බොරලු පාර පොලීසියේ ස්ථාන භාර නිලධාරි වෙන්දකඩුව සිය රාජකාරිය අකුරටම ඉටු කරන නිලධාරියෙකි. ඔහු දේශපාලන බලය හමුවේ සිය ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. කිසිවෙකු වැරැද්දක් කළ විට ඒ සිය පවුලේ අයෙක් ද, ඇමතිවරයෙක් ද, වෙනත් බලපුළුවන් කාරයෙක්දැයි වෙනසක් ඔහුට නොවීය. ඔහු නිර්දය ලෙස ඔවුන්ට දඬුවම් දුන්නේය. ඒ හේතුවෙන් ජීවිත තර්ජන පවා එල්ල වුවත් ඔහු නොසැලී සිටියේය.
වෙන්දකඩුවගේ බිරිඳ ඔහුත් දියණියත් අත් හැර දමා වෙන පිරිමියෙකු වෙත යන්නීය. අම්මා නැති දියණිය නැන්දම්මාගේ උදව් උපකාර ඇතිව හදා වඩා ගන්නට ඔහු දරන්නේ ලොකු උත්සාහයකි.
මේ ආදර්ශවත් පොලිස් නිලධාරියා සිටියේ 2012 වර්ෂයේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ බොරලු පාර ටෙලි නාට්‍යයේය. රසික සුරවීර ආරච්චිගේ තිර රචනයක් වූ බොරලු පාර අධ්‍යක්ෂණය කළේ ජනක සුරංජිත්ය. මෙහි රඟ පෑවේ ජගත් මනුවර්ණ, ජයලාල් රෝහණ, සුමින්ද සිරිසේන, අවන්ති අපොන්සු, මාධනී මල්වත්ත ඇතුළු පිරිසකි. තිසුරි යුවනිකා වෙන්දකඩුවගේ දියණියගේ චරිතය රඟ පෑවාය.
“ඒ කාලෙ වෙන්දකඩුව චරිතය හරි ජනප්‍රියයි.. හැමෝම ඒ ගැන ප්රශංසාත්මකව කතා කළා.. ඒකේ ආදර්ශවත් බව ගැන හාමුදුරුවරු බණටත් කිව්වා.. ඒ විතරක් නෙමෙයි සමහර පොලිස් නිලධාරීන් පවා කතා කරලා ඇහැව්වා මේ වගේ වැඩ කරනකොට වැඩ තහනම් වෙන්නෙ නැද්ද කියලා.. මම කිව්වා තහනම් වෙලා එයාට ජීවත් වීමේ මාර්ගයක් නැති හින්දා ත්‍රී වීලර් එළවන්නත් වෙනවා කියලා.... ඇත්තටම ඒ කාලෙ පොලිස් දෙපාර්තමේන්තුවටත් වෙන්දකඩුව මාතෘකාවක් වුණා..”
වෙන්දකඩුව චරිතය රඟ පෑ වසන්ත කුමාරසිරි පැවසුවේ සිනාසෙමිනි.
ඒ අවධියේ පැවති සම්මාන උළෙල කිහිපයකම හොඳම නළුවා සම්මානයට ඔහු නිර්දේශ වූයේය. එහෙත් සම්මානය ලැබුණේ රාජ්‍ය සම්මාන උළෙලේ පමණකි.
මෙහි රූගත කිරීම් කෙරුණේ දිගන වික්ටෝරියා ජලාශය ප්රදේශයේය. කොටස් පනහක් රූගත කර අවසන් වූ විට එහි රඟ පෑ සුමින්ද සිරිසේන අසනීප වූයේය. ඒ හේතුවෙන් දින ගණනාවක් රූගත කිරීම් නවත්වන්නට ද සිදු විණි.
“සුමින්ද අයියා රඟ පෑව අන්තිම ටෙලි නාට්‍යය තමයි බොරලු පාර.. එයා පැරලයිස් වෙලා ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර ගෙනිච්චට පස්සෙ එයාගෙ ගම්පහ ගෙදර හොස්පිට්ල් එකක් වගේ හදලා ඒකෙ තමයි ෂූටින් කළේ.. මට අදටත් එයා මතක් වෙනකොට දැනෙන්නෙ ලොකු දුකක්.. අපි හැමෝම එක පවුලේ අය වගේ තමයි ටෙලි නාට්‍යය වෙනුවෙන් කැප වුණේ..” වසන්ත පැවසුවේය.
ජයලාල් රෝහණ ද ඔහුට අමතක නොවන චරිතයකි.
“ජයලාල් ඒකේ රඟ පෑවේ ඇමතිවරයෙක් විදියට.. එයාගෙ ගෝලයා තමයි ජෙහාන් අප්පුහාමි.. එක දර්ශනයක් තිබුණා ඇමතිවරයා ගෝලයගෙ කම්මුලට ගහනවා.. පෙර පුහුණුවේදී ජයලාල් ඒක රඟ පෑවා විතරයි.. ඒත් දර්ශනය ගන්නකොට ඇත්තටම කනට ගැහුවා.. ඒ පාර කොච්චර සැර ද කියනවා නම් ජෙහාන් අප්පුහාමිට හොඳටම අමාරු වුණා.. ෂූටින් නවත්තලා ඉස්පිරිතාලේ අරන් යන්න සිද්ද වුණා.. ජයලාල් හුඟාක් දුක් වුණා විතරක් නෙමෙයි රෑ දොළහ විතර වෙනකම් ලෙඩා ළඟ හිටියා.. වාසනාවට ලොකු හානියක් වෙලා තිබුණෙ නෑ.. පහුවදා ආයෙමත් ෂූටින් පටන් ගන්න පුළුවන් වුණා..” ඔහු කීවේය.
