කාලයක් ‘‘මිණි පහන’’ ඔබයි ටෙලිනාට්‍යයේ කුල්ෆිගේ චරිතයට හඬ කැවූ ඇය කවදත් ප්‍රේක්ෂක හදවත් සොරකම් කළේ ඇගේ මිහිරි කටහඬෙන්. මේ වන විට ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ දිනුකිගේ චරිතයෙන් ඔබේ ආලින්දයට එන ඇය සැබෑ ජීවිතේ සශ්‍රීකා සේමිණී යි. විටෙක ගායනයෙන් විටෙක රංගනයෙන් මෙන්ම විටෙක නිවේදනයෙනුත් දස්කම් දක්වන සුන්දර යුවතියක් වන ඇය ගැන මේ දවස්වල ටිකක් වැඩිපුර කතා වෙනවා. ඒ ඇගේ පළමු ප්‍රේම ගීතයත් එක්ක. ඉතින් අපි හිතුවා මෙවර සඳැල්ල කතාබහට ඇයව එකතු කරගන්න.
ප්‍ර මේ දවස්වල කුලුඳුලේ ගයපු ප්‍රේම ගීතයක් ගැන හැමෝම කතා වෙනවා නේද?
ඔව්, ප්‍රේම ගීතයක් කියන්නෙ ඇත්තටම ප්‍රේමයම නෙවෙයි, තරුණ වියේ ඉන්න යෞවනයන්ගේ හිතේ තියෙන ක්‍රෂ් එක ගැන තමයි ගීතයෙන් කියවෙන්නේ. ඒ තේමාවට යන ගීතයක් මේක. පළවෙනි පාරට තමයි මම ඒ වගේ මාතෘකාවකට ගීතයක් කළේ. ඒක ජූලි මාසෙ 4 වෙනිදා විකාශය වුණා. ඉතින් ඒ වැඩත් එක්ක තමයි මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.
ප්‍ර ගීතයට මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙන්නේ?
ප්‍රේක්ෂක ප්‍රතිචාර ගත්තොත් ඇත්තටම සමහර අය ඉස්කෝලේ ටෙලි ඩ්‍රාමා එක නිසා තාමත් හිතන් ඉන්නවා නාට්‍යයේ ඉන්න විදිහටම මම අවුරුදු 13 ළමයෙක් කියලා. ඇත්ත ජීවිතෙත් මම ඒ විදිහටම ඉන්නවා කියලා හිතනවා. හැබැයි ඇත්තටම දැන් මට මේ වෙන කොට අවුරුදු 18 ක්. ඒත් එක්ක මාව පොඩි ළමයෙක් විදිහට දකින අය ඇයි ඒ වගේ ගීතයක් කළේ කියලා අහනවා. බැනලා නෙවෙයි හැබැයි එයාලා අහන්නේ දැන්ම ඇයි ඒ වගේ ගීතයක් කළේ කියලා. හැබැයි වැඩි පිරිසක් ට්‍රේලර් එකත් එක්ක ලොකු කුතුහලේකින් හිටියා. මොකද හිටියට වඩා ලොකු වෙනසක් ඒ ගීතය ඇතුළේ මගේ තියෙනවා. ඉතින් ඒ වෙනසට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ප්‍ර ඔබ ආවේ ළමා ගායිකාවක් විදිහට මොකද එකපාරට ප්‍රේම ගීතයක් කරන්න හිතුනේ?
ළමා ගායිකාවක් විදිහට තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. හැබැයි ඒ ආවට ටික කාලයක් යන කොට මම විවිධ පැතිවලට ගියා. ඒ නිසා මට ගායනය පොඩ්ඩක් මඟ හැරුණා. ඒ නිසා මම හිතුවා මේ විදිහට ගීතයක් කරලා මගේ ගායනයට තැනක් දෙන්න. අනිත් එක තමයි මම පොඩි කාලේ ඒ අදාළ වයසෙදි ළමා ගීත ගායනා කළා. හැබැයි දැන් අවුරුදු 18 ක කෙනෙක් විදිහට ළමා ගීත ගායනා කරනවා කියද්දි එතැනත් පොඩී ප්‍රශ්නයක් තියෙනවා. අනික මේක ලොකූවට ප්‍රේමය ගැන කියවෙන ගීතයක් නෙවෙයි. ඒ නිසා මට හිතුනා මේ වගේ ගීතයක් කරලා ආයෙත් මගේ ගායනය පැත්තටම මම එන්න ඕනේ කියලා. මම ආපු තැනින් මට ආයෙමත් පටන් ගන්න ඕනේ කියලා හිතුනා. ඒකත් එක්ක තමයි මේ ගීතය කළේ.
ප්‍ර හැමෝම කතා වෙන විදිහට ඇත්තටම ක්‍රෂ් එකක් ඉන්නවද?
නැහැ තාම නම් එහෙම ක්‍රෂ් එකක් නැහැ. සමහර විට ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ගීතයේ ප්‍රමෝෂන් කොටස වෙනුවෙන් තමයි ක්‍රෂ් එක කියන කතාව ආවේ.
ප්‍ර ගීතය ගැනත් කිව්වොත්?
