සංචාරක කාන්තාවනුත් විකුණන ‘‘ බීච් බෝයිස්ලා ’’


සංචාරකයන්ට හිරිහැර කරන මැර කල්ලි-2

මිරිස්ස සංචාරක පුරවරය

 

 

දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගන්නා සුන්දර මිරිස්ස මුහුදු තීරය ගැන අද වන විට ජාත්‍යන්තරයේ අවධානය යොමු වී ඇත්තේ පසුගිය දා විදේශීය ජාතිකයින්ට සිදු වූ හිරිහැර කිහිපයක් හේතුවෙනි. විශේෂයෙන්ම මිරිස්ස ගැන කියන විට විදේශිකයන්ට ආගන්තුක සත්කාර සපයන බීච් බොයිස්ලාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
  
මුහුදු වෙරළ ආශ්‍රිතවම ඉපදී හැදී වැඩි ජීවත්වෙමින් වෙරළේ පවතින සුන්දරත්වය විඳ ගැනීමට පැමිණෙන විදේශීකයින්ට අවශ්‍ය මග පෙන්වීම කරන ඔවුන් වැල්ලේ කොල්ලෝ ලෙසද හැඳින් වේ. සංචාරක මග පෙන්වන්නන් ලෙස ඔවුන් කටයුතු කළ ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී නිසි බලපත්‍ර ලබාගත් සංචාරක මග පෙන්වන්වන්නෝ නොවෙති.  


සාමාන්‍යයෙන් පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ට රැකියාව කරන අවස්ථාවේ කරේ පැළඳ ගෙන සිටීමට හැඳුනුම්පතක් දී තිබේ. එහෙත් බීච් බෝයිස්ලා ළඟ හැඳුනුම්පත වෙනුවට ඔවුන්ගේ සාක්කුවල තිබෙන්නේ හෙරොයින්, ගංජා, මත් පෙති ආදී තහනම් මත් ද්‍රව්‍ය හා උපත් පාලන කොපුය. ඇතැම් අය ළඟ මත්ද්‍රව්‍ය තිබුණ ද උපත් පාලන කොපු නොමැත. ඊට හේතුව ඔවුන් තුළ සමාජ රෝග සම්බන්ධයෙන් දැනුමක් නොමැතිකමය.  
මෙරට සංස්කෘතිය හා සභ්‍යත්වයට පටහැණිව කටයුතු කරන බීච් බෝයිස්ලා දෙසීයකට අධික පිරිසක් සංචාරක සමය තුළ දී මිරිස්ස වෙරළේ ගැවසෙන බව කියති. ඔවුන් විදේශිකයින් මිරිස්සට පැමිණෙන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමිනි. ශරීරය පුරා පච්චා කොටා ගෙන රැවුල හා කොණ්ඩා වවා ගෙන අපිළිවෙළකට සිටින මෙම බීච් බෝයිස්ලා හඳුනා ගැනීම එතරම් අපහසු නැත.  


දත් නොමැද මුහුණ සෝදන්නේ නැතිව අපිළිවෙළට සිටින ආකාරයට වැඩිපුර වයස්ගත විදේශීය කාන්තාවන් කැමැත්තක් දක්වන බව ඔවුහු පවසති. ඊට අමතරව විදේශීය සුද්දන්ද එවැනි පොඩි කොල්ලන්ට කැමතිය. සංචාරකයින්ට මග පෙන්වීම කෙසේ වෙතත් වර්තමානයේ බීච් බෝයිස්ලා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලිංගික සේවාවන් හා මත්ද්‍රව්‍ය සපයන වෘත්තිකයන් පිරිසක් ලෙසය.  


