සී.අයි.ඩී.යේ රාහුල සිල්වා ගහනකොට දොඩම්පේ මුදලාලිත් එයාට ගැහුවලු


අවිගත් දඩබ්ම

සී.අයි.ඩී. හතරවැනි තට්ටුවෙන් වැටී මියගිය දොඩම්පෙ මුදලාලිගේ ගම්බ්ම් සොයා ගිය ගමන  

 

මුද්දූව ශ්‍රී සුමන පිරිවෙන   

 

 

දරුණු බවට ජනතාව තේරුම්ගත් පොලිස් නිලධාරීහු අද මෙන්ම එදත් පොලීසියේ සිටියහ. හැටේ දශකයේ රහස් පොලීසිය හෙවත් සී.අයි.ඩීයේ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස කටයුතු කළ රාහුල ද සිල්වා ද එවැන්නෙකි. ගාල්ල පැත්තේ සාමාන්‍ය පොලිස් රාජකාරි කළ ඔහු රහස් පොලිස් සේවයට අනුයුක්ත වන්නේ 1965 ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුව සමයේදීය.
   
ඩඩ්ලි සේනානායක මහතා අගමැති වුවත් 65 යූඇන්පී ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රබල ඇමතිවරයෙක් විය. හැටේ මාර්තුවේ බලයට ආ යූඇන්පී ආණ්ඩුව මාස තුනෙන් කඩා වැටී හැටේ ජූලි මැතිවරණයෙන් පරාදවීමත් සමග විපක්‍ෂයේ සිටි අවුරුදු හතර හමාරක කාලය තුළ ජේ.ආර්. ජයවර්වර්ධන මහතා යළි ආණ්ඩු බලය ගන්නට පක්‍ෂය ශක්තිමත් කළ ප්‍රබලයෙක් විය.   


එසේ කටයුතු කර 1965 පැවති මහ මැතිවරණයෙන් යූඇන්පී ආණ්ඩුවක් පිහිටුවූයේය. ඒ ආණ්ඩුව පෙරළා දැමීමට 1966 පෙබරවාරි මාසයේ කුමන්ත්‍රණයක් කළ බවට හිටපු යුදහමුදාපතිවරයෙක් වූ රිචඩ් උඩුගම ප්‍රධාන හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට සහ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ප්‍රමුඛ සිවිල් පිරිසකට චෝදනා එල්ලවිය.   


එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබල චරිතයක් වූ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් සමග ඇසුරු කළ දොඩම්පේ මුදලාලි හෙවත් දොඩම්පේ ‘අධිකාරිය’ ගමේ උපන් ඇල්.වී. පොඩිඅප්පුහාමි ද මේ කුමන්ත්‍රණ නඩුවට සැකපිට රහස් පොලිසිය සොයමින් සිටි අයෙක් විය. තිස්පස්වැනි වියේ පසුවූ ඔහු අවිවාහකයෙක් ද විය. ගම දොඩම්පේ ‘අධිකාරිය’ වුවත් දොඩම්පේ මුදලාලි ජීවත් වුණේ රත්නපුර නගරයේය. ව්‍යාපාරිකයෙකු වූ ඔහුට එකල මෝටර් රථයක් ද හිමිව තිබිණි. ඒ නිසා දොඩම්පේ මුදලාලි රත්නපුරේ හිටි සිංහල මැණික් ව්‍යාපාරිකයන් අතරින් ප්‍රබලයෙක් විය.   


හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් වැඩ වාසය කළේ ද රත්නපුර මුද්දූව ශ්‍රී සුමන පිරිවෙනේය. පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ආරම්භ කර තිබූ භික්‍ෂු පුහුණු ආයතනයේ ද ඊට අමතරව උන්වහන්සේ වැඩ විසූහ. පාතකඩ භික්‍ෂු පුහුණු අායතනය 1964දී ආරම්භ කරනු ලැබූ අතර ඒ කාලයේ තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අගමැතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවකි.   


දොඩම්පේ මුදලාලි හා හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් අතර වූ මිත්‍රත්වය නිසා උන්වහන්සේ වැඩිපුර ගමන් බිමන් ගියේ දොඩම්පේ මුදලාලිගේ 3 ශ්‍රී 3673 ෆෝඩ් ප්‍රිෆෙක්ට් කාර් එකෙනි. පැල්මඩුල්ලේ භික්‍ෂු පුහුණු ආයතනයේ ඉදිකිරීම් පරීක්‍ෂා කරන්නත් විවිධ අවස්ථාවල ඤාණසීහ හාමුදුරුවෝ දොඩම්පේ මුදලාලි සමග එහි ගියහ.   

