ජිප්සීස් සංගීත කණ්ඩායම ගැන අපේ රටේ කවුද නොදන්නේ? ජිප්සීස් නාමය සමග සුනිල් පෙරේරා යන නාමය බැඳී තිබුණේ හරියට ගහට පොත්ත වගෙයි. ජිප්සීස් කිව්වොත් සුනිල් අයියා, සුනිල් අයියා කිව්වොත් ජිප්සීස්. ඉතින් ඒ ආදරණීය කලාකරුවා අපෙන් සදහටම සමුගෙන ගිහින් මෙම සැප්තැම්බර් 6 වැනිදාට වසර හතරක් සපිරුණා. ඒත් ඔහු අපට දැනෙන්නේ තවමත් අප අතර සිටිනවා වගේයි. අද ජිප්සීස් සංගීත කණ්ඩායමට නායකත්වය දෙන පියල් පෙරේරා පවසන්නේ, ජිප්සීස් කණ්ඩායම කරන කියන සියලු සංගීත වැඩකටයුතුවලට සුනිල් අයියාගේ ආශීර්වාදය ලැබෙනවා කියලයි.
“සුනිල් අයියා කොහේ හෝ ඉඳගෙන අපි කරන සංගීත කටයුතුවලට ආශිර්වාදය කරන බව මට දැනෙනවා. ඒ සමහර දේවල් ගැන හිතද්දී මට ඒක හොඳටම දැනෙන දෙයක්. එයා අපි ළඟම සිටිනවා වගෙයි.”
ඉතින් මේ විදිහට සුනිල් අයියා ගැන කියන ‘පියල්’ සහ ජිප්සීස්ලා ගැන මේ දිනවල වැඩි දෙනා කතා වෙන්නෙ ‘කසාදේ’ නිසයි. ඒ කියන්නේ ‘කසාදේ’ ගීතය නිසයි. පියල් එක්ක මේ කතාබහ ‘කසාදේ’ ගැනයි.
ප්‍ර පියල් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
“හොඳයි. වැඩ ගොඩක් කරගෙන යනවා.”
ප්‍ර මොනවද ඒ වැඩ?
“අලුත් සිංදු කිහිපයක්ම නිර්මාණය කිරීමට මගේ ලොකු අරමුණක් තියෙනවා. එයින් එකක් තමයි පසුගිය දා එළියට දැම්ම ‘කසාදේ’. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තව අලුත් සිංදු දෙකක් එළියට දාන්න තමයි බලාපොරොත්තුව. මොකද, අපි ළඟ තියෙන සිංදු තියාගෙන ඉඳලත් වැඩක් නැහැ. ඒවා රසික ජනතාවට දෙන්න ඕනෑ.”
ප්‍ර මේ කාලයේදී ජිප්සීස්ලාට තියෙන ඉල්ලුම මොන වගේ ද? සුනිල් අයියත් නැතුව?
“මේ කාලයේ මේ විදිහේ ඉල්ලුමක් තියේවි කියලා මම කිසි දවසක හීනෙකින්වත් හිතපු නැති තැනකට අද බෑන්ඩ් එක ඇවිත් තියෙනවා. අපි සමහර විට ජීවිතේ සිහින මවනවා. ඒත් අද බෑන්ඩ් එක මේ තියෙන විදිහ ගැන මම කවදාවත් සිහින මැව්වේ නැහැ. ඒත් සමහර දේ නොහිතපු විදිහට අපට ලැබෙනවා. මම බෑන්ඩ් එක පටන්ගත්තෙ, සුනිල් අයියා මියගියාම එක පාරටම බෑන්ඩ් එක නවත්තලා දානවාට වඩා ටික කාලයක් බෑන්ඩ් එක කරගෙන ගිහින් නවතා දමන්න. ඒත් මම හිතුවාට වඩා බෑන්ඩ් එක වෙනස්ම තැනකට අද ඇවිත් තියෙනවා. අපට වැඩ ගොඩක් තියෙනවා. එළැඹෙන ඔක්තෝබරයේ ඇමෙරිකාවේ ෂෝ එකකටත් යනවා. පෙබරවාරි ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ටුවර්ස් තියෙනවා. ලංකාව ඇතුළෙ ගොඩක් ෂෝ තියෙනවා. ඒක ඇත්තටම අපට ලැබුණු ආශීර්වාදයක්. ඒ ආශීර්වාදය ලැබෙන්නේ සුනිල් අයියාගෙන්. මිනිස්සු විශ්වාස කරාවි ද, නොකරාවි ද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මම විශ්වාස කරන්නේ එදා වගේම අදත් ජිප්සීස් බෑන්ඩ් එක මැනේජ් කරන්නේ සුනිල් අයියා කියලයි. එයා තමයි මේ බෑන්ඩ් එක ඉස්සරහට අරගෙන යන්නේ. එයාගේ ජීවිතේම වුණේ ජිප්සීස්. මම ජිප්සීස් ගැන ඒ තරමට හිතුවේ නැහැ.”
