​ලොව වැඩිම ආදායම් ලබන නිරූපිකාවෝ


විලාසිතා කියන කතා

 

මෝස්තර නිරූපණය වනාහි විවිධ පැතිකඩ ගණනාවකට විහිදුණු කර්මාන්තයකි. තරුණ බව, සුන්දරත්වය, බුද්ධිමත් බව, අත්දැකීම් පමණක් නොව වෘත්තීයභාවය යනාදී අංග පිළිගත් මෝස්තර නිරූපිකාවක වීමට අත්‍යවශ්‍ය අංග වේ. දැනට ලොව සිටින ප‍්‍රධාන පෙළේ මෝස්තර නිරූපිකාවෝ නොයෙක් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමට හා නොයෙක් වෙළෙඳ නාම හා නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමට අධික ගාස්තු අය කරති. දැනට ලෝකයේ සිටින වැඩිම ගාස්තුවක් අය කරන සුපිරි නිරූපිකාවෝ දස දෙනෙකුගේ ලැයිස්තුවක් පසුගිය වසරේදී සුප‍්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් නම් කරන ලදී. ඒ අනුව දැනට ලොව සිටින මිලාධිකම නිරූපිකාවන් දස දෙනා මෙසේය.   

01 කෙන්ඩල් ජෙනර්   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 22   


තවමත් අවුරුදු 22ක යුවතියක වන කෙන්ඩල් ජෙනර් ප‍්‍රසිද්ධ කාර්ඩෂියන් පවුලේ ළාබාල සාමාජිකාවකි. දැනට ලොව සිටින සුන්දරම, වැඩිම ඉල්ලුමක් ඇති සුපිරි නිරූපිකාවන් අතර ඇය ඉහළින්ම වැජඹෙන්නීය. ඇගේ ඉන්ස්ටග‍්‍රෑම් අනුගාමික සංඛ්‍යාව මිලියන 85ද ඉක්මවයි. එය මෙම ලැයිස්තුවේ සිටින අනෙකුත් නිරූපිකාවන්ගේ අනුගාමිකයන් ගණන හා සසඳා බලන විට දෙගුණයකටත් වැඩිය. රූපලාවන්‍ය නිපැයුම්, කාන්තා යට ඇඳුම් හා පාවහන් වර්ග ප‍්‍රවර්ධනය සඳහා ඇය ලොව සුප‍්‍රකට සමාගම් සමඟ කටයුතු කරන්නීය. කීපින් අප් විත් කාර්ඩෂියන් රූපවාහිනී රියැලිටි වැඩසටහන මෙන්ම සිය සොයුරිය කයිලි ජෙනර් සමඟ පවත්වාගෙන යන ඇඳුම් නිපැයුම් සමාගම නිසා නිරූපණය නොකර සිටියත් ඇයට මිලියන ගණන් ආදායම් ලැබේ.   


02 ජිසෙල් බන්චන්   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 17.5   


බ‍්‍රසීලියානු ජාතික ජිසෙල් විලාසිතා ලෝකයේ එතෙක් මෙතෙක් සිටි අති සාර්ථකම නිරූපණ ශිල්පිනියක ලෙස සැලකේ. 2015 වසරේදී විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ‍්‍රාම ගත් ජිසෙල්ගේ වයස අවුරුදු 40ට ආසන්නය. නමුත් සුවඳ විලවුන්, පාවහන් හා ඇගේ උපන් රට වන බ‍්‍රසීලයේ ආභරණ සමාගම් සමඟ පවතින ගිවිසුම් නිසා මිලියන ගණනින් මුදල් උපයන්නීය. දශක දෙකකටත් වඩා දිගු ඇගේ වෘත්තීය ජීවිතයේදී වෝග්, උ, එල් හා හාපර්ස් බසාර් වැනි විලාසිතා සඟරාවල කවරයේ ඡායාරූප 1200කටත් වඩා පෙනී සිට ඇත.   


ජිසෙල් ටයිම්, ෆෝබ්ස්, රෝලින් ස්ටෝන් වැනි ලොව සුප‍්‍රකට සඟරාවලත් පෙනී සිටියාය. ඇගේ වෘත්තීය ගමන් මග කොතෙක් සාර්ථක වීද යත්, ඇගේ සාර්ථකත්වය නිර්වචනය කිරීමට සුපිරි යන වචනය ප‍්‍රමාණවත් නොවී, සුපිරිවලටත් වඩා සුපිරි යන තේරුම ඇති උබර් මොඩල් යනුවෙන් යෙදුමක් පවා බිහිවිය. නීරෝගී හා වටකුරු සිරුරකින් මෙන්ම රන්පැහැ සමෙන් යුතු වූ ඈ 90 ගණන් හා 2000 ගණන්වල පැවති ඒකාකාරී විලාසිතා රාමු බිඳිමින් විලාසිතා ලෝකයට නව පෙනුමක් එකතු කළාය. ඇය වෘත්තීයත්වයෙන් ඉහළ, දැඩි කැපවීමකින් හා ප‍්‍රබෝධමත් බවකින් යුතුව කටයුතු කරන්නියක් බව ක්ෂේත‍්‍රයේ කවුරුත් දන්නා කරුණුය.   


