හදාගත් යූටියුබ් චැනලය ජනප්‍රිය කරන්නේ මෙහෙමයි


යූටියුබි චැනලයක්  හිට් කරගන්නේ  කොහොමද?

 

 

සෝෂල් මීඩියා හරහා සාර්ථක වන්නේ කෙසේද? කියන මාතෘකා තුළ මිනිස්සු අතරට යන්න brand එකක් වන්නේ කෙසේද? යූ ටියුබ් චැනල් එකක් පහසුවෙන් හද‌ාගන්නේ කොහොමද? චැනල් එකට brand name එකක් යොද‌ා ගනිද්දී සැලකිය යුතු දේවල් මොනවද යන්න පසුගිය සති කිහිපය තුළ ඔබට පැහැදිලි කළෙමු. 

 
ඒ වගේම යූ ටියුබ්වලට අමතරව අපේ brand name එක හද‌ාගන්න ඕන අනෙකුත් මාධ්‍යයන් මොනවද? සහ යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න ඔබ චැනල් එක ජනප්‍රිය කරගන්න කළ යුත්තේ කුමක්ද? වගේම ලංකාවේ වැඩිපුරම ප්‍රේක්ෂකයෝ නරඹන වීඩියෝ මොනවාද? යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න ඉන්න ඔබට විශේෂයෙන් අවධානය යොමුකර යුතු කරුණු කාරණා රැසක් සමග අදත් ඩිජිටල් මීඩියා තොරතුරු තාක්ෂණය පිළිබඳ උපදේශක මෘදුකාංග ඉංජිනේරු Chanux bro අප හා සම්බන්ධ වූවෙමු.   
‘මේ වෙනකොට ලංකාවේ ඉන්න මිලියන 21 ජනගහණයෙන් අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය මිලියන 7.5 ක්. සෝෂල් මීඩියා භාවිතා කරන ප්‍රමාණය මිලියන 6 ඉක්මවා ගිහින් තිබෙනවා. යූ ටියුබ් චැනල් එකක්, ෆේස්බුක් ගිණුමක්, ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමක්, ෆේස්බුක් පේජ් එකක්, වට්සප් භාවිතා කරන මිලයන 6 න් මිලියන 5.7 ක්ම සෝෂල් මීඩියා සඳහා භාවිතා කරන්නේ තමන්ගේ ජංගම දුරකථනය.   


