
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල ලෙස රුපියල් හතළිස් හත්කෝටි හතළිස්පන්ලක්ෂ අනූනවදහස් හාරසිය විසිදෙකක (කෝටි 47) සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කිරීමට වාසනාවන්තයකු ජූනි 06 වැනි සඳුදා සමත්ව තිබේ.
ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතවරියක විසින් එම ජයග්‍රහාහී ලොතරැයිපත අලෙවිකර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා පවසයි. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ වසර 60 ඉක්ම වූ කාලය තුළ හිමි කර දුන් විශාලම ත්‍යාග මුදල ද මෙය වෙයි. මින් පෙර 2020 දී ජයග්‍රහණය කළ සුපිරි ත්‍යාගය රුපියල් කෝටි 23ක් බව කී සභාපතිවරයා මෙවර එම ත්‍යාගය දෙගුණයක්ව ජයග්‍රහණය කිරීමට වාසනාවන්තයා සමත් වී ඇති බවද සභාපති වරයා පැවසීය.
ලොතරැයි මණ්ඩලය සොයා පිටකොටුවේ මුදලිගේ මාවතේ ලොතරැයි මණ්ඩලයට ගොස් කෝටි 47 ජයග්‍රහකයා ගැන දැනගන්නට අපට අවශ්‍ය විය. ලොතරැයි මණ්ඩලයේ පිළිගැනීමේ කවුන්ටරයෙන් පසු ඇති කවුන්ටරය ත්‍යාග මුදල් (සාමාන්‍ය) ලබා දෙන ‘ත්‍යාග කවුලුව’ ලෙස එහි දක්වා ඇත.
“මේ කෝටි හතළිස් හත ගන්න කවුරුත් ඉදිරිපත් වුණාද?”
“නෑ නෑ” කවුන්ටරයේ යුවතිය පැවසුවාය.
“ලක්‍ෂ පහ වෙනකම් දිනුම්වලට බදු කැපෙන්නෙ නෑ. ඊට වැඩි තෑගි මුදල් වලින් 14% උපයන විට ගෙවීම් බද්ද අයකරනවා. වෙන කිසිම ගාස්තුවක් අයකරන්නේ නැහැ. මෙගා පවර් කියන ලොතරැයියට තමා මේ කෝටි 47 ක තෑග්ග ඇදිලා තියෙන්නේ” ලොතරැයි මණ්ඩලයේ තෑගි සඳහා මුදල් නිකුත් කරන තරුණිය අප සමග පැවසුවාය.
ලොතරැයි ගැන ඉතිහාසය විමසීමේදී පෙනීයන්නේ මුල්ම ලොතරැයි වල ඇත්තේ රෝම ඉලක්කම් බවය. ඒ නිසාම ලොතරැයි ක්‍රමයේ නිර්මාතෘන් වශයෙන් ඉතිහාස ගත වී ඇත්තේ රෝම ජාතිකයන් වේ. සුපිරි ජීවිත ගතකරමින් විනෝදකාමීව සිටි රෝමවරුන් විසින් ජනතා වින්දනය උදෙසා තවත් අතිරේක මගක් වශයෙන් ලොතරැයි ක්‍රමය හඳුන්වා දෙන ලදී.
එහෙත් මුල්කාලීන ලොතරැයි ක්‍රමය හුදු විනෝදාස්වාදයට පමණක් සීමා වූ අතර එයින් ආදායමක් ලබන්නට වූ බවට රෝම ඉතිහාසයේ සඳහනක් නැත. ලාභදායී ව්‍යාපාරයක් ලෙස ලොතරැයි ක්‍රමය 1568 දී දියත් කිරීමට මුල් වූයේ හිරු නොබසින අධිරාජ්‍ය වූ බ්‍රිතාන්‍යයයි. ලාභය මුල් කරගත් මේ ලොතරැයි ක්‍රමය 1569 දී ආරම්භ කළ බැව් හොලින් ෂෙඩ් ඉතිහාසඥයාගේ සටහන්වල දැක්වෙනබව සංවර්ධන ලොතරැයිය ආරම්භ කරන අවස්ථාවේ ආචාර්ය වික්‍රම වීරසූරිය තබන ලද සටහනක දක්වා ඇත.

