සිහිනෙන් බියවී හෙළිකළ පෙර භවයේ රිය අනතුර


පෙර භවයේ  ප්‍රබල සාක්කි

 

පාසල් ගුරුවරයෙකු වූ සිරිපාල මහතා විවාහයෙන් පසු පදිංචිව සිටියේ පන්නල ප්‍රදේශයේය. ඔවුන්ගේ කුලුඳුල් දියණිය උපත ලැබුවේ 1977 වසරේ නොවැම්බර් මාසයේදීය. නිරෝගී දැරියක ලෙස උපත ලැබූ ඇයට කමනි යනුවෙන් නම් තැබිණි. සති දෙක තුනක් ගතවන විට ඇය තුළින් දක්නට ලැබුණු විශේෂත්වයක් විය. එනම් ඇය නින්දේදී අධික ලෙස බියපත් වීමය. සිරුර වෙව්ලීමත් සමග දැඩි ලෙස බියපත්ව තිගැස්සී අවදිවීම සිදුවන බැව් මවට දක්නට ලැබිණි. අනතුරුව නොනවත්වා හැඬීමටද ඇය පුරුදුව සිටියාය.
   
බිළිඳු දරුවන් බියපත්ව අවදිවීමත් හැඬීමත් සාමාන්‍ය සිදුවීමක් ලෙස සිදුවුවත් තම දියණියගේ බියපත් වීමත් තිගැස්සී අවදිවීමත් විශේෂත්වයක් ලෙස දෙමාපියන්ට දක්නට ලැබිණි. නොනවත්වා වරින් වර සිදුවන මෙම හැසිරීම් රටාව පිළිබඳව දෙමාපියෝ දැඩි අවධානයෙන් සිටියහ. මේ අයුරින් බියපත්වීමේ ක්‍රියාවලිය දිගින් දිගට සිදුවූ අතර දැරිය බහ තෝරණ වියට පත්වූවාය. වචන ප්‍රකාශ කිරීමට හැකිවීමත් සමග ඇය තුළින් තවත් විශේෂ සිදුවීමක් දක්නට ලැබිණි.   


දිනක් ඇය සමගින් කිසියම් ගමනක් යෑම සඳහා කාරයකින් ගමන් පහසුව සලසා ගැනීමට පියාට සිදුවිය. එම රථයට නැගීමට සූදානම් වූ විගස පුංචි දරිය මහත් සේ බියට පත්ව හැඬීමට වූවාය. ඒ සමගම ඇය මව ඇමතුවාය.   
‘අනේ කාර් එකේ නම් යන්න බෑ හැපෙයි හැපෙයි’’ යනුවෙන් ප්‍රකාශ කළාය. මේ අයුරින් ඇය මෝටර් රථවලට නැගීමට දැඩි අකමැත්තක් දක්වන බැව් දෙමව්පියන්ට පෙනිණි. එහෙත් එම බියපත්වීම සිදුවූයේ එකම වර්ගයෙන් යුත් මෝටර් රථවලට වීමද විශේෂත්වයක් විය.   


මේ දරුවා කාර් වලට මේ තරම් බය ඇයි? දෙමාපියන්ට බලවත් ගැටලුවක් මතුවිණි. තවත් සති කීපයක් ගතවිය.   


නැවතත් දිනෙක දියණිය සමග ගමන් පහසුව සඳහා පුරුදු පරිදි මෝටර් රථයකින් යාමට දෙමාපියෝ සුදානම් වූහ. එදිනද දියණිය සුපුරුදු පරිදි බියපත් වී ‘ඔය කාර් එකේ නම් යන්න බෑ හැපෙයි හැපෙයි’’ යනුවෙන් ප්‍රකාශ කරමින් මවගේ ගෙල බදාගෙන සිටියාය.   


‘ඇයි දුවේ බයවෙන්නෙ’ යයි මව සිය දියණියට පුංචි ප්‍රශ්නයක් මතු කළාය.   


එකෙ නම් යන්න බෑ ඔය වගේ කාර් එකක තමයි හැප්පුණේ එතකොට අපි හිටියෙ දන්කොටුවේ’’ යයි ඇය හෙළි කළාය.   


දියණියගේ මෙම ප්‍රකාශයෙන් පසු ඇය කිසියම් පෙරභවයක තොරතුරු හෙළි කරන බැව් දෙමාපියන්ට අවබෝධ විය. දියණියගේ ප්‍රකාශ පිළිබඳව පියා උනන්දුවක් දැක්වීය. දියණිය හෙළි කළ තොරතුරු විමසීමක් සිදු කිරීමට සිතූ පියා   


‘දන් කොටුවෙදී මොකද වුණේ?’’ යැයි දියණියගෙන් ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් දැරිය.   


