විවාහයට වින කරන කාල සර්ප යෝගය


කාල සර්ප යෝගය හැම කේන්ද්‍ර සටහනකම නොයෙදෙයි. එහෙත් ඇතැම් කේන්ද්‍රවල මෙම යෝගය පිහිටයි. රාහුටත්, කේතුටත් මැදිව ග්‍රහයින් යෙදී සිටී​ෙමන් කාල සර්ප යෝගය නිර්මාණය වෙයි. මෙම දෙදෙනා සම සප්තවම නොහොත් අංශක 180 ක දුරින් පිහිටීම යෝග්‍ය ලක්ෂණයකි. සමාජ සම්මතයක් ලෙසින් කාල සර්ප යෝගය කේන්ද්‍ර හිමියාට අවාසනාව ගෙන දෙන බව පැහැදිලිය. 

කේන්ද්‍ර සටහනේ ලග්නයේ (01) රාහුත් 07 වැන්නේ කේතුත් පිහිටා 12 සිට 08 දක්වා වම් පැත්තේ හෝ දකුණු පැත්තේ හෝ සෙසු ග්‍රහයින් පිහිටීම කාල සර්ප යෝගයයි. කාල යනුවෙන් රාහුට යෙදෙන පර්යාය නමකි. සර්ප කේතුට කියන පර්යාය නමකි. කාල සර්ප යනුවෙන් මේ අනුව රාහු-කේතු යෝගයක් ලෙස සැලකෙයි. නාගයකු සංකේවත් කරන කාල සර්ප යෝගයේ නාගයාගේ හිස සහ වලිගය භාව හතක් ඇතුළත පිහිටයි. රාහුට නාගයාහේ හිසද වලිගය කේතුටද අයත් වීමෙන් හිස සහ වලිගය අතර සියලු ග්‍රහයින් සිටීමෙන් නාගයාගේ සර්ප බන්ධනයට හසුවෙයි. 


 රාහු-කේතු දෙදෙනා සිටින භාවවලට අනුව කාල සර්ප යෝගයේ විපාක නිශ්චය කළ හැකිය. මෙම යෝගයෙන් අශුභ තත්ත්වයන් ඇතිවන්නේ රාහු සිටින රාශියට අනුව බවද විශ්වාස කෙරේ. රාහු සමඟ තවත් ග්‍රහයන් සිටී නම් කේන්ද්‍ර හිමියාට කරදර, විපාකවලට ගොදුරු වීමට සිදුවෙයි. 


 කේන්ද්‍ර සටහනේ 02, 06, 08, 12 යන ස්ථානවල රාහු හෝ කේතු යෙදී මෙම යෝගය ඇතිවූ විට උදාවන අශුභ තත්ත්වයන් වැඩිවෙයි. එහෙත් කේන්ද්‍ර සටහනේ 03, 06, 11 යන තැන්වල රාහු හෝ කේතු සිටි විට හා ශුභ දෘෂ්ටි ලද නම් මෙම යෝගයේ අශුභ ඵල අඩු කෙරෙයි. 04, 05, 09, 12 ස්ථානවල කේතු සිටීමත් හොඳයි. 


කාල සර්ප යෝගයෙන් ළමා වියේදී ලෙඩ දුක් අසනීප හැරෙන්නට වෙනත් දුර්දාන්ත නොයෙදෙයි. එහෙත් තරුණ වියේ සිට අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු, විවාහ ජීවිතය, නිවාස ආදී ප්‍රශ්න රැසකට භාජනයවීමට පුළුවනි. රාහුට ශුභ ස්ථානය කේතුට අශුභත්, කේතුට ශුභ ස්ථානය රාහුට අශුභ නිසාත් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකිය. 


රාහු, කේතු සිටින ස්ථානයේම (රාශියේම) තවත් ග්‍රහයෙකු පිහිටා සිටින විට කාල සර්ප යෝගය තමාට යෙදී ඇත්දැයි හරි හැටි දැනගැනීම ජ්‍යොතිෂඥයා විසින්​ පෙන්නා දිය යුතුවෙයි. රාහුටත් කේතුටත් එක් ග්‍රහයෙකු හැර සෙසු ග්‍රහයන් මැදිව සිටින විට එසේ මැදි නොවූ ග්‍රහයාගෙන් දීප්ති යෝගය යෙදෙයි. 


විවාහ ජීවිතය ගැටලුකාරි, කරදරකාරී තත්ත්වයකට පත්වී දෙදෙනා අතර මතභේද උග්‍රවී වෙන්වීම පවා සිදුවිය හැක්කේ ලග්නයේ හා 07 වැන්නේ රාහු-කේතු පිහිටි විටය. 04 වැන්නේ සහ 10 වැන්නේ මේ දෙදෙනා නීච වීම ඉඩම් දේපල නිවාස පිළිබඳ ප්‍රශ්න ඇතිවෙයි. රැකියා කටයුතු වලදී ද කරදර උද්ගත වෙයි. 03 වැන්න හා 09 වැන්න යන ස්ථානවල රාහු-කේතු යෙදීමෙන්ද පිරිස් බලය අඩුවී අප්‍රසාදයට හා කලකිරීම්වලට ලක්වෙයි. 
 කාල සර්ප යෝගයෙන් විවාහයට හා දේපළවලට හානි අත්වන අතර බොහෝ අවස්ථාවල අවිවාහකව සිටීමටද ඉඩ සැලසෙයි. 


කාල සර්ප යෝගයේ ප්‍රතිඵල වැඩි වශයෙන් උදාවන්නේ රාහුගේ හෝ කේතුගේ මහ දශාවත්, හෝ අතුරු දශාවක් හෝ විදශාවක් ලැබූ විටයි. කේතුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබූ විට ස්ත්‍රියකට පවුල් මත භේද වෙන්වීම්, දොස් ඇසීමට සිදුවෙයි. එසේම කාල සර්ප යෝගය යෙදුන අයගේ යුග දිවිය කරදර බාධක මැද ගෙන යාමට සිදුවන අතර දෙදෙනා අතර ආරාවුල් නිතර හටගනී. 


 කේන්ද්‍රයේ 05 වැන්නේ සහ 11 වැන්නේ රාහු කේතු යෙදී කාල සර්ප යෝගය ඇතිවූ විට මාරක අපල වුව ඇතිකරයි. 02 වැන්නේ සහ 08 වැන්නේ මෙම යෝගය යෙදීමෙන්ද අශුභ ඵල උදාකරයි. රාහු 12 න් කේතු 06 න් පිහිටි විට ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට රාහු, කේතු දශාවලදි අවාසි සහගත පාඩු තත්ත්වයන් ඇතිවේ. 

 

 

 

 


මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිෂවේදී කලාභූෂණ 
ආර්.ඇම්.ටී.බී. රත්නායක  
0332273004