විවාහ වෙන එක මට කරන්න බැරි වැඩක් -ගංගු රොෂානා


රැල්ල

අයුතු යෝජනා ඇවිත් තිබෙනවා   

මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන මිචෙල් ෆොන්සේකාගේ ‘නිම්හිම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් දිගු කලකට පසු ඇය අප හමුවට එන්නීය. මෝස්තර නිරූපිකාවක ලෙසින් කලා ක්ෂේත්‍රයේ නිරත වී සිටි ඇය, දැන් පුංචි තිරයේ හා රිදී තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වී හමාරය. ඇය කොතරම් දක්ෂවුවත් ක්ෂේත්‍රයේ ඇයට තමන්ගේ දක්ෂතාව පෙන්වන්න සමහරුන් ඉඩදෙන්නේ නැත. තමන්ගේ ආශාවන් ඇය ලවා ඉටුකර ගැනීමට නොහැකිවූ තැන, ඇයට කැපිලි කෙටිලි වැඩිවී තිබේ.   


ඇය නමින් ගංගු රොෂානාය. ඇත්තටම ඇයට අවස්ථා නොදෙන්නේ ඇයි? අල්ලස් නොදුන් නිසාද මෙතරම් කැපිලි කෙටිලි? ක්ෂේත්‍රය එපාවෙලා රට යන්න හිතෙනවාද? මේ ආදී ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඇය අදිමදි කළේ නැත. මෙවර රැල්ල හමන්නේ ඇය වෙතටය.   


මේ දිනවල ඔයාගේ චිත්‍රපටයක් අවුරුදු ගණනාවකට පස්සේ තිරගත වෙනවා කියලා ආරංචියි. කොහොමද ලැබෙන ප්‍රතිචාර?   


ඉතාම හොඳයි. හොඳට තිරගත වෙනවා කියලා ආරංචියි. මම මීට පෙර කළ චරිතවලට වඩා ගොඩාක් වෙනස් චරිතයක්. මෙහි දමිළ ජාතික තරුණියක් විදිහට තමයි මම රඟපාන්නේ. මට දෙමළ හොඳට කතාකරන්න පුළුවන්. මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ එහෙම චරිතයක්. ඒ හින්දා මිනිස්සුන්ට මාව වෙනස් විදිහට දකින්න ලැබුණු අවස්ථාවක් තමයි මේක.   


ඇයි ඔයා ඒ වගේ චරිතයක් නොකරයි කියලා මිනිසුන් හිතන්නේ?   


මීට පෙර මම කළ චරිත දඟකාර, කෙළිලොල් චරිත, මම අඳින විදිහ පවා වෙනස්. මේ චිත්‍රපටයේ හාත්පසින්ම වෙනස්. ඒ හින්දා තමයි මම කිව්වේ මිනිස්සු මාව මේ වගේ චරිතයක් කරයි කියලා සිතුවේ නෑ කියලා.   


ඔයා කලක් මොඩ්ලින් ක්ෂේත්‍රයේත් හිටියා නේද? ඇයි දැන් ඒවායේ පේන්නේ නැත්තේ?   


ඉස්සර මම මොඩ්ලිං ක්ෂේත්‍රයේ හිටියා. දැන් අවුරුදු ගණනාවක ඉඳලා මම අයින්වෙලා ඉන්නේ. මම දැන් රංගනයට තමයි කාලය යොදලා තිබෙන්නේ. මොකද මම රඟපාන්න හරිම ආසයි.   


ඒත් ඔයා වැඩිපුර දකින්න නැහැනේ?   


එහෙම නෑ. මට ලැබෙන අවස්ථාව අනුව තමයි ඒ දේ වෙන්නේ. මම කොහොමටත් අවුරුද්දකට එකක් විතර රඟපානවා. නොකර ඉන්නේ නෑ. වේදිකාව, රූපවාහිනිය, හඬකැවීම වගේ ක්ෂේත්‍රවලට මම දායකවෙනවා. මොකුත් නොකර හිටියාම නොවෙයි.   


ඇත්තටම මේ චිත්‍රපටය හින්දා තමයි දැන් හැමෝම කතාකරන්නේ. ඒක හොඳයි, අපි වගේ නිළියන් ගැන එහෙම කතාකරන එකත්. ගොසිප් ගැන විතරක් කතාකරන්නේ ඇයි? ගොසිප්වලට මාතෘකා අපි සැපයුවොත් විතරයි, අපි ගැන කතාකරන්නේ.   