‘වයස විසි අටේදී මැරුණා’ යයි කීවාය. මෙම දැරිය හෙළිකළ පෙරභව තොරතුරු විමර්ශනය සඳහා අප එම දැරිය සහ දෙමාපියන් හමුවූ අවස්ථාවේ දියණිය හෙළි කළ තොරතුරු පියා විසින් අනාවරණය කළේ මෙසේය.   
‘මොනව වෙලාද මැරුණෙ කියල මම එද‌ා දුවගෙන් ඇසුවා   


මම හැප්පුනේ කාර් එක එලව ගෙන යන විටදියි කියල දුව කිව්වා. පෙරභවයෙදි ඇයට අම්මා, තාත්තා, නංගි සහ දරුවෙක් හිටිය කියලත් එයා කිව්වා. ඒ වන කොට එයාට සිටි පුංචි මල්ලිට එයා කතා කළේ දුව කියල. මේ කතාවත් අපේ පුදුමයට හේතු වුණා.   


අපි පන්සලට ගියාම එයා හැසුරුණේ හරියටම කතෝලික දේවස්ථානයකදි සිටින ලෙසටයි. එහෙදි පල්ලි ගියා කියලත් දුව කිව්වා.   


අපේ ගේ මේ වගේ නාකි ගෙයක් නෙවෙයි. ලොකු ගෙයක් අපිට තිබුණ කියලත් දූ කිව්වා. එයා නාකි ගෙයක් කියල කිව්වේ අපේ ගේ පරණ නිසා වෙන්න පුළුවන් කියල අපිට ​ෙත්රුණා.   


ගෙදර සිටිද්දි සුළු කෝපවීමක් හෝ සිදු වූ විටදි එයා අම්මට කතා කරල එයාගෙ ඇඳුම ඉල්ලනවා.   


‘මගේ ඇඳුම් මට දෙන්න මම මගේ ගෙදරට යන්න ඕනෑ’ කියල නිතරම කියනවා සමහරද‌ාට ගෙදරින් එළියට බැහැල මගේ ගෙදර යනවා කියලත් කියනවා.   


තවත් දවසක් එයාට බයිසිකලයක් ගෙනත් දෙන්න කියල මට කිව්වා. බයිසිකලයක් ගේන්න සල්ලි නෑ කියල මම කිව්වා.   


ටික වේලාවක් මාගේ දිහා බලාගෙන සිටි දුව ‘තාත්තට සල්ලි නැත්නම් දන්කොටුවට ගිහින් මම ගෙනත් දෙන්නම්’ කියල එක පාරටම කිව්වා යයි සිරිපාල මහතා එද‌ා අප සමග පැවසීය.   


දියණිය හෙළි කරන පෙරභව නිවස පිළිබඳව විමසීමක් කිරීමට පියා උනන්දු විය. එහෙත් ඔහු හෙළිකළ තොරතුරු අතර අනාවරණය වූ නමක් ලෙස ඇගේ මතකයේ තිබුණේ ‘කුවින්ටස්’ යනුවෙන් පමණි. වරක් එය කුවින්ටස් ලෙසත් තවත් විටෙක ‘ලින්ටස්’ ලෙසත් ඇය ප්‍රකාශ කළාය. දැරිය අනාවරණය කළ පෙරභව තොරතුරු අනුව ඇගේ පෙර නිවස සොයා යෑමට වැදගත් කරුණු ඇය හෙළි කර තිබුණේ‍ ඇය පෙරභවයේදී පල්ලි ගිය බවත් මෝටර් රථයක් හිමිව සිටි අයෙකු ලෙස හඳුන්වා දීමත්ය.   


පදවාගෙන ගිය මෝටර් රථය කිසියම් අතුරකට පත්ව මරණය සිදුවී ඇති බැව් එමගින් දක්නට ලැබිණි. ඒ හැර වෙනත් වැඩි තොරතුරක් ඇගෙන් අනාවරණය නොවීය. දියණිය හෙළි කළ එම තොරතුරු අනුව පෙරබවයේ දී මෝටර් රථයක් අනතුරට පත්වී මිය ගිය දන්කොටුව ප්‍රදේශයේ අයෙකු පිළිබඳව සොයා බලන ලෙස තමන්ගේ පියා මිතුරක් කීප දෙනෙකුට පැවසීය.   


ඒ අනුව සති කීපයක විමර්ශනයකින් පසු ඇය හෙළි කළ තොරතුරු වලට සමාන රිය අනතුරකින් මියගියේ තරුණයෙකුව සොයා ගැනීමට දෙමාපියන්ට හැකිවිය. මෝටර් රථ අනතුරකින් මියගිය එම තරුණයාගේ මව එම දැරියගේ නිවසවෙත පැමිණියේය. ඇය නිවසට එන විට නිවැසියෝ කිසිවෙක් ඇය කව්දැයි නොදැන සිටියහ. එහිදී දැරිය හමුවීම වැදගත් කරුණක් බවට පත්විය.   