තවද ඔවුහු ඊශ්‍රායල්, රුසියන්, චීන හා තායි රටවලින් පැමිණ මුදලට ගණිකා වෘත්තියේ නිරත වන සුද්දියන් හෝටල්වලට කැඳවා ගෙන ගොස් ඔවුන්ගේ සේවාවන් ලබාගැනීම සඳහා පුද්ගලයින් සම්බන්ධ කර දීම ද සිදු කරති. මිරිස්සේ පැවැත්වෙන බීච් පාටිවලදී මේ තත්ත්වය හොඳින් දැක ගත හැකි අතර එවැනි සුද්දියන් මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කළ පසු වෙරළ තීරයේ දී මෙන්ම මග තොටේදී වුවද ඔවුන්ගෙන් ලිංගික සේවාවන් ලබාගත හැකිය.  


මේ නිසාම කොළඹ ප්‍රදේශයේ සිට ධනවත් ව්‍යාපාරිකයින්, පාතාල නායකයින් හා දේශපාලනඥයින් එවැනි පහසක් ලබාගැනීමේ අරමුණින් මිරිස්සේ පැවැත්වෙන බීච් පාටි සඳහා පැමිණෙන බව කියති. විශේෂයෙන්ම කොළඹ නයිට් ක්ලබ් ආදියට යනවිට බොහෝ දෙනෙකු හඳුනා ගන්නා නිසා ඔවුන් කොළඹ සිට හීන් සීරුවේ මිරිස්සට පැමිණ හොඳින් විනෝද වී තම ආශාවන් සම්පූර්ණ කර ගෙන මාරු වෙන බව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.  

 

මිරිස්ස සුන්දර මුහුදු තීරය

 


මෙම කටයුතුවලට බීච් බෝයිස්ලාගෙන් ලැබෙන සහයෝගය ඉහළ මට්ටමක පවතී. මත්ද්‍රව්‍ය හා ලිංගික ආසාවන් වෙනුවෙන් නොව සාමාන්‍යයෙන් මෙරට අසිරිය විඳ ගෙන ජීවිතයට අලුත් අත්දැකීමක් එක්කර ගෙන යාමට පැමිණෙන විදේශීකයන් ද එවැනි පහත් පෙළේ කටයුතුවලට දායක කර ගැනීමට බීච් බෝයිස්ලාට මනා දක්ෂතාවක් ඇත.  


සාමාන්‍යයෙන් ඔවුන් හොඳ අධ්‍යාපන මට්ටමක් ලබා නොගත්තද අහුළාගත් වචන කිහිපයක් මතකේ තබා ගෙන භාෂා කිහිපයක් කතා බහ කිරීමේ හැකියාව පවතී. එම දක්ෂතාව නිසාම ඇතැම් වයස්ගත සුද්දියන් බීච් බෝයිස්ලා තම පෙම්වතුන් බවට ද පත් කර ගෙන තිබේ. මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන් සමගම ගත කරමින් කා බී විනෝද වෙමින් සංචාරවලට ද සහභාගී කරවා ගෙන අවසානයේ විශාල මුදලක් ද අතට දී මෙරටින් පිටව යන සුද්දියෝද ඕනෑ තරම් සිටිති.  


ඒ ආකාරයෙන්ම බීච් බෝයිස්ලා සමග විනෝද වී සියලුම වියදම් දරා මුදල් හා යාන වාහන ද අරගෙන දී මෙරටින් යන සුද්දෝ ද සිටිති. තමන්ගේ හිත ගිය විට ඉඩකඩම් හා හෝටල් ද මිලට ගෙන තෑගි දෙන සුද්දන් හා සුද්දියෝ ද සිටිති.  


තවත් අය තමාට හිත ගිය බීච් බෝයිස්ලාට සියලුම වියදම් දරා ඔවුන්ගේ රටවලට ද ගෙන්වා ගනී. මේ නිසා ධනවත් ව්‍යාපාරිකයින් වූ බීච් බොයිස්ලා ද සිටිති.  


මිරිස්ස හා ඒ අවට හෝටල්වල මේ සියලු කටයුතු සිදු වන්නේ ඉතා රහසිගතවය. සමලිංගික ක්‍රියා හා ගණිකා වෘත්තිය නීතියෙන් වරදක් වූවත් මිරිස්ස සංචාරක පුරවරයේ සිදුවන එම ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත.  

