වැඩි දෙනෙක් මාව දන්නෙ රෙඩ් මයික් නමින් හේෂාන් මල්ලව


මෙයාගෙ නම හේෂාන් මල්ලව. හැබැයි එහෙම වුණාට මෙයා ගැන වැඩි දෙනෙක් දන්නෙ රෙඩ් මයික් යන නමින්. වෘත්තියෙන් ගුරුවරයෙක් වන හේෂාන් කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන්නෙ නිවේදකයකු, රංග ශිල්පියකු සහ නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසයි. මේ දිනවල මේ රෙඩ් මයික් හෙවත් හේෂාන් මල්ලව ගැන කතා කරන්නෙ  සිරස ඩාන්සින් ස්ටාර් තරගකරුවන් සමග ගෙන එන සංවාද නිසයි. අද සඳැල්ල කවරය වෙනුවෙන් පෙනී සිටින හේෂාන් නොහොත් රෙඩි මයික් ගැන තවත් විස්තර අපි කියවමු.

ප්‍ර කවුද මේ හේෂාන් මල්ලව?

ටෙලිවිෂන් කලා ක්ෂේත්‍රයේ දී වැඩ සටහන්  ඉදිරිපත් කරන්නෙක්, රංගන ශිල්පියක් සහ වේදිකා නාට්‍ය නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම පිටපත් රචකයකු ලෙසත් කටයුතු කරනවා. හැබැයි වැඩි දෙනෙක් දන්නෙ නිවේදකයකු ලෙසයි.

ප්‍ර මේ දිනවල රංගනයෙන් මොනවද කරන්නෙ?

එළැඹෙන රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සූදානම් වෙනවා. ඊට අමතරව ඩාන්සින් ස්ටාර් නිවේදන කටයුතුවලට දායක වෙනවා. විකාශය වූ මිතූ, පැහැසරා, නාට්‍යයවල  සුළු චරිත රගපෑවා. නීල පබළු නාට්‍යයේ පසන්ගේ චරිතය නිසා වැඩි දෙනෙක් මා ගැන විමසුම් කරන්න පටන් ගත්තෙ මෙයා දැන් රඟපෑමත් කරනවනෙ කියලයි. ඒ වන විට මම වැඩි පුර දායක වෙමින් සිටියෙ වේදිකා නාට්‍යවලට. ඇත්තම කිව්වාත් මම කලාවට ආවේ වේදිකාවෙන්. පාසල් කාලයේදී සමස්ත ලංකා නාට්‍ය උළෙල පවා නියෝජනය කළා. ළමා නාට්‍යය උෙළලේ සිට රාජ්‍ය නාට්‍ය උළෙල දක්වා නාට්‍ය නිර්මාණ කරමින් ඒවායෙහි රඟපාලා තියෙනවා. ඒ නිසා සම්මානත් හිමි කර ගෙන තියෙනවා. හැබැයි ඉතින් මොන දේ කළත්, වැඩි දෙනෙක් මාව දන්නෙ රෙඩ් මයික් කියලයි. උප්පැන්න සහතිකයේ නම හේෂාන් මල්ලව වුනාට වැඩි දෙනෙක් මාව දන්නෙ හේෂාන් කියලා නෙවෙයි.  සිරස ගෙනා රෙඩ් මයික් වැඩ සටහනේ රෙඩ් මයික් ලෙසයි. මග තොටේදී හමුවන අය ආ රෙඩ් මයික් කොහොමද ඉතින් කියලා තමයි අහන්නෙ. මයික් එකකට ජීවිතේට කතා කරලා නැති මිනිස්සු එක්ක කළ ඒ ප්‍රෝග්‍රැම් එක බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. මිනිස්සුන්ට තියෙන හීන ගැන තමයි රෙඩ් මයික් ප්‍රෝග්‍රැම් එකෙන් අපි කතා කළේ.

ප්‍ර රෙඩ් මයික් හෙවත් හේෂාන්ට තියෙන සිහින මොනවද?

