සේනා සම්මත වික්‍රමබාහු සහ පශ්චාත් සිංහල ජාතිය නිර්මාණයවීම


ඉතිහාසයෙන් පිටුවක්

 

කෝට්ටේ රාජධානියේ හයවැනි පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය තුළ කන්ද උඩරට රාජ්‍ය කෝට්ටේට යටත් උප රාජධානියක් විය. අම්බුළුගල උප රාජධානියේ රාජ්‍ය පාලකයා හයවැනි පැරකුම්බාවන්ගේ සහෝදරයෙකුවූ මායාදුන්නේ පරාක්‍රමබාහු විය. කන්ද උඩරට රාජධානියේ පාලකයාවූ ජෝතිය සිටාණන්ගේ කැරැල්ල නිසා ඔහු රාජධානියෙන් පහකොට උඩරට රජු වශයෙන් පත්කරන ලද්දේ ගම්පොළ කුමාරයා ලෙස හඳුන්වන ලද අම්බුළුගල කුඩාකුමරු හෙවත් සේනාසම්මත වික්‍රමබාහුය. ඔහු ගම්පොළ අම්බුළුවාව හෙවත් අම්බුළුවාකන්දේ සිට සතර කෝරළයට අවුත් දෙවනගල හෙවත් ජයවර්ධනපුර කෝට්ටේ රාජ්‍යත්වයට පත්වූ හතරවැනි වික්‍රමබාහු රජුගේ පුත්‍රයාය. හතරවැනි වික්‍රමබාහු යුගයේදී දෙවනගල රාජධානිය හඳුන්වන ලද්දේ අම්බුළුගල රාජධානිය වශයෙනි. මොවුන් සියළුදෙනා සවුළු පෙළපතට අයත් වූවන්ය.   


සවුළු පෙළපතේ හතරවැනි පැරකුම්බාවන් දැදිගම රාජධානියේ නිර්මාතෘවරයා විය. ඔහු කුරුණෑගල රාජ්‍ය හොබවද්දී සිය බෑණනුවන්වූ සිරිවර්ධන සේනාධිකාරී හට කටුපුළු නුවර හෙවත් වර්තමාන මහනුවර බලකොටුවක් ඉදිකිරීමට අණ කළේය. ඒ අනුව ඉදිකළ කටුපුළු නුවර බලකොටුව ආශ්‍රිත පෙදෙස ‘සිරිවර්ධන පුරය’ බවට පත්විය. මහනුවර රජ මාලිගය සහ වැව (කිරිමුහුද) ඉදිකරන ලද්දේ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසිනි. එහි දළදා මැදුර ඉදිකරන ලද්දේද ඔහු විසිනි.   


‘....... රජතෙමේ මේ ජයභූමිය නිසා ඔද වැඩිව ඒ ස්ථානයෙහි රජ මාලිගය ඉදිකිරීමට වැසියන්ට අණ කළේය... දළදා මාලිගයද එහිම ඉදි කළේය. ජයභූමියේදී සම්බවූ කිරි ඉදිබුවන් දැමීම සඳහා කරන ලද හෙයින් කිරි මුහුද යන නමින් ප්‍රසිද්ධ විය. රජතෙමේ නුවර ඉදිකිරීම සඳහා ජයභූමි පරික්ෂා කළ අයට මහා දර්ශනමාලය තෑගි කළේය.   
(පී.ඇම්.පී. අභයසිංහ - උඩරට විත්ති, පිටු - 256 සහ 257)   


සේනාසම්මත යනු යුද්ධ සේනාව විසින් තෝරාගන්නා ලද යන ගෞරව නාමයකි. කෝට්ටේ රාජධානිය සොලීන් අතට පත්වීමත් සමග සිංහලයන්ගේ රාජ්‍යය කන්ද උඩරටට සීමාවිය. උඩරට පස්රටේ සේනාව විසින් මිත්‍ර ගිවිසුමක් අත්සන් කරන ලදුව මොහු උඩරට රජු බවට පත්විය. ඔහුගේ රාජ්‍ය කන්දඋඩ පස්රටට පමණක් නොව ත්‍රිකුණාමලයේ සිට පානම දක්වා වෙරළබඩ ප්‍රදේශයද, මාතලේ, ඌව, කොත්මලේ සහ මහතොටද (මන්නාරම) දක්වා වූ පුළුල් ප්‍රදේශයක් විය.
හතරවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1305-1335) සිය බෑණනුවන් වූ සිරිවර්ධන සේනාධිකාරී ලවා සෙංකඩගල බලකොටුව බැන්දවූ පසු එම සෙනවියා විසින් එහි උතුරු පැත්තේ (වර්තමාන ට්‍රිනිටි විද්‍යාලය අසළ) ආරන්‍ය සේනාසනයක් ඉදිකරන ලදී. රජතුමා විසින් එහි විසීම සඳහා සංඝයා වහන්සේලා ලබාදෙන ලදුව උන්වහන්සේලා ක්‍රි.ව. 1312 දී මෙම සෙනසුනට වැඩිසේක. මෙම භික්ෂූන් වහන්සේලා වැඩියේ යාපහුවේ ‘අච්ඡගිරි’ නම්වූ සෙනසුනේ සිටය. එමනිසා මහනුවර සෙනසුනද ‘අස්ගිරිය’ ලෙස හඳුන්වන ලදී. සේනාසම්මත වික්‍රමබාහු විසින් සිය මෑණියන් වූ චන්ද්‍රාවතී බිසව සඳහා අස්ගිරිය අසළ මාලිගාවක් සාදවන ලදුව ඇයට වැඳපුදා ගැනීම සඳහා ‘තලගහමුල විහාරය’ නමින් ටැම්පිට විහාරයක්ද ඉදි කළේය. එහි රෝපණය කළ බෝධිය ‘චන්ද්‍රාවතී බෝධිය’ නමින් වර්තමානයේද දක්නට ලැබේ. මෙම බිසව මියගිය පසු ක්‍රි.ව. 1464 දී එම මාලිගාව සංඝාවාසයක් සහ පිළිමගෙයක් බවට පරිවර්තනය කරන ලදී. චන්ද්‍රාවතී බිසව හෙවත් අස්ගිරිදේවිය ආදාහනය කළ ස්ථානය ‘ආදාහන මළුව’ ලෙස හැඳින්වේ. වර්තමානයේදී එය ‘ගෙඩිගේ විහාරය’ ලෙස හැඳින්වේ.   


