කුඩා කල පටන් පැවති ගායකයෙකු වීමේ සිහිනය සැබෑවක් කර ගනිමින් 'සරාවියේ', 'හොඳ කාළේ', 'නෙත් ඉඟි පානා', ආදී ගීත ගණනාවක් රසිකයන්ට තිළිණ කල එරංග ලංකා මේ දිනවල රසික හදවත් හොරා ගෙන ඇත්තේ තරමක වෙනස් ගී නිර්මාණයකිනි.
ඒ වෙනසට ලැබුණු රසික ආදරය නිසාම ඔහු අද කලා තරු අහසේ දිදුලන තරුවක් වී සිටියි. මෙවර සැඳැල්ලේ මේ ඉඩකඩ වෙන් කරන්නේ ඔහු සමග කළ කතාබහටයි...
ප්‍ර “හීන් නූලෙන් ගේම ගහන උන් තමයි පිරිත් නූලෙන් මාළු බාන්නේ” කියලා එරංග මොකද්ද මේ කියන්නේ?
”ඒ තමයි මගේ අලුත්ම ගීතය. ඒක අපි නම් කළේ "පිරිත් නූලෙන්" කියලා. මේ ගීතය රචනා කළේ හර්ෂ ශ්‍රී. සංගීතය ප්‍රියන්ත නාවලගේ ගේ. මියුසික් වීඩියෝ එක කළේ ආර්යන්ස් වීඩියෝ ප්‍රඩක්ෂන් ආයතනය. මගේ සරාවියේ කියන ගීත නිර්මාණයෙන් පසුව හොඳ ප්‍රතිචාර ලැබුණු ගීතයක් විදියට මේක හඳුන්වා දෙන්න පුළුවන්. මම මේ ගීතය පටිගත කරන්න යොදා ගත්තේ පිටකොටුව. ඒකට හේතුව වුණේ මේ ගීතයේ මාතෘකාව. මේ ගීතයේ අර්ථයත් එක්ක ඒකට ගැළපෙන්නේ සමාජයේ පහළම තැන කියලා මම හිතුවා. ඒ නිසායි එතැන තෝර ගත්තේ. අවසානයේ දී ලස්සන වැඩක් එළියට ආවා”.
ප්‍ර ඇයි මේවගේ වෙනස් මාතෘකාවක් ගැන නිර්මාණයක් කරන්න හිතුවේ?
“මේ ගීතයේ පද රචකයා කැනඩාවේ ඉන්නේ. ඔහු මට එහෙ ඉඳන් ගීත හතක් විතර රචනා කරලා එවලා තිබුණා. ඒ ගීත අතරින් මේ ගීතය කියවන කොට මට ඒකේ වෙනස් රහක් දැණුනා. මේක අතුළේ තියෙන්නේ අපි ගැවසෙන සමාජය සහ ඒ සමාජයේ ඉන්න මිනිස්සු නිසා එදිනෙදා අත් දකින්න අත් විඳින්න ලැබෙන ප්‍රශ්න. ඇත්තටම මේ ගීතය ශබ්ද රසයට කොටු වෙන්නේ නැතිව එහි වදන් හා අරුත් වලට සමවැදී අහන කොට තමයි ඒ ඇත්ත සමාජය දකින්න ලැබෙන්නේ. ඉතින් මේ නිර්මාණයෙන් සමාජයට හොඳ ආදර්ශයක් ලැබෙනවා. මොකද මේ ඇතුළේ සමාජයේ ගොඩක් මිනිසුන්ගේ නරක පැත්ත එළියට එනවා. මේ ගැන හිතලා තමයි මම මේ නිර්මාණය තෝරා ගත්තේ”.
