සුද්දන්ට එරෙහිව සටන් කරන්න අපට කියා දුන් සුදු කත


 

 

1907 වසරේ දිනෙක පාසල් ශිෂ්‍යයෙකු තම විදුහල්පතිතුමාද සමඟ මහනුවර සිට කඩුගන්නාවට පැමිණියේ විදුහලේ දේශනයක් පැවැත්වීමට පැමිණෙමින් සිටි සුදු කාන්තාවක් පිළිගැනීමටය. එංගලන්තයේ උපත ලබා එහි විවිධ විප්ලවීය ක්‍රියාවන් සිදුකොට පසුව ඉන්දියාවට අවුත් එහි අධිරාජ්‍ය විරෝධී සටනට උරදෙමින් සිටි ඇය විචිත්‍ර කථිකාවක් ලෙසද ඒ වන විට කීර්තිමත්ව සිටියාය. එදින මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී ඇය කළ කථාව තරුණ ශිෂ්‍යයා තුළ ඇති කළේ මහත් අනුවේදනයකි.

 

බුද්ධාගමේ විශිෂ්ටත්වය ඇය වර්ණනා කළාය. දේශප්‍රේමීන් වීමට ඇය ශිෂ්‍යන්ට ආයාචනා කළාය. ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ශ්‍රේෂ්ඨ රටක් බවත් එය අධිරාජ්‍යවාදී පාලනයෙන් මුදාගෙන එහි මිනිසුන් යළිත් ශ්‍රේෂ්ඨ වනු සඳහා තමන්ගෙන් විය යුතු යුතුකම් ඉටුකරන ලෙසත් ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටියාය.   
 
පැයකට වඩා පැවැති ඇයගේ චතුර කථාව ගුරු ශිෂ්‍ය දෙපිරිසත් ආරාධිත අමුත්තනුත් අසා සිටියේ ‘‘හුම්’’ ශබ්දයක්වත් නැතිවය.   
 
වසර 2400ට වැඩි වූ ලංකා ඉතිහාසය රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කළ වීර දූ පුතුන්ගේ නම්වලින් පිරී තිබේ. 1815 දී ඉංග්‍රීසින්ට රට යටත් වීමෙනි පසුව 1818 දී කැප්පෙටිපොළ දිසාව තුමා මෙහෙයවූ උෟවේ විමුක්ති සටනේදීත් 1848 දී පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා වැනි වීරයන් දියත් කළ මාතලේ කැරැල්ලේදීත් සිංහලයෝ සිය දේශප්‍රේමයත් අධිරාජ්‍ය විරෝධයත් මැනෙවින් පෙන්වා සිටියහ. එහෙත් එක්දහස් අටසිය ගණන්වල අගභාගය වනවිට සිංහල ජාතිය පැවතුනේ නිවට බෙලහීන තත්ත්වයකය. දේශප්‍රේමය හා අධිරාජ්‍ය විරෝධය, රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකුනු එදා, සිංහලයන් ඉංග්‍රීසි ආණ්ඩුව කෙරෙහි සිය විරෝධය පළ කළේ බෞද්ධ පුනර්ජීවනය හා අමද්‍යප ව්‍යාපාරය තුළිනි. 1880 දී ඇමරිකන් ජාතික ඕල්කට්තුමා සහ විදේශික පිරිසක් මෙහි පැමිණීම බලවත් ආශිර්වාදයක් විය. සී. ඩබ්ලිව්. ලෙඩි බීටර්, බෝල්ස් ඩැලී වැනි ඕල්කට් අනුගාමිකයෝද පසුව මෙහි පැමිණ බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීමට අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළහ. ජර්මන් ජාතක කාන්තාවක් වූ මාරි මියුසියස් හිගින්ස් මැතිණියද ඕල්කට් ආරාධනයෙන් මෙහි පැමිණි බෞද්ධ බාලිකා අධ්‍යාපනයට මහඟු සේවයක් ඉටු කළාය. මේ සියළුම විදේශිකයෝ සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය වර්ණනා කරමින් දේශප්‍රේමයේ බිජු වැපිරූහ. එහෙත් අධිරාජ්‍ය විරෝධී මත ප්‍රබල ලෙස ප්‍රකාශ කළ විදේශිකයා වූයේ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ය.   
 