කන්දඋඩ පස්රටේ මහරජු සේනාසම්මත වික්‍රමබාහු විය. මිත්‍ර ගිවිසුම අනුව සෙස්සන් වූයේ රජදරු බණ්ඩාර එනම් යුවරජු වූ දොඩම්වල පරාක්‍රම අෑපාණන් (දොඩම්වල පරාක්‍රමයා) දුම්බර හටං බණ්ඩාර, වරාව බණ්ඩාර සහ දන්කොටවතුර දේව යන කුමාරවරුන්ය. මහරජු සමඟ මෙම රජ පස්කට්ටුව සජුරුවන් ලෙසද, ප්‍රාදේශීය රජවරු හතරදෙනා චතුපජුරුවන් ලෙසද සෙල්ලිපිවල සඳහන් කර ඇත. මොවුන් අතර මිත්‍ර ගිවිසුම ඇතිවූයේ ක්‍රි.ව. 1463 දීය. එහෙත් වසර දෙකක් ඇවෑමෙන් ගිවිසුම කැඩුණි. එයට හේතුවූයේ දුම්බර හටං බණ්ඩාර විසින් රජුට විරුද්ධව කැරැලි ගැසීම නිසාය. වික්‍රමබාහු රජතුමා කැරැල්ල මර්දනය කළ අතර එහිදී දොඩම්වල පරාක්‍රම ඈපාණන්ගේ බෑණනුවන්වූ මෙහෙණවර තුණයාගේ සහාය රජුට ලැබුණි.   


මෙහෙණවර තුණයා යනු යුවරජු වූ දොඩම්වල පරාක්‍රම ඈපාණන්ගේ සොහොයුරියගේ පුතාය. මෙම සටනේදී දුම්බර හටං බණ්ඩාර මරණයට පත්විය. කැරැල්ලෙන් පසු සේනාසම්මත වික්‍රමබාහු විසින් සිදුරුවාන, උඩුනුවර හා යටිනුවර වැසියන්ට අභයදානය දෙනලද ආකාරයත් යුද්ධයේදී මියගිය යුද හේවායන්ට අයත් ඉඩකඩම් ආදියට හිමිකාරයන් නොමැති නම් ඒවා ජරාවාසව ගිය විහාරාරාම ආදිය ප්‍රතිසංස්කරණය සඳහා පවරා දෙනලද බවටත් සඳහන් කොට ගඩොලාදෙණි පර්වත ලිපිය පිහිටුවන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර පෙදෙසේ ගඩොලාදෙණි විහාරය පිහිටා ඇත. මහනුවර සිට හත්දෙස්ස පාරේ කි.මී. 15 ක් පමණ දුරින් එය පිහිටා ඇත.   
මෙම සෙල්ලිපියෙහි සේනාසම්මත වික්‍රමබාහු තමා මහාසම්මත පරම්පරාවේ සූර්ය වංශයෙන් පැවතෙන බව සඳහන් කර ඇත. මහාසම්මත පරම්පරාව යනු පුරාණ පාර්සියන් (වර්තමාන ඉරානය) ආර්යන්ගේ රාජ පරම්පරාවවූ ‘හක්ක මානුසියා’ පරම්පරාව වේ. උත්තර භාරතයේ කපිලවස්තු පුරයේ ආරම්භකයාද මහාසම්මත රජ පරපුරේ 28 වැනියා වූ ජයසේන මහරජතුමාය.   