 

හේන්පිටගෙදර ඤාණසීහ හිමිගේ ස්මාරකයක්   

 


කොළඹ ව්‍යාපාරිකයෙක් ඤාණසීහ හාමුදුරුවන්ගේ පාවිච්චියට මෝටර් රථයක් ලබාදුන්නේ මේ අතරතුරදීය. එහි රියදුරු ලෙස සේවය කළේ බටුගෙදර පදිංචිකරුවෙකු වූ ඒ. ජෝන් මහතාය. පන්සලේ පොඩිහාමුදුරුවරු ඇතුළු සැම දෙනාම ඔහු ඇමතුවේ ‘ජෝන් අයියා’ යනුවෙනි. පන්සලට මෝටර් රථයක් ලැබීමත් සමග දොඩම්පේ මුදලාලිට යම් අස්වැසිල්ලක් ලැබුණි. නමුත් ඔහු ඉඩකඩක් ලද හැම මොහොතකම පාහේ මුද්දූව ශ්‍රී සුමන පිරිවෙනට පැමිණ ඤාණසීහ නායක හාමුදුරුවන් බැහැදුටුවේය.   


මුද්දූව ශ්‍රී සුමන පිරිවෙනේ වැඩවාසය කරන බුලුගහපිටියේ සුමංගල හිමියන්ට දොඩම්පේ මුදලාලි ගැන ඇත්තේ හොඳ මතකයකි.   


“හොඳ හැඩිදැඩි තරුණයා. හරි පෙනුමයි. නායක හාමුදුරුවන්ට හරිම විශ්වාසවන්තයි. වාහන පැදවීම අතින් හරිම ආරක්‍ෂාකාරීව වාහන පදවන කෙනෙක්. ඒ හින්දා නායක හාමුදුරුවෝ සමහර ගමන් ගියේ දොඩම්පේ මුදලාලිගේ කාර් එකෙන්” සුමංගල හිමියෝ සිහිපත් කළහ.   


හැටේ මැතිවරණ දෙකේ දීම තම මෝටර් රථයෙන් ඤාණසීහ හාමුදුරුවන් සමග එහෙ මෙහෙ යන්නට දොඩම්පේ මුදලාලිට සිදුවිය. හැට පහේ මහ මැතිවරණයෙදීත් එසේම සිදුවිය.   


“හැට පහේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ආවා. ඒ මැතිවරණයේදි රත්නපුරේ ආසනයට ශ්‍රී ලංකා එකෙන් තරග කළේ ධර්මප්‍රේම ජයවර්ධන මහත්තයා. එයා පරාද වුණා. ඒ හින්දා මැතිවරණ පරාජයෙන් පස්සේ නායක හාමුදුරුවෝ එහෙම වුණේ ඇයි කියලා බොහොම කල්පනාවෙන් හිටියේ. නායක හාමුදුරුවන්ට සිරිමාවෝ මැතිණිය හරියට සැලකුවා. උන්වහන්සේ කෙළින්ම මැතිණිට ටෙලිෆෝන් කරනවා. මේ මැතිවරණය පරාදවීමෙන් පස්සෙත් දොඩම්පේ මුදලාලි නිතරම පන්සලට ඇවිත් හාමුදුරුවෝ එක්ක කතා බහ කරලා යන එනවා. කාර් එකෙන් ගමන් බිමන් පවා යනවා. කිට්ටු සම්බන්‍ධයක් තිබුණා. හැබැයි දොඩම්පේ මුදලාලි දේශපාලන වැඩකටයුතු හාමුදුරුවන් එක්ක කළා ද කියලා මතකයක් නෑ.” බුලුගහපිටියේ සුමංගල හිමියෝ කීහ.   


හැටපහේ ආණ්ඩුව බලයට පැමිණ අවුරුද්දක් ගතවෙන්නට පෙර ඒ ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළි වූයේ 1966 පෙබරවාරි මාසයේය. එදා අද මෙන් සන්නිවේදන පහසුකම් නොතිබුණි. ඇත්ත, දිනමිණ, ජනදින, දවස, සවස වැනි දිනපතා පුවත්පත් ජනතාව අතර ජනප්‍රියව පැවතුනි. ඊට අමතරව ආණ්ඩුවේ ගුවන්විදුලිය විය.   


“ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණය ගැන චෝදනාවක් නායක හාමුදුරුවන්ට තිබුණා. වැඩිමනත් තොරතුරු දැනගත්තේ පත්තරවලින්. පාතකඩ හිටියා බී.වී.ඩී. නිලමේ කියලා සිංහල ව්‍යාපාරිකයෙක්. ‘බීවීඩී නිලමේ සහ පුත්‍රයෝ’ කියන ව්‍යාපාරයේ අධිපති එයා. එයා නායක හාමුදුරුවන් එක්ක ගොඩාක් සමීපයි. මුද්දූවේ ඉඳලා පාතකඩ භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානයට යන එනකොට බී.වී.ඩී. නිලමේ මහත්තයා නිතර හමුවෙනවා. දොඩම්පේ මුදලාලිත් එක්කත් නිලමේ හමුවෙන්න නායක හාමුදුරුවො යන එනවා. පාතකඩ පැත්තේ ඉස්කෝලයක් පවා නිලමේ මහත්තයා හදලා දීලා තිබුණා. ඒක විවෘත කරන්න ආවේ ඇන්.ඇම්. පෙරේරා මහත්තයා.”   


“දවසක් ආරංචිවුණා බී.වී.ඩී. නිලමේ රහස් පොලිසියෙන් අරගෙන ගියා කියලා. ඒ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණ නඩුවට සැකපිට කියලයි ආරංචි වුණේ. ඒක අහපු නායක හාමුදුරුවෝ ටිකක් කලබල වුණා.” සුමංගල හාමුදුරුවෝ වසර පනස් දෙකකට පෙර රත්නපුරේ පැවති වාතාවරණය ගැන සිහිපත් කළහ.   


“ඔය අතරේ පන්සලේ ඩ්‍රයිවර් ජෝන් අයියත් රහස් පොලිසියෙන් අරගෙන ගියා කියලා ආරංචි වුණා. ඒකෙන් පස්සේ නායක හාමුදුරුවෝ තවත් කලබල වුණා. නායක හාමුදුරුවෝ ඇසුරු කරන හැම කෙනෙක්ම රහස් පොලීසියට ගෙනියන බව තමයි හාමුදුරුවෝ ඒ දවස්වල කිව්වේ “ජේ.ආර්. මගෙන් පළිගන්නවා. එයා හදන්නේ මාව කොටුකරලා හිරේ දාන්න.” නායක හාමුරුවෝ හැම වෙලේම කිව්ව දෙයක් සුමංගල හිමියෝ මතකය අවදි කළහ.   


මේ කියන දවස්වල මුද්දූව පන්සලට යන එන අය, නායක හාමුදුරුවන් ඇසුරු කරන අය, නායක හාමුදුරුවන් යන එන තැන්, හාමුදුරුවන්ගේ හිතවතුන් යන එන තැන් හොයලා බලන්න රහස් පොලීසියෙන් ඔත්තුකරුවන් යොදවා සිටි බව සුමංගල හිමියෝ සිහිපත් කළහ.   


“බී.වී.ඩී. නිලමේ සහ රියදුරු ජෝන් අයියා රහස් පොලිසියට ගෙනයාම ගැන කම්පාවෙන් පසුවෙද්දී දොඩම්පේ මුදලාලිත් සීඅයිඩී එකෙන් හොයනවා කියලා හාමුදුරුවන්ට ආරංචිවෙලා තිබුණා. ඒ දවස්වල රත්නපුරේ ඔත්තුකාරයෝ වැහි වැහැලා.” සුමංගල හිමියෝ කීහ.   


මේ අතර වාරේ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් සමග කොමියුනිස්ට් පාක්‍ෂිකයෙකු වූ පතිරගේ ටයිටස් ප්‍රනාන්දු නොහොත් සුනිල් හේවගේ යන අයත් අත්අඩංගුවට ගන්නට සොයන බවට ආරංචි පැතිර ගියේය. එහෙත් සුනිල් හේවගේට කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් අප්පෝ හෙවත් සරත් මුත්තෙට්ටුවේගම මහතා රැකවරණය දී සඟවා ඇති බවට ආරංචි පැතිර ගොස් තිබුණි.   


