විලාසිතා ලෝකයට ලැබුණු කළු මැණික


1970 මැයි 20 වැනිදා ලන්ඩනයේ ස්ට‍්‍රැතම් හිදී උපත ලද ඇය නයෝමි කැම්බල් නමැති ප‍්‍රසිද්ධ නිරූපිකාව වනු ඇතැයි ඇගේ මවු සිතන්නට නැතිව ඇති. කළු ජාතිකයන්ට අනන්‍ය වූ කැරලි කෙස් වෙනුවට ඇයට පිහිටියේ දිග හැරුණු තුනී කෙස් කළඹකි. ඇගේ පියා අඩක් ජැමෙයිකානු හා අඩක් චීන සම්මිශ‍්‍රණයක් වීම එයට හේතුව ​ෙවන්නට ඇත. ඇගේ මව වැලෙරි කැම්බල්, ජැමෙයිකාවේදී උපත ලබා ලන්ඩනයේ පදිංචිව සිටි අයෙකි. ජැමෙයිකානු සංක‍්‍රමණිකයෙකු වූ ඇගේ පියා ඇය මෙලොව එළිය දකින්නටත් පෙරාතුව ඔවුන් හැරදා යන්නට ගියේය. බැලේ නර්තන ශිල්පිනියක වූ ඇගේ මව වැලෙරි, බැලේ ප‍්‍රසංග පැවැත්වීම සඳහා යුරෝපය පුරා සංචාරය කළ බැවින් නයෝමිටත් ඇගේ සොහොයුරාටත් මවු සමග සංචාරයේ යෙදෙන්නට අවස්ථාව ලැබිණි. මේ දරු දෙදෙනා හැදී වැඩුණේ ඔවුන් දෙදෙනා රැකබලා ගැනීමට සේවයට බඳවා ගත් මෙහෙකාරිය ඇසුරෙහිය.   

වයසින් වැඩෙත්ම, ඈ ද සිය මවු මෙන් බැලේ නර්තන විලාසය කෙරෙහි පෙම් බඳින්නට වූවාය. වයස අවුරුදු 10දී ඇය ලන්ඩනයේ සුප‍්‍රකට ඉතාලියා කොන්ටි බැලේ පාසලට ඇතුළත් වූවාය. මේ කාලයේදීම ඇය ප‍්‍රා​සාංගික කලා පිළිබඳ ලන්ඩන් ඇකඩමියට ද ඇතුළත් වූ අතර Quest for Fire (1981) හා The Wall (1982) යන චිත‍්‍රපටවල සුළු රඟපෑම් සඳහා ද දායක වූවාය.   


මැණිකක් හමුවෙයි   


කොවෙන්ට්‍රි ගාඩන් නමැති වෙළෙඳ සාප්පු සංකීර්ණය ඇගේ සිත්ගත් ස්ථානයක් වූ අතර දිනපතාම පාසල අවසන් වීමෙන් පසු ඇය එහි සිටිනු දක්නට ලැබිණි. ජෝජ් වේන් නමැති නිරූපණ ඒජන්තවරියට නයෝමි ඇස ගැටුණේ මෙහිදීය. වයස 15ක් තරම් වූ කාලයේ දිනක ජෝජ් වේන් මෙම සුන්දර කළු කෙල්ල වෙත පා නැගුවාය.   


‘මම මොඩ්ලින් ඒජන්ට් කෙනෙක්. මෙන්න මගේ කාඩ් එක.’ ඇය සිය ව්‍යාපාරික කාඩ්පත නයෝමි වෙත පෑවාය. එහෙත් හදිසියේ තමා වෙත පැමිණි ඒ කාන්තාව කෙරෙහි නයෝමි වෙත කිසිදු පැහැදීමක් ඇතිවූයේ නැත. එහෙත් ඇය එය ගෙනගොස් සිය මවට පෙන්වූවාය. එම කාන්තාව කීවේ සැබෑවක් බව නයෝමි දැනගන්නේ ඇගේ සම්මුඛ සාකච්ඡාවක් ටැට්ලර් නමැති විලාසිතා සඟරාවේ පළ වී තිබෙනු දැකීමත් සමඟිනි.   
ඉන්පසු නයෝමි වෙත එම ආගන්තුක කාන්තාව මුණගැසීමේ දැඩි වුවමනාවක් ඇති වුවත් නයෝමිගේ මවගෙන් ඒ සඳහා අවසර නොලැබිණි. කෙසේ හෝ මවුට ඇවිටිලි කිරීමෙන් අනතුරුව එක් දිනක නයෝමි ඈ මුණගැසීමට සමත් වූවාය. පාසල් නිල ඇඳුමෙන් සිටි ඇගේ ඡායාරූපයක් ලබාගත් ජෝජ් වේන් ඇය යවනු ලැබුවේ නිව් ඕර්ලියන්ස් හි සිටි එල් සඟරාවෙහි රාජකාරියක නිරතව සිටි ඡායාරූප ශිල්පියෙකු වෙතය.   
එසේ ඇය එලයිට් මොඩ්ලින් ඒජන්සිය හා සම්බන්ධ නිරූපිකාවක් බවට පත්වූවාය. වැඩි කලක් නොගොස් නයෝමි කැම්බල් නමැති කළු නිරූපිකාව ඉතා ජනප‍්‍රියත්වයට පත් වූ අතර විලාසිතා ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ සමාගම්වලින් බහුතරයක් සමඟ ඇයට වැඩ කරන්නට අවස්ථාව ලැබිණි.   