සේනාසම්මත වික්‍රමබාහු යුගයේදී හතර කෝරළයද එම රජුට අයත් ප්‍රදේශයක් ලෙස පැවතුණි. සෙම්බගම්බ පෙරුමාල් හයවැනි බුවනෙකබාහු ලෙස කෝට්ටේ රාජ්‍යත්වයට පත්වූ පසු හතර කෝරළ වැසියන් උඩරට සිංහල රජුගේ අණසක පිළිගත් බව පැහැදිලි වෙයි. සේනාසම්මත වික්‍රමබාහුගේ රාජ්‍යත්වයෙන් දසවැන්නේදී හිඟුලේ විහාරයේ පිළිමසාමීන්ට පාබත් පිදීමක් පිළිබඳව දැන පත්‍රයක් විස්තරයක් මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා ශාස්ත්‍රිය ලිපියක් සංස්කෘතික සඟරාවක පළකර ඇත. එහෙත් එම දානපත්‍රයේ සඳහන් තොරතුරු වැරදි ලෙස අර්ථකතනය කර ඇති බව පැහැදිලිව දක්නට ලැබේ. මෙම දානපත්‍රයේ දිමනාකරු ‘රන්වල දේවයා’ නැමැත්තෙකි. හිඟුල විහාරය පිහිටා ඇත්තේ කොළඹ-නුවර මාර්ගයේ මාවනැල්ල නගරයට සැතපුම් එකහමාරක් පමණ දුරින් කඩුගන්නාව දෙසට යන මාර්ගයේය.   
අප දන්නා පරිදි මෙන්ම ජනප්‍රවාදයේ සඳහන් වෙන පරිදි සේනාසම්මත වික්‍රමබාහුගේ බලගතු සෙනවියකු ‘රන්වල දේවයා’ නමින් හතර කෝරළයෙහි ප්‍රසිද්ධව සිටියේය. මෙම දානපත්‍රයේ සඳහන් වෙන්නේ ඔහුය. රන්වල යනු කෑගල්ලට සැතපුමක් පමණ දුරින් කොළඹ දෙසට වෙන්නට සහ පොල්ගහවෙලට හැරෙන මංසන්ධියේ පිහිටි ග්‍රාමයකි. වර්තමානයේදී එය කුඩා නගරයකි. කෝට්ටේ රාජධානි යුගයේදී මෙරට ආක්‍රමණය කළ පෘතුගීසින් හට ගුරුගොඩ ඔයෙන් මෙපිටට පැමිණීමට ඉඩනොදී සිංහල පිරිස් සහ ඔවුන්ගේ ගේදොර ආරක්ෂා කළ ‘රන්වල දේවයා’ මරණින් පසු ‘රන්වල දෙවියෝ’ බවට පත්විය. ගුරුගොඩ ඔය සමීපයෙහි ඔහුගේ දේවාලයක් ඉදිකළ සිංහලයින් මෑතක් වනතුරුම එයට වැඳුම් පිදුම් කළහ. ගුරුගොඩ ඔයේ ඔරුපාරු පැදවූ තොටියන් ආරක්ෂා කරන ලද්දේ මෙම දෙවියන් විසින් බවද සිංහලයෝ විශ්වාස කළහ. මැන්දිස් රෝහණදීර මහතා රන්වල දේවයා යන්න ‘රන්වලන් දේවයා’ ලෙසට අර්ථකථනය කිරීම හාස්‍යජනකය.   
මෙම දානපත්‍රයේ සඳහන් වෙන්නේ රන්වල දේවයාට අයත් හිඟුලට නුදුරු ඇලබඩගමට අයත් කංකිරිගම නැමැති දෙපෑලක කුඹුරද පෑලක වපසරිය ඇති හේනක්ද හිඟුලේ විහාරයේ අධිපති පදවියට පත් ‘දේවමිත්ත’ ස්වාමීන් වහන්සේට පූජා කිරීමකි. මෙම දානපත්‍රයෙහි සේනාසම්මත වික්‍රමබාහු රජු හඳුන්වා ඇත්තේ ‘සිරිසඟබෝ ශ්‍රී සේනාසම්මත වික්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ’ යනුවෙනි. මෙම දීමනාවේ සඳහන් කංකිරිගම කුඹුරේ ඉතිරි කොටස රන්වල දේවයාගේ සහෝදරයෙකුවූ ‘නුවරගල් දේවයා’ විසින් හිඟුලේ විහාරයට පූජා කරන ලද බව දෙවැනි දාන පත්‍රයේ සඳහන් වෙයි. නුවරගල් දේවයා යනු මහා විජේබාහු යුගයේ ඔහුගේ සෙනවියෙකුවූ ‘කිත්නුවරගල් දේව’ පරපුරේ කෙනෙකු බව පැහැදිලිය. 2005 වසරේ බෞද්ධ කොමිසන් සභා වාර්තාවේ කිත්නුවරගල් දේව හට දෙවනගල ආශ්‍රිතව පමුණුව සහ ලබුමුව ගම්වර දෙකක් පවරාදෙන ලද බව සඳහන් වෙයි.   
මෙම දානපත්‍ර දෙකට අමතරව තුන්වැනි දානපත්‍රයක්ද ඇත. එහි දීමනාකරුවන් වන්නේ ‘බෙන්තොට මෙහෙණවර දේවයා’ සහ ‘මෙනේරිගම මෙහෙණවර දේවයා’ යන දෙදෙනාය. මෙම දාන පත්‍රය මගින් මෙනේරිගම ‘රන්වල පෑල’ නම් වූ කුඹුරක් සහ තවත් ගෙවත්තක්ද හිඟුලේ විහාරයට පූජා කරන ලද බව සඳහන් වෙයි. මෙනේරිගම යනු හිඟුලට සමීප ගමකි. මහාචාර්ය මෑන්දිස් රෝහණදීර මහතා ‘මෙහෙණවර දේවයා’ යන්න ‘මේනබෑදේවයා’ ලෙස අර්ථකතනය කර තිබීම සදොස්ය. ‘මෙහෙණවර’ ලෙස පෙළපතක් විනා ‘මේනබෑ’ යනුවෙන් පෙළපත් නාමයක් නොමැත. ශ්‍රී මහා බෝධිය සමග පැමිණි බෝධිගුත්ත කුමරුට විවාහය සඳහා ක්ෂත්‍රීය කන්‍යාවක් නොසිටි නිසා සුනන්දා නම් වූ මෙහෙණිවරිය සිවුරු හරවා බෝධිගුත්ත කුමරුට සරණපාවා දෙන ලදී. ඔවුන් දෙපොළගෙන් පැවත ආ පරම්පරාවල් මෙහෙණවර වංශය ලෙස පසුකාලයේදී ප්‍රකට විය. පැරණි ග්‍රන්ථයක් වූ ‘කුල නීතිය’ නම් වූ පද්‍ය ග්‍රන්ථයෙහිද ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය.   


දෙවගණ සරණ කොට   
තපස් වෙස් හැර ඉවතට   
දේවයා නමක් කොට   
එයින් පැවතී නමක් පෙර සිට   


මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා මේ දානපත්‍ර තුනේ දායකයන් එකම පවුලකට අයත් වූවන් බව විශ්වාස කරයි. එතුමා මෙසේද සඳහන් කරයි.   
‘අපට ලැබුණු තල්පන් තුනට මුලින් ‘ක’ ‘කා’ ‘කි’ යනුවෙන් තවද පත්ඉරු තුනක් තිබී හැලී ඇතැයි ඉහත සලකා බැලීමු...’   
දෙවැනි සහ තෙවැනි දානපත්‍රවල කියැවෙන දීමනාවට සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කොට ඇති පුද්ගලයින් අදාළ යුගයේ සමාජ සංස්ථාවල ඉතිහාසය හදාරන්නන් හට අතිශය වැදගත්වේ. මේ පුද්ගලයන් හඳුන්වා ඇත්තේ ‘රටින් ගමන් බලගතු නොයෙක් දෙනා’ සහ ‘කුඩා මහත් හැමදෙනා’ යනුවෙනි. රටින් ගමින් බලගතු යන්නෙන් හැඟී යන්නේ ගමේ ප්‍රභූන්, මධ්‍ය ආණ්ඩුවේ වැදගත් නිලධාරින් යන්නයි. ‘කුඩා මහත් හැමදෙනා’ යන්නෙන්ද හැඟෙන්නේ ප්‍රදේශයේ සමාජමය හා නිලධාරී මට්ටමින් ප්‍රභූත්වයේ හා සාමාන්‍ය තත්ත්වයේ පුද්ගලයින් බවය.   