ක්‍රමයෙන් එංගලන්තයේ ලොතරැයි ජනප්‍රිය වෙන විට 1719 දී එංගලන්ත පාර්ලිමේන්තුව මගින් ලොතරැයි නීතිගත කිරීමේ පනතක් ද සම්මත කර ගන්නා ලද අතර එය ලොව පැරණිතම ලොතරැයි සම්බන්ධ පනත ලෙස ඉතිහාසගතව ඇත.
ලංකාවේ ලොතරැයි කියූ සැණින් අපේ මතකයට එන්නේ ‘‘ටර්ෆ් ක්ලබ්’’ මංකොල්ලයයි. යටත් විජිත යුගයේ ලංකාවේ ජනප්‍රිය අශ්වරේස් හරහා ලොතරැයි සඳහා පදනම වැටුණි. නුවරඑළිය, කොළඹ රේස්කෝස්, ගාල්ල සහ තල්දුව මේ අශ්ව රේස් පැවති තැන් කිහිපයි. එමෙන්ම ගාල්ල ජිම්කානා ක්ලබ් සහ කලම්බෝ ටර්ෆ් ක්ලබ් ලොතරැයි හඳුන්වා දී තිබුණි. එහෙත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු දැන්වීම් කළමනාකරු වරක් සටහනක් තබා තිබුණේ බ්‍රිතාන්‍යයේ පළමු ලොතරැයිය 1566 දී එවක එළිසබත් මහ රැජිනගේ අවසරය මත ආරම්භ වූ බවය.
ලංකාවේ අද ස්ථාපිතව ඇති ලොතරැයියේ මූලික සංකල්පය බිහිවෙන්නේ 40 දශකයේදීය. දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පළාත් පාලන අමාත්‍යවරයාව සිටියදී, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ලොතරැයියක් ආරම්භ කළ යුතුය යන සංකල්පය ඉදිරිපත් කරන ලදී.
බණ්ඩාරනායක ඇමතිවරයාගේ අදහස යටපත්ව ගියද එහි වටිනාකම හඳුනාගත් 1954 වසරේ සෞඛ්‍ය අමාත්‍යරයාව සිටි ඊ.ඒ. නුගවෙල විසින් යටපත් වූ එම අදහස ඉහළට ගෙන 1955 අංක 04 පනතින් ආරෝග්‍යශාලා ලොතරැයිය බිහිකරන ලදී.
මෙම ආරෝග්‍යශාලා ලොතරැයියේ ප්‍රථම දිනුම් ඇදීම සිදුවූයේ 1955 සැප්තැම්බර් 15 දාය. ප්‍රථම ලොතරැයියේ ප්‍රථම දිනුම් ඇදීමෙන් ප්‍රථම ත්‍යාගය දිනාගනු ලැබුවේ ගලිගමුව ප්‍රදේශයේ බී.කේ. නයිදේ ය. දිනාගත් මුදල රු. 97,343.50 ක් බව එවකට ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කොට තිබුණි.
මේ අතර රටේ විවිධ සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය අවශ්‍යතා තදබල ලෙස මතුවූයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සීමා වී තිබූ ලොතරැයිය පුළුල් ක්‍ෂේත්‍රයන් සඳහා යොමු කිරීමේ වටපිටාවක් සැකසීමේ අරමුණෙන් 1963 අංක 11 දරන මුදල් පනතින් ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කරන ලදී.