අපි වැඩ කරන්නේ මොන වගේ මිනිස්සු එක්කද? වයස් කාණ්ඩ මොනවද? සෝෂල් මීඩියාවලින් කොච්චර සල්ලි හම්බකරගන්න අය ඉන්නවද? ඒ අය සල්ලි හම්බ කරන්න මොනවද කරන වීඩියෝ. විහිළු දේවල් ද, අධ්‍යාපන දේවල් ද, දුර්ලභ දේවල් ද යන්න සෝෂල් මීඩියා තළ මොනයම් හෝ දෙයක් කරද්දී අපිට අවබෝධයක් තියෙන්නම ඕනැ. සෝෂල් මීඩියා හරහා කාටද කතා කරන්න පුළුවන් කියලා බැලුවොත් ශ්‍රී ලංකා ජනගහනයෙන් 30% කට කිසිම ප්‍රශ්නයක් නැතුව කතා කරන්න පුළුවන් හැකියාව අපට තියෙනවා.   
මුහුණු පොතේ මිලියන 6 ක්, යූ ටියුබ් මිලියන 6 ක්, ඉන්ස්ට්‍රග්‍රෑම් මිලියනයක් පමණ මේ වන විට පරිශීලනය කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් භාවිතා කරන අන්තර්ජාල තොරතුරු හුවමාරු ක්‍රමය (මැසෙන්ජර්), වට්සප් කියන මාධ්‍ය මෙන්ම ෆේස්බුක් ඉන්ස්ට්‍රග්‍රෑම් යන මාධ්‍යයන් ගැනත් අවබෝධය සෝෂල් මීඩියා තුළ සාර්ථක වෙන්න උත්සාහ කරන ඔබට තිබිය යුතුමයි. ෆේස්බුක් ගිණුමකට වඩා ‘ෆේස්බුක් පේජ් එකක්, ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමක්, තබා ගැනීම යූ ටියුබ් හරහා සාර්ථක වෙන්න ඉතාම වැදගත් වෙනවා. මොකද ගොඩක් ඉක්මනට ඔයාගේ brand එක ඔයාගේ දක්ෂතාව මිනිස්සුන්ට අවශ්‍ය වෙලාවට මේ හැම මාධ්‍යයකින් දුන්නොත් ඔයාව හොයන්න ගන්න මිනිස්සු ප්‍රමාණය වැඩි කරගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මතක තබා ගතයුතු කාරණය තමයි ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම, ෆේස්බුක් ගිණුම සහ ෆේස්බුක් පේජ් එක මේ හැම ගිණුමකටම ඔබ යොද‌ා ගන්න ඕන එකම නම එකම brand name එක. එහෙම වුණොත් ඔයාගේ brand එක මිනිස්සු අතරට ගෙනියන්න ඒක ගොඩක් ලේසි වෙනවා. සෝෂල් මීඩියාවලින් ගොඩ යන්න අවශ්‍යම දේවල් ටික පිළිබඳ ඒ විදිහට අවසන් කරද්දී අපි මීළඟට යොමු වෙන ප්‍රධාන කාරණය තමයි ලංකාවේ මිනිසුන් වැඩියෙන්ම හොයන වීඩියෝ මොනවද? සහ අලුතින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් තාම මම මොනවද කරන්නේ කියලා කිසිම අයිඩියා එකක් ඔළුවට එන්නේ නැත්නම් හැමෝම හොයන යූ ටියුබ් වීඩියෝ අයිඩියා මොනවද කියලා අපි බලමු.  


ගොඩක් අය අහන දෙයක් තමයි මම ආසයි යූ ටියුබ් චැනල් එකක් කරන්න. මම ආසයි ෆේස් බුක් පේජ් එකට අලුත් දෙයක් එකතු කරන්න. හැබැයි මම මොනවද කරන්න ඕන කියලා තේරුමක් නැහැ කියන අයට තමයි අද මේ කතා කරන්න සූද‌ානම් වෙන්නේ.  


ඇත්තටම ලංකාවේ මිනිස්සු මොනවද වැඩිපුරම බලන්න කැමැති?  


මේ කාලෙදි ප්‍රධාන වශයෙන් ජනප්‍රියම මාතෘකා වෙන්නේ ගොසිප්, කාලීන මාතෘකා, ක්‍රීඩාව, සාහිත්‍ය වගේම චරිත සම්බන්ධ ගොසිප්වලට ලොකු රුචියක් දක්වනවා.  
 ලංකාවේ Trending මාතෘකා 6 ක් මම අද ඔයාලට කියලා දෙනවා.   


1. ගොසිප් කලාකරුවකුගේ, දේශපාලනඥයකුගේ, ගායකයකුගේ ඇත්ත හෝ බොරුව වීඩියෝ හදලා අන්තර්ජාලයට ද‌ානවා. ඉක්මනින් යූ ටියුබ් චැනල් එකක් ජනප්‍රිය කරගන්න ඕන නම් ගොසිප් වගේ දේවල් කරන්න පුළුවන්.  


2. යූ ටියුබ්වල Trending ලිස්ට් එකක් දෙවෙනි තැන හිමිවන්නේ විහිළු වීඩියෝවලට. විවිධ විහිළු කතා, කතා ආශ්‍රිත වීඩියෝ මිනිස්සු වැඩිදුර නරඹන්න පෙළඹිලා තියෙනවා. උදා‌‌හරණ කිව්වොත් චූටි මල්ලි, පොඩිමල්ලි, ලකයි - සිකයි, රැට්ටා, විනි ප්‍රඩක්ෂන් කාලීන මාතෘකාවලින් ගොසිප් එකතු කරලා හදන විහිළු වීඩියෝ ලංකාවේ මිනිස්සු බහුලව නරඹන වීඩියෝ බවට පත්වෙලා තියෙනවා.  