ඊළඟට දොඩම්පේ මුදලාලි හෙවත් ඇල්.වී. පොඩිඅප්පුහාමි ද මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට සැකපිට සීඅයිඩීය හොයන බවට ආරංචි විය.   


’‘දොඩම්පේ මුදලාලි කාටවත් බය ඇති කෙනෙක් නෙවෙයි. අසාධාරණය මිනිහට පෙන්නන්න බෑ. හැටහයේ සිංහල අවුරුද්දට දවස් කිහිපයක් තියෙද්දි දොඩම්පේ මුදලාලි පාතකඩ භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානයට ආවා. එතකොට එයාව සීඅයිඩී එකෙන් හොයනවා. ඇවිත් නායක හාමුදුරුවන් මුණ ගැහුණා. නායක හාමුදුරුවන්ගේ දකුණු අත අල්ලගෙන ‘හාමුදුරුවනේ මට සීඅයිඩී එකට යන්න වෙනවා. මම ඔබ වහන්සේ පාවා දෙන්නේ නෑ. මට ගැහුවොත් මම ගුටිකාලා රත්නපුරේ බත් කන්න එන්නේ නෑ. ගැහුවොත් ගහනවා.’ කියලා හාමුදුරුවන්ගේ අත දොඩම්පේ මුදලාලිගේ මුහුණටත් නළලටත් තියාගෙන ඉඹලා කිව්වා.”   

 

 

“ඒ වෙලාවේ නායක හාමුදුරුවෝ ලොකු කම්පනයකට පත්වෙලා හිටියේ. උන්වහන්සේට කරන්න දෙයක් නැතුව හිටියේ.” දොඩම්පේ මුදලාලිගේ අන්තිම දිනට දින කිහිපයකට පෙර සිදුවූ මේ දෛවෝපගත හමුව සුමංගල හිමියෝ සිහිපත් කළහ.   


“ඊට පස්සේ ආරංචි වුණා දොඩම්පේ මුදලාලි සීඅයිඩී එකෙන් ඇල්ලුවා කියලා. ආරංචි වුණේ රත්නපුරේ දී ඇල්ලුවා කියලා. ඒ වෙනකොට නායක හාමුදුරුවන් අල්ලන්න සීඅයිඩී කණ්ඩායමක් පාතකඩ භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානය වැටලුවා. නායක හාමුදුරුවො හිටියේ නෑ. ගුරු හාමුදුරුවෝ බලන්න ගිහිං හිටියේ. රාමඤ්ඤ නිකායේ මහානායක හිස්සැල්ලේ ඤාණෝදය හාමුදුරුවෝ තමයි ගුරු හාමුදුරුවෝ. හැම තැනම බැලුවා. හිටියේ නැති නිසා ආපහු ගියා.” සුමංගල හාමුදුරුවෝ අත්දැකීම් විස්තර කළහ.   

ඤාණසීහ හාමුදුරුවන් ගුරු හාමුදුරුවන්ගේ දුකසැප බලා ආපසු රත්නපුරේට ආවට පස්සේ දොඩම්පේ මුදලාලි රහස් පොලිස් භාරයට ගත් බවට ආරංචි විය. නමුත් හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවනුත් අත්අඩංගුවට ගැනීමට සොයන නිසා ඤාණසීහ හිමියන් සිටියේ දැඩි කනස්සල්ලකින් හා කම්පනයකින්. ඊට හේතුව වී තිබුණේ මේ කුමන්ත්‍රණ නඩුවේ විමර්ශන වලට උප පොලිස් පරීක්‍ෂක රාහුල ද සිල්වා යන අය එවක රාජ්‍ය ඇමති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රහස් පොලිසියට අනුයුක්ත කර තිබීමයි. රාහුල සිල්වා සැකකරුවන්ට පහරදී අමානුෂික වධහිංසා කරන නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධව සිටි කෙනෙක් බව ඤාණසීහ නායක හාමුදුරුවන් නිතර කී බව සුමංගල හිමියෝ කීහ.   


“මට මතක හැටියට නායක හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ බලලා රත්නපුරේ මුද්දූවේ පිරිවනට ආවට පස්සේ රත්නපුරේ පොලිසියට ටෙලිෆෝන් කරලා බාරවුණා. උන්වහන්සේ අත්අඩංගුවට ගන්න ආවේ ආර්.ඒ. වීරවර්ධන කියන නිලධාරියා එක්ක තව නිලධාරියෙක්. මට නම හරියට මතක නෑ. දොඩම්පේ මුදලාලි ගැන දැනගන්න නායක හාමුදුරුවන්ට ලොකු උවමනාවක් තිබුණා.” සුමංගල හිමියෝ කීහ.   