ජාතික ගසේ නිදහස් මල පිපෙන තුරු  
ඇද වත්කරවු පපුවේ උණු ලේ වතුරු   
එදා නොහැකි නම් නිවහල් මිනිහෙකු අයුරු  
වැඳ ලක් මවට අද අවසන් හුස්ම හරු  
 
මෙවැනි ප්‍රබල ජාත්‍යාභිමානි කවි ලියැවුණේ එක්දහස් නවසිය තිස් ගණන්වලදීය. එහෙත් එංගලන්තයේම උපන් සුදු කාන්තාවක් ශත වර්ෂය මුලදීම සුදු ආණ්ඩුවට විරුද්ධව සිංහලයන් පෙළගැස්වීමට ඉදිරිපත් වීම දෛවයේ සරදමකි.   
 
එදා දේශප්‍රේමයේ හා අධිරාජ්‍ය විරෝධයේ බීජ සිංහලයන් අතර රෝපණය කළ මේ සුදු කාන්තාව කවුද? ඇය නමින් ඇනී බෙසන්ට් (Annie Besant) නම් වූවාය. ඇගේ කථාවෙන් සිය රුධිරය ජාත්‍යාලයෙන් උණුසුම් කරගත් ශිෂ්‍යයා කවුද? පසු කාලයේදී ලංකාවේ පළමුවන අධිරාජ්‍ය විරෝධී දේශපාලන සංවිධානය වූ තරුණ ලංකා සංගමය (Young Lankans League) පිහිටුවා විවිධ විප්ලවීය ක්‍රියා සිදුකරමින් එදා ඉංග්‍රීසි ආණ්ඩුවට හිසරදයක්වූ කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාය.   
 
මගේ මව් රට ඉන්දියාවයි
 
එංගලන්තයේ උපත ලැබුවද ඇනී බෙසන්ට් ට තිබුණේ අයිරිෂ් සම්භවයකි. එදා අයර්ලන්තය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් පීඩා විඳි රටකි. අයිරිෂ් අභිමානය සැමවිටම ඇයට තිබුණු අතර ඇය සැමවිටම කියා සිටියේ තමා අයිරිෂ් ජාතිකයෙකු බවය. එහෙත් ඉන්දියාව ගැන කරුණු දැනගත් කාලයේ සිට එය තම මව්රට ලෙස සැලකීමට ඇය පුරුදු වුණාය. ඉන්දියාවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් පීඩා විඳි රටක් වීම ඇයට මහත් කණගාටුවක් විය. දක්ෂ ලේඛිකාවකද වූ ඇනී ඉන්දියාව පිළිබඳ තොරතුරු එංගලන්ත මහජනයාටද දැනගැනීමටද සැලැස්වූවාය. 1875 තරම් කාලයේදී ඇය එංගලන්තය ඉන්දියාව ඇෆ්ඝනිස්ථානය යන පත්‍රිකාවකින් ඉන්දියාවේ අයිතිය පෙන්වා දුන්නාය.   
 
1893 දී පළමු වරට ඉන්දියාවට පා තැබීමෙන් පසුව ඇය සිරිත් විරිත්වලින් ඉන්දියානුවෙක් ලෙස ජීවත්වීමට පුරුදු වුණාය. හින්දි භාෂාවේ චතුර බව ඇති කරගත්තාය. සාරියට පුරුදු වූවාය. බිම වාඩිවී බත් සහ වෑංජන දකුණු අතින් අනුභව කිරීමට පුරුදු වුණාය.   
මේ සටහන තබා ඇත්තේ ඇය හොඳින් දැන සිටි ලාංකිකයෙකු සහ පසු කලෙක පරමවිඥානාර්ථ සභාපතිවරයෙකුද වූ සී. ජිනරාජදාස මහතා විසිනි.   
 
ඇනී බෙසන්ට් සිදුකළ ඉන්දියානු ආගමික ජීවිතයේ පරිවර්තනය විශේෂයෙන්ම හින්දුන් අතර සිදුවුනු වෙනස ඇගේ ජීවිතයේ විශ්මයජනක දෙයකි. ඇය පැමිණියේ සංස්කෘත නොදන්නා අමුත්තෙකු ලෙසය. එහෙත් පැරණි දර්ශනයන් හැදෑරීමෙන් පසු ඇගෙන් ගලාගිය දැනුම් සම්භාරය උගත් හින්දුන් පවා මවිත කළේය. ඇගේ දැනුමට වඩා ඉන්දියාවේ අතුරුදන් වූ ශ්‍රේෂ්ඨත්වය කෙරෙහි දැක්වූ ආදරයත් එහි පිරිහීම පිළිබඳ දැක්වූ කෝපයත් ඇගේ සෑම දේශනයකම දක්වා සිටියාය. යළිත් ඉන්දියාව පත්විය හැකි ශ්‍රේෂ්ඨත්වය ගැන ඇය කළ විස්තර අසමින් තමන් වැලපුන අයුරු පැරැන්නන්ට මතක ඇත.   
 