ඇය පරිසරයට දැඩිව ආදරය කරන්නියකි. ඇගේ උපන් රටේ දේශීය ගස් වර්ග පවා සිටුවීමට කටයුතු කළ ඇගේ කැපවීම හා පරිසරය සබැඳි සංරක්ෂණ කටයුතුවලට දැක්වූ උනන්දුව නිසාම ඇය එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ තානාපතිවරියක වශයෙන්ද පත් කරනු ලැබුවාය. පරිසරය ආරක්ෂා කරගෙන ඉදිරි පරපුරට උරුම කරදීම සඳහා ඇය අදටත් කැප වී කටයුතු කරගෙන යන්නීය.   


03 ක‍්‍රිසී ටීගන්   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 13.5   


වොෂිංටනයේ සියැටල්හි පදිංචිකාරියක වන ක‍්‍රිසී ටීගන් 2014 දී ස්පෝට්ස් ඉලස්ටෙ‍්‍රටඩ් සඟරාවේ කවරය සඳහා නාන ඇඳුමෙන් සැරසී පෙනී සිටීමෙන් ඉතා ජනප‍්‍රිය වූවාය. ඇය පාන වර්ග සඳහා වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින ශිල්පිනියක වශයෙන්ද ජනප‍්‍රියය. කේශාලංකරණ දැන්වීම් නිර්මාණය කරන සමාගම් හා රූපලාවන්‍ය නිෂ්පාදන වෙනුවෙන්ද ඇය නිරන්තරව පෙනී සිටින්නීය. ඉන්ස්ටග‍්‍රෑම් හා ට්විටර් යන සමාජ මාධ්‍යවලද ඇය අතිශය ජනප‍්‍රිය තරුවකි. එපමණක් නොව, ක‍්‍රිසී 2015දී සිය ප‍්‍රියතම ආහාර වට්ටෝරු ඇතුළත් පොතක් සම්පාදනය කළ අතර එය වැඩි අලෙවියක් වාර්තා කළ සූප ශාස්ත‍්‍ර පොත් අතරටද එකතු වී තිබිණි. වෝග්, කොස්මොපොලිටන් වැනි සඟරාවල කවරයේ ඡායාරූප සඳහා ඇය පෙනී සිට ඇත. ක‍්‍රිසී පුංචි තිරයටද නැතිවම බැරි තරුවකි. ඇය විවාහ වී සිටින්නේ සම්මානනීය ගායක ජෝන් ලෙජන්ඩ් සමඟිනි. 2016 දී ඇය පළමු දරු ප‍්‍රසූතිය සිදු කළාය.   


04 ඇඩ්රියානා ලීමා   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 10.5   


බ‍්‍රසීල ජාතිකයෙකු වන ඇඩ්‍රියානා විලාසිතා ක්ෂේත‍්‍රයට එක් වූයේ 90 දශකයේ දීය. එදා පටන්ම මෝස්තර නිරූපනයේ ඉහළින්ම රැඳී සිටින්නටත් ඇය සමත් වූවාය. ලොව ප‍්‍රධාන පෙළේ විලාසිතා සමාගමක තානාපතිනිය ලෙස ඇය වසර ගණනාවක් රැඳී සිටින්නීය. එම සමගම හා වැඩිම වසර ගණනාවක් රැඳී සිටි නිල තානාපතිනිය වන්නේද ඇයයි. බාස්කට් බෝල් ක‍්‍රීඩකයෙක් හා විවාහ වී සිටින ඇය එක්දරු මවකි. ඇඩ්රියානාගේ ඉන්ස්ටග‍්‍රෑම් අනුගාමික සංඛ්‍යාව මිලියන 10.8 ද ඉක්මවයි. ඇයට වැඩිපුරම ලැබෙන්නේ ක‍්‍රීඩා විලාසිතා නිරූපණ අවස්ථාවන්ය.   