වයස අවුරුදු 18 වන විට ඇය ලොව සුප‍්‍රකට වෝග් සඟරා කවරයේ ප‍්‍රංශ කලාපයේ ඡායාරූපයටත්, ටයිම් සඟරා කවරයේ ඡායාරූපයටත් පෙනී සිටි පළමු කළු ජාතික නිරූපණ ශිල්පිනිය බවට පත් වූවාය. ඇගේ උස අඩි 5 අඟල් 9ක් විය. සිහින් දිගටි මුහුණක් හා දිගු අත් පා සහිත ඇගේ සිරුර ආකර්ෂණීය විය.   


ඇය ප‍්‍රිය කරන ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකුම වෙති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පෙරළා ඇගේ සුන්දරත්වය අගය කරති. ඇය ඇඳ සිටින ඕනෑම ඇඳුමකට ඇගේ පවතින සුන්දරත්වය කාන්දු වෙන බවත්, ඒවා ඇඳුම් නොව ඇගේ සිරුරේම සජීවී කොටස් ලෙස පෙනෙන බවත් ඔවුන්ගෙන් අයෙක් කියා ඇත්තේ ඒ නිසා විය යුතුය.   


ආදර කතා   


බොක්සිං ක‍්‍රීඩක මයික් ටයිසන්, නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්, ඇමරිකානු නළුවෙකු වූ රොබට් ඩි නීරෝ, ගායකයෙකු හා ගිටාර් වාදකයෙකු වූ එරික් ක්ලැප්ටන්, ඉතාලියානු ව්‍යාපාරිකයෙකු වූ ෆ්ලැවියෝ බ්‍රියටෝ, සංගීතඥයෙකු වූ ඇඩම් ක්ලේටන් වැන්නවුන් සමඟ ඈ ආදරයෙන් වෙළුණාය. ලියනාඩෝ ඩි කැප්රියෝ, සීන් පෙන්, අෂර්, මොනාකෝ හි දෙවැනි ඇල්බට් කුමරු, ජෝනී ඩෙප්, ටොමී ලී, ක්වින්සි ජෝන්ස් වැනි ප‍්‍රසිද්ධ චරිත සමඟ හාදකම් පැවැත්වූ බව ද කියැවේ.   


ඇගේ දක්ෂතා විලාසිතා නිරූපණයට පමණක් සීමා නොවී රංගනය හා ගායනයට මෙන්ම ලේඛනයටත් ඇය යොමු වූවාය. එහෙත් රංගනය හැරුණු විට ගායනය හා ලේඛනය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.   
ඇය මයිකල් ජැක්සන්, අරෙතා ෆ‍්‍රෑන්ක්ලින් හා ජෝජ් මයිකල්ගේ ගීත ඇතුළු රූප රචනා සඳහා පෙනී සිටි අතර 1994දී Swan යනුවෙන් නවකතාවක් ද Babywoman නමැති ගීත ඇල්බමය ද එළිදැක්වූවාය. ඒ සියල්ලටත් වඩා ඇය සාර්ථක ව්‍යාපාරික කාන්තාවකි. ඇගේ වත්මන් පෙම්වතා වන සංගීතඥයෙකු වන ස්කෙප්ටා හෙවත් ජෝසෙප් ජූනියර් ඇඩෙනුගාගේ Mains ඇඳුම් ව්‍යාපාරය සඳහා ඉහළම ප‍්‍රචාරණ සහයෝගයක් දක්වන්නීය. 

 
ක්ෂණික කෝපය   


නයෝමි කැම්බල් කොතෙක් සාර්ථක නිරූපණ ශිල්පිනියක වුවද ඇය ද දුර්වලතා සහිත මනුෂ්‍ය සත්වයෙකි. ක්ෂණික කෝපය ඇගේ ප‍්‍රධානම දුර්වලතාවයි. වරක් ඇගේ සහයිකාවක කායික වධයට ලක් කිරීමේ හා වාචිකව අපහරණය කිරීමේ වරදට අත්අඩංගුවට පවා ගනු ලැබුවාය. 2008 ජූනි මස ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටු​ෙපාළේදී නිලධාරීන් දෙදෙනෙකුට අපහාස කිරීමේ වරදට හසු වූ අතර 2007 ජනවාරි මාසයේදී ඇගේ සේවිකාවට ජංගම දුරකතනයෙන් දමා ගැසීමේ වරදට දඬුවම් ලැබුවාය. එසේ අනුවණ හා කෲර ලෙස හැසිරීමට හේතුව වූයේ ඇගේ ප‍්‍රියතම ඩෙනිමකට සේවිකාව අතින් හානි වීම නිසාය. එම හැසිරීමට ඇයට හොඳහැටි දඬුවම් ලැබුණු අතර දින පහක්ම නිව්​ෙ‌යා්ක්හි වෙළෙඳ සාප්පු සංකීර්ණයක් සෝදා පිරිසුදු කිරීමේ කාර්යයට අමතරව සේවිකාවගේ වෛද්‍ය ගාස්තු පියවීමටත්, දින දෙකක කෝපය කළමනාකරණ වැඩසටහනකට සහභාගි ​ෙවන්නට ද ඇයට සිදුවිය. 