එසේ බිහි වූ ජාතික ලොතරැයි මණ්ඩලය ඉදිරිපත් කළ පළමු ලොතරැයිය “ජාතික ලොතරැයිය” වූ අතර එහි මංගල දිනුම් ඇදීම 1964 පෙබරවාරි 20 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරිණි. ඉන් අනතුරුව ජාතික සම්පත, මහජන සම්පත, දවසේ වාසනාව, සුපිරි ජාතික ලොතරැයිය, ලොටෝ, කලම්බු එයාර් පොර්ට් සුපර් ඩ්‍රෝ, වාසනා සම්පත, ගොවිසෙත, ක්‍රීඩා, සරණ, ජනසෙත, සුව සෙත, ශ්‍රම වාසනා, සුපිරි වාසනා, ජයවිරු, සම්පත් රේඛා ආදී වූ ලොතරැයි සමූහයක් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් රටට හඳුන්වා දුන් ලොතරැයි වර්ග කීපයකි.
ලංකාවේ ආරම්භක ලොතරැයි අලෙවි නියෝජිතයෙකු වූයේ ඒ.පී. සිරිසේන ය. මීට මාස කිහිපයකට පෙර සිරිසේන, ලංකාවේ ලොතරැයි අලෙවිය ආරම්භ කළ හැටි පැවසුවේ මෙසේය.
“අනේ. මහත්තයෝ මට අවුරු දු 93 යි. ඒත් තාම මම තරුණයි. මම උපන්නේ 1932 අවුරුද්දේ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොළඹ මැලිබන් කොම්පැණියෙ රැකියාවකට ගියා. 1956 බණ්ඩාරනායක අගමැති වුණාට පස්සේ සේවා කාලය පැය 08 කට සීමා කරලා නීතියක් හඳුන්වා දුන්නා. එතකොට ලංකාවේ තිබුණේ ආරෝග්‍යහාලා ලොතරැයියයි. ගාලු ජිම්කානා ලොතරැයියයි විතරයි. වැඩකරන වෙලාව පැය 8 කට සිමා වුණ නිසා මගේ කාලය ඉතිරි වුණා. වැඩ ඇරිලා නිකං ඉන්න වේලාවක ආරෝග්‍යහාලා ලොතරැයි 200ක් මුලින්ම අරන් යාළුවෙකුට 100 ක් දීලා ඉතිරි 100 මම වික්කා. සුටුස්ගාලා ඒ ටිකට් 100 විකුණගන්න පුළුවන් වුණා. ඒ කාලේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මුල් අලෙවි ඒජන්තවරයෙකු වූ ඊ.ඒ.පී. එදිරිසිංහගෙන් මමත් ලොතරැයිපත් අරගෙන ඒවා විකුණලා ගනුදෙනු බේරුවම තමයි ඊළඟ දවසට ටිකට් ලැබුණේ.
ඛේදජනක කරුණ වෙන්නේ ලංකාවේ ලොකුම ලොතරැයි දිනුම දැකගන්නට සිරිසේන වාසනාවන්ත නොවූ අතර ඔහු පසුගිය මැයි 19 වැනිදා මිය පරලොව යෑමය.
ලංකාවේ ප්‍රථම ලොතරැයි දිනුම හිමි වූ ගලිගමුවේ බී.කේ. නයිදේ හෙවත් එම්.පී. කිරිඅප්පුටය. කිරිඅප්පුට මෙම තෑග්ග ලැබුන අයුරු පුදුම සහගතය.
ජයග්‍රහයකයා වූ ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පුගේ රස්සාව වූයේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. කෑම පැයේ දී තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද් දී එතැන ස්විප් වෙළෙන්දෙක් දක්නට ලැබුණි. කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්විප් වෙළෙන්දා වටකරගෙන ස්විප් මිලට ගනිමින් සිටීම කිරිඅප්පු බලා සිටියේ විස්මයෙනි.
