‘‘ඔහු චරිතාංග රංගනයටම දක්‍ෂ වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. වේදිකාවෙන් ටෙලි තිරයටත් එතැනින් සිනමාවටත් දායකත්වය ලබාදීමට පටන් ගෙන දශක තුනකට වඩා වැඩිය. එක පොකුරට එහි පොදියට රඟ නොපෑවද, නිතර අපට ඔහුව දකින්නට නොලැබුණද රඟපෑ චරිතය හැමදාටම මතකයේ රැඳෙන තරමේ රංගනයක් ඉදිරිපත් කිරීමට ඔහු සමතෙකි.’’ අප මේ කතා කරන්නේ ‘රොජර් සෙනෙවිරත්න’ රංගන ශිල්පියා ගැනය. කාලයකට පසුව හමුවන රොජර් මෙවර අපට කියන්නේ මොනවද බලමු.
රොජර් කොහොමද ජීවිතේ?
ඉතාමත් හොඳයි.
ඉතාමත්ම හොඳවීමේ විදිය ගැන අපට කියන්න.
අපි එකිනෙකා ජීවත්වන විදිහක් තියෙනවනෙ. මම මගේ විදිහ එක්ක බැලුවාම ඉතා හොඳයි.
ඒ ජීවත්වීමේ කලාව ගැන තවත් කෙනෙකුට කියන්නකො?
ඉතාමත්ම සාමකාමීව. ඉතාමත්ම මටසිලුටුබව, අනවශ්‍ය විදිහට මහා ලොකු දේ ගැන හිතන්නෙ නැතුව සරල විදිහට ජීවත්වීම නිසයි.
රොජර්ගෙ දවස පටන් ගන්නෙ කොහොමද? ලයිෆ් එක පටන් ගන්න දිනපතා ක්‍රමයක් ඕනෑද?
වැඩවැඩි වුණාම, තමයි අපට කාලසටහනක් අවශ්‍ය වෙන්නෙ. ඒ-ඒ අදාළ වැඩ වෙනුවෙන් කාලය වෙන් කරන්න අවශ්‍ය නිසා. ඒ වගේ දිනවලදී කාලය බෙදාගත් විදිහට කටයුතු කරනවා. ඒ හැර සමාන්‍ය දිනවලදි හරි සරලයි. කාලසටහන් නැහැ.
කොහොම වුණත් රොජර්ව අපට නිතර දකින්න ලැබෙන්නේ නැහැ. එනවා-යනවා මතකයේ රැඳෙන චරිතයක් සමග? නිතර චරිත සමග නැත්තේ ඇරයුම් නැද්ද?
මට ලැබෙන වැඩේ හරියට ඉෂ්ට සිද්ධ කරනවා. මට ලැබෙන වැඩේ වෙනුවෙන් කරන ඒ දායකත්වයට ඇගැයීම් එහෙම ලැබෙනවා. ඒ හැර මම හඹා ගෙන - පිපාසිතව චරිත සොයා ගිය කෙනෙක් නෙවෙයිනෙ.
මේ දිනවල ‘‘ෂාහ්... රොජර් ටොප් එකට රඟපානවා’’ කියලා කියන්න තරම් චරිතයක් ලෙස ගත්තොත්?
මට ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කළ සෑම අවස්ථාවකදීම මිනිස්සු ඒ විදිහට මාව අගය කළා. ‘‘තත්පරයක් දෙන්න’’ ටෙලිනාට්‍යය විශාල පිරිසක් නැරඹුවා. එහි මගේ චරිතයට සාධාරණයක් කළ බව සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍යවල මා ගැන පැසසුම්-අගැයීම් සමග කතා කළ අවස්ථා දකින්නට ලැබුණා. සම්මාන වලට කලින් මිනිස්සු ඇගැයීමට ලක් කරලා ඉවරයි. පසුගිය දිනවල වැඩිපුරම ප්‍රතිචාර ලැබුණෙ ‘‘තත්පරයක් දෙන්න’’ නාට්‍යයේ චරිතයට. ‘ජුරාලියා’ නාට්‍යයේ මගේ චරිතය හමාරයි. ඒකටත් ලැබුණෙ හොඳ ප්‍රතිචාර.
රොජර්, භාෂා දැනුම, පොත පත පරිශීලනය ඇති කෙනෙක්. ඒත් රංගනයේදී ඔබට ලැබෙන අවස්ථා දිහා බැලුවාම වෘත්තීය රංගන ශිල්පියකු ලෙසද කටයුතු කරන්නෙ? මම අහන්නෙ රංගනය විතරමද වෘත්තිය?
මේ කාලයේ අපේ පෙළැන්තියේ කාටවත් එක දිගට වැඩ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේ වනවිට බොහෝ පිරිසක් ක්ෂේත්‍රයට ඇවිත්. ඒකට කාටවත් දොස් කියන්න ඕනෑ නැහැ. මේ කවුරුත් වැඩ කළ යුතුමයි. වැඩ කරන අයට සුබපතලා අපි ඒවා නැරඹිය යුතුයි. ඒ අතරේ අපට චරිතයක් ලැබුණාම ඊට උපරිම සාධාරණය ඉටු කළ යුතුයි. ඒ හැර එදා සිටම අපි වෙන රස්සාවල් කළේ නැහැ. රංගනයම තමයි ජීවිතය කර ගත්තේ. මගේ ඒ ආ ගමන ගැන ඔබ හොඳින් දන්නවනෙ.