දෙවැනි දානපත්‍රයේ දකුවන් හෙවත් සාක්ෂිකරුවන් ලෙස සඳහන් කර ඇති රටින් ගමින් බලගතු අය අතර බටවල රාමසැර පතිරාජයන්, මෙනේරිගම කාලිංග විජයබාහු අධිකාරින්, ඇලබඩගම රන්වල දේවයා, සලියදී ඈපා කුමාරයා, මෙහෙණවර දේවයා, තල්ගොඩපිටියේ සේනාධිරාජ, හිඟුලේ ආලුවා සේනාධිරාජ යන අය සඳහන් කර ඇත.   
තුන්වැනි දානපත්‍රයේ සාක්ෂිකරුවන් අතර හිඟුලේ ආලුවා සේනාධිරාජ සහ මෙනේරිගම කාලිංග විජයබාහු අධිකාරි යන දෙදෙනාද ඊට අමතරව උනන්ගොඩ කොබ්බෑවල අධිකාරි බෙරුගම්මාන පතිරාජ, රදාගම පීල්ලේගෙයි පතිරාජ යන අයද සඳහන් කර ඇත. මැන්දියස් රෝහණදීර මහතා පවසන්නේ මෙම දානපත්‍රවල සලියදී ඈපා ලෙස කුමාරයෙකුද බටවල රාමසැර බෙරුගම්මන සහ රදාගම පීල්ලෙගෙයි යනුවෙන් පතිරාජයන් තිදෙනෙකුද, මෙනේරිගම කාලිංග විජයබාහු සහ උහන්ගොඩ කොබ්බෑගල යනුවෙන් අධිකාරිවරු දෙදෙනෙකුද එසේම තල්ගොඩපිටියේ හා හිඟුලේ ආලුවා ලෙස සේනාධිරාජයන් දෙදෙනෙකු සඳහන් කර ඇති බවයි. එම යුගයේ සමාජයේ හා රාජ්‍ය පරිපාලන යන්ත්‍රයේ බලවත් සහ වැදගත් එසේම සිංහල ප්‍රභූවරු මොවුන් බව පැහැදිළිය. සෙබ්බගබ්බ පෙරුමල්ලා සහ ඉන්පසු යුගයේ සීතාවක රාජසිංහ හා වීදියේ බණ්ඩාර ආදී සොලීන් විසින් උපක්‍රමශීලීව මෙම පිරිස් විනාශ කළහ.   


මෙම දානපත්‍රවල සඳහන් හිඟුල යනු මාවනැල්ලට නුදුරු කුඩා නගරයකි. හිඟුල යන්න ‘හීංගුල’ යන්නෙන් බිඳී ආවකි. උඩරට රාජධානිය ආරක්ෂාවූ හතර කෝරළයේ මායිම එය විය. දානපත්‍රවල සඳහන් පුද්ගලයින් හිඟුල ආශ්‍රිත සිංහල යුද කඳවුරුවල නිලධාරීන් වියහැක. වර්තමානයේ හිඟුල නගරයේ දක්නට ලැබෙන. දැඩිමුණ්ඩ දේවාලය එම කාලයේදී හිඟුල ග්‍රාමයේ තිබුණු අම්බලමක් විය. එසේම එම කාලයේදී මෙම පෙදෙස මහවනයෙන් වැසී තිබුණි. උඩරටට යන මාර්ගය හිඟුල්ඔය නමින් හැඳින්වෙන කුඩා ඇළක් ආශ්‍රිතව ඊට සමාන්තරව පිහිටි අඩිපාරක් මගින් වැටී තිබුණි. එහි ගමන් කළ හැක්කේ එකා බැගින් එකා වශයෙනි. එමනිසා එම මාර්ගය ‘හීංගුල’ ලෙසට ව්‍යවහාර විය.   
1803 දී ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව දියත් කළ සටනේදී ඉංග්‍රීසීන් සමග තොර රහසින් එකතුවූ මොල්ලිගොඩ අදිකාරම හිඟුලට ආසන්න ගනේතැන්නේ පිහිටි සිංහල හමුදා කඳවුරක් පිළිබඳ තොරතුරු අට්ටාපිටියේ ඉංග්‍රීසි යුද කඳවුරට දැනුම් දුනි. මධ්‍යම රාත්‍රියේ පුද්ගලිකවම ඉංග්‍රීසි කඳවුරට පැමිණි මොල්ලිගොඩ ජාවෝ සහ සිපොයි හටයින් සමග ඉංග්‍රීසි ලුතිතන් වරයෙකු යටතේ ගනේතැන්නට ගොස් සිංහල යුද කඳවුරට ගිනි තබන ලදී. ගින්නෙන් සහ බයිනෙත්තු පහරවලින් කඳවුරේ සියලුම සිංහල සෙබළුන් මරණයට පත්විය.   
1818 ඉංග්‍රීසි විරෝධී නිදහස් සටනේදී​ මොල්ලිගොඩ මහ අදිකාරම් බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතීව සිටීම ඔවුන්ට දේව වරමක් හා සමාන බව ඉංග්‍රීසින් සඳහන් කරයි. එසේ නොවුණේ නම් මහනුවරත් මුහුදුබඩ පෙදෙසත් යාකළ ඔවුන්ගේ සැපයුම් මාර්ගය (හතර කෝරළය හරහා) සහමුලින්ම වැසීයාමට ඉඩ තිබුණි. එසේ වූයේ නම් ඉංග්‍රීසින්ට උඩරටින් පිටව යාමට හෝ කුසගින්නේ මිය යාමට හෝ ඉඩ තිබුණි. ජාතික ලේඛනාගාරයේ ඇති තොරතුරුවලට අනුව මොල්ලිගොඩ සිංහලයකු නොවේ. ඔහු ලන්දේසීන් විසින් මලබාර් වෙරළේ සිට මෙරටට ගෙන ආ වහලු‍න්ගෙන් පැවැතෙන්නෙකි.   