කිරිඅප්පු සමග සේවය කළ මිතුරකු ඔහුව ලොතරැයියක් ගන්නට පොලඹවන ලද්දේ දින්නොත් රුපියල් ලක්‍ෂයක් ලැබෙන බව කැට තියා කියමිනි. ශත පනහක් දී ලොතරැයියක් ගත් කිරිඅප්පු එය සඟවා තැබුවේ සාලයේ තිබූ අං තට්ටුවේ ය. ලොතරැයි දිනුම ලක්‍ෂය ගැන කිරිඅප්පු දැඩි ළෙන්ගතු වූයේ ඔහුගේ එවක පඩිය රු. 100/- ක් වීම නිසාය.
ලංකාවේ ප්‍රථම ලොතරැයිය ඇදි දිනට පසුදින තේ ස්ටෝරුවට වැඩට ගිය කිරිඅප්පුට දැනගත හැකි වූයේ ගලිගමුවේ කෙනෙකුට පළමු තෑග්ග ලැබී ඇති බවය.
කිරි අප්පුට තමාත් ලොතරැයියක් ගත් බව මතක් විය. “කවුද දන්නෑ වාසනාවන්තයා” කිරිඅප්පු තමාටම කියාගෙන ගියේය. එදින හවස් ජාමයේ ගෙදර ගිය කිරිඅප්පු ගෙදර අස්සක් මුල්ලක් නෑර ලොතරැයිය සෙවූවත් එය සොයාගත නොහැකි විය.
මේ අතර මිලට ගත් ලොතරැයිය ගැන සිතමින් නින්දට ගිය ඔහුට රාත්‍රියේදී සිහිපත් වූයේ ලොතරැයිය තැබුවේ ගෝන අඟ අස්සේ නොවේ යන බවය. රාත්‍රියේම ලොතරැයිය අතට ගත් කිරි අප්පු පසුදාම කෑගල්ලේ නිව් සිටි ස්ටෝර්ස් වෙත ගොස් ලොතරැයියේ ජය අංක ගළපා බැලුවේය. කිරිඅප්පුට අදහාගත නොහැකි පරිදි මුල් දිනුම ඔහුට හිමි වී තිබුණි.
ඉතිහාසයේ හඳුනාගත් පරිදි එය ලංකාවේ පළමුවැනි ලොතරැයියේ මුල් දිනුම විය. ප්‍රවෘත්තිය එවකට ටයිම්ස් සමාගම පළකළ ලංකාදීය පත්‍රයේ පළව තිබුණේ කිරිඅප්පුගේ පින්තූරයක් ද බ්ලොක් කපා පළකරමිනි. “ආරෝග්‍යශාලා ලොතරැයියේ රුපියල් 97,343.50 ක පළමු දිනුම ගල්ගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ.”
යනුවෙන් එහි සඳහන්ය. එම වාර්තාවේ ඇත්තේ ජයග්‍රහකයා අවිවාහකයකු බවය. කිරිඅප්පුට දසදෙසින් මංගල යෝජනා ගලා එන්නට විය. කිරිඅප්පු විවාහ වූයේ හෙම්මාතගම පුංචි එතනා රාජකරුණා සමගය. කිරිඅප්පු මියගොස් ඇත්තේ 1974 දී වයස අවුරුදු 72 දීය. ඒ අවස්ථාවේ එවක පුවත්පතකට පුංචිඑතනා තම සැමියා ගැන විස්තරයක් කර තිබුණේ මෙසේය.