 අංක 3 තමයි සම්මුඛ සාකච්ඡා  


මේ වෙනකොට ටී.වී නාලිකාවන්වල මාධ්‍යවේදීන් පවා නිදහසේ කතා කරන්න විවේචන කරන්න යූ ටියුබ් යොද‌ාගෙන තියෙනවා. ඒ වගේම ප්‍රසිද්ධ, විශේෂ දක්ෂතා ඇති සුවිශේෂී පුද්ගලයන් ගෙන්වලා සම්මුඛ සාකච්ඡා පවත්වනවා. ඒ සාකච්ඡා සිද්ධ වෙන්නේ ගොසිප් ආකාරයට නිසා මිනිස්සු ඒවා බලන්න පෙළඹෙනවා. ලංකාවේ හොඳ වගේම වැරදිකරුවෙක් වුණත් යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට ගෙනැල්ලා ඉන්ටර්විව් කළොත් ලංකාවේ මිනිස්සු එවැනි වීඩියෝ නරඹන්න ඉතාම කැමැත්තක් තියෙනවා. යූ ටියුබ් Trending List එකට එන්න මේ වගේ වීඩියෝ ඔබටත් කරන්න පුළුවන්.  


අංක 04 තමයි නොපෙනෙන බලවේග සහ ජ්‍යොතිෂය  


වාස්තු දෝෂ ජ්‍යොතිෂය වගේ දේවල් හොයන අයත් යූ ටියුබ් එකේ ගොඩක් ඉන්නවා. කොරෝනා, ජනාධිපතිවරණ, අනාවැකි ගැන ජ්‍යොතිෂය දන්න කෙනෙක් ගෙනැල්ලා වීඩියෝ එකක් කරපු ගමන් බලා ඉද්දී ඒ වීඩියෝ Trending වෙන්න පටන් ගන්නවා.  


 මම මේ කියපු දේවල්වල ඇත්තටම පැවැත්ම කෙටි කාලීනයි. මම මේවා කිව්වේ මේ කියපුවා කරලා ජනප්‍රිය වෙන්න කියලා නෙමෙයි. ශ්‍රී ලංකාවේ ජනතාව වැඩිපුර අන්තර්ජාලය හරහා හොයන දේවල් මොනවද කියලා මම කරපු අධ්‍යයනයකින් තමයි මේ මාතෘකා අඳුර ගත්තේ. ඔබට යූ ටියුබ් චැනල් එකක් ආරම්භ කරන්න අයිඩියා එකක් නැත්නම් මෙන්න හොඳ මාතෘකා ටිකක්.  


මිනිස්සු හරිම ආසයි කතා අහන්න.  හොල්මන් කතා, සුරංගනා කතා, විහිළු කතා නැත්නම් සිදුවීම්, කතාව කියලා විතරක් නෙමෙයි දක්ෂයි නම් ඔබට රඟපාලත් පෙන්නන්න පුළුවන්. සමහරවිට කෙනෙකුගේ ජීවිත කතාව වෙන්නත් පුළුවන්. ඒවා ඇත්ත වෙන්න පුළුවන් නිර්මාණය කරපුවා වෙන්න පුළුවන්. ඒ හරහා නිර්මාණාත්මක දෙයක් ඔබට කරන්න පුළුවන්.  