 

 

ඊට ප්‍රධාන හේතුව හෝටල් ව්‍යාපාරිකයින් හා පොලිසිය අතර පවතින නොබිඳුණු සම්බන්ධතාවන්ය. පොලිසියට අවශ්‍ය ආහාර පාන මිල මුදල් ද නොඅඩුව ලැබෙයි. නිලධාරීන් ජනවාරි 01 වැනිදා හා අප්‍රේල් අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ එම හෝටල්වලට ගොස් ව්‍යාපාරිකයින් හමුවීමෙනි. එහිදී ඔවුන්ට ඇඳුම් පැළඳුම් මෙන්ම රට බීම බෝතල් ද ලැබෙන බව නොරහසකි.  


තමන්ට සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී සෑහීමකට පත් නොවූ වැලිගම ප්‍රසිද්ධ හෝටලයක් හිමි කාන්තාවක් පොලිස් ස්ථානාධිපතිවරයාට තෑගි පාර්සලයක් ලෙස චීත්තයක් යැවීමේ සිද්ධියක් ද පසුගිය කාලයේ වාර්තා විය. ඇයගේ පුත්‍රයා අත එම චීත්තය යවා තිබූ අතර පසුව එය පරීක්ෂා කිරීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරයකු අත නැවත එම චීත්තය අදාළ ව්‍යාපාරික කාන්තාව වෙත එවා තිබුණි.  


මේ ආකාරයට ගත් විට වැලිගම මිරිස්ස සංචාරක පුරවරයේ ක්‍රියාත්මක ​ෙවන්නේ අමුතුම නීතියකි. පොලිසිය පමණක් නොව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන පවා මුදලට යට වී ඇති බව කිව යුතුය.  
ඇතැම් ක්‍රියා සඳහා බීච් බෝයිස්ලාගේ සම්බන්ධයක් පවතින බව කීවද ඔවුන්ට අවශ්‍ය රැකවරණය හෝටල් හිමියන් විසින් සලසා දෙයි. ඒ තරමටම හෝටල් හිමියන්ට හා සංචාරකයින්ට සේවා සපයන ආයතනවලට ද බීච් බෝයිස්ලා අද වන විට නැතිවම බැරි කොටසක් බවට පත්වී ඇත.  


පසුගිය කාලයේ මිරිස්සට පැමිණි 48 හැවිරිදි විදේශීය කාන්තාවකට 25 හැවිරිදි බීච් බෝයි කෙනෙකු මුණ ගැසී තිබුණි. ඉතා කෙටි කාලයකදී ඔවුන් සම්බන්ධතාව අසම්මත ආදරයක් දක්වා දුර දිග ගියේය. සුද්දිට එම තරුණයා නැතුවම බැරි චරිතයක් බවට පත් විය. අවසානයේ මෙම සිද්ධිය අදාළ තරුණයාගේ බිරිඳට ද ආරංචි විය. දෙදෙනා අතර පවුල් ආරවුල් ද හට ගත්තේය. තම සැමියා අවශ්‍ය නම් තමාට ජීවත් වීමට රුපියල් කෝටියක් අවශ්‍ය බව විවාහක බිරිඳ සුද්දිගෙන් ඉල්ලා තිබුණි. දිගින් දිගටම තම සම්බන්ධතාවට බාධා එල්ල වන නිසා රුපියල් ලක්ෂ පනහක් ලබාදීමට විදේශීය කාන්තාව කටයුතු කළාය. ඒ තරමටම බීච් බෝයිස්ලාට ආදරය කරන විදේශීය කාන්තාවන් සිටින බව මේ හා සම්බන්ධ තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය විය.  