1803 හංවැල්ලේ සටන පාවාදීම නිසා හමුදාපති පදවිය දැරූ ලෙව්කේ හිස ගසා මරා දැමීය. ඉන්පසු හමුදාපති පදවියට පත් කරන ලද්දේ මොල්ලිගොඩය. රජුට විරුද්ධව කටයුතු කළ ඇහැලේපොළ සහ ඔහුගේ කැරැළි හමුදාව අල්ලා ගැනීමට රජතුමා මලබාර් හමුදාවක් සමග මොල්ලිගොඩ සබරගමුවට යැවීය. අටුළුගම ග්‍රාමයේ මොවුන් කඳවුරු බැඳීය. රත්නපුරයේ මොහොට්ටාල කෙනෙකුගේ වලව්වේ සැඟව සිටි ඇහැලේපොළ සාම දූතයකු ලෙස කිරිපෝරුවේ මොහොට්ටාල අටුළුගම කඳවුරට යැවීය. එහෙත් මොල්ලිගොඩ ඔහු අත්අඩංගුවට ගති. මලබාර් හමුදාව පාරඬේ වලව්ව, ඉද්දමල්ගොඩ වළව්ව ඇතුළුව ගම්බිම් ගිනි තබමින් විශාල මිනිස් ඝාතනයක් සිදු කළහ. සිරකරුවන් ලෙස විශාල පිරිසක් නුවරට ගෙන ආහ. වලව්වල පිරිස් අසරණ වූහ. වැන්දඹුවන් බවට පත්වූ කාන්තාවන් පසුකාලීනව දකුණු පළාතේ සිට පැමිණි වෙළඳුන් තොරොම්බල්කාරයින් පවා විවාහ කරගති. මඩුවන්වෙල වලව්වේ කාන්තාව විවාහ කර ගත්තේ මාතර පළාතේ යකැදුරෙකි. රත්නපුර වලව්වක කාන්තාවක් විවාහ වූයේ මීගමුවේ සිට පැමිණි තොරොම්බල්කාරයෙකි. එහෙත් මොවුන් පසුකාලීනව විශාල ඉඩම් හිමියන් බවට පත්වූහ. රදළයින් බවට ද පත්වූහ.   
සේනාසම්මත වික්‍රමබාහුගෙන් පසුව උඩරට රාජධානියේ රාජ්‍යත්වයට පත්වූයේ මෙහෙණවර ගුණයාය. මොහු සේනාසම්මත වික්‍රමබාහුගේ යුවරජු වූ දොඩම්වල පරාක්‍රමයාගේ (පරාක්‍රම ඈපාණන්) සොහොයුරියගේ පුතාය. එනම් බෑණාය. වික්‍රමබාහුගෙන් පසුව උඩරට ප්‍රභූන්ගේද, සංඝරත්නයේද, ආශිර්වාදය මත ඔහු රාජ්‍යත්වයට පත්විය. කන්දඋඩ පස්රටේ මෙන්ම මාතලේ පන්සිය පත්තුව (දුම්බර) ගම්පොළ, බලවිට සහ ඌව යන පෙදෙස්වල ජන සහායද ඔහුට ලැබුණි.   


කෝට්ටේ රාජධානියේ හයවැනි පැරකුම්බාවන්ගේ මරණයත් සමග (ක්‍රි.ව. 1467) එහි ඊළඟ පාලකයා බවට පත්වූයේ ඔහුගේ දියණිය වූ ලෝකනාථා හෙවත් උලකුඩදේවි සහ සේනාසම්මත වික්‍රමබාහු යන දෙපළගේ පුත්‍රයා වූ ජයවීර පරාක්‍රමබාහුය. මොහු රාජ්‍යත්වයට පත්වීමත් සමග යාපනයේ රජු ලෙස හයවැනි පැරකුම්බාවන් විසින් පත්කර සිටි සෙබ්බගබ්බ පෙරුමාල් පැමිණ ජයවීර පරාක්‍රමබාහු මරා හයවැනි බුවනෙකබාහු නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත්වූ බව ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ මෙන්ම වෙනත් කාලීන වාර්තාවලද සඳහන් කර ඇත. ඒ අනුව ජයවීර පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලය වසර දෙකකට සීමා වූ බව ඔවුන් සඳහන් කරයි. එහෙත් සිංහල සංගේ හෙවත් සිංහලයාගේ සටන නමින් හැඳින්වෙන විශාල කැරැල්ලක් සිංහලයන් විසින් හයවැනි බුවනෙකබාහුට විරුද්ධව දියත් කළහ. මෙම සටනේදී සෙබ්බගබ්බ පෙරුමාල් හෙවත් හයවැනි බුවනෙකබාහු සටන් බිමේදී මියගිය බව එච්.සී.පී. බෙල් මහතා සිය කෑගලු‍ වාර්තාවේ සඳහන් කර ඇත.   
ඒ අනුව හයවැනි බුවනෙකබාවන්ගේ රාජ්‍ය කාලය වසර හතක් බව බෙල් මහතා සඳහන් කරයි. එහෙත් එය වැරදිය. කෝට්ටේ රාජ්‍යයේ පාලකයා වූ ජයවීර පරාක්‍රමබාහු රජුට විරුද්ධව උඩරට මෙහෙණවර තුණයා විසින් දියත් කළ කැරැල්ල මැඩ පවත්වන ලද්දේ ජයවීර පරාක්‍රමබාහුගේ පස්වැනි රාජ්‍ය වර්ෂයේදී බව ගඩොලාදෙණි පුවරු ලිපියේ සඳහන් වෙන බැවිනි. එසේ නම් හයවැනි බුවනෙකබාවන්ගේ රාජ්‍ය කාලය වසර දෙකක් විය යුතුය. සෙබ්බගබ්බ පෙරුමාල් හෙවත් සපුමල් කුමාරයා යාපනයේ සිට අවුත් ජයවීර පරාක්‍රමබාහු මරාදමා කෝට්ටේ රාජධානිය අල්ලා ගන්නා ලද්දේ නම් සහ ජයවීර රජුගේ රාජ්‍යය කාලය වසර දෙකකට සීමා කරන ලද්දේ නම් ජයවීර පරාක්‍රමබාහු සිය රාජ්‍ය කාලයෙන් වසර පහක් ඇවෑමෙන් සිය ස්වර්ණාභිෂේක මංගල්‍යයට මසක් තිබියදී උඩරට ගුණයා පරාජය කර සෙල්ලිපියක් පිහිටුවන ලද්දේ කෙසේද? ඔහු මැරී උපන්නේද? මෙරටට පැමිණි විදේශික ආක්‍රමණිකයන් වීරයන් කර හුවා දැක්වීමත් සිංහල නරවිරුවන් පහත්කොට සැලකීමත් ලංකා ඉතිහාසය පුරා දක්නට ලැබෙන්නකි.   
සැබැවින්ම සිදුව අැත්තේ කුමක්ද? සවුළු පෙළපතේ හයවැනි පැරකුම්බාවන් මිය යාමත් සමග යාපන පාලකයාව සිටි සෙබ්බගබ්බ පෙරුමාල් උතුරේ සිට පැමිණ කෝට්ටේ රාජ්‍යත්වය පැහැර ගැනීමය. පැරකුම්බා රජුගේ පාලන කාලයේ විශාල ද්‍රවිඩ බලයක් තිබූ බව අමතක නොකළ යුතුය. අරාජිකත්වයෙන් මිදී සිංහල නරවරයකු පත්කර ගැනීමට සිංහලයෝ පියවර ගත්හ. ඒ අනුව උඩරට පස්රටේ සේනාව සහ ප්‍රභූවරුද මහා සංඝයාද එකතුව මෙහෙවර තුණයා උඩරට රාජ්‍යයට පත්කර ගත්හ. එසේම කෝට්ටේ රාජ්‍යයේ ද්‍රවිඩ රජුට මහත් අභියෝගයක් එල්ල විය.   


සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමිවූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහරජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබාගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතිත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළුගඟ සහ වළවේ ගඟ අතර පිහිටි මුළු රටම පස්දුන් කෝරළේ කැලණිදොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධානීන් දෙදෙනාගේ නායකත්වය යටතේ බුවනෙකබාහු රජුට විරුද්ධව අවිගෙන නැගී සිටියෝය. රාජාවලිය සිංහල පෙරළිය යැයිද දැදිගම සෙල්ලිපිය සිංහල සංගේ (සිංහලයන්ගේ සටන) යැයිද මේ කැරැල්ල හඳුන්වයි. මේ නම්වලින් හැඟෙන්නේ එය පියපසින් මලයාලි පෙළපතකට අයිති පාලකයකුට විරුද්ධව ජාත්‍යානුරාගී හැඟීම් නිසා පැන නැගුණු කැරැල්ලක් බවයි.   


(ලං.වි.වි. ලංකා ඉතිහාසය I කාණ්ඩය, II භාගය, පි-642)   


සිංහලයෝ ජයග්‍රහණය කළහ. සටන් බිමේදී හයවැනි බුවනෙකබාහු මරණයට පත්විය. ඒ අනුව ඔහුගේ රාජ්‍ය කාලය වසර දෙකකට සීමා විය. උලකුඩදේවියගේ පුත්‍රයා වූද හයවැනි පැරකුම්බාගේ මුණුබුරු වූද ජයවීර පරාක්‍රමබාහු කෝට්ටේ රාජ්‍යත්වයට පත්විය. හයවැනි පැරකුම්බා යුගයේ සිට උඩරට රාජධානිය කෝට්ටේට යටත් රාජ්‍යක් විය. සිංහල සංගේ නිසා කෝට්ටේ රාජධානියේ අවුල් වියවුල් තත්ත්වය තම වාසියට හරවාගත් මෙහෙණවර තුණයා තම කන්දඋඩ රාජ්‍ය කෝට්ටේ පාලනයෙන් නිදහස් ස්වාධීන රාජ්‍යක් බවට පත්කර ගැනීමට උත්සාහ කළේය.   


මෙහෙණවර තුණයා පණම් රන් ගස්වමින් අංගම්පොර කොටවමින් කෝට්ටේ රජුට ගෙවිය යුතු අයබදු මුදල් නොදෙමින් සිය සටන ඇරඹීය. ස්වාධීන රාජ්‍යයක් තුළ මුදල් අච්චු ගැසීමේ බලය ඇත්තේ එහි මහරජුට පමණය. මෙම කාලයේදී භාවිත වූ මුදල් ඒකකය පණම විය. එය රන් පණම් සහ රිදී පණම් වශයෙන් ප්‍රභේද දෙකයි. නගරය තුළ ඇතුන් පිට යාම, ඇත් වෙළඳාම, මැණික් ගැරීම වැනි ආකර කරවීම, පුද්ගලයින් සඳහා තනතුරු සහ නම්බුනාම පිරිනැමීම ආදිය මහරජතුමාට පමණක් සිදු කළ හැකි කාර්යයන් විය. එහෙත් මෙහෙණවර තුණයා විසින් මෙම සියලු‍ දෑ සිදු කරන ලද්දේ කෝට්ටේ රාජධානියට විරුද්ධවය.   
කෝට්ටේ ජයවීර පරාක්‍රමබාහු පැමිණ යුදකොට මෙහෙණවර තුණයා සටන් කරන ලදී. පරාජිත තුණයා විසින් අභයදානය ඉල්ලා සමාව ගත් බව සඳහන් කරමින් තුණයා විසින් පිහිටුවන ලද සෙල්ලිපිය ‘ගඩොලාදෙණි පුවරු ලිපිය’ ලෙස හැඳින්වේ. එහි සඳහන් විස්තර වලින් වැදගත් කොටස් කීපයක් පහත සඳහන් පරිදි වේ.   
‘ස්වස්ති, ප්‍රශස්ත මහා සම්මත පරම්පරානුයාත සූර්ය වංශෝද්භූත මහා රාජාධිරාජ, ශ්‍රීමත් සිරිසඟබෝ ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු චක්‍රවර්තී ස්වාමීන් වහන්සේට පස්වනු වප්පුර පෑලවිය දොඩම්වල පරාක්‍රමබාහු ඈපාණන්ගේ බෑණ මෙහෙණවර තුණයන් හා ගම්පොළ, සිදුරුවාන, දෙනුවර, බලවිට, මාතලය, පන්සිය පත්තුව ඌව ඇතුළු වූ පස්රට වාසය කරන බොහෝ ජනයාත් මෙවන් වෙසඟපුර දොළොස්වක ස්වර්ණාභිෂේක මංගල්‍යයට පළමුව කළ දිග්විජයයෙහිදී භයපත්වැ අභයදානය ඉල්වා සිටින හෙයින් ඉදිරියේ දවස මේ යථෝක්ත ජනපදයෙහි උත්තම මධ්‍යමාධම සියලු‍ මනුෂ්‍යයන්ට අර්ථහානි, අංගහානි ජීවිතහානි නොකරනු නොකරවනුව තුනුරුවන්ගේ ආඥාය කියා දළදා පාත්‍රාධාතුන් වහන්සේගේ ආඥාය කියා දළදා ස්වාමීන්ගේ සම්මුඛයෙහිදී සත්‍ය ප්‍රඥාකොටැ ලියාදෙන්නේ යයි වදාල මෙහෙවරින් මේ ශිලාලේඛ්‍ය ලියාදුන් බවට.   
දොඩම්වල පරාක්‍රමබාහු ඈපාණන් බෑන මෙහෙණවර තුනයාරුන් ඇතුළු වූ ඇමදෙනම්හ. අපටත් රට සේනාවටත් අභය දාන ශිලාලේඛනය කරවා දෙන වදාළ ත්‍රී සිංහලයට එකතපනුවැ අප රටට ප්‍රාප්ත ජයවීර පරාක්‍රමබාහු මහා රාජෝත්තමයාණන් වහන්සේට අප හා රට සේනාව විසින් විරුද්ධ නොවී ඒකාන්ත පක්ෂවැ පවතිනුවක් වැඩඋන් තැනට විපක්ෂ රජ, යුවරජ, ඈපා, මාපා, සිටු, සෙනෙවිරත්, අධිකාර ඇතුළු වූ කවර තරම් කෙනෙකුටත් පක්ෂ නොවනුවත් වැඩඋන් තැනට ඒකාන්ත පක්ෂ කෙනෙකුන්ට විපක්ෂ නොවනුවත් ඇත් වෙළඳාම ඇතුන් නැගඒම, පණම් ගැස්වීම, පටබැඳීම, ආකර කරවීමාදිය නොකරනුවත් ඔවුන් යත් කැඳව ගමන් කරනුවත් සම්මානයක් පැමිණි විට අපි අපෙ සේවාකමට රට හමුදාව කැඳවාගෙන ගොස් එකියන කාරිය ශක්ති වූ පණතට සාදා දෙනුවත් විපරීතයකට කෙනෙකුට පතැක් බසක් මිනිසුන් කෙනෙකුන් ගමන් නොකරනුවත් අදහස වරදවා ආගිය කෙනෙකුන් නොසිටුවා ගමන් කරනුවද තුනුරුවන්ගේ ආඥාය, දළදා පාත්‍රධාතූන් වහන්සේගේ ආඥාය, කිහිරැලි උපුල්වන්, සමන් බොක්සැල්, ස්කන්ධ, විභීෂණාදී දේවියන්ගේ ආඥාය සතරවරම් දෙවි මහරජදරුවන්ගේ ආඥාව කියා මේ සත්‍ය ප්‍රතිඥා ශිලා ලෙඛ්‍යය ලියවා දුන් බවට... මේණවර තුනයාරුන් පෙරුමාළුන් වම්හ...   
මෙම සෙල්ලිපිය පිටපත් කළ අය එහි සඳහන් දින වකවානු ආදී වැදගත් කොටස් අතහැර ඇති බව පෙනේ. ජයවීර රජුගේ නම මෙහි සඳහන් කර ඇත්තේ සිරිසඟබෝ ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු ලෙසටය. සෙල්ලිපියේ සඳහන් රට සේවාව යනු රටේ මිනිසුන්ය. එම ද්‍රවිඩ පිරිස් සිංහල හමුදාව විසින් විවිධ දාස සේවාවන් සඳහා යොදවාගත් බව සෙල්ලිපියෙන් පැහැදිලි වේ. මැද උයන්ගොඩ විමලකීර්ති හිමියන් මෙසේ පවසති.   


