හයර් යන්න රුසියා මොරිස් මයිනරේ


MOTOR SHOW / මෝටර් ෂෝ 

  • ගාන්ධිත් මුල් කාලයේ පාවිච්චි කළේ මොරිස් මයිනරයක්  

 

 

යටත් විජිත සමයේදී රට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් සිය ඇවතුම් පැවතුම් වගේම නිෂ්පාදනත් යටත්විජිත රාජ්‍ය්‍යයන් තුළ ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. ඒ අනුව මෝටර් රථ ද යටත්විජිත රාජ්‍යයක් වූ ලංකාවට ද පැමිණියේය.   


දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොව පුරා ඇතිවූ කාර්මික විප්ලවයේ ප්‍රතිඵල ලෙස මෝටර් රථ නිෂ්පාදනය ද වැඩිවන්නට විය. එහිදී යුරෝපය, මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයන් විය. 

 
ලන්ඩන් නුවර අර්ල්ස් කෝට් හිදී 1948 සැප්තැම්බර් 20 දින මෝටර් රථ ප්‍රදර්ශනයක් පැවැත්විනි. මේ ප්‍රදර්ශනයේ දී කරළියට හා මොරිස් මයිනර් මෝටර් රථය වසර විසිහතරක නිෂ්පාදන කාලය තුළ රථ ලක්‍ෂ දාසයක් දක්වා (1619958) අලෙවි වෙතැයි කිසිවෙකු හෝ නොසිතුවේය. සාමාන්‍ය පන්තියේ ජනතාවට, මිල අඩු සහ ඒ කාලයේ හැටියට නවීන අංගෝපාංගයන්ගෙන් යුතු වැඩි ඉඩකඩක් ඇති පවුලේ වාහනයක් ලෙස මොරිස් මයිනර් මෝටර් රථය මුලින් ම කරළියට ආවේය.   


මොරිස් මයිනර් රථයේ නිර්මාණකරුවා වූයේ ඇලෙක් ඉසිගොනිස් ය. මෙහි මෝස්තර තුනක් නිෂ්පාදනය විය. මුල් අවුරුදු පහතුළ නම් 1948 සිට 1953 දක්වා MM වර්ගයත්, 1952-1956 දක්වා MM II ලෙස සහ 1956 සිට 1972 දක්වා 1000 යන මෝස්තර තුනෙන් මොරිස් මයිනර් රථ නිෂ්පාදනය විය.   


ලංකාවට MM වර්ගයේ මයිනර් රථ මුලින් ම ගෙනෙනු ලැබීය. එහි දොර දෙකක් විය. එංජින් ධාරිතාව 850CC විය. නමුත් දොර දෙකේ සැලූන් මයිනර් රථ නිෂ්පාදනය මුල් අවුරුදු දෙකකට පමණක් සීමාවිය. 1950 දී මේ සැලූන් රථය දොර හතරකින් යුතුව නිෂ්පාදනය විය. 1953 ඔක්තෝම්බර් මාසය වනවිට මයිනර් රථයේ නිෂ්පාදනයේ, පෙනුමේ වෙනස්කම් ඇතිවිය. ලී වලින් සාදන ලද වතු කාර් මෝස්තරයක් ද කරළියට ආවේය.   
ලංකාවේ දී මේ ලී වලින් සෑදූ මොරිස් මයිනර් කාරය කොස් ලී වෑන් ලෙස ගැමියන් විසින් හඳුන්වනු ලැබීය. භාණ්ඩ ප්‍රවාහනයට එය වැඩිදුර භාවිත විය. සුදු ජාතිකයන් එය වතු ආශ්‍රිත පාරිභෝගිකයන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සැලකිල්ලට ගෙන නිෂ්පාදනය කරනු ලැබීය. ලංකාවේ ඇතැම් මල් ශාලාවල මිනී ප්‍රවාහනයට ද මේ ලී වලින් සෑදූ මොරිස් මයිනර් රථ යොදාගත් බව පැරැන්නෝ කියති. කොස් ලී වෑන් ලෙස ඒවා හැඳින්වුවත් කොස්ලී ඊට භාවිත කර නැත.   


ඒ සමගම පිටුපස සම්පූර්ණයෙන් ආවර්ණය කළ මොරිස් මයිනර් රථ ද නිෂ්පාදනය විය. පැනල් වෑන් සහ පිකප් ට්‍රක් ලෙස ඒවා හැඳින්විණි. මුල් පස් වසර තුළ පමණක් මේ මොරිස් මයිනර් රථ ලක්‍ෂ දහයක් පමණ නිෂ්පාදනය කිරීමට මොරිස් මෝටර් සමාගම පියවර ගෙන තිබුණි.   