(සංක්ෂිප්ත ජීවන චරිතය 15 පිටුව)
 
ඇනී ඉන්දියාවට පැමිණෙන විට ඇගේ ජීවිතය ආ​ලෝක කළ බ්ලැවැට්ස්කි මැතිනිය මියගොස් තිබුණි. ඇ​ගේ පැමිණීම පරමවිඥානාර්ථ සමාගමේ සභාපතිව සිටි කර්නල් ඕල්කට්තුමාට මහත් සහනයක් විය. ඇය තම කථිකත්වයෙන් ලේඛන හැකියාවෙන් හා සංවිධාන ශක්තියෙන්ද පරමවිඥාන ධර්මය ව්‍යාප්ත කළාය. 1907 දී කර්නල් ඕල්කට්තුමා අභාවයට පත්වීමෙන් පසු එහි සභාපතිත්වයට පත්වූ ඇය 1933 දී මිය යනතුරුම එම පදවිය දැරුවාය. ඕල්කට්තුමා මිය යනවිට පැවැති ජාතික ශාඛා සංඛ්‍යාව 11ක් වුවද තම සභාපති කාලයේදී මෙය තවත් 26න් වැඩිකර ලීමට ඇය සමත් වූවාය.   
 
1898 දී කර්නල් ඕල්කට්තුමා සමඟ එකතු වී බරණැස හින්දු විද්‍යාලය පිහිටුවීම ඇගේ විශාල ජයග්‍රහණයකි. එයට ආධාර දීමට එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන්ද ප්‍රමුඛ පරමවිඥානාර්ථවාදීහු පැමිණියහ.   
පසුව මෙය බරණැස හින්දු විශ්වවිද්‍යාලය බවට පත් කෙරුණු අතර ඇනී බැසන්ට් මහත්මියගෙන් හින්දු අධ්‍යාපනයට වුණු සේවය සලකා ඇයට සාහිත්‍ය ශූරී සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමුණි.   
1898 දී ඇය ඉන්දියාවේ බාලදක්ෂ ව්‍යාපාරය ඇරඹුවාය. 1925දී එම ව්‍යාපාරයේ ආදි කර්තෘ බේඩන් පවල් සාමි ඉන්දියාවට පැමිණි අවස්ථාවේ ඉන්දියානු බාලදක්ෂ කොමසාරිස් යන නාමයෙන් උපහාර කළේය.   
 
ක්‍රිෂ්ණමූර්ති තුමා ලොවට දායාද කිරීම
 
ජගත් ගුරුවරයෙකුගේ පහල වීම පරමවිඥානාර්ථවාදීහු බලාපොරොත්තුව සිටියහ. දිව්‍ය චක්ෂුය ඥානය ඇතැයි සැලකුණු ප්‍රමුඛ පරමවිඥානාර්ථ වාදියෙකු වූ සී.ඩබ්ලිව්. ලෙඩි බීටර් මහතා අනාගතයේදී ජගත් ගුරුවරයෙකු විය හැකි යයි සැලකුණු දරුවෙකු මදුරාසියේ දුප්පත් ගෙදරකින් සොයා ගත්තේය. ක්‍රිෂ්ණා නම් වූ මේ දරුවාත් ඔහුගේ සොහොයුරු නිත්‍යාත් හදා වඩා ගැනීම ඇනී බෙසන්ට් මහත්මිය භාරගත්තාය. ඔවුන්ගේ පියාට අද්ධාරයේ පරමවිඥානාර්ථ මූලස්ථානයේ රැකියාවක්ද ලබාදී ආර්ථික වශයෙන්ද එම පවුලට පිහිට වූවාය. ක්‍රිෂ්ණමූර්ති එංගලන්තයට යවා හොඳ අධ්‍යාපනයක් ලබාදුන්නේ ජගත් ගුරු සිහිනය සඵල වනු දැකීමටය. ක්‍රිෂ්ණමූර්ති ඉතා රූප සම්පන්න තරුණයෙක් විය. තමා දුටු ලක්ෂණම මනුෂ්‍යයා ක්‍රිෂ්ණමූර්ති බව වරක් බර්නාඩ් ෂෝද පැවසීය. ජගත් ගුරුවරයා අනුගමනය කරන අය සඳහා තාරකාවේ සමාජය නම් සංවිධානයක්ද ඇය පිහිටුවූවාය. යුරෝපයේ සහ වෙනත් රටවලද ධනවතුන් බොහෝ පිරිසක් මෙහි සාමාජිකයෝ වූහ.   
 