ප්‍ර ඒ කියන්නේ, සුනිල් අයියා නොපෙනෙන බලවේගයක් ලෙස ජිප්සීස් වටා, ඔබ වටා පෙනී සිටිනවා කියලා ද? ඔහුව සිහිනෙන් පවා ඔබ දකිනවා ඇති?
“මම දකින හීන සමහර වේලාවට මට මතක නැහැ. එක දවසක් මට මතක විදිහට හරි වෙනස් හීනයක් මම දැක්කා. සුනිල් අයියා එයා සිටින ලෝකයේ සිට මෙහේට නිවාඩුවකට එනවා වගේ දෙයක් මම දුටුවා. අපේ ගේ පැත්තට ඇවිත්, ‘මට දවස් තුනක් වගේ තියෙන්නේ, වැඩි වේලාවක් නැහැ, බලලා යන්න ආවේ’ කියලා කිව්වා. එයාගේ බිරිඳ සහ දරුවන් බලන්න ගෙදරට ගිහින් අපේ පවුලේ අයත් බලන්න ඇවිත්. ‘මල්ලි ෂෝ එකක් නැද්ද යන්න ඉස්සෙල්ලා බලන්න’ කියලා කිව්වා. ෂෙනාල් දැකලා එයා හිනා වුණා. අපේ ෂෝ එක දැකලා එයා සතුටු වුණා. ඉන් පස්සෙ එයා ගියා. මේ හීනය මම දැක්කෙ මාස හයකට පෙරදී. මේ වගේ සිදුවීම් එක්ක මට නිතරම දැනෙන්නේ සුනිල් අයියා අපි එක්ක ඉන්නවා වගේ හැඟීමක්. පසුගිය කාලයේදී බෑන්ඩ් එකේ වෙච්ච සමහර දේ දිහා බලද්දිම මට හිතෙන්නේ, ඒ සියල්ල සුනිල් අයියා කළ දේ කියලයි. ගොඩක් හේතු ඇතිව මම එහෙම කියන්නේ.”
ප්‍ර එයින් එකක් දෙකක් ගැන කියමු?