“එයාට යෝජනා කරනකොට මම එච්.එස්.සී. විභාගෙට ඉගෙන ගන්නයි සිටියේ. ඒත් අම්මලා තාත්තලා බලකළා කිරිඅප්පුව බඳින්නම කියලා. එයාගේ උගත්කම මදිකම තමා මට ප්‍රශ්නෙකට තිබුණේ. ඒත් ඉතින් අක්කර විස්සක ඉඩමක්, මොරිස් එයිට් කාර් එකක් එහෙම තිබුණු මේ මනුස්සයට මාව දෙන්න අම්මලා තාත්තාලා හුඟක් කැමති වුණා. දෙමාපිය ආශීර්වාදයෙන් අපේ මංගල්ලෙ කෙරුණේ බොහොම ජයට. දවස් හතරක් මඟුල් කෑවා. මඟුල් ගෙදර ලස්සන බලන්න මුළු ගමම වටවුනේ. එහෙම මඟුලක් උපන්තේකට ඒ කට්ටිය දැකලා තිබුණේ නැති නිසා”
කිරිඅප්පු තමන් ජයග්‍රහණය කළ මුදල නිසි ලෙස ආයෝජනය කොට තිබූ අතර අවසන් කාලයේ බදුබර නිසා තම දරුවන්ට හා බිරිඳට ඉඩම් ලියා දුන් ඔහු ඉතිරි ඉඩම් කීපය අලෙවිකොට ඇත්තේ බදු බර සහ ධන බද්ද ගෙවා දැමීමටය.
මේ ලොතරැයි ජය, ජාවාරම් කාරුවන්ට ආදායම් බදුවලින් බේරීමට සහ කළුසල්ලි සුදු කිරීමට පංකාදුය. අාර්. ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහු හා තරගයට සිටි උගතකු තමා හෙළිකළ වත්කම්වල ලොතරැයි දිනුමකින් ලබා තිබූ කෝටි ගාණක්ද එක්කොට තිබීම එකල දේශපාලන ලෝකයේ දැඩි කතාබහට ලක්විය. පසුගිය සඳුදා ජයග්‍රහණය කළ කෝටි 47 ලොතරැයිය කෝටි 50කට වූවත් මිලදි ගැනීමට සූදානම් ජාවාරම්කරුවන් ලංකාවේ සිටී. කළු සල්ලි සුදුකිරීම සඳහා ඇති හොඳම මෙවලම වන්නේ ජයග්‍රාහී ස්විප් ටිකට්ය. ජයග්‍රාහකයා ටිකට් පත රැගෙන ඒමේදී අදාළ ආයතනීය නිලධාරීන් අදාළ ටිකට්පතේ ජයග්‍රාහී මුදලට තවත් රුපියල් ලක්‍ෂ ගණනක් වැඩිපුර ලබාදීමේ පොරොන්දුව මත ජයග්‍රාහී පුද්ගලයාට කළු සල්ලිකාරයෙකු වෙත යොමු කරන බවට එකල ප්‍රබල මතයක් වූ අතර ඉන් සිදුවූයේ ජයග්‍රාහී පුද්ගලයාට තමන් විසින් ජයග්‍රහණය කළ මුදලට වඩා වැඩි මුදලක් ලබාගැනීමට හැකි වූ චෝදනාවක් විය.

ලොතරැයි ජයග්‍රාහකයාට 14% ක් උපයන විට ගෙවන බදු මුදලක් තම ජයග්‍රාහි මුදලෙන් අඩු නොකොට ලොතරැයි මණ්ඩලයේ සුභ සාධක සංගමයට ආධාරයක් නොකොටම තම ලොතරැයියේ ජයග්‍රාහි මුදලටත් වැඩි මුදලක් ලබාගැනීමට වරප්‍රසාදයක් හිමිව ඇත්තේ මේ කළු සල්ලිකාරයන් නිසාය. මෙය වඩාත් සාධාරණීකරණය වී ඇත්තේ මෙවැනි ලොතරැයි දිනුම් ජයග්‍රහකයින්ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් නොකරන නිසාය.
මෙයින් වසර 22 කට පෙර 2003 දි ලොතරැයි ජයග්‍රාහකයින් දෙදෙනෙකු මිය ගොස් තිබිණ. ලක්‍ෂ 30ක ලොතරැයි දිනුමක් ලද හොරණ ප්‍රදේශයේ සුනිල් නැමැති තරුණයා පොලිසියක් තුළදී මිය ගිය අතර ලොතරැයි පත්වල අංක සූක්‍ෂම ලෙස වෙනස් කොට කූඨ ලෙස ජයග්‍රහණ ලබාගනිමින් සිටි කැලණියේ ප්‍රදීප් කුමාර තරුණයා මහර හිරගෙදරදී එල්ලී මිය යන ලදී.
