වසර 44 කට පෙර එනම් 1981 මැයි 31 වැනිදා සහ ජුනි 01 වැනිදා අතර මධ්‍යම රාත්‍රියේ දී යාපනය පුස්තකාලය ගිනිතබා විනාශ කරන ලදී. පුද්ගලයන් කීප දෙනෙකුගේ සහ ආයතන කීපයක අඩ සියවසක කැපවීම සහ වෙහෙස මහන්සිය තුළින් ගොඩනැඟුණු දැනුම් ගබඩාව විනාශකාරී කිහිප දෙනෙකුගේ ඉලක්කයක් බවට පත්විය. මෙම පාඩුව සිදු වූයේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටත්, අධ්‍යයන කටයුතුවල යෙදෙන මුළුමහත් ජාත්‍යන්තර ප්රජාවටත්ය.
ගිය සතියේ පළමු වැනි දින පුස්තකාලය ගිනිතබා විනාශ කිරීමේ 44 වන සංවත්සරය සැමරීම - යාපනය පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වුණි. එයට වර්තමාන ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය වන අනුෂියා සිවකරන් මෙන්ම යාපනය නගර සභාවේ නගරාධිපති වන ක්‍රිෂ් නේන්ද්රන් සහභාගි වූහ.
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයට තරග කළේ වෙනම රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාවගෙන් ජනවරමක් ලබාගැනීම සඳහා වුවත් - 1982 වන විට රාජ්‍ය පාලනයේ දෙවැනි මට්ටමක් සඳහා යෝජනා වී තිබූ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය භාර ගැනීමට ඔවුන් එකඟ වී තිබුණි. දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් සඳහා ආණ්ඩුව හා දෙමළ නායකයන් අතර කෙරුණු සාකච්ඡාවල අතරමැදියා ලෙස ක්‍රියාකර තිබුණේ චෙල්වනායගම් ගේ බෑනා වූ මහාචාර්ය ඒ.ජේ. විල්සන් ය. මෙම එකඟතාව සිදුව තිබුණේ දිස්ත්‍රික් සංවර්ධන සභා පනතට පක්ෂව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් එක් නොවිය යුතු බවට දෙමළ ඊළමක් සඳහා කෙරෙන සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි කල්ලිවලින් එල්ලවෙමින් තිබූ විරෝධය ද නොසලකා ය.
එහිදී සිදු වූ ඉතාමත්ම අවාසනාවන්ත දේ ලෙස සැලකිය හැක්කේ සන්නද්ධ කල්ලිවලින් එල්ල වන බලපෑම් නොසලකා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් සඳහා එකඟ වී සිටියදී යාපනයේ සංවර්ධන සභා ඡන්දය ඔවුන්ට දිනාගන්නට ඉඩහැර ඊට තරග කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට එම සංවර්ධන සභාවේ බලය ලබාගැනීමේ අරමුණ ඇතිව ආණ්ඩුව ද ඒ සඳහා තරග කරන තැනකට තල්ලුවීමය.
ආණ්ඩු පක්ෂය එම මැතිවරණයේ තරගකරුවකු බවට පත්වීම නිසා ත්‍රස්තවාදී කල්ලිවලට එම මැතිවරණයේදී සිය ක්‍රියාකාරකම් උපරිම තත්ත්වයකට ගෙන ඒමේ පුළුවන්කම ලැබුණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අවසාන ප්රචාරක රැලිය පැවති ස්ථානයේ රාජකාරි කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කිරීම නිසා යාපනය ගිනිගන්නා තත්ත්වයක් ඇතිවිය. පසුව ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඉවක් බවක් නැතිව කඩ සාප්පුවලට ගිනි තැබිණි. එදා රාත්‍රී නගරයේ සිදු වූ ගිනි තැබීම් අතුරින් යාපනේ පුස්තකාලයට ගිනිතැබීම එහි සිදු වූ ලොකුම ගිනි තැබීම ලෙස සැලකිය හැකිය. ලොවෙහිම පැතිරුණු කීර්තියක් හිමිව තිබූ මෙම පුස්තකාලයේ ඉතිහාසය විමසා බැලීම මේ මොහොතේ වැදගත් වේ.