ඊළඟ එක තමයි ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති චැනල් එකක් කරනවා නම් ඔබ ගොසිප්වලින් මිදෙන්න ඕනෑ. මොකද ප්‍රවෘත්ති කියන්නේ මිනිස්සු විශ්වාසයෙන් බලන දෙයක්. දේශපාලනය, කලාව, ක්‍රීඩාව ඕන දෙයක් ගැන හොඳ ප්‍රවෘත්ති චැනල් එකක් කරන්න පුළුවන්. තව ලංකාවේ මිනිස්සු හරිම ආස දෙයක් තමයි දේශපාලනික දේවල්, දේශපාලන ඉතිහාසය, වර්තමානයේ කතා වගේ දේවල්. දේශපාලනික දැනුම තියෙනව නම් යූ ටියුබ් හරහා දේශපාලන විචාරකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා.  


තව කාරණයක් තමයි ක්‍රීඩාව. ලංකාවේ මිනිස්සු ගොඩක් කැමැති දෙයක් තමයි ක්‍රීඩාව. ක්‍රිකට් වගේම ලංකාවේ තියෙන අනෙක් ක්‍රීඩාවන් ගැනත් කතා කරන්න පුළුවන් නම් ඒ ක්‍රීඩකයන් හඳුන්වා දෙන්න පුළුවන් නම් ඒ ක්‍රීඩකයන්ගේ ජීවිත කතා කියන්න පුළුවන් නම් ක්‍රීඩාව ගැන ඔබ අවබෝධයක් තියෙන කෙනෙක් නම් යූ ටියුබ් හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හොඳ තැනකට අරන් යන්න හැකියාව තියෙනවා. 

 
 ඊළඟ එක තමයි කලාව, කලාකරුවෙක් වෙන්න හරිම අමාරුයි. හැබැයි ඔයාට දක්ෂතාව තියෙනව නම්, සින්දුවක් කියන්න, සංගීත භාණ්ඩයක් වාදනය කරන්න. කරලා වීඩියෝ ඒ තමන්ගේ චැනල් එකේ අප්ලෝඩ් කරන්න. තමන්ගේ කලා හැකියාවන් යූ ටියුබ් එකට මුද‌ා හරිනවා කියන්නේ ජාත්‍යන්තර මට්ටම දක්වා යන්න පුළුවන් හොඳ මාර්ගයක්. ඒ වගේම තමයි Original Song එකකට Cover Song එකක් කරන්න. සමහර Cover Song හිතාගන්න බැරි විදිහට මිනිස්සු අතරට යනවා. මේක ඒ හැකියාව හොඳ අවස්ථාවක්. අද යොහානිට ජාත්‍යන්තරයට යන්න වාසනාව උද‌ාවෙලා තියෙන්නේ යූ ටියුබ් එකට විනෝදයට Cover Song එකක් කරලා ද‌ාපු සින්දුවක් නිසා. ඒ වගේ බලාපොරොත්තු නොවන අවස්ථා ඔබට මේ යූ ටියුබ් හරහා ලැබෙන්න පුළුවන්.  


ඒ වගේම අධ්‍යාපනික දේවල් මිනිස්සු දන්නේ නැති දේවල්, යූ ටියුබ් හරහා කියලා දෙන්න පුළුවන් නම් ඒකට වයස ගැටලුවක් නැහැ. කෑම ගැන, තාක්ෂණය ගැන, ඇඳුම් මහන හැටි ගැන, මේකප් කරන හැටි ගැන, ෆේෂල් ද‌ාන හැටි ගැන, සාරි අඳින හැටි ගැන, කොණ්ඩ මෝස්තර ද‌ාන හැටි ගැන මිනිස්සුන්ට දැනුමක් දෙන්න කතා කරන්න පුළුවන් නම් චැනල් එක ජනප්‍රිය කරගන්න හැකියාව තියෙනවා. මොකද තරුණ පිරිස මෙවැනි වීඩියෝ නරඹන්න රුචියක් දක්වනවා.  


ඒ වගේම කෑම හදන හැටි වගේම කෑම කන හැටි පෙන්වන චැනල් පවා අද තියෙනවා. ඔබ පිටරටක නම් ඉන්නේ ඒ රටවල්වල කෑම වර්ග සිංහලෙන් හදන හැටි කියලා දෙන්න පුළුවන්.  


