හිරුට හාදු දුන් නාසා යානය


නව ලොව සහ විදු ලොව

 

ඉතිහාසයේ පළමු වරට, රොබෝ යානයක්, හිරු ස්පර්ශ කළේය. මෙම වික්‍රමය කළේ, ඇමෙරිකාවේ නාසා ආයතනය හිරු ගවේෂණයට යැවූ පළමු යානය ‘සෝලර් පාකර් ප්‍රෝබ්’ ය. යානය, හිරුගේ ඉහළ වායු ගෝලය අතරින් ගමන් කළේය. හිරුගේ ඉහළ වායු ගෝලය ඉංග්‍රීසියෙන් ‘කොරෝනා’ ය. සිංහලෙන් මෙය හැඳින්වෙන්නේ ‘රැස් වළල්ල’ යනුවෙනි. අද ‘කොරෝනා’ යන වදන අපට හිසරදයකි. ‘කොරෝනා’ ලතින් වදනකි. එහි අර්ථය ‘ඔටුන්න’ ය. හිරුගේ රැස් වළල්ල ඔටුන්නක් ලෙස දිස්වන බැවින් ඊට ද කොරෝනා යන වදන භාවිත කෙරේ. ‘කොවිඩ් 19‘’ වයිරසය ද ‘කොරෝනා’ ලෙස හැඳින්වෙයි. ඒ, වයිරස සෛල ඔටුන්නක හැඩය පෙන්නුම් කරන බැවිනි. ‘සෝලර් පාකර් ප්‍රෝබ්’ Paker Solar Probe යානය, ‘රැස් වළල්ල’ අතරින් ගමන් කරද්දී, හිරුගේ අංශු සාම්පල ලබා ගැනීමත්, චුම්බක ක්ෂේත්‍රයට අදාළ දත්ත ලබා ගැනීමත් සිදු කළේය.   
‘පාකර් සෝලර් ප්‍රෝබ්’ රොබෝ ගවේෂණ යානය, හිරු බලා යැවීම සිදු වූයේ 2018 වසරේ අගෝස්තු 12 වැනිදාය. යානය, හිරුට ළං වීම අදියරෙන් අදියර සිදුවිය. යානය, රැස් වළල්ල අතරින් යමින් දත්ත රැස් කළේ මෙම 2021 වසරේ අප්‍රේල් මාසයේය. රැස් කළ එම දත්ත සහ යානයේ කැමරා ආධාරයෙන් රූ ගත කළ දසුන් පෘථිවියට එවීමටත්, ඉන්පසු ඒවා අධ්‍යයනය කිරීමටත් විද්‍යාඥයන්ට මාස කීපයක් ගත විය. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය ‘හිරු ස්පර්ෂ කළ පුවත’ අපට දැන් අසන්න ලැබෙන්නේ විද්‍යාඥයන්, ඔවුන් ට ලැබුණු දත්ත අධ්‍යයනය කර අවසන් බැවිනි. නාසා ආයතනය සහ ඇ​ෙමරිකන් භූ භෞතික සංගම එක් වී මාධ්‍ය හමුවක් පවත්වමින්, සියල්ල හෙළි කළේ පසුගිය දෙසැම්බර් 14 වැනිදාය.   


‘පාකර් සෝලර් ප්‍රෝබ්’ කළ වික්‍රමය එසේ මෙසේ එකක් නොවෙයි. සූර්යයා ගවේෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට යානයට හැකි වී ඇතැයි එහි මෙහෙයුම් කටයුතු බාර, ඇමෙරිකාවේ මේරිලන්ඞ් ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ විද්‍යාඥ කණ්ඩායම පවසා ඇත. හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නිර්මාණය කළ හපනුන් වන්නේ ද මෙම විද්‍යාඥයන්ය. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය නිර්මාණය කර ඇත්තේ කාබන් සයෝජනය කළ අමුද්‍රව්‍යවලිනි. යානයේ ‘තාප පලිහ’ ට ෆැරන්හයිට් අංශක 2,500 (සෙල්සියස් අංශයක 1,377) ක උෂ්ණත්වයක් දරා සිටීමට හැකිවෙයි. හිරුගේ අධික උෂ්ණත්වයට යානය ඔරොත්තු දෙන්නේ ඒ අනුවය. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 ක සුපිරි වේගයකිනි. හිරුට ළං වෙද්දී සහ හිරු අතරින් යද්දී යානයේ වේගය අඩු වැඩි වෙයි. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානයේ ආයු කාලය වසර 7 කි. යානයේ බර කිලෝ ග්‍රෑම් 555 කි. 2025 වසරේ දී හිරුගේ මධ්‍යයට යෑමට යානයට උපදෙස් ලැබී ඇත. ඒ සමඟම, ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානයේ සියලු‍ මෙහෙයුම් ද අවසන් වනු ඇත. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නිපදවීමට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 කි. යානය හිරුගේ රැස් වළල්ල අතරින් ගියේ එහි අට වැනි ගමන් වාරයේදීය.   
යානය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යනුවෙන් නම් කළේ ඇමෙරිකන් විද්‍යාඥ යූජීන් නිව්මන් පාකර්ට ගරු කිරීමක් ලෙසය. 94 හැවිරිදි යූජීන් නිව්මන් ඇමෙරිකාවේ චකිගෝ විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා මහාචාර්යවරයෙකි. නාසා ආයතනය ඔවුන්ගේ යානයක්, ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් නම් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 1950 දශකයේ, සුපර්සොනික් සූර්ය සුළං පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළේත්, පිටත සෞරග්‍රහ මණ්ඩලයේ සූර්ය චුම්බක ක්ෂේත්‍රයේ සර්පිලාකාර හැඩය පිළිබඳ පුරෝකතනය කළේත් යූජීන් පාකර්ය.   


මිනිසා සඳ ගැන දැනගත්තේ සඳට මිනිසුන් යවමිනි. අධික උණුසුම නිසා, මිනිසුන් යැවීමට නොහැකි වුවත්, රොබෝවකු යවා හිරු ගවේෂණය කිරීමෙන් හිරු සම්බන්ධයෙන් දන්නා දේ තහවුරු කර ගැනීමටත් නොදන්නා දේ දැන ගැනීමටත් විද්‍යාඥයන්ට හැකියාව ලැබේ. සූර්යයා යනු හයිඩ්‍රජන් සහ හීලියම්වලින් සමන්විත, නිරන්තරයෙන් පිපිරීම් සිදුවන වායු ගිනි බෝලයකි. හිරු එසේත් නැතිනම් සූර්යයා, සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රීය වස්තුව වෙයි. ‘සෞරග්‍රහ මණ්ඩලය’ යන නමින් නම් කර ඇත්තේ ද සූර්යයා වටා සෙසු සියලු‍ ග්‍රහ වස්තු කැරකෙන බැවිනි. සූර්යයා තරුවකි. රාත්‍රී අහසේ දිළෙන්නේ තරුය. පෘථිවියට ළඟින්ම ඇති තරුව හිරු ය. හිරුගේ උපත සිදුවූයේ වසර බිලියන පහකට පෙරය. හිරුගේ ආලෝකය පෘථිවියට ළඟා වීමට ගතවන කාලය මිනිත්තු 8 ක් යයි. පෘථිවියේ ජීවය පවතින්නේ ද හිරු නිසාය. පෘථිවියේ ජීවය බිහි කිරීමටත් නැසීමටත් හැකියාව හිරුට ඇත.  

 

ලු‍සිත ජයමාන්න්‍   
නාසා තොරතුරු ඇසුරිනි