- යාපනය පුස්තකාලයේ ඉතිහාසය
යාපනය ප්‍රදේශයේ විසූ කේ. එම්. චෙල්ලප්පා නම් සමාජ හිතකාමියෙකු විසින් තම දැනුම අන් අය සමග බෙදා හදා ගැනීමේ අභිලාසයෙන් වසර 1933 දී සිය නිවසේ නොමිලේ පවත්වාගෙන යන පුස්තකාලයක් ආරම්භ කරන ලදී. එය ආරම්භ කරන විට ඔහු සතුව තිබුණේ පුවත්පත් සහ සඟරා ස්වල්පයක් පමණි. චෙල්ලප්පා ගේ අදහස අගය කරමින් දැනුම් පිපාසයෙන් පෙළුණු පොත්ලෝලීන් පිරිසක් එක්ව 1934 ජුනි මස 09 වැනිදා රැස් වී පුස්තකාලයක් පිහිටුවා ගැනීම සඳහා කමිටුවක් පත්කර ගත්හ. මෙහි සභාපති ධුරය සඳහා එවකට යාපනය මහාධිකරණ විනිසුරු අයිසැක් තම්බයියා තේරී පත් වූ අතර කේ. එම්. චෙල්ලප්පා ලේකම් ධුරයට පත්වූයේය.
මෙම කමිටුවේ උත්සාහය මත 1934 අගෝස්තු 01 වැනිදා යාපනය රෝහල් වීදියේ විදුලි බල ස්ථානය ඉදිරිපිට කුලියට ගත් කුඩා කාමරයක පුස්තකාලයක් විවෘත කෙරිණි. ආරම්භයේදී මෙම පුස්තකාලයෙහි තිබුණේ පොත් 844 ක් සහ පුවත්පත් සඟරා 30 ක පමණ ප්‍රමාණයක් වුවත්, දැනුම පිපාසයෙන් පෙළුණු තරුණ හා මහලු නගරවාසීන්ගේ අනුග්‍රහය මෙයට ලැබිණි. උදේ 8 ට විවෘත කළ එය සවස 7.30 ට වසන ලදී. අවුරුද්දක කාලයක් යාපනය පුස්තකාල සංගමය විසින් නඩත්තු කරන ලදුව පුස්තකාලයේ පොත් සංඛ්‍යාව වැඩිවත්ව වැඩි ඉඩකඩක අවශ්‍යතාව මතුවූයෙන් 1934 දෙසැම්බර් 20 දින පවත්වන ලද කමිටු සාකච්ඡාවක තීරණයක් මත 1935 ජනවාරි 01 දින සිට යාපනය ප්‍රධාන වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක් කරා එය ගෙන යන ලද අතර, පුස්තකාලයේ පාලනයද යාපනය නගර සංවර්ධන සභාව වෙත පැවරුණි. එහි පළමු වන පුස්තකාලයාධිපතිගේ නම සී.එස්. රාජරත්නම්ය. එහිදී රුපියල් 3 ක් වන සාමාජික ගාස්තුවකට පොත් බැහැරදීම ආරම්භ විය.
පුස්තකාලයේ ජනප්‍රියත්වය කෙතරම් වීද යත්, සියලු නවීන පහසුකම්වලින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතුවිය. 1950 දශකය වන විට යාපනය පුස්තකාලයට දරාගත නොහැකි තරමේ පාඨකයෝ විශාල පිරිසක් සිටියහ. ස්ථිර එසේම අංගසම්පූර්ණ දැවැන්ත පුස්තකාලයක අඩුව තදින්ම දැනෙන්නට විය. ඒ අනුව නව පුස්තකාලයක් ගොඩනැගීම සඳහා අරමුදල් සපයාගැනීම පිළිබඳව සෙවීමට යාපනයේ පළමු පුරපතිවරයා වූ සෑම් සභාපති ගේ ප්‍රධානත්වයෙන් සමුළුවක් පැවැත්වුණි. මේ සඳහා ඉන්දීය කලා ශිල්පීන් යොදාගෙන නැටුම් හා සංගීත සංදර්ශන පැවැත්වීම, සැණකෙළියක් පැවැත්වීම, ලොතරැයි විකිණීම වැනි දේ යෝජනා වූ අතර - මෙයින් සංවිධායකයන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි මුදලක් එක්රැස් විය. 1953 වසරේදී පුස්තකාල කමිටුවක් පත්කර ගැනුණි.