මේ කියන දවස් ඉක්මනින් නොගෙවී යයි. වෙනදට වඩා ඒ දිග දිනයක රේඩියෝවේ ප්‍රවෘත්තියකින් කියැවුණේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ සැකකරුවෙකු වූ රහස් පොලිස් අත්අඩංගුවේ පසුවූ රත්නපුරේ සිංහල ව්‍යාපාරික දොඩම්පේ මුදලාලි හෙවත් ඇල්.වී. පොඩිඅප්පුහාමි රහස් පොලිස් මූලස්ථානයේ හතරවෙනි තට්ටුවෙන් පැන සිය දිවි හානි කරගත් බවයි. ඒ ආරංචියත් සමග රත්නපුරේ හැම තැනකම සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් ඔත්තුකරුවෝ සැරි සැරූහ.   


හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ඇසුරු කළ වැඩිදෙනෙක් රහස් පොලිසියෙන් ප්‍රශ්න කරන්නට අත්අඩංගුවට ගැණුනි. දොඩම්පේ මුදලාලිගේ මරණයෙන් සහ හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් සීඅයිඩී භාරයට පත්වීමෙන් පසු ඒ මිනිස් දඩයම් නැවතුනි. ඊට පෙර අල්ලාගෙන ගිය බීවීඩී නිලමෙ සහ රියදුරු ජෝන් අයියා දින ගණනාවක් රඳවාගෙන ප්‍රශ්නකර ආපසු එවා තිබුණි.   


“දොඩම්පේ මුදලාලි සියදිවි නසා ගත්තා කියලා කිව්වාට එයට ගහලා මරලා හතරවෙනි තට්ටුවෙන් පහළට දැම්මා කියලා කතාවක් පැතිර ගියා. සීඅයිඩී එකේ රාහුල සිල්වා මහත්තයා දොඩම්පේ මුදලාලිට ගහන කොට දොඩම්පේ මුදලාලිත් එයාට ගැහුවා කියලා තමයි කතාව තිබුණේ. දොඩම්පේ මුදලාලි රඳවලා තිබුණ කාමරයට යාබද කාමරයේ මේ කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගත්තු හමුදාවේ තිලකවර්ධන කියලා කෙනෙක් ඉඳලා තියනවා. දොඩම්පේ මුදලාලිට ගහනවා එයා දැකලා තියනවා. පහළට තල්ලුකරනවත් දැකලා තියනවා කියලයි දැන ගන්න ලැබුණේ. පස්සේ ආරංචි වුණා තිලකවර්ධන හතරවෙනි තට්ටුවෙන් තල්ලුකරලා මරලා දාලා කියලා.” බුලුගහපිටියේ සුමංගල හිමියෝ එදා දොඩම්පේ මුදලාලිගේ මරණය ගැන පැතිර ගිය ආරංචි ගැන සිහිපත් කළහ.   


දොඩම්පේ මුදලාලිගේ මරණය ​ෙවනවිට හෙන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් සිටියේ රහස් පොලිස් අත්අඩංගුවේ ය. අත්අඩංගුවට පත්ව මසක් ගතවනතුරු උන් වහන්සේ බලන්නට කිසිම කෙනෙකුට ඉඩ නොලැබුණි. එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා හමුවී හාමුදුරුවන් බලන්නට විශේෂ අවසරයක් ලබාගන්නට පවා සිදුවිය. බුලුගහපිටියේ සුමංගල හිමියන් ද උන්වහන්සේ බලන්න ගියහ.   


“අපිට වැඩිවෙලාවක් බලන්න දුන්නේ නෑ. ඒ කෙටි වෙලාව තුළ නායක හාමුදුරුවෝ දොඩම්පේ මුදලාලි ගැන ඇහුවා. ඔහුගේ මරණය ගැන උන්වහන්සේ දැඩි කම්පනයකට පත්වුණා. දොඩම්පේ මුදලාලි කියන්නේ කෙළින් කතාකරන, කෙළින් වැඩකරන කෙනෙක් කියන එකයි උන්වහන්සේගේ අදහස වෙලා තිබුණේ. ඒවගේ කෙනක් මරාදැමීම ගැන ආණ්ඩුවයි, රාහුල සිල්වා එක්කයි ලොකු අප්‍රසාදයක් කලකිරීමක් නායක හාමුදුරුවෝ තුළ තිබුණ බව ඒ කතා කළ සුළු වෙලාවෙදි අපිට පෙනුනා.” සුමංගල හිමියෝ කීහ.   