1929 දී ඩෙන්මාර්ක්හි ඔම්වෙන් නමැති කඳවුරෙහිදී ඇනී බෙසන්ට් මහත්මිය ඇතුළු තාරකා සාමාජිකයන් 3000ට වඩා අමතමින් ක්‍රිෂ්ණමූර්ති තීරණාත්මක කතාවක් කළේය. ‘සත්‍යය යනු මගක් නැති රටකි. (Truth is a pathless Land) යන මාතෘකාවෙන් කතා කළ එතුමා සත්‍ය සොයා ගැනීම තම තමන් විසින් පුද්ගලිකව කරගත යුතු බවත් සංවිධානය තුළින් එය කළ නොහැකි බවත් ප්‍රකාශ කළේය. මෙසේ කියමින් එතුමා තාරකාවේ සමාජය විසුරුවා හැරියේය. මෙය ඇනී බෙසන්ට් මහත්මියට බලවත් වේදනාවක් ගෙනදුන් අවස්ථාවකි. එසේ වුවද නිදහස් චින්තකයෙකු ලෙස පසු කාලයේදී ක්‍රිෂ්ණමූර්ති තුමා විශ්ව කීර්තියට පත්වීමෙන් පෙනෙන්නේ ලෙඩ්බීටර් බෙසන්ට් දෙදෙනාගේ උත්සාහය නිරර්ථක නොවූ බවයි. අධිරාජ්‍ය විරෝධී දේශපාලනය ඇනී බෙසන්ට් ඉන්දියානු දේශපාලනයට පිවිසීමට පිළිබඳ මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් දක්වන මේ කරුණු රසවත්ය.   
 
මේ අවදිය වනවිට තියොසොපි වාදය ගැන ලෝකයාගේ විමසීමද නන් වැදෑරුම් විය. ඒ මගින් ලෝකයේ බරපතළ ප්‍රශ්න විසඳිය හැකිද යනු බොහෝ දෙනා ඇසූ ප්‍රශ්නයකි. ලෝකයේ එක් ජාතියක් විසින් අනික් ජාතියක් යටත් කරගෙන සිටීම බලවත් ජාතීන් විසින් දුබල ජාතීන්ගේ ධනය කොල්ල කෑම, ප්‍රබලයා විසින් දුබලයා පෙළීම, යුද්ධ නවතා ලෝක සාමය ඇති කිරීම වැනි දේ තියෝසොපිකල් මගින් නවතාලිය හැකිද? යනු ඒ ඒ රටවල වැසියන්ගේ සාකච්ඡාවට භාජනය වන්නට විය. ලෝක සහෝදරත්වය නැතහොත් විශ්ව මෛත්‍රිය ගැන දේශනා කළ පමණින් එයින් වැඩක් වන්නේ නැත යනුද ඇතැම් එඩිතර විවේචනයන්ගේ හැඟීම විය. මේ නිසා රටක මෙන්ම මානව සමාජයේදී නිදහස සඳහා කිසියම් පෙරමුණකට එක්ව හෙවත් බැඳී සටන් කළ යුතුය යන නිගමනයට බැස ගැනීමට බොහෝ තියෝසොපිවාදීන්ට සිදුවිය. 1913 දී ඇනී ඉන්දියාවේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වූයෙත් ඒ නිසාය.
(ශ්‍රේෂ්ඨ කාන්තාවෝ - 82 වන පිටුව)
 