ලක්‍ෂ 30ක ලොතරැයි දිනුම ලද හොරණ තරුණයා අධික ලෙස බීමත්කමට ඇබ්බැහිව සිටි අතර මත්පැන් නැතිකම නිසා ඔහු පොලිස් සිර මැදිරිය තුළදී ඇද වැටීමෙන් මොළයට හානි වී මිය ගොස් සිටියේය. ලොතරැයි අංක වෙනස් කළ පුද්ගලයා ස්මාට් ෆෝන් නොතිබුණු ඒ යුගයේ මේ කටයුත්ත සඳහා දිනුම් අදින දිනවලදී පමණක් ඔහු රූපවාහිනී යන්ත්‍රයක් තිබෙන හෝටලයකින් රු. 500 ක පමණ කාමරයක් කුලියට ගෙන ජයග්‍රාහී ලොතරැයි නිපදවා ඇත්තේ රාත්‍රී කාලයේදීය. සකස් කරන ලොතරැයි පතේ කිසිඳු වෙනසක් නොපෙනෙන අතර ඔහු හැමවිටම වෙනස් කරන්නේ රු: 1000 හෝ ඊට අඩු තෑගි ඇති ලොතරැයි පත්ය. ඒවා ලොතරැයි කූඩු වලින් මුදල් කරගත හැකිවීම මීට හේතුවයි. ප්‍රදීප් කුමාරට වැරදුණේ එකම ලොතරැයි කූඩුවකින් උදය වරුවේ එක් ටිකට් පතකට මුදල් ලබා ගෙන සවස ද එම ලොතරැයි කූඩුවටම තවත් ජයග්‍රාහී ටිකට් පතක් ඉදිරිපත් කර මුදල් ගන්නට යාම කඩවත පොලිසියට හසු වීම නිසාය.
2003 දී එතෙක් පිරිනැමුණු විශාලම ජයමල්ල රාජසන්තක වීම එකල පුවත්පත්වල පළකොට තිබුණේ මෙසේය. ‘‘ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙතෙක් පිරිනැමුණු විශාලතම ජයමල්ල වෙන රුපියල් හාරකෝටි විසිනව ලක්ෂ තිස්හත් දහස් දෙසීය හැට නවයයි ශත පනහ (රු. 4,29,37,269.50) හිමිවෙන 1544 මහජන සම්පත ලොතරැයියේ අංක M 839937 දරණ ටිකට්පත ඊයේ ද (5) ඉදිරිපත් නොවීම නිසා එම මුදල රාජසන්තක වූ බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.
2003 සැප්තැම්බර් 5 වැනි දින දිනුම් අදින ලද මෙම මහජන සම්පත ලොතරැයියේ ජයග්‍රාහී ටිකට් පත අලෙවි වී ඇත්තේ රත්මලාන ප්‍රදේශයෙනි. ජයග්‍රාහී ටිකට්පත වලංගු කාලය මාස 6ක් වෙන අතර මෙම ජයග්‍රාහී ටිකට් පතට ඊයේ (5) මාස 6 ක් පිරුණු බවත් ඊයේ (5) සවස 4.45 වනතුරුත් ජයග්‍රාහකයකු ඉදිරිපත් නොවුණු බවත් ලොතරැයි මණ්ඩලය කියයි. කෙසේ වෙතත් ජයග්‍රාහී අංකය විමසමින් ඊයේ (5) ද දුරකතන ඇමතුම් 50 ක් පමණ ලොතරැයි මණ්ඩලයට ලැබී තිබේ.