‘ගඩොලාදෙනි ලිපියෙහි ජයවීර පරාක්‍රමබාහු නාමයෙනුත් නුවර නාථ දේවාලය ලිපියෙහි ජයවීර මහවැඩවුන් තැන ජයවීර මහා ආස්තාන යන නම්වලිනුත් හැඳින්වෙන රජතුමා මහනුවර ගොඩනැගූ වික්‍රමබාහු රජුගේ පුත්‍රයා වන ජයවීර රජු බව පැහැදිලිව පෙනේ.   
ජයවීර පරාක්‍රමබාහුගෙන් පසු උලකුඩදේවියගේ දෙවැනි පුත් ජයබා කුමරු හයවැනි විජයබාහු නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත්විය.   
රාජසිංහ රාජ්ජ කාලය ග්‍රන්ථකරු මෙම කුමරුගේ රාජ්‍ය කාලය මාස තුනක් බවත් මෙම රජුට සිරිවර්ධන පතිරාජ හා කූරගම හිමියාන යන ගණවැසි රැකවරණ ලැබූ බවද සඳහන් කරයි. එහෙත් මෙම රජතුමා විසින් කෝට්ටේ රජ මාළිගයේ සිට නිකුත් කළ දෙවුන්දර සන්නසේ සඳහන් කර ඇත්තේ තමා ක්‍රි.ව. 1510දී රාජ්‍යත්වයට පත්වූ බවය. සන්නස ලියා ඇත්තේ රාජ්‍යත්වයෙන් සතරවැන්නේදීය. සන්නස මෙසේය.   


ස්වස්ති ශ්‍රී ශුද්ධ ශතවර්ෂ එක්දහස් හාරසිය දෙතිස්වැන්නෙහි රජ පැමිණි ස්වස්ති ශ්‍රී මහා සම්මත පරම්පරානුයාන සූරියවංශාභිජාන ශ්‍රී ලකදීපනි ශ්‍රීමත් සිරිසඟබෝ ශ්‍රී විජයබාහු චක්‍රවර්තී ස්වාමීන් වහන්සේට සතර වැන්නෙන් මතු අවුරුද්දු පොසොන් අව විසේනිය... 