 


05 ජීජී හඩීඩ්   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 9.5   


සමාජ මාධ්‍ය ලෝකයේ රැජිනක ලෙස හඳුන්වනු ලබන ජීජී හඩීඩ් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී උපත ලද්දාය. ජීජීගේ මවුපියන් පලස්තීන ජාතිකයෝය. ඇගේ ඉන්ස්ටග‍්‍රෑම් අනුගාමිකයන් ගණන මිලියන 35ද ඉක්මවයි. ඇය ලොව සුපිරි වෙළෙඳ නාම අතිවිශාල ගණනක් සමඟ ගනුදෙනු කර ඇත්තීය. එමෙන්ම ටේලර් ස්විෆ්ට්ගේ බෑඩ් බ්ලඩ් ගීතයේ හා ඇගේ පෙම්වතා වන සේන් මලික්ගේ පිලෝව්ටෝක් ගීතයේද රූප රචනාවලට පෙනී සිටියාය. ජීජී දක්ෂ වොලිබෝල් ක‍්‍රීඩිකාවකද වේ. විලාසිතා ලෝකය ඇයට ඇස ගසාගෙන සිටියේ ඇයට වයස අවුරුදු 2 සිටමය. ඉතා කුඩා කල පටන්ම විලාසිතා ලෝකයේ සැරිසැරුමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ළාබාල වියේදීම ඉහළ නැගීම පිණිස වෘත්තීමය සහයෝගය ලැබුවාය. තවමත් වයස අවුරුදු 22ක් වුවත් ඇය අද වන විට ලෝකයේ සිටින සුපිරි නිරූපිකාවකි.   


06 රෝසී හටින්ග්ටන් - වයිට්ලි   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 9.5   


ඩෙවොන් හිදී උපත ලැබූ, බි‍්‍රතාන්‍ය ජාතිකයකු වන ඇය නිරූපිකාවක, නිළියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක මෙන්ම ව්‍යාපාරික කාන්තාවකි. රදළ පරම්පරාවකින් පැවත එන්නියක් වුවත් කෙට්ටු සිරුර හා පිරිපුන් දෙතොල් නිසා ඇය පාසල් වියේදී නොයෙක් උසුළු විසුළුවලට ලක්වූවාය. එක්දරු මවක් වුවත් විලාසිතා ලෝකයේ ඇයට තිබෙන ඉල්ලුම නම් අඩු වී නැත. පාවහන්, ලොව ප‍්‍රධාන පෙළේ ඩෙනිම් නිපැයුම් සඳහා ඇය අදටත් පෙනී සිටින්නීය. ඇය වැඩි වශයෙන්ම පෙනී සිට ඇත්තේ වෝග් සඟරා කවරවලටයි. එයට අමතරව හාපර්ස් බසාර්, එල් යනාදී සඟරා කවර ඇගේ රුවෙන් සරසා ඇත. ට‍්‍රාන්ස්ෆෝමර්ස්, මෑඩ් මැක්ස් යනාදී චිත‍්‍රපටවල රඟපාමින් ඇය නිළියක ලෙසද සම්මාන ලබමින් හා නිර්දේශිත රංගනයන් අතරට එක් වෙමින් ජනප‍්‍රිය වූවාය. ඇය යුනිසෙෆ් ආයතනයේ තානාපතිවරියද වේ.   


07 කාර්ලී ක්ලෝස්   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 9   


වෝග් සඟරාවේ කවරයේ ඡායාරූප සඳහා 36 වතාවක් පෙනී සිටි ඇය ඇමරිකානු ජාතික විලාසිතා නිරූපණ ශිල්පිනියකි. ඇය විලාසිතා ලෝකයට පා තබන්නේ අවුරුදු 13 තරම් කුඩා අවධියේදීයි. ලොව ඉහළම පෙළේ විලාසිතා සන්නාම හා රූපලාවණය නිෂ්පාදනද ඇතුළුව ආභරණ සමාගම් සඳහාද ප‍්‍රචාරණ සංකේතය වශයෙන් ඇගේ රුව යොදා ගනී. කාර්ලී ක්ලොස් පරිගණක විද්‍යාවටද උනන්දුවක් ඇත්තියකි. ක්ලොසී නමින් යූ ටියුබ් වැඩසටහනක්ද පවත්වාගෙන යන ඇය පරිගණක මෘදුකාංග පිළිබඳව යුවතියන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදෙන ආයතනයක්ද පවත්වාගෙන යන්නීය.   