මොරිස් මයිනර් මෝටර් රථ ලංකාවට පැමිණි මුල් කාලයේ ඒවායේ ලියා පදිංචි අංකය ඉංග්‍රීසි අකුරුවලින් යුත් කාණ්ඩයේ විය. පැරණි කාර් මිලයට ගෙන ඒවා අලුත්වැඩියා කර අලෙවි කිරීමේ නිරතව සිටින කුරුවිට එරත්න පාරේ චන්‍ද්‍රපාල හෙට්ටිපතිරණ මහතා පැවසුවේ හයර් කාර් අතර ජනප්‍රිය වූයේ මොරිස් මයිනර් කාර් බවය. හයර් කාර් ලෙස යොදාගත්තේ පහ ශ්‍රී කාණ්ඩයේ ඒවා බව ද චන්‍ද්‍රපාල මහතා සහිපත් කළේය.   
‘‘හැබැයි පහ ශ්‍රී කාර් තමයි ටැක්සි ලෙස ජනප්‍රිය වුණේ. ඊට ඉස්සර සාමාන්‍ය පවුල්වල වාහනයක් විදියට මොරිස් මයිනර් කාර් එක හඳුන්වන්න පුලුවන්.’’ 1952 දී නිෂ්පාදනය කරපු මොරිස් මයිනර් කාර් එකක් ඔහුගේ පවුලේ අය සන්තකයේ තිබූ බව කී චන්‍ද්‍රපාල මහතා එය CN අකුරුවලින් ලියා පදිංචි කළ එකක් බව ද සඳහන් කළේය.   


මුල්කාලයේ දී ලංකාවේ වාහන අංකණය කරනු ලැබුවේ CEYLON යන ඉංග්‍රීසි භාෂාවේ අකුරු භාවිත කරමින්ය. CE වලින් පටන් ගෙන CN වලින් ඉංග්‍රීසි අකුරු වාහන අංකණයට යෙදුවත් CO යන අකුරුවලින් වාහන අංකනය කර නොතිබීම ද විශේෂයකි. CN වලින් පසු ආවේ ශ්‍රී අකුරයි එය 01 ශ්‍රී වලින් පටන් ගැණුනි.   
‘‘ඔස්ටින් A30 කාර් එකට වැඩියෙන් හයර් කාර් වලින් මයිනර් එකට තිබුණ ආකර්ශනය වැඩියි. මයිනර් එකකින් කුලී ගමනක් යෑම ඇති හැකි බවක් පෙන්නුම් කළා. නැත්නම් යම් ප්‍රතාපවත් බවක් විදහා පෑවා’’ චන්‍ද්‍රපාල මහතා සඳහන් කළේය.   


පසු කලෙක මේ ඉංග්‍රීසි අකුරු සහිත දොර හතරේ, එංජින් ධාරිතාව 1000 CC මයිනර් රථය පැරණි කාර්වලට ප්‍රිය කරන්නන් අතර ජනප්‍රිය විය. ඒ නිසා චන්‍ද්‍රපාල මහතා ඒ මෝස්තරයේ මයිනර් රථ සොයා ඒවා මිලදී ගෙන අලුත්වැඩියාකර විකුණූ බව ද කීවේය.   


මේ වනවිටත් එවැනි මයිනර් රථයක් අලුත්වැඩියා කරමින් පවතින අතර පසුගිය දෙවසරක කොරෝනා සීමාමායිම් එහි වැඩ නිමකරන්නට බාධා ගෙනාවේය.   


මේ පරණ කාර්වල හිමිකරුවන් වෙන්නට අදහස් කරන වත්මන් පරපුර තුළ ඊට හේතු මොනවාද යන්න පැහැදිලි නැත. සමහරු ‘ඉංග්ලිෂ්’ කාර්වලට වැඩි කැමැත්තක් දක්වති. ඉංග්ලිෂ් කාර් ලෙස බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මෝටර් රථ හැඳින්විය හැකිය. ඊට අමතරව ප්‍රංශයේ නිෂ්පාදිත මෝටර් රථ හිමිකරගැනීමට වැඩි කැමැත්තක් දැක්වූවෝ ද සිටිති. එසේ ම ජර්මනියේ නිෂ්පාදිත කාර්වල හිමිකරුවන් වීමට ද තවත් පිරිසකගේ කැමැත්ත විය.   


ඒවා ප්‍රදර්ශන මට්ටමෙන් පමණක් නොව ධාවන මට්ටමෙන් ද උසස් ලෙස තබාගන්නට මේ පැරණි මෝටර් රථ හිමිකරුවන් රුචිකත්වයක් දක්වන බව චන්‍ද්‍රපාල මහතා සඳහන් කළේය.   


බොහෝ වෙලාවට මෝටර් රථ නිෂ්පාදකයා ගැන ද පැරණි කාර් හිමිකරුවන් යම් අවධානයක් යොමුකරන බවක් පෙනෙයි. මොරිස් මෝටර් සමාගමෙන් පසු මයිනර් කාර් නිෂ්පාදනය බ්‍රිතාන්‍ය මොටර් කොප්රේෂන් සමාගම විසින් සිදුකරනු ලැබීය. ඒ 1952 සිට 1968 දක්වාය. හයිහුන්ඩායි මෝටර් රථ සමාගම මොරිස් මයිනර් මෝටර් රථ 1967 සහ 1968 යන වසරවල නිපදවනු ලැබීය. ඉන්පසු 1968 සිට 1972 දන්වා බ්‍රිටිෂ් ලේලන්ඩ් සමාගම මොරිස් මයිනර් මෝටර් රථ නිපදවනු ලැබීය. 