එදින ඇය නිවසට එන විට දැරිය නිවසේ සිටියාය. ‘කව්ද ඇවිත් සිටින්නේ යයි මව දැරියගෙන් විමසූ විට’ ඒ අපේ අම්මායයි ඇය පිළිතුරු දුන්නාය. පෙරභවයේ මව ඒ අයුරින් කමනි එද‌ා හඳුනාගත් බැව් දෙමාපියෝ පැවසූහ.   
යතුරු පැදි අනතුරකින් මිය ගිය තරුණයෙකු ගේ තොරතුරු හෙළි කළ දරුවෙක් මීට වසර ගණනකට උඩදී ලෙබනනයේද උපත ලැබීය. එම පුනර්භව සාධකය තුළ දක්නට ලැබුණු සුවිශේෂි ප්‍රබල සාක්කියක් විය. එනම් යළි උපත ලැබූ දරුවා විසින් ඔහුගේ රිය අනතුරට සම්බන්ධ වූ රියැදුරා වසර හතකට පසු නිවැරදිව හඳුනා ගැනීමය. රබීෂ් නම් එම දරුවා උපත ලබා තිබුණේ 1964 පෙබරවාරි මාසයේදීය.   


හත්දෙනෙකුගෙන් යුත් පවුලේ හයවැනි දරුවා ලෙස උපත ලැබූ මෙම දරුවාට පෙර භවය සිහිවීමේ සිදුවීමද පුදුම උපදවන සුලුය. තෙහැවරිදි වියේ පසු වූ එම දරුවා පෙර පාසලක අධ්‍යාපනය සඳහා ඇතුළත් කළේය. එහිදි පාසලේ ගුරුවරිය ඔහුට නම කියා ඇමතුවාය. එක්වරම ගුරුවරියට පිළිතුරු දුන් දරුවා   


‘මගේ නම චෞති’ යැයි කීවේය. ගුරුවරිය නැවතත් ඔහුගේ නමින් දරුවා ඇමතීය. එවිටද දරුවා පැවසුවේ ඔහුගේ නම චෞති බවය. මතක සටහන් හෙළි කිරීම ආරම්භ වූයේ ඒ අයුරිනි. අනතුරුව සිය පෙරභවයේ දී තරුණයෙකු ලෙස ජීවත්ව සිටි බවත් යතුරු පැදි අනතුරකින් මරණයට පත් වූ බවත් හෙළි කළේය. ඔහුට පෙරභව නිවසට යෑමට අවශ්‍ය බවද මෙම දරුවා දෙමාපියන්ට කියා සිටියේය. පෙරභවයේ නිවසේ නමද ඔහුට මතක තිබිණි. ප්‍රධාන පෙළේ හෝටලයක් අසල නිවස පිහිටා තිබූ බවද මෙම දරුවා හෙළි කළේය.  


ඉතා පොහොසත් පවුලක ජීවිත තොරතුරු හෙළි කළ මෙම දරුවා ඔහුට පෙර භවයේ සිටි සොහොයුරියක් සහ සොහොයුරෙකු පිළිබඳවත් පැහැදිලිව පැවසීය. නිවස ඉදිරිපිට විශාල ගේට්ටුවක් ඇති බවත් ප්‍රසිද්ධ හෝටලය අසලට ගියවිට නිවස පෙන්විය හැකි බවත් මෙම දරුවා පැවසීය.  


මම එදා මෝටර් බයිසිකලය පැදගෙන ගියා. එතකොට ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයක හැප්පුණ. මා එක්ක ගිය යාළුවා බේරුණා. ඒත් මම මරුණා යැයි මෙම දරුවා ප්‍රකාශ කළේය.  


තම පුත්‍රයා හෙළිකරන තොරතුරු අනුව පෙර නිවසට කැඳවාගෙන යාමට පියා තීරණය කළේය. ඒ අනුව ඔවුහු දිනක් දරුවා සමගින් එම පරිසරයට ගමන් ගත්හ. එහිදී එම දරුවා නිවැරදිව පෙරභව නිවස පෙන්වා එම නිවසට ගියේය. නිවසේ සිටි කිසිවෙක් ඔවුන් කවුරුන්ද යන්න නොදත්ත. ‘ඔබලා කව්ද?’ යැයි නිවැසියෝ ප්‍රශ්න කළහ. එක්වරම පිළිතුරු දුන් දරුවා.  