පුස්තකාලය ගොඩනැගීම සඳහා පුස්තකාල කමිටුව වෙතින් ආරාධනා ලැබූ විද්වතුන් අතර මදුරාසියේ සිට ලංකාවට පැමිණි ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ කේ. එස්. නරසිම්මන් මෙන්ම පුස්තකාල විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය එස්. ආර්. රංගනාදන් ද විය. පුස්තකාල ගොඩනැගිල්ල නිර්මාණය කළේ ගෘහ නිර්මාණ ශිල්පී කේ. එස්. නරසිම්මන්ය. ඔහු සුප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෙෆ්රි බාවා ගේ හිතවතෙකි. ඔහු ජෙෆ්රි බාවා සමග හවුලේ කොළඹ මෙන්ම මදුරාසියේද ගොඩනැගිලි කිහිපයක් සැලසුම්කර තිබිණි. 1959 දී යාපනය පුස්තකාලයේ විශේෂ පුස්තක භාරකරු ලෙස කටයුතු කළේ ඉන්දියාවේ සිට පැමිණි ප්‍රවීණ ගණිතඥයෙකු සහ පුස්තකාලයාධිපතිවරයෙකු වූ මහාචාර්ය එස්. ආර්. රංගනාදන්ය. ඔහු කෙතරම් අද්විතීය මිනිසෙකුද යත් ඉන්දියාව තම රටේ ජාතික පුස්තකාල දිනය ලෙස සමරන්නේ ඔහුගේ උපන්දිනයයි.
අංගසම්පූර්ණ සැලැස්මක් නිර්මාණය කෙරුණු අතර ඉදිරි හා පසුපස කොටස් අදියර දෙකකට ඉදිකිරීමට යෝජනා විය. මුළු දිවයිනෙන්ම හා ඉන්දියාවේ ද සිට පැමිණි අධ්‍යාපනඥයින් හා සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වය ඇතිව 1954 මාර්තු 29 වන දින මුල්ගල තැබුණි. පළමු අදියරේ ඉදිකිරීම් අවසන් වී 1959 ඔක්තෝබර් 11 වැනි දින යාපනය නගරාධිපති වූ ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. 1967 නොවැම්බර් 03 දින ළමා අංශයක් විවෘත විය. 1971 වසරේ දේශන, සම්මන්ත්රණ, සාහිත්‍ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා බිම් මහලේ ශ්‍රවණාගාරයක් විවෘත විය.
1977 දී යාපනයේ තිබූ කුඩා පුස්තකාලය වසා දැමීමත් සමග එහි සංරක්ෂණය වූ තවත් පොත් රාශියක් යාපනය මහජන පුස්තකාලය සතුවිය. එදා යාපනය පුස්තකාලය ආරම්භ වන විටම අනික් පසින් වර්ගවාදය ආරම්භ විය. පුස්තකාලය වර්ධනය වූ වේගයටම වර්ගවාදයද වැඩෙන්නට විය. යාපනය පුස්තකාලය වැඩුණේ රාජ්‍ය භාෂා පනත, විශ්වවිද්‍යාල ප්රමිතිකරණය 1972, 1978 ව්‍යවස්ථා ඔස්සේ වර්ගවාදය වර්ධනය වූ දේශපාලන පසුබිමකය.