 
මැලේසියාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වල ද මේ මොරිස් මයිනර් රථ එකලස් කරනු ලැබීය. නමුත් ලංකාවේ ජනප්‍රිය වූයේ එංගලන්ත නිෂ්පාදනයි.   


ආනයන පහසුකම් තිබුණේද අඩුවෙන් නිසා අද මෙන් වාහනයක් ආනයනය කිරීම එදා පහසු නැත.   
වාහනයේ වේග මීටරය තිබුණේ පැයට හැතැක්ම වලිනි. සුක්කානම තරමක් ලොකුය. සමහර මොස්තරවල වම්පැත්තේ කටුවලින් වෙලාව පෙන්වන ඔරලෝසුවකි. වේග මීටරය දකුණු පැත්තේ සුක්කානමට ඉදිරියෙන් විය. සමහර රථවල වේග මීටර ඩෑෂ් බෝඩ් එකේ මැදය. දෙපැත්තේ ලොකර් දෙකකි. උපරිම වේගය පැයට සැතපුම් වලින් සඳහන් විය. එය පැයට සැතපුම් 80ක් විය. දුර සටහන්වන මීටරය ද එහිම විය. එය ඉලක්කම් පහකින් යුතු විය. ඉන්ධන මීටරය ද වේග මීටරය තුළ ම විය. 

 
ඉදිරිපස වීදුරුව කොටස් දෙකකින් යුතු රථය මෝස්තරයක් මෙන්ම පසුකලක තනි වීදුරුවක් ලෙස පැමිණි මෝස්තර ද විය. ඒවා අනුව ද පැරණි මයිනර් රථවලට ඉල්ලුම වෙනස් වන බව චන්‍ද්‍රපාල හෙට්ටිපතිරණ මහතා පැවසුවේය.   


ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මුල් වතාවට ජනතා නියෝජිතයකු ලෙස පත්වූ අවස්ථාවේ ඔහුගේ ඡන්දදායක පිරිසක් එකතු වී මොරිස් මයිනර් රථයක් මිලදී ගෙන ඔහුට එය තෑගි කළේය.


අභාවප්‍රාප්ත ප්‍රකට සිනමානළු ගාමිණී ෆොන්සේකා මහතා ද මුල් කාලයේ පාවිච්චි කරනු ලැබුවේ මොරිස් මයිනර් ටුවර් වර්ගයේ මෝටර් රථයකි. EY 3662 අංකයෙන් යුතු එම රථය මේ වනවිට පැරණි කාර් එකතු කරන වෛද්‍යවරයෙකු වූ උපාලි සූරියආරච්චි මහතා සන්තකයේ ඇති බවට තොරතුරු ඇත.   


පැරණි මෝටර් රථවල රේඩියෝ යන්ත්‍ර නොතිබූ බව චන්‍ද්‍රපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. එසේම ඒවායේ ඇතැම් ස්වීච් වර්ගද අද වාහන වල මෙන් සුමට නොවූ බවත්, රළු ඒවා වූ බවත් පැවසුවේය.   
‘‘ඒ වුණාට ඒ ස්වීච් ලේසියෙන් කැඩෙන්නේ නෑ. අවුරුදු හැට හැත්තෑවක් පරණ වුණාට අදටත් ඒ ස්වීච් ක්‍රියාකාරියි. වාහනවල එංජින් වල කොටස් එහෙම ගෙවෙන්නෙත් නෑ. තාම ශක්තිමත්. ඇත්තටම පරණ වාහනවල විශේෂත්වයත් ඒකයි.’’ චන්‍ද්‍රපාල මහතා පැවසුවේය.   


පැරණි මෝටර් රථවල කොටස් පැරණි ආකාරයෙන් ම පැවතීම ඒවායේ ගැනුම්කරුවන්ගේ අපේක්‍ෂාවයි. ක්‍රියා කළ ද නොකළ ද ඒ තිබූ ආකාරයෙන් තිබීම තුළ වාහනයට ඉහළ පෙනුමක් ලබාදෙයි.


මොරිස් මයිනර් රථයට අමතරව මෙම සමාගම “මොරිස් 8” සහ “මොරිස් කව්ලි” නමින්ද  ලොකු කාර් වර්ග දෙකක් හඳුන්වා දී තිබිණි. MG යනුවෙන් හැඳින්වෙන කාර් වර්ගයේ ඒ අකුරු දෙක “මොරිස් ගරාජ්” ලෙස හැඳින්වෙයි.

 

 

අජිත්ලාල් ශාන්තඋදය