‘ස්පේස් එක්ස්’ මංගල ගගන සංචාරය සාර්ථකයි


 

ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක්ට අයත් ‘ස්පේස් එක්ස්‘ සමාගමේ මංගල ගගන සංචාරය සාර්ථකව අවසන් විය. ඒ, එම සංචාරයට එක් වුණු ඇමෙරිකන් සිවිල් වැසියන් සිවුදෙනා නිරුපද්‍රිතව පොළොවට පැමිණීමත් සමඟය. මෙය අභ්‍යවකාශ ගමන් බිමන් සම්බන්ධයෙන් සුවිශේෂී පරිච්ඡේදයක ආරම්භය විය. 

 
‘ස්පේස් එක්ස්‘ සමාගමේ මංගල ගගන සංචාරය නම් කර තිබුණේ ‘ඉන්ස්පිරේෂන් 4‘ යනුවෙනි. ඉයොන් මස්ක් සමඟ සාකච්ඡා කර, ‘ඉන්ස්පිරේෂන් 4‘ ගගන සංචාරයට සැලැසුම් කළේ 38 හැවිරිදි බිලියනපතියකු වන ජාරෙඩ් අයිසෙක්මන් ය. ඔහු ගමනට තවත් තිදෙනකු තෝරාගත් අතර 29 හැවිරිදි හෙයිලී ආසනෝව්, 42 හැවිරිදි ක්‍රිස් සෙම්බ්‍රොකී සහ 51 හැවිරිදි සියැන් ප්‍රොක්ටර් එම තිදෙනාය. ගමනේ සියලු‍ බර පැන දැරුවේ ද අයිසෙක්මන් විසිනි. ගමනේ අරමුණ වූයේ ටෙනිසි ජනපදයේ මෙම්පිස් නුවර ශාන්ත ජූඩ් ළමා පිළිකා රෝහල වෙනුවෙන් අරමුදල් එක් රැස් කිරීමය. එය ද සාර්ථක විය. ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කට වඩා වැඩි මුදලක් එක් රැස් කිරීම සිදුවිය.   


මාස කීපයක කෙටි පුහුණුවකින් පසු අයිසෙක්මන් ඇතුළු පිරිස පෘථිවි කක්ෂයේ කිලෝ මීටර් 590 ක් දුර ඉහළට රැගෙන ගියේ ස්පේස් එක්ස් ‘ඩ්‍රැගන්‘ කැප්සියුලයයි. මෙම කැප්සියුලය උඩු ගුවනට තල්ලු‍ කළේ ‘ෆෝල්කන්‘ නමැති ස්පේස් එක්ස් රොකට්ටුවය. පසුගිය 15 වැනිදා පෘථිවි කක්ෂයට ගිය කැප්සියුලය, යළි පෘථිවිය බලා පැමිණියේ 19 වැනිදාය. ආපසු ඒමට ‘ඩ්‍රැගන්‘ කැප්සියුලයේ ඇන්ජිම පණ ගැන්වුණු අතර, එය යළි පෘථිවි වායුගෝලයට පිවිස පහළට ඇදී ආවේ යෝධ පැරෂූට් ආධාරයෙනි. පෙර සැලසුම් කළ පරිදි, කැප්සියුලය ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණි. ඇමෙරිකන් නාවික හමුදාව කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය.   


‘ලයිව් සයන්ස්‘ ඇසුරිනි   

 

ලු‍සිත ජයමාන්න