හැබැයි ඒ කාලයේදී ‘රොජර්’ කිව්වාම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ බර චරිතයක් වුණා. අද ඒ රොජර් වේදිකාවේ වැඩිපුර දකින්න නැත්තෙ?
වේදිකා නාට්‍යයක් කරන්න මේ දිනවල ලැහැස්ති වෙනවා. එදා මගේ මුල්ම කාලයේදී කළ පස්වැන්නා නාට්‍ය නැවත කරන්නය කියලා ඉල්ලීමක් ලැබිලා තියෙනවා. ඒ නාට්‍යයේ වැඩ මුළුවක් එහෙම කරලා. අවුරුද්දකින් විතර එය පටන් ගන්නවා. ඊට අමතරව තව අලුත් වේදිකා නාට්‍යයක රඟපෑමට ඇරයුම් ලැබිලා තියෙනවා. කාලය සහ ආර්ථිකය එක්ක ගැට ගැහිලා. ඒ සියල්ල කළයුතු වෙනවා.
කාලයක් දේශපාලනයට ප්‍රායෝගික වෙලත් හිටියා. රොජර් මෙතෙක් ගෙවූ ජීවිතයේදි සෑම අංශයකටම දායකව කළ කී දේ එක්ක බලද්දී තෘප්තිමත් නොවන්නෙ?
එහෙම අතෘප්තිකර නැහැ. ඒ කළ හැම දෙයකින්ම වැඩකින්ම තෘප්තියක් ලැබුවා. ඒ වගේම දේශපාලන ගමනේදි වුණත්. මිනිස්සු වෙනුවෙන් සර්ව සාධාරණය ඉෂ්ට කළා. ඉතින් ඒ නිසා මම කාගෙන්වත් බැනුම් ඇහුවෙත් නැහැ. කාටවත් බනින්න ගියෙත් නැහැ. තැනේ හැටියට මම මගේ දේශපාලනය කළා.
කලාකරුවකු ලෙස ලංකාව අද ඔබට දැනෙන්නෙ මොන විදිහටද?
ලංකාව කවදාවත් මිනිස්සුන්ට වැරද්දුවෙ නැහැ. මිනිස්සු එක-එක විදිහට ලංකාවට වරද්දන්න හැදුවත්, ලංකාවට වැරදුණේ නැහැ. මේක ඒ තරම් සුන්දර රටක්. ඒ තරම් බලයක් ඇති රටක්. කවුරු ලංකාවට වරද්දන්න හැදුවත් ලංකාවට වරදින්නෙ නැහැ. ලංකාව නිරුපද්‍රිතව ගමනේ යනවා.
ඉන්න නොහිතෙන තැනක් කියලා හිතාගෙන බොහෝ අය ඉන්න හිතෙන තැන් හොයාගෙන ගියා. රොජර්ට එහෙම හිතුණේම නැද්ද රට හැර යන්න?
මට කවදාවත් එහෙම හිතුණෙ නැහැ. හිතෙන්නෙත් නැහැ. අපේ රට ඉන්න පුළුවන් රටක් විදිහට අපි ජීවත් වුණාම අපට එය දැනෙනවා. ඉන්න හිතෙන රටක් විදිහට මේ රට තියෙනවා. ආයේ එහි ඉන්න හිතෙන විදිහට කියලා අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. අනෙක මේ රට එහෙම අපට ඕනෑ විදිහට වෙනස් කරන්නත් බැහැ. එපා වෙන කෙනාට අනුව වෙනස් කරන්නත් බැහැ. සරල ජීවන රටාවකට හුරු වුණොත් හරිම ලේසියි. අනවශ්‍ය විදිහට, ලොකුවට හිතන අයට මේ රටේ ජීවත් වෙන්න බැරිව මේ රට දාලා යන්නත් පුළුවන්. ඒ නිසා දාලා යන අය ගැන හිතලා වැඩක් නැහැ. ඉන්න අය ගැන හිතලා අපි බොහෝම සාමූහිකව සහ බොහෝම කාරුණිකවත්, ආදරණීයවත් ජීවත් වුණාම හරි. එතකොට ලේසියි.
රොජර් කොහොමද? මොන වගේ දේ එක්කද ජීවිතය විඳින්නෙ?
මුලදීම කිව්ව විදිහට සරල විදිහට ජීවිතේ විඳිනවා. ජීවත් වෙන්න තරමට ඇති මුදල් ටිකට අනුව සරලව ජීවත් වෙනවා.
අද ලංකාවේ පවතින ‘කලාව’ සියලු අංශවලට සාපේක්ෂව ඔබ විඳිනවද?
සෑම දෙයක්ම විඳින්න බැහැ. නිර්මාණය වන සෑම දෙයක්ම හොඳයි කියන්නත් බැහැ. ලෝකයෙ හැටි එහෙමනෙ. හොඳ-නරක දෙකම තියෙනවනෙ. නරක දේ සිදුවෙනවා. ඒ වගේම ඉතාමත්ම හොඳ දේත් සිදුවෙනවා. හොඳ දේ හොඳ විදිහට අරගෙන මානසිකත්වය හදා ගත්තාම හොඳයි කියලයි මට හිතෙන්නෙ.
සඳුන් ගමගේ