හරිම හපන්නු ටෙලි නාට්‍යයේත් ඔහු රඟ පෑවේද් පොලිස් නිලධාරි චරිතයකි. එම නිසා ඒ චරිතයත් ඔහුට අමතක නොවන චරිත අතර තිබෙන්නේය.
මේ ආදර්ශවත් පොලිස් නිලධාරියා සිටියේ 2012 වර්ෂයේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ බොරලු පාර ටෙලි නාට්‍යයේය. රසික සුරවීර ආරච්චිගේ තිර රචනයක් වූ බොරලු පාර අධ්‍යක්ෂණය කළේ ජනක සුරංජිත්ය. මෙහි රඟ පෑවේ ජගත් මනුවර්ණ, ජයලාල් රෝහණ, සුමින්ද සිරිසේන, අවන්ති අපොන්සු, මාධනී මල්වත්ත ඇතුළු පිරිසකි. තිසුරි යුවනිකා වෙන්දකඩුවගේ දියණියගේ චරිතය රඟ පෑවාය.
ආශාවරී ටෙලි නාට්‍යයේ මුදලාලිගේ චරිතය වෙනුවෙන් 2006 රයිගම් කුසලතා සම්මාන හිමි කර ගන්නට ඔහුට හැකි වූයේය.
පබා ටෙලිනාට්‍යයේ ඔහු රඟ පෑවේ ආමන්තගේ තාත්තා ලෙසිනි. පාතාලය හා සම්බන්ධකම් ඇති රෙජිනෝල්ඩ් නම් වූ එම චරිතයටත් වසන්ත කුමාරසිරි බොහෝ ප්‍රිය කරන්නේය.
“මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම නාට්‍ය, චිත්‍රපටි බලන්න හරි ආසයි.. කවදා හරි දවසක රඟ පෑමේ ආශාවක් මට තිබුණා.. ඒත් මම ඒ ආශාව යටපත් කරගෙන ව්‍යාපාරික කටයුතුවල යෙදුණා.. ව්‍යාපාරය සාර්ථක වුණාට පස්සෙ තමයි ආයෙමත් ඒ ආශාවට හිත යොමු කෙරුවේ.. මේ වෙනකොට මම ටෙලි නාට්‍ය සීයකට අධික සංඛ්‍යාවක රඟ පාලා තියෙනවා..”
වසන්ත කුමාරසිරි පැවසුවේය.
සුනිමල් මහත්තයා ලෙස ඔහු කෝපි කඩේ ටෙලි නාට්‍යයට එක් වූයේ හයසිය වෙනි කථාංගයෙනි. මේ වන විට වාර එක්දහස් පන්සියයක් එම චරිතය රඟ පා තිබේ. චිත්‍රපටි දහයක පමණත් ඔහු රඟ පෑවේය. ‘ධර්ම යුද්ධය’, සතියකට රට මට බාර දෙන්න ඒ අතර ඇත.
වසන්ත කුමාරසිරි නළුවෙකු පමණක් නොවේ. ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකි. ජීවිත මීවිත, බිඳෙන බැඳුම, පෙම් පියවර, දේදුනු යානය, ඔබ මගේ, ඉසුරු භවන, පබළු ඔහු නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යවලින් කීපයකි.
“මම ටික කාලෙකට නිෂ්පාදනය අත් හැරලා තියෙන්නෙ.. ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි දැන් මේ ක්ෂේත්රයේ පැවතෙන්න හරි අමාරුයි.. නිෂ්පාදන වියදම් අධිකයි.. ඒ වියදම් කලට වේලාවට පියවා ගන්න ඉඩ ලැබෙන්නෙ නෑ.. මං විතරක් නෙමෙයි හුඟක් දෙනෙකුට ඒ ගැටලුව තියෙනවා..” ඔහු කීවේය.
“එදයි අදයි ක්ෂේත්රයේ වෙනස ගැන හිතනකොට කලකිරීමක් දැනෙනවද..?” මම විමසීමි.
“අනේ නෑ.. මේ ක්ෂේත්රය විතරක් නෙමෙයි මුළු ලෝකෙම දවසින් දවස වෙනස් වෙනවා.. ඒ හොඳ අතට වෙන්නත් පුළුවන්.. නරක අතට වෙන්නත් පුළුවන්.. ඒවා ගැන කලකිරෙන්න නෙමෙයි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නයි ඕන.. අනිත් එක මම ඉතින් වෘත්තීය නළුවෙක් නෙමෙයිනෙ..”
ඔහු කීවේ සිනාවක් පාමිනි.
චන්දි කොඩිකාර