මම චෞති. බයිසිකල් අනතුරින් මැරුණ චෞත්’’ යයි කීය. දරුවා හෙළිකළ පරිදි විශාල යකඩ ගේට්ටුවක් නිවසට යෑම සඳහා තනා තිබිණි. ඔහු පැවසූ පරිදි සොයුරු සොයුරියන් පිළිබඳ තොරතුරුද නිවැරදි විය. එම දරුවාට එදා පෙරභවයේ දෙමාපියන්ද නිවැරදිව හඳුනා ගැනීමට හැකිවීමද ප්‍රබල සාක්කි බවට පත්විය. පෙර භවයේ මිත්තනිය දුටු විගස ‘මේ මගේ ආච්චි’ යයි ඇය බදා හඳුනාගනු ලැබුවේ පෙරභවයේ ඥාතීන් පුදුමයට පත් කරවමිනි.   
එදා එම දරුවා හෙළි කළ පරිදි ​ෙචෟකි නම් තරුණයා මරුමුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 දී යතුරු පැදිය පදවාගෙන යන විටදීය. නිවසේ සිට බයිසිකලය පදවා ගෙන යන විටදී මිතුරෙක්ද ඔහු සමග ගමන්ගෙන තිබිණි. ඔහු බරපතළ තුවාල ලැබ සිටි අතර සයිකලය පැද වූ තරුණයා මරණයට පත්විය. ඒ 1963 ජුලි 29 වැනිදාය.  


ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයක් මහා මාර්ගයේදී ඔවුන්ගේ යතුරු පැදියේ ගැටීම නිසා අනතුර සිදුවී තිබිණි. අනතුර සිදු වූ ආකාරය පිළිබඳව මෙම පර්යේෂණයේ දී මියගිය තරුණයාගේ මිතුරා සාක්කි දෙනු ලැබීය. මේ පිළිබඳ මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදුකළ පුනර්භව පර්යේෂණය ඔහුගේ ග්‍රන්ථයකටද ඇතුළත් කර තිබේ.  


පෙර භවයේදී මරණය සිදු වූ අයුරු එහිදී දරුවා කළ ප්‍රකාශය සඳහන් කර ඇත්තේ (They hit a truck coming in the opposite direction) යනුවෙනි. එම සිදුවීම සනාථ කරවන පොලිස් වාර්තාද මෙම පර්යේෂණයේ දී සොයා ගැනීමට හැකිවී තිබේ. මෙම දරුවාගේ පුනර්භව සාධකයේ සුවි​ෙශ්ෂි හඳුනාගැනීම ලෙස දක්වා ඇත්තේ රිය අනතුර සිදු කළ ට්‍රක් රථ රියැදුරා හඳුනා ගැනීමය. මහාචාර්ය ස්ටීවන්සන් එම සිදුවීම ඔහුගේ පර්යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.  


(HE HAD MET THE DRIVER OF THE TRUCK WITH WHICH CHOWKI HAD FATALLY COLLIDED  ON JULY 29 1963 HE RECOGNIZED THIS MAN BY HIS FACE AND AFTERWARDS  LEARNED HIS NAME RABIH SPOKE WITH THE TRUCK DRIVER ABOUT THE ACCIDENT  AND SAID THAT HE WAS THE PERSON FATALLY INJURED IN IT) යනුවෙනි.​


මෙම දරුවා විසින් ට්‍රක්රථ රියැදුරා සොයාගොස් ඔහු හඳුනා ගැනීම මෙම පුනර්භව සාධකයේ ප්‍රබලතම සාක්කිය බවට පත්විය. එම හඳුනාගැනීම සිදුවූයේ රිය අනතුර සිදු වී වසර හතකට පසුවය. එදා රියැදුරා හමු වූ දරුවා තමා මරණයට පත්කළ ට්‍රක්රථ රියැදුරා ලෙස ඔහු හඳුනාගනු ලැබුවේ රියැදුරා මවිතයට පත් කරවමිනි.  


මෝටර් රථ අනතුරුවලින් මරණයට පත් වූ බැව් හෙළිකළ දරුවෝ රැසක් පුනර්බව  පර්යේෂන අතරට ඇතුළත් වී සිටිති. ඒ අතරින් පෙර භවයේ අනතුර සිදු කළ රියැදුරා  හඳුනාගත් සුවිශේෂි සිදුවීමක් ලෙබනනයේ දී උපත ලද දරුවෙකුගෙන් අනාවරණය විය.  අනතුර සිදු වී වසර හතකට පසු එම රියැදුරා සොයා ගිය යළි උපන් දරුවා ඔහු හඳුනා  ගනු ලැබුවේ රියැදුරා මවිතයට පත් කරවමිනි.  

 

 

 


තිස්ස ජයවර්ධන