තවත් සුවිශේෂීම මාතෘකාවක් තමයි සංචාරය (Travel) ලංකාවේ යූ ටියුබ් චැනල්වලින් ගොඩාක්ම ජනප්‍රිය මාතෘකාවක් වන මේ සංචාරය කළ හැකි ස්ථාන ගැන දේශීය වගේම විදේශීය රටවල් සිත්ගන්නා තැන් ගැන සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියලා දෙන්න පුළුවන් නම් ඔබට යූ ටියුබ් කෙනෙක් විදිහට ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. මොකද ලංකාවේ මිනිස්සු වයස් භේදයකින් තොරව කැමැති ඇවිදින්න. ඒ තැන ගැන තොරතුරු දැනගන්න.  


මීළඟ එක තමයි Experience & Reaction චැනල්  


ඒ කියන්නේ ඔබ චිත්‍රපටියක් බැලුවත්, සින්දුවක් ඇහුව්වත්, පොතක් කියෙව්වත් ඒ චිත්‍රපටය මොන වගේද, මොනවද විශේෂත්ව, පොත මොන වගේද, ගීතවල තේරුම්, ගීත ලියවුණ හැටි මේවා කතා කරනකොට ඒවාට ආස නැති අයටත් ආසාව ඇතිවෙන්න පුළුවන්. මේකත් යූ ටියුබ් චැනල් එකකින් සාර්ථක වෙන්න හොඳ මාතෘකාවක්.  


Kids චැනල්  


මේ වෙනකොට ශ්‍රී ලංකාවේ චූටි දරුවන්ට අද‌ාළ ළමා ගීත, කාටුන් ළමා කතා මිලියන ගණනක් නරඹලා තියෙනවා. හේතුව තමයි දැන් පොඩි දරුවන්ට කෑම කවන්නත් මේ වගේ වීඩියෝ ද‌ාලා පෙන්වන්න දෙමාපියෝ බහුල ලෙස පෙළඹිලා තියෙනවා. ඔන්න වෙනස් විදිහට හිතන කෙනෙක් නම් පොඩි දරුවන්ට නරඹන්න පුළුවන් දේවල් ඇතුළත් තොරතුරු ද‌ාලා වීඩියෝ ද‌ාන්න පුළුවන් නම් ඔයාට ඉක්මනින් සෝෂල් මීඩියා හරහා සාර්ථක වෙන්න පුළුවන්කම තියෙනවා.  


ඒ වගේම පැරැණි ගම්වල අතීතයේ පටන් තිබුණු චාරිත්‍ර, වාරිත්‍ර, සාම්ප්‍රද‌ායික ක්‍රම, ජනශ්‍රැති, ජන සංගීත වගේ දේවල්වලටත් ප්‍රියකරන කොටසකුත් ලංකාවේ ඉන්නවා. විශේෂයෙන් ඉගෙන ගන්න දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙන තොරතුරු ඇතුළත් යූ ටියුබ් නාලිකා ගොඩක් අඩු නිසා කරන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයෝ ඒ වටා එකතු වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.  


මේ වගේ තව දහසකුත් මාතෘකා ඕනෑ තරම් තියෙනවා. යූ ටියුබ් චැනල් එකක් හද‌ාගන්න ආසාවෙන් ඉන්න අයට වගේම මොන වගේ දේවල් ද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කියලා දැනුමක් ලබා දෙන්න මම ඔබට යම් යම් අදහස් ලබා දුන්නත් මීට වඩා දේවල් ඔබට හිතන්න පුළුවන්.  


 යූ ටියුබ් හරහා මුදල් හොයන්න, සාර්ථක වෙන්න නම් ඔයාගේ චැනල් එකට Subscribers ලා අවශ්‍යයි. Subscribers ලා වැඩි කරගන්නේ කොහොමද කියලා බලන්න ලබන සතියේ කතා බහ තුළින් මුණගැහෙමු.

 

 

නදීශා අතුකෝරාළ