ප්‍ර කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
“ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ගීතය මුදා හරින්නට කලියෙන් නොසිතූ පරිදි ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ඇතුළේ මේ ගීතයට ගොඩක් තරුණ ළමයි විවිධ වීඩියෝස් කරලා දාලා තියෙනවා. ඒ වගේම වාහන අලංකරණ කටයුතු වල දී මේ වචන ඒවයේ ස්ටීකර් කරලා තියෙන ෆොටෝස් මට එවලා තියෙනවා. ඉතින් ඒ දේවල් දැක්කම මට හිතෙනවා මේ ගීතය මිනිස්සුන් ගේ හදවතට කා වැදිලා තියෙනවා කියලා. ගොඩක් සතුටුයි දැනෙන්න ගීතයක් කරන්න ලැබුණ එකට. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන සමාජ මාධ්‍යවලට, පුවත්පත්වලට, රූපවාහිනී නාළිකාවලට වගේම මගේ ආදරණීය රසික රසිකයන්ටත්. මොකද මේ ගීතය මේ තරම් ජනප්‍රියත්වයකට රැගෙන ආව ඔවුන්.”
ප්‍ර කොහොමද සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ?
“මගේ පවුලෙන් තමයි මේ ආභාසය ලැබෙන්නේ. මගේ පියා දක්ෂ හවාන් ගිටාර් වාදකයෙක්. ඔහු ගේ මිතුරන් බොහෝ දෙනෙක් හිටියා විවිධ සංගීත කණ්ඩායම්වල. ඒ අය නිතර අපේ ගෙදර එනවා. මම ඒ අයගේ ගායන වාදන දකිනවා. ඒ විදිහට මගේ පියාගේ ආභාසයෙන් සහ ඒ දැකපු දේවල්වලින් තමයි මට සංගීතය ගැන කැමැත්තක් ඇති වෙන්නේ සහ ඒ ඔස්සේ ඉදිරියට යන්න අවස්ථාව හිමිවුණේ. ඒ වගේම මගේ අම්මත් මතක් කරන්න ඕන. ඇය තමයි මගේ කටහඬ පුහුණුකිරීම්වල දී පොඩි කාළේ ඉඳන්ම මට සහය වුණේ. ඒ විදිහට ගෙදරින් ලැබුණු ආභාසයත් එක්ක සංගීත ගමන ආරම්භ කරලා පසුව මම කණ්ඩායම් සංගීතයට සම්බන්ධ වෙනවා. ඒ විදිහට තමයි සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.”
ප්‍ර ඔබ පාසල් වේදිකාවේ ත් ගායකයෙකු ලෙසින් ජනප්‍රිය චරිතයක් ද? ඒ කාළේ ඉඳන්ම හැදෑරීම් කළා ද?
“ඇත්තටම මම පාසල් කාලයේ දී විෂයක් විදිහට සංගීතය ඉගෙන ගෙන නැහැ. ඒ කාළේ මම චිත්‍ර තමයි කළේ. මොකද මම හෙව්වේ විෂයක් විදිහට ඉක්මනින් ගොඩ දාගන්න පුළුවන් දෙයක්. ඇත්තටම අපි අධ්‍යාපනයට තරමක් කම්මැළියි. විෂය බාහිර වැඩ වල තමයි වැඩිපුර හිටියේ. මම පාසල් ගියේ නුවරඑළියේ ගාමිණී මහා විද්‍යාලයට මම ඒ කාලේ ඉඳලම සංගීත පිස්සෙක්. ඒ පිස්සුව කොයි තරම් ද කියනවා නම් මට මතකයි සාමාන්‍ය පෙළ විභාගයට දවස් දෙකකට කලින් මම කොළඹ ඇවිත් වෙඩින් එකක ප්ලේ කරලා ගියා. ඉතින් ඒ නිසා ඉගෙනීමට වඩා හිත තිබුණේ සංගීතයට කීවොත් හරි. නමුත් මම සංගීතය ඉගෙන ගෙන නැහැ. සංගීතයට සම්බන්ධ වුණේ පොඩි කාලේ ඉඳන්ම ගායකයෙක් වෙන්න තිබුණ ආශාව නිසයි. අද වෙන කොට මම මේ ක්ෂේත්‍රය ගැන යමක් ඉගෙනගෙන තියෙන්නේ මගේ දක්ෂ මිතුරන්, ජ්‍යේෂ්ඨ කලාකරුවන්, සංගීතඥයන් ආදීන් සමග කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ ආශ්‍රයන් තුළින්.”