දේශප්‍රේමි ඉන්දියානු තරුණයින් බෙන්ගාලයේ විප්ලවවාදීන් අනුව යමින් හිංසාකාරී මාර්ගවලට ගොදුරු වීම වැළැක්වීමද ඇගේ එක් පරමාර්ථයක් විය. ජාතීන් අතර සමගියෙන් තොරව ජාතික සටන ගෙන යා නොහැකි බව දුටු ඇය හින්දු මුස්ලිම් සමගිය සඳහා වෙහෙස වුණාය. බාල් ගංගාධාර් තිලක්ගේ දැඩි මතධාරී පිලටත් ගෝපාල් ක්‍රිෂ්ණ ගෝක්ලේගේ මධ්‍යස්ථ මතධාරී පිලටත් බෙදී තිබුණු ඉන්දීය ජාතික සංගමයේ සමගිය සඳහාද ඇය වෙහෙස වුණාය. සරෝජිනි නායිදු, විජේලක්ෂ්මි, කමලා දේවී වැනි ඉන්දීය නායිකාවන් මෙන්ම ඇනීද ප්‍රසිද්ධියේම අධිරාජ්‍ය විරෝධය පළ කළාය. නව ඉන්දියාව නමින් පුවත්පතක්ද ඇය පළකළාය. ස්ව රාජ්‍ය පිළිබඳ අදහස පැතිරවීම සඳහා ඈ සමස්ත ඉන්දීය හෝම් රූල් ලීග් නමින් සංගමයක්ද ඇරඹුවාය. මේ මගින් රටපුරා ස්වරාජ්‍ය පණිවුඩය පැතිරවිය හැකි විය. යුද කාලයේ ඇනීගේ මේ වැඩපිළිවෙළ ආණ්ඩුවට දැරිය නොහැකි විය. ඈ වැනි විදේශීය කාන්තාවන් මුල්ව මෙබඳු ව්‍යාපාර ගෙනයන විට සාමාන්‍ය ස්වදේශිකයන් වැඩි වැඩියෙන් එයට පෙළඹෙන බව ආණ්ඩුවට වැටහිණි. මේ නිසා බොම්බායේ හා මධ්‍ය ප්‍රාන්තයේ ආණ්ඩුවත් මදුරාසි ආණ්ඩුවත් ඈට විරුද්ධව තහනම් නීති පැනවූහ. බොම්බායේ ආණ්ඩුව දේශපාලන කටයුතු කිරීමේ වරදට ඈ ඒ පළාතෙන් පිටුවහල් කළේය. මධ්‍ය ප්‍රදේශයේ ආණ්ඩුව ඈට ඒ පෙදෙසට ඇතුළු වීම තහනම් කළේය. මදුරාසි ආණ්ඩුව ඈ හිර කළේය. ඒ ආණ්ඩුව එපමණකිනුත් නොනැවතී ඇගේ නිව් ඉන්ඩියා පත්‍රයට රු. 2000ක ඇපයක් තබන්ට නියම කළේය.   
 
(ශ්‍රේෂ්ඨ කාන්තාවෝ - 83 පිට)
 
ආණ්ඩුවේ පිළිවෙතට විරුද්ධව දිගින් දිගට ඇතිවූ මහජන උද්ඝෝෂණ හමුවේ ඇය හිරෙන් නිදහස් කරනු ලැබීය. මේ වන විට ඇය කෙතරම් ජනප්‍රිය ව සිටියේද යත් 1917 දී ඉන්දීය ජාතික සංගමයේ සභාපති ධුරයටද පත් වූවාය.   
 
මහත්මා ගාන්ධි තුමා ආණ්ඩුවට විරුද්ධව ඇරඹූ සහාය නොදීමේ හා නීති කැඩීමේ ව්‍යාපාර පිළිබඳව ඇය තුළ වූයේ නොසතුටකි. දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ව්‍යවස්ථානුකූල ක්‍රම අනුගමනය කළ යුතු බව ඇගේ මතය විය. සමස්ත ඉන්දීය ජනතාව විසින් දේවත්වයෙන් පුදනු ලැබූ මහත්මා ගාන්ධිතුමා සමඟ ඇති වූ විරසක භාවය නිසා ඇගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පිරිහින. ඇගේ මිතුරෝ හා අනුගාමිකයෝ අැය අත්හළහ.   
දේශපාලන කටයුතුවලින් ඉවත් වුණු ඇනී බෙසන්ට් මැතිණිය අද්යාරයේ පරම විඥනාර්ථ මූලස්ථානයේ වෙසෙමින් එහි කටයුතුවලත් කාන්තා ශුභසාධන කටයුතුවලත් යෙදුනාය. 1933 සැප්තැම්බර් මස 20 වන දින ඇය අභාවප්‍රාප්ත වූවාය. සංගම් මූලස්ථාන භූමියේ විශේෂ ස්ථානයක ආදාහනය කිරීමෙන් පසු ඇගේ අළු පොළවෙහි විසුරුවා හැරුනි.   
 
සත්‍යයට වඩා උතුම් ආගමක් නැත යන පාඨය එම මූලස්ථාන ශාලාවේ ලොකු අකුරින් ලියා තිබේ. එහෙත් ඇනී බැසන්ට් මැතිණිය බුදුන් වහන්සේට දැක්වූ අසීමිත ගෞරවය පැහිදිලි වන්නේ එහි ඇගේ කවරයේ ඇති එකම ආගමික වස්තු ලෙස ජපානයේ කමකුරා ප්‍රතිමාවේ කුඩා අනුරුවක් එහි ගෞරවයෙන් තබා තිබීමෙනි.   
 
 
විශේෂඥ වෛද්‍ය 
බී. ජී. ඒ. විද්‍යාතිලක