උඩරට රාජධානියේ පමණක් නොව මෙරට රාජාවලියේද අවසානය කරා ළඟාවෙමින් තිබූ 1814.05.14 වැනි දින පස්වරු 1.40 ට රජු අධික බමන මතින් පත්තිරිප්පුවේ රැඳී සිටියදී ඔහුගේ ඇස් ඉදිරිපිට දී මෙම මහා ඛේදවාචකය සිදු වූ බව සඳහන්ය. ජෝන් ඩොයිලි ද ඒ සම්බන්ධයෙන් සටහන් තබා තිබේ.

එම මහා ඛේදවාචකය සිදුවූ දිනයේ කන්ද උඩරට වැසියන් රාත්‍රී ආහාර පිසීම හෝ ලාම්පු එළි දැල්වීම පවා සිදු නොකළ බව ඉතිහාසයේ සඳහන්ය.

කෙසේ නමුත් ඉන් මාස කිහිපයකට පසු, 1815 පෙබරවාරි මස 10 වැනි දින රජු ද රජුගේ රන්දෝලිය වූ වෙන්කත රෙංගජම්මාල්  රිදි දෝලිය වූ වෙන්කත ජම්මාල් ඇතුළු කිහිප දෙනෙකුට රජ මැදුරින් පලා යාමට  සිදුවූ අතර 1815 පෙබරවාරි මස 18 වැනි දින දී මැද මහනුවර බෝමුරේ ප්‍රදේශයේදී රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්විය.

කෙසේ නමුත් ඉංග්‍රීසි පාලකයන් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු  මදුරාසියේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කිරීමට පෙර, දී ඇති කට උත්තරයේ සඳහන් කොට ඇත්තේ ඇහැලේපොළගේ කුඩා දරුවන් හා එම කුමාරිහාමි ඝාතනය නොකළ බවත් රාජ නීතියට අනුව දඬුවම් කළ බවත්ය.

අධිකාරම් සහ සෙන්පති පිළිරූ

කෙසේ නමුත් ඉතිහාසයේ මහා කඳුළු කතාවක් කියන මේ මහා වලව්වේ  අතීතයද එතරම් සුන්දර නොවේ.

ඉංග්‍රීසීන් උඩරට යටත් කර ගැනීමෙන් පසු, 1815.03.02 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව, රජුගේ රජ මැදුර, උඩරට යටත් කර ගැනීමේ මහා කුමන්ත්‍රණකරුවා වශයෙන් සැලකෙන ජෝන් ඩොයිලිගේ වාස භවන වශයෙන් භාවිත කළ අතර පිළිමතලව්වේ නිලමේගේ වලව්ව රජ මැදුර වශයෙන් භාවිත කිරීමටද දුනුවිල වලව්ව නගරයේ පරිපාලන කේන්ද්‍රස්ථානය එසේත් නොමැති නම් නගර සභාව වශයෙන්ද දූල්ලෑව වලව්ව ඉංග්‍රීසි පාලකයන්ගේ වාසස්ථානයක් වශයෙන්ද භාවිත කරමින් තවත් වලව් කිහිපයක්ද ඔවුන් භාවිත කළ ද මෙම ඇහැළේපොළ වලව්වට ඉංග්‍රීසියෙන් පය නොතැබීමට පියවර ගැනීමද විශේෂ සිදුවීමකි.

එම වලව්ව කිසිම ආකාරයේ පරිපාලන කටයුත්තකට භාවිත නොකළ ඉංග්‍රීසින්, ගරා වැටෙමින් තිබූ එම වලව්වේ මුල් ස්වරූපය වෙනස්කොට එහි තුළ සිරකුටි ඉදිකොට සිර මැදිරියක් ලෙස භාවිත කිරීමට පියවර ගත්තේය.

මෙම වලව්ව තුළ සිර මැදිරි ඉදිවීමෙන් පසු ඉංග්‍රීසි පාලකයන් විසින් මොනරවිල කැප්පෙටිපොළ, ඇහැළේපොළ නිලමේ ඇතුළු අපගේ ජාතික වීරයන් පනස් දෙනකුට වැඩි පිරිසක් එම සිරගෙය තුළ සිරකිරීමට තරම් ඉංග්‍රීසි පාලකයන් පහත් තත්ත්වයට ඇද වැටීමද විශේෂත්වයකි.

කෙසේ නමුත් 2013 වසර දක්වා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මෙම ඓතිහාසික ගොඩනැගිල්ල එම වසරේදී නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන රුපියල් මිලියන 150 ක වියදමින් එහි පැරණි ස්වරූප නැවත ඔප් නැග්වෙන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කොට තිබූ අතර පසුගිය රජයේ තීරණයකට අනුව එම ඓතිහාසික ගොඩනැගිල්ල තුළ උඩරට රාජ්‍යත්වය පිළිබිඹු වෙන ආකාරයේ කෞතුකාගාරයක් ඉදිකිරීමේ පදනම මත කැබිනට් තීරණයකින් විශේෂ සන්නසකින් ශ්‍රී දළදා මාලිගාවට ප්‍රදා​නය කෙරුණි.

කෙසේ නමුත් කන්ද උඩරට පමණක් නොව මෙරට වසර 2500 කට අධික රාජාවලියකට උරුමකම් කියූ මහා ඉතිහාස කතාවක්  අපගේ මහවංශයෙන් අතුගා දැමූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉතිහාසයේ සනිටුහන් වන්නේ  ඩොයිලිගේ කුමන්ත්‍රණ වලට හසු වී අධික බමන මතින් වැඩ කොට රාජත්වය අහිමි කරගත් රජෙකු හැටියටය.

ලිපිය අවසන් කිරීමට පෙර එක් දෙයක් කිව යුතුව ඇත. මෙම වලව්ව තුළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඉටි රූපයක් නිර්මාණය කොට එහි තැන්පත් කිරීම කොතරම් සර්ව සාධාරණදදැයි සිතා බැලිය යුතුව ඇත.
මෙහි තැන්පත් කොට ඇති ඇහැළේපොළ කුමාරිහාමිගේ ඉටි රූපයට යම් ජීවයක් ලැබී මෙම වලව්ව තුළ සක්මන් කළහොත් තම ජීවිත කාලය තුළ වලව්වට පය ගැසීමට ඉඩ නෙතැබූ පමණක් නොව තම දරුවන් පවා අමානුෂික ලෙස ඝාතනය කළ‘‘ “වඩුග රජා’’ වලව්ව තුළ සිටගෙන සිටින ආකාරය දුටුවහොත් කුමකින් කුමක් සිදු වේද? 

මෙවනි නිර්මාණ සිදුකිරීමේදී එම නිර්මාණ අධ්‍යයනය කිරීමට පැමිණෙන පුද්ගලයන්ගේ මානසිකත්වය ද නිර්මාණ කරුවන් අධ්‍යයනයට ලක් කළ යුතුව ඇත.

ෂේන් සෙනෙවිරත්න

ඇහැලෙපොළ අධිකාරම්