- යාපනය පුස්තකාලය ගිනි තැබීම
1981 මැයි 31 වැනිදා ඉරිදා දිනයකි. මේ කාලයේදී මෙරට තිබූ වඩාත් ජනප්‍රිය දෙමළ පක්ෂය අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණය. යාපනය සංවර්ධන සභා ඡන්දය නිමිත්තෙන් එම පක්ෂයේ රැලියක් යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී හටගත් වෙඩි තැබීමකදී සිංහල පොලිස් නිලධාරිහු දෙදෙනෙක් මියගියහ. එම රැය ඉතා නපුරු රැයකි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය කාර්යාලයට මැරයන් විසින් එදින රාත්‍රියේ ගිනි තබන ලදී. ගෙවල්වල සිටි දෙමළ මිනිස්සු හතර දෙනෙකු එළියට ඇද මරන ලදී. යාපනය මන්ත්‍රී වී. යෝගේෂ්වරන්ගේ නිවෙසට පහර දී විනාශ කරන ලදී. පුස්තකාලයට ගිනි තබන ලද්දේ ඉන් පසුවය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ රැලියේදී සිංහල පොලිස් නිලධාරීන් මැරීමේ පළිය ගැනීමට පොලිසිය හා මැරයන් එකතුව මේ අපරාධය කළ බව යාපනය වැසියෝද, වාමාංශික ක්රියාකාරකයෝද කල්පනා කළහ.
පුස්තකාලය ගිනි ගන්නා විට ඒ බව දුරකථන මාර්ගයෙන් යාපනය නාගරික කොමසාරිස් ඩී. වී. කේ. සිවඥානම්ට දැනුම් දී තිබුණි. ඔහු ඒ වේලාවේදී නින්දේ සිටි බවත්, වහාම යාපනය නගර ශාලාවේ සිටි රාත්‍රී මුරකරුවන්ට දුරකථන ඇමතුමක් දී ආරංචියේ නිරවද්‍යතාව තහවුරු කරගෙන යාපනය ගිනි නිවන හමුදාවට කතාකර ගිනි නිවන රථ සහ කම්කරුවන් හයදෙනෙක් එහි යැවූ බවත්, දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පොලිස් කඳවුරේ සිටි පිරිසක් පුස්තකාලයට ගිනි තැබූ බව ඔහුට ආරංචි වූ බවත්, පසුව පොලිසියට දුන් කට උත්තරයේදී ඔහු සඳහන් කළේය.
යාපනය පුස්තකාලය ආසියාවේ තිබූ හොඳම පුස්තකාලවලින් එකකි. ලන්ඩන් පුස්තකාලයේ තිබෙන පුස්තකාල පොත් එකතුව හැරුණු විට ඊළඟට හොඳම පුස්තකාල පොත් එකතුව යාපනය පුස්තකාලය සතු විය. ඒ සියල්ලම අළු විය. යාපනය පුස්තකාලයට ගිනි තබන විට එහි තිබූ වටිනා පොත් සංඛ්‍යාව 97,000 කි. ගිනි තැබීමෙන් ගොඩනැගිල්ලට සිදු වූ හානිය රුපියල් ලක්ෂ 12 ක් බව නගර සභා කොමසාරිස් සිවඥානම් පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් විය.
තවද මෙහි අතුරු කතාවක් ද තිබේ. ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා යාපනයෙන් බිහිවූ භාෂා පඬිවරයෙකි. ඉන්දු ආර්ය භාෂා සහ පොදුවේ භාෂා නිරුක්තිකය පිළිබඳ සුවිශේෂ ප්‍රාමාණිකයා වූ ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛණ්ඩව යාපනය පොත්ගුල කේන්ද්‍ර කරගනිමින් භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණේ ය.
1947-51 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කරන වකවානුවල ඇරුණු කල ඔහු 1936 සිට ඉගැන්වීම් කටයුතු කළේ තමන් ද ආදි ශිෂ්‍යයෙකු වූ යාපනය සාන්ත පැට්රික් විදුහලේ ය. එය යාපනය පුස්කාලය ඒ අසල තිබීම ඔහුගේ අඛණ්ඩ භාෂා අධ්‍යනයන්ට මහත් පහසුවක් සහ පිටිවහලක් විය.
1981 මැයි 31වැනිදා රාත්‍රියේ යාපනයේ කීර්තිමත් පුස්තකාලය එහි තුළ වූ අනූ දහසකට අධික පත-පොත අත්පිටපත්, පුස්කොළ පොත් සමග ගිනිබත් කළ සිද්ධියෙන් අතිශය කම්පාවට පත්වූ ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා හෘදයාබාධයක් සෑදී ජූනි පළමු දා රාත්‍රියේ සිය කුටියේ නිදියහනෙහිම මියගියේය.