ප්‍ර මොනවද අනෙක් කලා කටයුතු ?
“මගේ සංගීත කණ්ඩායමක් තියෙනවා අන්නාසි කියලා. ඒකේ වැඩ කටයුතු තියෙනවා. ඒ වගේම තමයි මේ ගීතය ජනප්‍රිය වීමත් සමග මට ප්‍රසංග කිහිපයකට සහ වැඩසටහන් කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර විදෙස් සංචාර කිහිපයකුත් තියෙනවා. ඒ වැඩ කටයුතු තමයි ප්‍රධානම. ඒ වගේම තවත් අලුත් ගීතයකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීතයත් තවත් මාස කිහිපයකින් එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
ප්‍ර ඔබේ විලාසිතාවල වෙනස් මුහුණුවරක් තියෙනවා. කවුද ඔබේ විලාසිතා නිර්මාණකරු?
“සංගීත ක්ෂේත්‍රයේ ගායක ගායිකාවෝ අතරින් වෙනස් යුනික් කෙනෙක් වෙන්න තමයි මට ඕන. ගායකයෙක් වුණාම ලස්සන කටහඬක් වගේම ඇස් ඇදගන්න පුළුවන් ප්‍රතිරූපයකුත් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි මම මේ විලාසිතා අනුගමනය කරන්නේ. මේ හැම එකක්ම මා විසින්ම කරන ලද නිර්මාණ. මගේ අලුත් ගීතයේ මගේ ඇඳුම නිර්මාණය කළෙත් මම. ඒකේ මුළු වියදම රුපියල් 3800යි. ගොඩක් දෙනෙක් කිව්වා හරිම ලස්සනයි. හරිම කලර් ෆුල් කියලා. සමහරු ඇහුවා කවුද ඩිසයින් කළේ කියලා. මම ඒ හැමෝටම කීවේ පිටකොටුවේ මගේ යාළුවෙකුගේ ෂොප් එකකින් මැටීරියල් එක අරන් මම ට්‍රේලර්ට ඩිසයින් එක දීලා මහගත්තේ කියලා. ඉතින් හරිම සරලයි, මම තමයි මගේ විලාසිතාවල නිර්මාණකරු.”
ප්‍ර ගායකයින් බොහෝ දෙනෙක් දැන් රංගන ක්ෂේත්‍රයේ ත් දකින්න ලැබෙනවා නේ. ඔබට රංගනයට ආරාධනා ලැබිලා නැද් ද?
“ගොඩක් ආරාධනා ලැබුණා. මම කොමඩි පැත්තේ දේවල් කරනවා. මානෙල් වානගුරු මහත්මිය ගෙනුත් රංගනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. නමුත් මගේ වැඩ කටයුතුත් එක්ක ඒ අවස්ථා වලට සම්බන්ධ වෙන්න බැරිවුණා. නමුත් මට සිනමාපට ගීතයක් සහ ටෙලි නාට්‍ය තේමා ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට හරි රංගන ක්ෂේත්‍රයේ වැඩකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා.”
ප්‍ර ඔබේ ගායන දිවියේ ලොකුම බලාපොරොත්තුව මොකක් ද?
“හොඳ දක්ෂ ගායකයෙක් වෙන්න තමයි බලාපොරොත්තුව. ලෙජන්ඩ් කෙනෙක් විදියට මතකය ඉතිරි කරලා යන්න ඕන. අපේ ලෙජන්ඩ් ලා වුණු ජෝතිපාල මහත්මයා, ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා, සුනිල් පෙරේරා මහත්මයා වගේ ගොඩක් කලාකරුවෝ ගොඩාක් නිර්මාණ කරලා අපෙන් වෙන් වෙලා ගියා. ඉතින් අපිත් දවසක මේ ලෝකේ දාලා යන්න ඕන. නමුත් ඒ යන දවසක අනාගතයට හොඳ දෙයක් ඉතිරි කරලා යන එක තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව.”
දුලක්ෂි ලියනගේ