දොඩම්පේ මුදලාලි හෙවත් ඇල්.වී. පොඩිඅප්පුහාමි 1965 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් රත්නපුර ආසනයට තරග කළ ධනපාල ආටිගල මහතාට සහාය දුන් බවට තොරතුරු කිහිපයක් ද මේ කතාව සැකසීමේ කරුණු සොයද්දී දැනගන්නට ලැබුණි. එසේ වූවානම් ඔහුට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල වේවිදැයි ගැටලුවක් පැන නගී.   


නමුත් කොමියුනිස්ට් පාක්‍ෂිකයෙකුවූ පතිරගේ ටයිටස් ප්‍රනාන්දු හෙවත් සුනිල් හේවගේ මේ කුමන්ත්‍රණ නඩුවේ සැකකාරයෙක් ​ෙවන්නේ කෙසේදැයි ද ගැටලුවක් පැන නගිනු ඇත. එහෙත් මේ වකවානුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය වැනි වාමාංශික පක්‍ෂ එකම කණ්ඩායමක් ලෙස නිතරග ගිවිසුම් ඇතිකරගෙන මහ මැතිවරණයට තරග කර තිබුණි. ඒ නිසා ඔවුන් යූඇන්පී විරෝධී කඳවුරක සිටි නිසා සැකපිට අත්අඩංගුවට ගන්නට ඇති බවට සිතිය හැකිය.   


කොහොම නමුත් දොඩම්පේ මුදලාලි අහවල් දේශපාලන කඳවුරේ කෙනෙක් බවට හංවඩු ගැසුනු කෙනෙක් බවට තොරතුරක් අහන්නට නොලැබුණි. උග්‍ර ශ්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයෙකු වූ හේන්පිටගෙදර ඤාණසීහ හිමිගේ හිතෛශීවන්තයෙකු වූයේ යැයි කියා දොඩම්පේ මුදලාලිට ශ්‍රී ලංකා නිහස් පාක්‍ෂිකයෙක්ය යන දේශපාලන ලේබලය ඇලවී නොතිබුණි. දොඩම්පේ මුදලාලිගේ ළඟම මිත්‍රයෙකු වූ සිරිල් ඇලෙක්සැන්ඩර් නිහඬ යූඇන්පී කාරයෙක් වූ නිසා හැට පහේ මහ මැතිවරණයේ දී යූඇන්පියෙන් තරග කළ ධනපාල ආටිගල මහතාට සහාය දුන්නා විය හැකිය.   


එහෙත් දොඩම්පේ මුදලාලිගේ මරණයෙන් පසු ඔහුව රාජද්‍රෝහියෙක් ලෙස එවකට පැවති යූඇන්පී ආණ්ඩුව සලකා තිබූ බව තොරතුරු සොයා යාමේදී පැහැදිලි විය. දොඩම්පේ මුදලාලිගේ අවසන් කටයුතු වලට යන එන අය කවුරුන්දැයි සොයන්නට පොලිස් ඔත්තුකරුවන් ඔහුගේ ආදාහනය සිදු කෙරුණ දොඩම්පේ ‘අධිකාරිය’ ගමට පැමිණ සිටි බවද දැනගන්නට ලැබුණි.   


ලංකාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ ආණ්ඩුවක් පෙරළා දැමීමට කටයුතු කළ බවට වූ නඩුවේ පළමු විත්තිකාර හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් අවුරුදු තුනකුත් මාස හතරක් සහ දින විසිතුනක් සිරබත් කා 1969 සැප්තැම්බර් 16දා නිදහස්ව පැමිණෙද්දී දොඩම්පේ මුදලාලිගේ ඥාතීත්වය ඇති බවට දැනගන්නට ලැබුණු සෑම කෙනෙකුටම පාහේ විවිධ අසාධාරණකම් වලට මුහුණ දෙන්නට සිදුව තිබුණි.  

 

 

 

 


අජිත්ලාල් ශාන්තඋදය