- විනාශයට ලක් වූ කෘතීන්
දෙමළ කවියෙකු වූ මයිල්වාගනම් පුලවර් ලියූ ’යාල්පාන වෛපමාලෙයි’ නමැති පොතෙහි අත්පිටපතද , යාපනය ගොවිතැන් කටයුතු සඳහා ඕලන්ද පාලකයන් විසින් තමිල්නාඩුවේ සිට ගෙන්වන ලද ’ වන්නියාර්’ නමැති ප්‍රජාවගේ ඉතිහාසය ඇතුළත් ලේඛනවල මුල් පිටපත්ද, රොබට් නොක්ස් විසින් ලියන ලද ’එදා හෙළ දිව’ ඉංග්‍රීසි පොතේ මුල් පිටපතද, පිලිප් බැල්දියස් විසින් 1700 දශකයේ ශ්‍රී ලංකාව ගැන ලියන ලද මුල් පිටපතද, 1686 දී මුද්‍රිත බයිබල් පිටපත ඇතුළු පැරණි ග්රන්ථ විශාල සංඛ්‍යාවක්ද, මීට අමතරව වසර සිය ගණනක් පැරණි පුස්කොල පොත්, ආයුර්වේද වෙදකම, පැරණි මන්ත්‍ර, සාහිත්‍ය, ඉතිහාසය ආදී වැදගත් කරුණු පිළිබඳව ලියවී ඇති පොත්ද, කොළඹ 07 පදිංචිව සිටි එකල කීර්තිමත් නීතිඥයෙකු වූ බාලකුමාර් කුලසිංහම් විසින් යාපනය පුස්තකාලය වෙත පරිත්‍යාග කරන ලද පොත්ද, පිලිස්සී විනාශයට පත්විය. ශ්‍රී ලංකා පුරාවිද්‍යා වංශ කථාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ පෞද්ගලික පුස්තකාලයේ පොත්වල නවාතැන වූයේද, යාපනය පුස්තකාලයයි. මේ ඓතිහාසික වැදගත්කමින් යුත් මිල කළ නොහැකි ලේඛන පොත් පත් සියල්ලම විනාශ වී ගියේය.
- යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය
මේ මහත් ව්‍යසනයෙන් පසු යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීමට නගර සභාව තීරණය කළේය. ඒ අනුව ඉංජිනේරුවන්ගෙන් අදහස් විමසා සිටි අතර ගොඩනැගිල්ලේ ශක්තිය ගැන විශ්වාසයක් නොතිබුණු නිසා ඉංජිනේරුවරු එම අදහසට එරෙහි වූහ. ඉන්පසු නගර සභාව තීරණය කළේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරඹීමටය.
පළමු අදියරේ වූ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ එලෙසින්ම පවත්වාගැනීමට තීරණය විය. ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 11 ක් පමණ විය. අරමුදල් රැස්කිරීමේ හා පොත් එකතු කිරීමේ ව්‍යාපාරයක් කොළඹ දී පැවැත්වීමට නගර සභාව තීරණය කළේය. ඒ අනුව මේ සඳහා පත්කරන ලද කමිටුව විසින් 1982 මැයි මස 15 දින සිට 21 දින දක්වා ’යාපනය මහජන පුස්තකාල සතිය’ හා මැයි 21 ‘කොඩි දිනයක්’ ද පැවැත්වීමට තීරණය කරන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය විසින් දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙන ලදී. පළමු දිනයේ පැයක් ඇතුළත රුපියල් 90,000 ක මුදලක් එකතු විය. ව්‍යාපාරිකයෝ, සමාජ සේවා සංවිධාන, ආගමික සංවිධාන, මහජන නියෝජිතයෝ පැමිණ දහස් ගණන් වටිනා මුදල් හා පොත් පරිත්‍යාග කළහ.