 
මෙම සන්නස මගින් දෙවිනුවර නාගදීප කෝවිලට හෙවත් උපුල්වන් දෙවොලට දෙන ලද දීමනාවක් සඳහන් වෙයි. මෙම රජතුමා විසින් ක්‍රි.ව. 1520දී කෝට්ටේ රජ මාළිගාවේ සිට නිකුත් කළ තඹ සන්නසක්ද හමුව ඇත. ඒ අනුව මොහුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 1526 පමණ වනතෙක් තිබූ බව පැහැදිලිය.   
සෙබ්බගබ්බ පෙරුමාල් හෙවත් හයවැනි බුවනෙකබාහු සහ ඔහුගේ බාප්පා එනම් පණික්කර්ගේ මලයා විසින්ද මෙරටට ගෙන ආ සොලී පිරිස් වෙතට කෝට්ටේ රාජ්‍ය බලය අත්පත් විය. හයවැනි බුවනෙකබාවන්ගේ පියාගේ මලයා (බාප්පා) අරුප්පුඩි නින්නාඩු මුඩිත්ත පෙරුමාල් විය. ඔහු සොලී පිරිස් මෙරටට ගෙන ආ නැව් හයක ප්‍රධානියා විය. දෙවුන්දරින් ගොඩබට මොවුන් එහි උපුල්වන් දේවාලය අල්ලා ගෙන එය විෂ්ණු දේවාලයක් බවට පත්කර ගත්හ. හයවැනි බුවනෙකබාවන්ගේ කාලයේදී මෙරටට ගෙන ආ සොලී පිරිස් වලට හතරවන්නිය ඇතුළුව වයඹ පළාතේ ඉඩකඩම් ලබාදී ඒවායේ පදිංචි කළහ. ඔවුන් විසින් දකුණු ඉන්දියාවේ අයියාන කෝවිලේ අධිපති දෙවියා බවට පත්කර ගත්හ.   
මෙම පිරස් පල්ලරු කුලයට අයත් නිසා ඔවුන් පදිංචි කළ ගල්ගමුව කිංකිණියාව සහ බටුණැස්ස යන ගම් පල්ලරු දේශය බවට පත්විය. අරුප්පුඩි නින්නාඩු මුඩිත්ත පෙරුමාල්ගේ පිරිස් හතර කෝරළයට පැමිණියේ උපක්‍රමශීලීවය විෂ්ණු රූපයක් පෙරටු කොටගත් ඔවුන් හතර කෝරළයේ කොඩිය වූ ඉරහඳ කොඩිය යටතේ අම්බුළුගල රාජධානිය වෙත පැමිණියහ. අතරමගදී අරුප්පුඩි නින්නාඩු මුඩිත්ත පෙරුමාල් මරණයට පත්විය. ආදාහන කටයුතු සිදුකර භෂ්මාවශේෂ රැගෙන අම්බුළුගලට පැමිණ විෂ්ණු දේවරූපය අලු‍ත්නුවර දේවාලයේ තබා ගෙන ආ භෂ්මාවශේෂ තබා කුඩා දේවාලයක් ඉදිකොට එය පල්ලෙවාගල දෙවි බවටත් ඔහු විෂ්ණු දෙවියන්ගේ සෙන්පතියා බවත් ප්‍රචාරය කළහ. කල්යාමේදී ඔහු මහ දෙවියා බවට පත්කර ගත්හ. කපුවන් ආවතේව කාරයන් විශාල ලෙස ඇතිවිය. අක්කර දහස් ගණන් විෂ්ණු දෙවියන්ට පූජාකළහ. උපුල්වන් දෙවියන් අතුරුදන් විය.   
 අරුප්පුඩි නින්නාඩු මුඩිත්ත පෙරුමාලු‍න්ගේ පුතා අටවැනි වීර පරාක්‍රමබාහු නමින් රයිගම රාජ්‍යත්වයට පත් විය. මොහුගේ පුතා සකලකලාවල්ලන් විය. පෘතුගීසීන් විසින් සැක්‍රායුධ හෙවත් චක්‍රායුධ ලෙස හඳුන්වා ඇත්තේ ඔහුය. හත් වැනි විජයබාහු නමින් කෝට්ටේ රාජ්‍යත්වයට ඔහු පත් විය. ඔහු සිය පුතුන් තිදෙනා විසින් මරා දමන ලද බව රාජාවලිය මෙන්ම ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස ග්‍රන්ථයේ ද සඳහන් වෙයි. එහෙත් පෘතුගීසි ලේඛක රිබෙයිරෝගේ ‘History of Ceilao’ ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ රයිගම රජ වූ ශ්‍රී රාජසිංහගේ පුතුන් වූ බුවනෙකබාහු සහ මායාදුන්නේ යන දෙදෙනා ද සකල කලාවල්ලන්ගේ යකඩ දෝළියකගේ පුතෙකු වු වික්‍රමබාහු යන තිදෙනා විසින් හත් වැනි විජයබාහු මරා දමන ලද බවය. විජයබා කොල්ලය ලෙස සඳහන් වෙන්නේ එයයි. කෝට්ටේ රාජධානිය බුවනකබාවන්ට හිමි වූ අතර සීතාවක රාජධානිය මායාදුන්නේට හිමි විය. බුවනෙකබාවන්ගේ අකල් මරණයෙන් පසු කෝට්ටේ රාජධානිය ළදරු ධර්මපාල කුමරුට හිමි විය. ඔහුගේ සේනාධිපතියා වීදිය බණ්ඩාර විය. ධර්මපාල කුමරුට පෘතුගීසී සහාය ලැබුණු අතර මායාදුන්නේට නව මුස්ලිම්වරුන්ගේ සහ සිංහල වැසියන්ගේ සහාය ලැබුණි. මායාදුන්නේගේ සේනාධිපතියා ටිකිරි කුමරු රාජසිංහ විය. ඔහු මායාදුන්නේ රජුගේ අග්‍රබිසෝ බෝතලගෙයි සුමනා සහ රජ වාසල උන් පන්නාවේස්ත්‍රී රාජ්‍ය වන්නියාර් මුදියන්සේ අතර වූ අනියම් සම්බන්ධතාවයකින් උපන් කුමාරයෙකි.   


කන්ද උඩරට මෙහෙණවර තුණයාගෙන් පසු කරලියද්දේ බණ්ඩාර උඩරට රජ වූයේ පෘතුගීසීන්ගේ සහායෙනි. රිබෙයිරෝ සඳහන් කරන්නේ සකලකලාවල්ලන්ගේ යකඩදෝලියකගේ පුතා වූ වික්‍රමබාහුගේ පුතා කරලියද්දේ බණ්ඩාර බවය. එහෙත් පල්කුඹුර සන්නස අනුව වික්‍රමබාහුගේ පුතා ජයවීර වන අතර ජයවීරගේ පුතා කරලියද්දේ බණ්ඩාර වේ. උඩරටට සහ සතර කෝරළයට කොටු වූ සිංහල පිරිස් ආක්‍රමණික සොලින් විසින් වනසන ලද්දේ සිංහලයින් හා සිංහලයින් අතර සටන් ඇති කිරීමෙනි. දෙපැත්තේ නායකයින් සටන අවුළුවා සටන් බිමෙන් පළා ගියහ.


ලබන සතියට...

 

එම්.කේ. ජයසේන   
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)