සතුන් නිපදවන අරුම පුදුම ආලෝක


 

ඒ දෙවැනි ලොක මහා සංග්‍රාමය පවතින වකවානුවයි. මුළු ලොව පුරා භීෂණය රජ වී තිබුණි. යුද්ධ උපක්‍රම පිළිබඳව මිත්‍ර පාක්ෂිකයන් අතර රහස් ලිපි තනතුරු හුවමාරු වන්නට විය. මෙය දිවා කාලයේ දී මෙන්ම රාත්‍රී කාලයේ දී ද සිදු විය.  


රාත්‍රියේ දී එක් ස්ථානයක සිට තවත් යුද මධ්‍යස්ථානයකට හදිසියේ ලැබුණු ලිපි කියවීමට විදුලි පන්දම් එළි හෝ ලන්තෑරුම් ආලෝක භාවිත කිරීමට තහනම් කොට තිබුණි. එළියක් නොදල්වා වුව ද පණිවිඩය කියවා ඒ අනුව තම තමන්ගේ කාර්ය භාරය ඉටු කළ යුතු බැවින් ලිපි කියවීමට ඔවුහු අමුතුම මාදිලියේ ක්‍රමයක් භාවිත කළහ.  


පණිවිඩය කියවීම අවශ්‍ය තැනැත්තා පළමුව තමන්ගේ අත්ලේ එක්තරා කුඩු වර්ගයක් තවරා හොඳින් පිරි මදියි. එවිට අත්ලෙන් දීප්තියක් විහිදෙයි. එම දීප්තියෙන් රහස් පණිවිඩය කියවීමට යුද භටයා සමත් වෙයි.  
දීප්තියක් ගෙන දෙන මෙම විශ්‍මිත කුඩු වර්ගය කෘත්‍රීමව නිෂ්පාදනය කළ ද්‍රව්‍යයක් නොව Cypridina නම් සතා වියලා සාදා ගත් කුඩුය. මෙම සත්වයා රාත්‍රී කාලයේ දී තමා සිටින පරිසරයට ලුසපරින් හා ලිසුපරේස් නම් ද්‍රව්‍ය දෙකක් ස්‍රාවය කරයි. එහි ප්‍රතිඵලය එම සතා වටලා නිල්පාට දීප්තිමත් කලාපයක් ඇති වීමයි.  
එම සතා මිය ගියද වියලා සකස් කර ගත් කුඩුවලින් යථෝක්ත දීප්තිය ලබා දේ. 

 
සත්වයන් නිකුත් කරන දීප්තිය විද්‍යාවේ දී ජෛව සන්දීප්තිය ලෙස හඳුන්වයි. ජෛව සන්දීප්තයට දායක වන්නේ Cypridina පමණක් නොවේ. ඒක සෛලික ප්‍රොටොසෝවාගේ සිට දියුණුම බහු සෛලික සත්ව කාණ්‍ඩය වන කොඩේටාවන් දක්වා ​ජෛව සන්දීප්තිය දැකිය හැකිය. එහෙත් මෙම හැකියාව එක් එක් සත්ත්ව කාණ්ඩයක ඉතා සුළුතර විශේෂ සංඛ්‍යාවකට පමණක් සීමා වී ඇත. අපට නිතරම හමුවන කාණා මැදිරියා (fire fly) ජෛව සන්දීපනය ලබා දෙන සතෙකි.  

 


යම් ජීවියකුගේ ජෛව සන්දීප්තියක් ඇති වන්නේ ඔවුන්ගේ භෞතික පද්ධතිවල ඇති නිදහස් ශක්තියක සිදුවන කිසියම් පරිවර්තනයක් නිසා බව විද්‍යාඳායන් සොයා ගෙන ඇත. ජෛව සන්දීප්තිය පිළිබඳව මුලින්ම අධ්‍යනය තුළ විද්‍යාඥයා Dubois ය. ඔහු එම අධ්‍යයනය සිදු කළේ 1887 වසරේදීය. Dubois මෘද්වංශික සතකු වන Pholas නම් සතා ජලයේදී දීප්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය කළේය. ඔහු මෙම සතාගේ නිස්සාරයක් ලබාගත් විටද එම නිස්සාරණය ද දීප්තියක් ගෙන දුන්නේය.  


Pyrodinium bahamens නම් ජීවියා නිසා ජැමෙයිකාවේ දකුණු වෙරළ ලෝක ප්‍රකට වී ඇත. මෙම මුහුදු ප්‍රදේශයේ දහවල් කාලයේ දී රතු පාට විශාල පැල්ලම් දැකිය හැකි අතර රාත්‍රී කාලයේ දී නිල් දීප්තිමත් කලාපයක් නිරීක්ෂණය කළ හැක. මෙයට හේතුව Pyrodinium bahamens නම් සතා නිකුත් කරනු ලබන ද්‍රව්‍යයකි. එය ජෛව සන්දීපනයට කදිම නිදසුනකි.

 

 

එස්.එම්. ජයසූරිය