එකතු වූ අරමුදල් යොදාගෙන දෙවන අදියරේ ඉදිකිරීම් 1982 ජුනි මාසයේ ආරම්භ විය. ඉදිකිරීම් අවසන් වූ නව ගොඩනැගිල්ල 1984 ජූනි 04 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් විසින් විවෘත කරනු ලැබීය. එය කොටුවට සහ මනිපාර් කෝවිලට මුහුණලා ඉදිකර තිබිණි.
1985 වසරේදී යාපනය යුද බියෙන් ත්‍රස්තව ගියේය. අලුත් පුස්තකාලය වටා රාජ්‍ය හමුදා සහ එල්.ටී.ටී.ඊ. කොටි ත්රස්තවාදීන් වෙඩිතබා ගත්හ. බියපත් මිනිස්සු අලුත් පුස්තකාල ගොඩනැගිල්ලේ පදිංචි වූහ. වහා ක්‍රියාත්මක වූ යාපනය නගර සභාව පුස්තකාලයේ තිබූ සියලු පොත්පත් නාවලර් හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයට රැගෙන ගියේය. ෂෙල් වෙඩි හා රොකට් වෙඩි වරුසා නිසා අලුත් පුස්තකාලය සිදුරු විය. අවසානයේ යාපනය පුස්තකාලය නැවත වරක් විනාශ වී නටබුන් විය.
පසුකලෙක යුද්ධයෙන් හතිවැටුණු යුගයක නැවත වතාවක් යාපනය පුස්තකාලය යළි ගොඩනැගීම ආරම්භ විය. ඒ 1998 දීය. ඇතැම්විට ඒ වන විට අවුරුදු ගණනාවක් පුරා පසුකරමින් තිබූ යුද්ධයේ වේදනාවන් විසින් නැවතත් යාපනය පුස්තකාලය ගැන සිතන්නට මග පෑදුවා විය හැකිය. 2002 වසරේ ජනවාරි මාසය වන විට පුස්තකාලය සාදා නිමකරනු ලැබිණි. මෙය අළු මතින් නැගී සිටි ගොඩනැගිල්ලකි. එක් වරක් නොව දෙවරක්ම විනාශ වූ පුස්තකාලයකි.
- පුස්තකාලයේ වර්තමානය
අලුතින් ප්‍රතිසංස්කරණය වූ පුස්තකාලය අද වෙන විට පොත් 150,000 ක් ඉක්මවා දරාගෙන සිටී. දේශීය බුද්ධිමතුන් පමණක් නොව විදේශීය ලේඛකයෝ, විශ්ලේෂකයන්, පර්යේෂකයෝ, චිත්‍රපට අධ්‍යක්ෂකවරු දැනුම් පිපාසාව සංසිඳවා ගැනීමට පුස්තකාලය වෙත පිය මනිති. යාපනය මහනගර සභාව මගින් යාපනය මහජන පුස්තකාලය පාලනය වන අතර පාඨකයෝ 17,000 ක් පමණ වර්තමානයේ පුස්තකාල සාමාජිකත්වය ලැබ සිටිති. තරුණ ඉගෙනුම් මධ්‍යස්ථානය, ඉංග්‍රීසි ඉගෙනුම් කලාපය හා නැවත බාර දෙන පොරොන්දුව මත පොත් ලබා දෙන අංශය ලෙසින් පුස්තකාලය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය. පොත්පත්වලට අමතරව පුවත්පත් අංශයක්ද, වෙනමම ස්ථාපිත කර ඇති අතර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් දිනපතා එහි කියවීම සඳහා තබනු ලැබේ. පාඨකයන්ගෙන් නිතරම පිරී පවතින යාපනය පුස්තකාලයට රජයෙන් මෙන්ම, විදෙස් තානාපති කාර්යාලවලින් ද බොහෝ ආධාර ලැබී තිබේ. යාපනය පුස්තකාලය යාපනයේ හදවත ය. ඒ කෙසේ වෙතත්, යාපනය පුස්තකාලයට ඇති පිළිගැනීම එදා මෙන්ම අදටත් එලෙසම පවතී.
විශේෂ ස්තූතිය - යාපනය පුස්තකාල නිලධාරි ජෝර්ජ් ජෙස්ටින් වෙතට
එම්. තාරික්