08 ලියූ වෙන්   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 6.5   


මෙම දස දෙනා අතර සිටින යුරෝපීයයකු නොවන එකම තැනැත්තිය මැයයි. චීනයේ බීජිං හිදී උපත ලද ලියූ චීනයේ ඉහළම නමක් දිනූ මෝස්තර නිරූපිකාවකි. ඇය ක්ෂේත‍්‍රයට එකතු වූයේ වසර 12කට පමණ පෙරය. වෝග් හා හාපර්ස් බසාර් චීන බසින් මුද්‍රිත සඟරාවල පෙනී සිටීමෙන් අනතුරුව පැරිසියේ විලාසිතා දැක්මවල ලොව සුපිරි වෙළෙඳ සන්නාම නියෝජනය කරමින් අන්තර්ජාතික තලයට පා තැබුවාය.   

 


09 බෙලා හඩීඩ්   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 6   


ඇමරිකාවේ කැලිෆෝනියාහි උපත ලද ඇය ජනප‍්‍රිය සමාජ මාධ්‍ය තරුවකි. ඇයට සිටින ඉන්ස්ටග‍්‍රෑම් රසික රසිකාවියන් ගණන මිලියන 12.5 ද ඉක්මවයි. ඇය එල් හා ටීන් වෝග් වැනි සඟරාවල කවර සඳහා පෙනී සිට ඇත. ප‍්‍රකට සුවඳ විලවුන් සමාගම්වල හා ආභරණ සමාගම්වල තානාපතිනියක් වශයෙන්ද ඇය කටයුතු කරන්නීය.   


ලොව ප‍්‍රසිද්ධ විලාසිතා නගර හතරේම ඇය නිරූපණය කර තිබේ. එමෙන්ම ලෝකයේ ඉහළ පෙළේ විලාසිතා නිපැයුම් සමාගම් සඳහා ඇය නිරූපිකාවක වශයෙන් පෙනී සිටින්නීය.   


ලොව වැඩිම මුදලක් අය කරන නිරූපිකාවන් දස දෙනා අතර සිටින ළාබාලතමයා ඇයයි. ඇගේ සොයුරිය ජීජී හඩීඩ්ද මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නීය. ඒ අනුව වැඩිම මුදලක් අය කරන නිරූපිකා ලැයිස්තුවේ සිටින පළමු සොයුරියන් දෙපළ ලෙස ජීජී හා බෙලා අක්ක නඟෝ ඉතිහාසගත වේ.   


10 ඈෂ්ලි ග‍්‍රැහැම්   


අය කරන මුදල - ඇ.ඩො. මිලියන 5.5   


ඇමරිකාවේ නෙබ‍්‍රස්කාහිදී උපත ලද ඇමරිකානු ජාතිකයකු වන ඇය නිරූපණ ක්ෂේත‍්‍රයට පැමිණෙන්නේ දශකයකට පමණ පෙරාතුවයි. ඇය නිරූපණය කරන්නේ ප්ලස් සයිස් හෙවත් තරබාරු අය උදෙසායි. වෝග්, ග්ලැමර්, කොස්මොපොලිටන්, සෙල්ෆ්, මක්සිම් වැනි ලෝ ප‍්‍රකට සඟරාවල කවරයේ ඡායාරූප සඳහා පෙනී සිටි ඈෂ්ලි උඩු ගං බලා පීනූ යුවතියක් ලෙස හැඳින්වීමට පුළුවන. කෘශ සිරුරින් යුත් අනෙක් නිරූපිකාවන් අතර පුළුල් හා වටකුරු සිරුරකට හිමිකම් කියූ ඈ අවස්ථාවක් ලැබෙන තුරු බලා නොසිට තමා වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය කරගැනීමට සමත් වූවාය. ඇය පළමුවරට අන්තර්ජාතික නිරූපණ ඒජන්සියක් සමඟ ගිවිසුමකට එළැඹෙන්නේ වයස අවුරුදු 13දීය. එසේ ක්ෂේත‍්‍රයට පිවිසි ඇය නිරූපණ කලාවේ අංශ රැසකට සිය දායකත්වය දී ඇත. Sports Illustrated නමැති ක‍්‍රීඩා සඟරාවේ පෙනී සිටි පළමු ප්ලස් සයිස් නිරූපිකාව ඇයයි. හොඳ ඉල්ලුමක් තිබෙන රූපවාහිනී තරුවක් ලෙසද ඇය ප‍්‍රසිද්ධය. කාන්තා ස්වාධිපතය, පෙනුම ගැන නොසිතා ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවත්වෙන අන්දම හා කාන්තාවන්ට ව්‍යාපාර ගැන දේශන පැවැත්වීමට ඇයට රට වටෙන්ම ආරාධනා ලැබේ.  

 

 

 


සටහන 
නිසංසලා දිසානායක  
අන්තර්ජාලය ඇසුරිනි