එමෙන්ම චීන ජාතික කාන්තාවක් බීච් බෝයි කෙනෙකුට රුපියල් කෝටියක මුදලක් තෑගි ලෙස දීම හා යටියන තරුණයකුට මිරිස්සේ හෝටලයක් අරගෙන දීම ගැන ද විවිධ රස කතා මිරිස්ස වෙරළේදී අසන්නට ලැබුණි.  
තමන් ජීවත් ​ෙවන්නේ විදේශීය ජාතිකයින් නිසා බව දැන මිරිස්ස වෙරළ තීරයට වගේම තම රැකියාවට ආදරය කරමින් වැඩ කරන බීච් බෝයිස්ලා ද සිටින බව කිව යුතුය. ඒ හැඟීම ඔවුන් ඇති කර ගෙන තිබේ.  
එහෙත් මත්ද්‍රව්‍ය හා සුද්දියන්ට වහ වැටුන   බීච් බෝයිස්ලා කිහිප දෙනෙකු කරන වැඩ හේතුවෙන් සමස්ත සංචාරක කර්මාන්තයම කඩා වැටීමකට ලක් වෙයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දැනටමත් මිරිස්ස ප්‍රදේශයේ ක්‍රියාත්මක කර තිබේ.  


ඒ යටතේ මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදිත කුමාර, සැරයන්වරුන් වන (55804) අශෝක ප්‍රියංකර, (25405) ගමගේ, (56615) සුනිල්, කොස්තාපල්වරුන් වන (37066) පතිරණ, (55836) ක්‍රිෂාන්ත, (80490) චන්ද්‍රසේන යන මහත්වරු ඇතුළු කණ්ඩායම පසුගිය දින කිහිපය තුළ මිරිස්ස සංචාරක පුරවරය තුළ නීති විරෝධි මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 25 දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන් සියලු දෙනා සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව රැකියාවල නිරත අයයි.  

 

විදේශීය සංචාරකයින් මුහුදු වෙරළේ

 


ඊට අමතරව සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙරළේ ගමන් කළ හැකි බීච් රෝවර් වර්ගයේ යතුරුපැදියක් පොලිස් නිලධාරියකු සමග යොදවා තිබෙන අතර වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන් ලසන්ත බුද්ධික මහතාගේ සහායට තවත් පොලිස් ස්ථානාධිපතිවරයකුද ලබා දී තිබේ.  


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්. ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගයංග හසන්ත මාරපන, මාතර සහකාර පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ යන මහත්වරු විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ දිනවල දිවා රාත්‍රී වෙහෙස මහන්සි වී ක්‍රියා කරති.  


දිගින් දිගටම විශේෂ පොලිස් කණ්ඩායම් යොදා වැටලීම් සිදු කරන නිසා මිරිස්ස වෙරළ තීරයේ බීච් බෝයිලාගේ අඩුවක් ද දැකගන්නට අැත. එමෙන්ම මේ දිනවල විදේශීය සංචාරකයින්ගේ කැපී පෙනෙන අඩුවක් ද පෙන්නුම් කෙරේ.  


සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් කටයුතු කරන වගකිවයුතු රජයේ ආයතන බීච් බෝයිස්ලා ලියාපදිංචි කර ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දී හැඳුනුම්පතක් ආදිය ලබා දුනහොත් මිරිස්සේ සංචාරක ව්‍යාපාරයට සිදු කරන කදිම ආයෝජනයකි. එසේ නොවුණහොත් අනාගතයේදී මීට වඩා අඳුරු සිද්ධීන් මිරිස්සෙන් වාර්තා වනු නියතය. එමෙන්ම දේශීය සංස්කෘතිය විනාශ වී යාමද වළක්වා ගත නොහැකි වනු ඇත. ඒඩ්ස් වැනි සමාජ රෝගවලින් සමස්ත සමාජය බිලි ගන්නා දිනය ද වැඩි ඈතක නොවනු ඇත.  

 

 

 

 


ඡායාරූප හා සටහන
ක්‍රිෂාන් ජීවක ජයරුක්