දිනුම් ඇදීමෙන් මාස 6 ක් ඇතුළත ලොතරැයි ටිකට් පතේ ජයග්‍රාහකයා ඉදිරිපත් නොවීම නිසා 1963 අංක 11 දරන මුදල් පනතට අනුව එම තෑගි මුදල ඉදිරි දින කිහිපයක දී මහා භාණ්ඩාගාරයට බාරදීමට මණ්ඩලය කටයුතු යොදා ඇත, යනුවෙන් එහි සඳහන්ය. මෙම පනත තවමත් බලාත්මක දැයි පසුගිය දා විමසා සිටීමේ දී දැනගත හැකි වූයේ එය තවමත් බලාත්මක බවය.
මේ අතර 1963 වසරේ සිට 1983 වසර දක්වා පැවති ලොතරැයි දිනුම් ඇදීම් ක්‍රමය හරහා ජයග්‍රාහකයන් සියලුදෙනාට එම පණිවිඩය යවන්නට තරම් එවකට සන්නිවේදන ක්‍රමය පොහොසත් නොවූ බැවින් ජයග්‍රාහකයන් බොහෝ දෙනෙකුගේ මුදල් රාජසන්තකව ඇත්තේ ද ජයග්‍රාහකයින් ද නොදැනුවත්වය. 1983 වසර වෙන තෙක් පැවති මේ ක්‍රමයේ විශාල වෙනසක් සිදු වූයේ රූපවාහිනී මාධ්‍ය ආරම්භවීමත් සමග ලොතරැයි ප්‍රතිඵල ඇස් පනා පිට දැකගැනීමට ලොතරැයි පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවීමත් සමගය.
ලිඛිත ලේඛන මත ජාතික ලොතරැයි මණ්ලයේ වාර්තාවන්ට අනුව 2006 වසරේදි ලොතරැයි සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් 3115,594,961.00 කි. එයින් ජයග්‍රහණය කළ ලොතරැයි පත් මුදල් නොකළ පිරිස හේතුවෙන් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කර ඇති මුළු මුදල රුපියල් දොළොස් කෝටි හතළිස් පන්ලක්ෂ අනූහයදහස් පන්සිය හතළිස්හතක (124,596,547.00) දැවැන්ත මුදලකි. එමෙන්ම 2007 වසරේදී මේ අයුරින් භාණ්ඩාගාරයේ තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 14කි. (142,682,245.00) කි. එම වසරේදි ලොතරැයි ත්‍යාගය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් 2944,926,273.00 කි. මුල් කාලයේ දී රාජසන්තක වූ මුදල් ප්‍රමාණය විශාල වූවත් පසුකාලීනව එම ප්‍රමාණය විශාල වශයෙන් අඩුව තිබෙනු දක්නට ලැබේ. ස්මාට් ෆෝන් භාවිතයට පැමිණීමත් සමග රාජසන්තක වන ලොතරැයි ජයග්‍රාහි මුදල් බෙහෙවින් අඩු වී තිබේ.
මෙම ජයග්‍රාහි ටිකට්පත් සඳහා නඩුහබ ගිය අවස්ථාද ඇත. 2013 වසරේදී තෙලිකඩ පොලිස් වසමේ මාජුවාන ප්‍රදේශයේදී රුපියල් දසලක්ෂයක පළමුවැනි දිනුම ඇදුණු ලොතරැයි ටිකට් පතට අදාළ මුදල් ගෙවීම නතර කරන ලෙස, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යවන ලෙස බද්දේගම වැඩ බලන මහේස්ත්‍රාත් තිලක් කාරියවසම් මහතා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරන ලදී. දිනුම් අදින ලද ලොතරැයියේ ප්‍රථම දිනුම ඇදුණු අංක 428565 දරන ටිකට්පත තමා මිලදී ගෙන ඇති බැවින් ඊට අදාළ මුදල තමාට ගෙවන ලෙස බද්දේගම ලංකා බැංකුවෙන් ඉල්ලීමක් කර ඇති බවට ලැබුණු තොරතුරක් නිසා නීතිඥ වීරසිරි ඩයස් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය කරන ලදී.