“සමහර වේලාවට දුෂාන් සහ මම ජිප්සීස්ලාට නායකත්වය දෙමින් මේක දිගටම කරන්න ගියා නම් අසාර්ථක වෙන්න වගේම ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. ඒත් සුනිල් අයියාගෙ දුරදක්නා දැක්ම මත එයා දුෂාන්ට බෑන්ඩ් එකක් (ලුණු දෙහි) දාන්න උදව් කළා. මට ජිප්සීස් කරගෙන යන්න ඉඩ දුන්නා. දුෂාන් සහ මම තරහා නැහැ. මේ ළඟදීත් මම එයාව හමු වෙන්න ගියා. අදත් මගේ රෙකෝඩින්වලට එයා එනවා. ‘දංගමුව’ අපේ බෑන්ඩ් එකට ආවෙත් අනපේක්ෂිත විදිහට. ‘හීන තිබුණට කෝටියක්’ ගීතය එහෙම ගයන්නෙ දංගමුව. ඉතින් අපේ කෙනෙක් ඉවත් වුණාම මට එයාව ගන්න ඕනෑ වුණා. අපි ඩුබායි ගිය වේලාවක එයා ලස්සන ඇඳුමක් ඇඳගෙන හිටියේ. ෂාහ්... හරි ලස්සනයිනේ කියලා මම එයාට කිව්වා. ‘පියල් අයියා දන්නෙ නැහැ, ඒත් මේ කිට් එක මට අරන් දුන්නේ සුනිල් අයියා’ කියලා දංගා කිව්වාම මගේ ඇඟේ රෝම කූප කෙළින් වුණා. හරිම පුදුම සහගත සිදුවීම්. සුනිල් අයියා කොහේ හරි රටක ගිහින් ආ හැටියේ, ‘දංගා වරෙන් පොඩ්ඩක් ගෙදරට’ කියලා මට මේ විදිහට ඇඳුම් දීලා තියෙනවා. ඒ කියන්නේ උඹ අනාගතයේදී ජිප්සීස්ලාත් එක්ක එකතු වෙන්න ලැහැස්ති වෙයන් කියනවා වගේ දෙයක්නේ. ඒවා ඇත්තටම හරිම පුදුම සහගත දේවල්. මම හිතන්නේ දංගාව එව්වෙත් සුනිල් අයියා. ඒ විදිහට මට තව බොහෝ දේ ගැන කියන්න තරම් සිදුවීම් තියෙනවා.”
ප්‍ර අපි ‘කසාදේ’ සිංදුව ගැන කතා කරන්න කලින් පියල්ගේ මේ තාක් ගෙවූ කසාද ජීවිතේ ගැන විස්තර කියමු?
“විවාහ වෙලා අවුරුදු 35ක් විතර වෙනවා. අපේ දුව වෛද්‍යවරියක්. එයා විවාහ වෙලා පදිංචි වෙලා ඉන්නෙ එංගලන්තයේ. මාස තුනකට පෙරදී මම සීයා කෙනෙක් වුණා. ඒ ගැන මට හරි සන්තෝෂයි. එතකොට අපේ පුතා වැඩ කරන්නේ පරිගණක ක්ෂේත්‍රයේ. එයාත් හොඳ රැකියාවක් කරන්නේ. ඒ දෙන්නාටම හොඳට සිංදු කියන්නත් පුළුවනි. ඒත් එයාලා තවම උනන්දු නැති පාටයි. බිරිඳයි මමයි, අපි හරි සාමාන්‍ය පවුලක්.”
ප්‍ර හරි, අපි දැන් ‘කසාදේ’ සිංදුව ගැන කතා කරමු? නිල්මි සහ ෆැලන් එක්ක ඒ ගීතය ගැයීම ගැන පියල්ගේ වයිෆ් මොන වගේ ප්‍රතිචාර ද දැක්වුවේ?
“මේ ගීතයට මගේ වයිෆ් ඉස්සර ඉඳලාම හරිම ආසයි. එයා තමයි මේ ගීතය ගයන්න කියලා මාව උනන්දු කළේ.”
ප්‍ර ඒ කියන්නේ, මේ ගීතය කලින් රෙකෝඩ් කළ එකක් ද?
“‘කසාදේ’ ලිව්වේ 2004 දී හේමසිරි හල්පිට. මේ ගීතය ගයන්න තිබුණෙ ගායිකාවකට විතරයි. ‘ඇයි පැටියෝ’ කියලා පිරිමි කොටස ගයන්න ‘රොනී’ව දාන්න හිතාගෙන හිටියේ. හැබැයි බලාගෙන යද්දී මේකෙ හරි නිමාවක් වෙන්න නම් යුග ගීතයක් වගේ වෙන්න ඕනෑය කියලා මම හිතුවා. හැබැයි සිංදුව තිබුණත්, නිර්මාණය කෙරුණේ නැහැ. කෝවිඩ් කාලයේදී අපි කරන්න තියෙන සිංදු ෆයිල් එක අරගෙන බලද්දී මේ ගීතය කරන්න තීරණය කළා. 2004 දී හේමසිරි හල්පිට අපට ලියූ ගීතයක් තමයි අද මේ විදිහට මියුසික් වීඩියෝවක් ලෙස නිර්මාණය වුණේ.”
සඳුන් ගමගේ