ගීතය ලියන්නේ ලසිත ජයනෙත්ති අන්කල්, සංගීතය සහ මෙලඩි දෙකම කරන්නේ රවීන් තාරුක අයියා. ඊට අමතරව පසන් ලියනගේ අයියා. ඒ තුන්දෙනාවම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. අධ්‍යක්ෂණය කළේ රංගන එස් බණ්ඩාර අන්කල්. ඒ විදිහට තමයි ගීතය නිර්මාණය වෙන්නේ.
ප්‍ර ඉස්සරහට ගායනය පැත්තෙන් මොනවද කරන්න හිතන් ඉන්න අලුත් වැඩ?
ගායනය පැත්තෙන් ඉස්සරහට අලුත් නිර්මාණ ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද මම දැන් තමයි ගායනයට වැඩි අවධානයක් දෙන්නේ. ඒනිසා ඉස්සරහට මේ වයිබ් එක වගේම මගේ හැංගිලා තියෙන තවත් වයිබ් එළියට ගන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ප්‍ර ගායනයට අමතරව රංගනය සහ අනිත් වැඩකටයුතු ගැනත් කතා කළොත්?
දැනට රංගනය පැත්තෙන් ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ දිනුකි කියන චරිතෙට මම සම්බන්ධ වෙනවා. ඊට අමතරව මේ දවස්වල මම අලුතින් ඩබින් එකක් පටන් ගත්තා දෙරණ නාළිකාවේ මැලෝරි ටවර්ස් කියලා. ඒක තාම විකාශය වෙන්න පටන් ගත්තෙ නැහැ. ළඟදිම විකාශය වෙයි. ඒකේ අයරින්ගේ චරිතෙට හඬ කවන්නේ මම. ඊට අමතරව මගෙ ඉගෙනීමේ වැඩ සහ වෙෙළඳ දැන්වීම්වලටත් සහභාගි වෙනවා.
ප්‍ර අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවද?
ඔව්, අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණා. හැබැයි මේ වෙනකොට මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මේ අවුරුදු හතරෙ වැඩි අවධානය මගේ අධ්‍යාපන කටයුතුවලට සහ මගේ ගායනයට දෙන්න තමයි මම හිතන් ඉන්නෙ. හැබැයි ඒ අතරෙ හොඳ නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා.
ප්‍ර අධ්‍යාපන කටයුතු ගැනත් කිව්වොත්?
මම ඕලෙවල්වලින් පස්සේ ඒත් එක්කම පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් කරන්න පටන් ගත්තා. තාම මම උපාධියෙ මුල් කොටසෙ ඉන්නේ. ඉස්සරහට අලෙවි කළමනාකරණය වගේ පැත්තෙන් හදාරන්න හිතන් ඉන්නවා. සංගීතය පැත්තෙන් ගත්තොත් ලංකාවේ විශාරද විභාග ටික ඔක්කොම මම කරලා ඉවරයි. සංගීතය තවදුරටත් හදාරනවා. ඒ වගේම රංගනය සහ නර්තනයත් ඉදිරියට හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ප්‍ර කලා වැඩත් එක්ක කොහොමද ඉගෙනීමේ කටයුතු කර ගන්නේ?
මම හැමවෙලාවෙම ඒ වෙලාවෙ කරන වැඩේට අවධානේ දෙන්නේ. ඒ නිසා මට ඒක සමබරව කර ගෙන යන්න ලේසියි. මම කවදාවත් කැම්පස් එකේ දේශනයක් වුණත් කට් කරන්නෙ නැහැ. ඒ වැඩ ඉවර වෙලා තමයි රූගත කිරීම්වලට වුණත් සහභාගි වෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක ඒ වැඩ නිසා මම ඉගෙනීම කඩාකප්පල් කර ගන්නෙ නැහැ. මොකද මම හැමවෙලාවෙම හිතන දෙයක් තමයි හැමදේටම වඩා ඉගෙනීම වටිනවා කියන එක. ඒ නිසා මට මොනවා හරි දෙයක් මගහැරුනොත් කොහොමහරි මම ඒ දේ ආයේ කරගන්නවා.
ප්‍ර ඉදිරි බලාපොරොත්තුව?
තාම ඉගෙන ගන්න නිසා මේ අවුරුදු හතර මගේ උපාධිය හොඳ සාමාර්ථයක් එක්ක ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ගායිකාවක් විදිහට අලුත් විදිහකට මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. සශ්‍රීකා සේමිණී කියන නම ඉස්සරහින් රංගන ශිල්පිනියක් කියන නමට වඩා ගායිකාවක් කියන ලේබල් එක වැටෙනවට මම ගොඩක් කැමැතියි. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.
ප්‍ර වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ ගායනයටද? රංගනයටද?
දැනට මාව වැඩි පිරිසක් දන්නේ රංගනයෙන්. දිනුකි කියන චරිතෙන්. හැබැයි මම ගොඩක් කැමතියි ගායනයෙන් එන සශ්‍රීකා විදිහට ප්‍රේක්ෂකයො මාව ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා නම්. මම හිතනවා මේ ගීතයත් එක්ක ඒක වෙනස් වෙයි කියලා.
ප්‍ර පවුලේ අයවත් මතක් කරමු
පවුලේ මමයි අම්මයි අප්පච්චියි මල්ලිලා දෙන්නයි ඉන්නේ. එයාලගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ හැමදේම සමබරව කරගෙන යන්න.
කෞශල්‍යා ලක්ෂානි