නඩුවේ කටයුතු අවසන් වෙන තුරු ටිකට්පතේ මුදල නොගෙවන ලෙස එයින් දන්වනු ලැබේ. මෙම ලොතරැයි ටිකට්පත පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකාර දීනමුල්ල කංකානම්ගේ රෝහණ නමැත්තා, බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ දී පැමිණිලිකාර රාමක්‍රිෂ්ණගේ මාෂිලාමනි නමැත්තා විසින් හඳුනා ගන්නා ලදී.
දැන් මේ කෝටි 47 ක දිනුම හිමි තැනැත්තා මෙම ලොතරැයි පත ආරක්‍ෂා කර ගැනීම ද ලේසි පහසු කටයුත්තක් නොවේ. කෝටි 4ක දිනුම් ඇදණ ටිකට්පතක් සාක්කුවෙන් උදුරාගෙන ගිය නඩුවක් විභාග කරන ලද්දේ මොරටුවේ දීය.
ලොතරැයි වංචා ඉතිහාසය 18 වැනි ශත වර්ශය තෙක් දිවයන්නෙකි. පීප්පයකට අංක තහඩු දමා හැඬලයක් මගින් එකල කරකැවූ අතර එහි ක්‍රියාකරුට අල්ලස් දීමට යාම් එකල වාර්තා වුණත් ඔවුනට දඬුවම් කිරීමට ලොතරැයි පනතේ එම යුගයේ ප්‍රතිපාදන නොවීය.
මහජන සම්පත ලොතරැයියේ 1544 දිනුම් වාරයේ රුපියල් හාර කෝටි විසි අට ලක්ෂයේ ජය මල්ල හිමි වූ ජයග්‍රාහී ටිකට් පත, එහි අයිතිකරුගේ සාක්කුවේ තිබියදී උදුරාගෙන පලායෑමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු රිමාන්ඩ්භාරයේ තබන මෙන් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත්/දිසා විනිසුරු එම්.එන්. බුරාන් ඒ අවස්ථාවේ නියෝග කරන ලදී.
ඉහත කී ජයමල්ල හිමි අංක M 839937 මහජන සම්පත ටිකට්පත තම සාක්කුවේ තිබියදී සැකකරු විසින් උදුරා ගනු ලැබූ බවට මොරටුව කුඩාවාමුල්ල පාරේ පදිංචි එම්. රත්නසිරි ප්‍රනාන්දු නමැත්තකු විසින් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ මොරටුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. පැමිණිලිකරු අදාළ ටිකට් පත කටුබැද්දේ මල්ලිකා හෝටලය අසලදී මිලයට ගෙන ඇතැයි ඔහු මොරටුව පොලිසියට කළ පැමිණිල්ලෙන් ප්‍රකාශ කොට තිබුණි.
ඉන් අනතුරුව එය සාක්කුවේ දාගත් පැමිණිලිකරු පසු දින කටුබැද්දේ පිහිටි ‘රේස් බයිරේස්’ ආයතනයට ගිය අවස්ථාවේ දී එහි පැමිණ සිටි වියපත් පුද්ගලයෙකු සතුව ජයග්‍රාහී ටිකට්පතේ අංක තිබූ බවත්, එහිදී සසඳා බලන විට තම ටිකට් පත ජයග්‍රහණය කර තිබූ බැවින් එහි පිටුපස නම ලියා නැවත සාක්කුවේ දමා ගෙන සිටි බව ඉන් පසු අනාවරණය විය.
මේ අවස්ථාවේදී එහි සිටි සැකකරු පැමිණිලිකරුගේ සාක්කුවට අත දමා ටිකට් පත රැගෙන පලා ගිය බව පැමිණිලිකරු අධිකරණයේ දී කරුණු දක්වන ලදී.
මේ අනුව කෝටි 47 ක ජයග්‍රාහී ටිකට් පතට මුදල් ලබාගන්නා තුරු සුරැකිව තබා ගැනීමද ලේසි පහසු කටයුත්තක් නොවනු ඇත.
මහින්ද රණවීර