ඔයාට අවස්ථාව අඩුවෙලා තිබෙන්නේ ඇයි?   


කොවිඩ් වසංගතය හින්දා මට විතරක් නොවෙයි, තවත් බොහෝ අයට අවස්ථාව ලැබුණේ නෑ. අනෙක් එක අපේ ක්ෂේත්‍රය එක කට්ටියකට සීමා වී තිබුණා පහුගිය අවුරුදු කීපය තුළ. ඒකෙන් මට විතරක් නොවෙයි තවත් අයටත් අවස්ථාව නැතිවුණා.   


මේ ක්ෂේත්‍රයේ චරිත දෙන්න යම් යම් අයුතු යෝජනා ඔයාටත් එල්ල වුණාද?   


ඔව්. නැහැයි කියලා කිව්වොත් මම බොරුවක් කිව්වා වෙනවා. ඒක හැමෝම දන්න කාරණාවක්. එහෙම තිබෙනවා. සමහරු ලිංගික අල්ලස් ඉල්ලනවා. ඒවා එන්න එන්න වැඩිවෙන බවකුත් පේනවා. ඔවුන්ගේ අයුතු යෝජනාවලට අකැමැතිවූ හින්දා අනෙක් අයටත් බලපෑම් කරනවා, මාව ගන්න එපා කියලා. ඒත් මගේ හැකියාවන්වලට තැන දෙන අධ්‍යක්ෂවරු තවමත් සිටීම ගැන මට සතුටුයි. 

 
එවැනි අයුතු යෝජනාවලට ඔයා අකැමති හින්දද සිනමා ක්ෂේත්‍රයේ අවස්ථා නැතිවෙන්නේ?   


මම ඒක හරියටම කියන්න දන්නේ නෑ. මොකද දැන් වැඩ කෙරීගෙන යන්නේ එක කට්ටියකට ඕනැ විදිහටයි. ඉතිං ඒ අය බලාපොරොත්තු වෙන දේවල් මගෙන් ඉටුවෙන්නේ නැති හින්දා වෙන්නැති අවස්ථා නොදෙන්නේ. මේක මට විතරක් නොවෙයි, තවත් අයටත් සිදුවෙලා තිබෙනවා.   


මේ ක්ෂේත්‍රයේ සිටිද්දී ඔයාට විවිධ ක්ෂේත්‍රවල සිටින අය හමුවෙනවා. ඒ අයගෙනුත් අයුතු යෝජනා, විවාහ යෝජනා එනවාද?   


එහෙම කියලා නෑ. හැමෝම දන්නවා මම වැඩ කරන විදිහ කොහොමද කියලා. එතකොට ඇහුවත් වැඩක් නෑ මගෙන්. ඒ හින්දා අහන්නෙත් නෑ. 


ඔයා නිරූපණ ශිල්පිනියක් විදිහට කොටට ඇඳුම් අඳිනවා. දඟකාර, කෙළිලොල් විදිහට ඔයාගේ ස්වරූපය ඡායාරූපවලට වෙනස් කරගන්නවා. මේවා දැකලා සමහරු වරදවා වටහාගෙන අයුතු යෝජනා ඉදිරිපත් කරනවා ඇතිනේද?   


ඔයා කිව්වට විශ්වාස කරන එකක් නෑ. මගේ ඒ කොටට අඳින, අඩ නිරුවත් ඡායාරූපවලට මොනම ජාතිකයෙන්වත් කැත කමෙන්ට්ස් දාලා නෑ. මම හිතන්නේ ඡායාරූපයක් වුණත්, අපි එය නියමාකාරයෙන් ඉදිරිපත් කළාම එහෙම කැත අදහසක් ඔවුන්ට එන්නේ නෑ කියලා.   


ඔයාට කලා ක්ෂේත්‍රයේ අයගෙන් ආදර යෝජනා එනවාද?   


අනේ නෑ. කවුරුත් මට ආදර යෝජනා ගේන්නේ නෑ. මම දන්නේ නෑ ඒ මොකද කියලා. සමහරවිට මම දැක්කාම ආදර යෝජනා ඉදිරිපත් කරන්න හිතෙන්නේ නැතුව ඇති. කවුරුවත් යාළුවෙන්නවත් අහන්නේ නෑ.   
එහෙම නම් සමාජයේ සිටින ව්‍යාපාරිකයෝ, මැති ඇමතිවරු, මන්ත්‍රීවරු ඔයාට ආදර යෝජනා ගේනවා ඇති නේද?   