 
එයට වසර හතකට පෙර ද ඇය ජංගම දුරකතනයෙන් සේවිකාවකට දමා ගසා තිබුණු අතර ගමන් කරන මෝටර් රථයෙන් පිටතට වීසි කරන බවට සේවිකාවට තර්ජනය කර තිබිණි. එවර ඇය ගැලවුණේ හෙළි නොකළ අති විශාල මුදලක් සේවිකාවට ගෙවමින් හා කෝපය කළමනාකරණය ඉගැනීමේ මධ්‍යස්ථානයකට යන්නට පොරොන්දු වෙමිනි. කෙසේ හෝ ඇය කෝපය කළමනාකරණය කර ගැනීමට උගත්තාය.   


පසු කලෙක ඇය සිය කෝපය පිළිබඳව පාපොච්ඡාරණයක් කරමින් කියා සිටියේ අනාරක්ෂිත බව, දුර්වල ආත්ම අභිමානය හා හුදෙකලාව යන ගැඹුරු මානසික කරුණු නිසා තමා කෝපයට පත් ​ෙවන බවය.   
2002දී ඇය ලන්ඩනයේ ඩේලි මිරර් පුවත්පත සමඟ නඩු හබයකට පැටලුණේ ඇගේ පෞද්ගලිකත්වය පිළිබඳ අයිතිය උදෙසා සටන් වදිමිනි. තමාට ගැටලු තිබෙන බවත්, ඒවාට ප‍්‍රතිකාර ගන්නා බවත්, ඒවා පෞද්ගලිකව තබා ගැනීමට අයිතියක් තිබෙන බවත් කියමින් සටන් වැදුණු නයෝමිට අවසානයේ නඩුවෙන් ජය ලැබිණි.   


සමාජ සුබ සාධනය


බ‍්‍රසීල දරුවන්ගේ දුගී බව තුරන් කිරීම, අප‍්‍රිකාවේ දරුවන්ගේ සුබ සාධන වැඩ කටයුතු කෙරෙහි යොමුවීම වැනි ප‍්‍රජා මූලික ව්‍යාපෘතිවලට ක‍්‍රියාකාරී සහයෝගය දක්වන්නියක ලෙස ප‍්‍රසිද්ධ නයෝමි 1997 සිට නෙල්සන් මැන්ඩෙලා සමඟ ද කටයුතු කර තිබුණාය.   


2010දී ඇගේ විලාසිතා වෘත්තියට වසර 25ක් සම්පූර්ණ විය. එම වසරේම බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේදී විශේෂ සම්මානයක් ද ලැබුවාය. නිරූපණ ක්ෂේත‍්‍රයේ පවතින වර්ණ භේදය හමුවේ නම් ඇය ගිනි පුළිඟුවකි.   
මැඩෝනාගේ කුප‍්‍රකට Sex නමැති කෘතියේ කාමුක ඡායාරූපවලට පෙනී සිටීම සඳහා ඉලක්කම් හයක මුදලක් ඇයට ගෙවනු ලැබූ බව ප‍්‍රසිද්ධ කතාවකි. ප‍්‍රසිද්ධ ඡායාරූප ශිල්පීන් විසින් ගනු ලැබූ ඇගේ ඡායාරූපවලින් තෝරාගත් ඡායාරූප ඇතුළත් එකතුවක් ඇය විසින්ම පසු කලෙක Naomi යනුවෙන් ප‍්‍රකාශයට පත් කළාය.   


වත්මන් ජීවිතය   


දැන් ඇය විලාසිතා නිරූපණ ක්ෂේත‍්‍රයේ දායකත්වය සීමා කර ඇතත්, තවමත් ඇයට විලාසිතා නිරූපණයට ඇරයුම් ලැබේ. දැන් ඇගේ වයස අවුරුදු 47කි. මෙතෙක් විවාහ වී නැති, දරුවන් නැති වුවද, ඇයත් සාමාන්‍ය කාන්තාවක් මෙන් විවාහ වී දරු සුරතල් බැලීමට සිහින මවන්නීය.   

 

 


 

 

 

 

 

 

 

අන්තර්ජාලය ඇසුරිනි.


නිසංසලා දිසානායක