 

මන්ත්‍රීවරු, මැති ඇමතිවරු නම් එන්නේ නෑ. ව්‍යාපාරිකයෝ නම් මැසේජ් කරනවා, හිටපු ගමන්. එච්චර තමයි ලොකුවට ඇවිත් ඉදිරිපත් කිරීම් මට කරන්නේ නෑ. ඇත්තෙන්ම හරි පුදුමයි. මට වදයක් වෙන්න මිනිස්සු නෑ. මම හිතන්නේ ඒකට හේතුව මම ඡායාරූපවලට, රංගනයේදී දකින කෙනා නොවෙයි, කතා කරද්දී, ඒක නිසා තමයි එවැනි යෝජනා එන්නේ නැත්තේ. මාව දැක්කාම සම්පූර්ණ වෙනස් කෙනෙක්. ඒ හින්දා ආදර යෝජනා ආවත් ඒක කියාගන්න බැරිවෙනවා මාව දැක්කාම.   


ඔයා කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න හදන බවක් ආරංචි වුණා. ඇත්තද ඒ කතාව?   


කොහෙත්ම නෑ. මම කිව්වේ කොරෝනා වසංගතය හින්දා අපට වැඩ අඩුවුණා. එතකොට අපි වෙනත් මාර්ගවලටත් යොමුවෙන්න වෙනවා. මොකද ආර්ථිකය ශක්තිමත් කරගත යුතු හින්දා. නැතුව මම කලා ක්ෂේත්‍රයෙන් අයින්වෙනවා කියලා කිව්වේ නෑ. මම මේ රට අතහැර දාලායන්නේ නෑ. හැබැයි මෙහෙම දෙයකුත් තිබෙනවා. ඒක කට්ටියගෙන් මට එන බලපෑම් වැඩිවී මට රංගනය කරගන්න බැරිවුණොත් යම් තීරණයක් මට ගන්න සිද්ධවෙනවා. ඒ ගැන තවම මම හිතලා නෑ.   


ඔයා විවාහ වෙන්න අදහසක් තිබෙනවාද?   


අපෝ නෑ. සමහරවිට මම විවාහ වෙන්නත් පුළුවන්. විවාහ නොවෙන්නත් පුළුවන්.   


ඇයි ඒ? ඒ තරමට විවාහය ඔයාට එපාවෙලාද?   


එපාවෙනවාටත් වැඩිය මම කල්පනා කළේ මට ඒක කරන්න පුළුවන්ද කියලා. විවාහය කියන්නේ ලොකු වැඩක්. ඒක මට කරන්න බැරිනම් ඇයි මම කරන්නේ? මම කල්පනා කරන්නේ ඒක මට කරන්න පුළුවන්ද කියලා. හැම පුද්ගලයාටම ඒක කරන්න බැහැනේ. ඒක සංකීර්ණ දෙයක්. ඉතිං මම කල්පනා කරන්නේ ඒක මට කරන්න පුළුවන්ද කියලා. මම හිතනවා ඒක මට කරන්න බැහැ කියලා.   


ඒ කියන්නේ දිගටම තනිකඩව ඉන්නද බලාපොරොත්තු වෙන්නේ? 

 
ඉන්න පුළුවන්තාක් කල් ඉන්නවා. දිගටම ඉන්න පුළුවන් නම් ඒත් ඉන්නවා.   


ඔයාට ක්ෂේත්‍රයේ කටකතා හැදිලා තිබෙනවාද?   


මම දන්න තරමින් මට කටකතා හැදිලා නෑ. හැබැයි මට වැඩ නැති කරන්න, ඊර්ෂ්‍යාකාරයෝ, ලිංගික අල්ලස් ඉල්ලූ අය නම් මට කතා හදලා තිබෙනවා. මට ඒවා ගොඩාක් තිබෙනවා. හැබැයි මට ගොසිප් නම් නෑ.   


ඔයාගේ බලාපොරොත්තුත් දැනගන්න සමහරු කැමති ඇතිනේද?   


ඔව්, මම ආසයි දිගටම රඟපාන්න හැමදාම රඟපාන්න ලැබෙනවා නම් මම හරි වාසනාවන්තයි කියලා හිතනවා. ඒත් හෙට දවස ගැන අපිට කියන්න බැහැනේද? ඒ හින්දා ඒකට හරි උත්තරයක් දැන්ම කියන්න බැහැ.

 

කතාබහ කළේ   
සමන්ත යහම්පත්