මගේ ලොකුම හීනය වුණේ, නළුවකු වීමටයි. ඒ වෙනුවෙන් හදාරන්න වගේම ප්‍රගුණ කරන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් තව හැදෑරීම් කරන්න තියෙනවා. ඒත් නළුවා කියන භූමිකාවට වඩා නිවේදන ක්ෂේත්‍රයේ  තව බොහෝ දේ හදාරමින් බොහෝ දේ කළ හැකිය කියලා විශ්වාස කරනවා.

ප්‍ර රෙඩ් මයික්ගෙ පවුලේ විස්තර එහෙම?

මගේ උපන් ගම මාතලේ. ඉගෙන ගත්තෙ මාතලේ විජය විද්‍යාලයෙන්. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමාවකින් පටන් ගෙන, පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළා. එයින් පසුව කටයුතු කරන්න පටන් ගත්තෙ රජයේ ගුරුවරයකු ලෙසයි. එම වෘත්තියට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා. නාට්‍ය හා රංග කලාව උගන්වන  රජයේ ගුරුවරයකු ලෙස මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ සේවය කරමින් සිටිනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කිව්වොත් නිවැරදියි.  මේ වන විට මම විවාහකයි. අපි දෙන්නගෙ දියණියට දැන් අවුරුදු එකහාමාරක් විතර වෙනවා. පවුලේ අම්මයි, අප්පච්චියි, නංගියි සිටිනවා. නංගිත් විවාහකයි. මගේ බිරිඳ ජපානයට සම්බන්ධ පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඊට අමතරව ඇය මනෝවිද්‍යා උපදේශකවරියක ලෙසත් කටයුතු කරනවා. මගේ ජීවිතේ කාලය ගෙවෙන්නෙ එයාලා එක්කයි.

ප්‍ර මාතලේ ඉඳලා ඇවිත් මේ වැඩ වලට දායක වීම අසීරු ඇති?

ඇත්තටම මුල් කාලයේදී මට හරිම අසීරු වුණා. හැබැයි සතියේ දවස් පහම මම සේවය ලබා දෙන්නෙ පාසලේ වැඩ කටයුතු වෙනුවෙන්. සෙනසුරාදා - සහ ඉරිදා තමයි අනෙකුත් වැඩ වලට දායක වෙන්නෙ. මගේ වැඩ කටයුතු කර ගෙන යන්න පාසලේ විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලැබෙන්නෙ විශාල සහයෝගයක්. එහෙම නොවන්නට මේ වැඩ කරන්න ලෙහෙසි වෙන්නෙ නැහැ.

ප්‍ර රෙඩ් මයික් සැබෑ ජීවිතේදී මොන විදිහට හිතන කෙනෙක්ද?

සැබෑ ජීවිතේ හේෂාන් කියන්නෙ මිනිස්සු එක්ක අත් දැකීම් බෙදා හදා ගන්න කැමති කෙනෙක්.  පොත් කියවලා අත්දැකීම් ලැබා ගන්න පුළුවන්  වගේ මිනිස්සු එක්ක විවිධ අත් දැකීම් ලබන්න වගේම එයාලගෙ හැසිරීම් දිහා බලලා එයාලව අධ්‍යයනය කරන්න මම කැමතියි. මට වැදගත් වෙන්නෙ මිනිසුන්ගෙ තරාතිරම නෙවෙයි. මට සෑම මිනිසෙක්ම දැනෙන්නෙ පුස්තකාල වගෙයි. ඒ තරමටම මිනිසුන්ගෙන් මට ගන්න තියෙන අත් දැකීම් සහ දැනුම බොහෝමයි. ඒ සියල්ල මගේ ජීවිතයට සහ කරන කියන වැඩ කටයුතුවලට හරි වැදගත්.

ප්‍ර මේ දිනවල රෙඩ් මයික් වෙනුවට ඔබ කරන වැඩ සටහන් මොනවද?

මේ දිනවල මම කරන්නෙ සිරස ටී වී ගෙන එන තරු ඉරිදා වැඩ සටහන. ඒක රෙඩ් මයික් වලින් පසුව මට ලැබුණු ලොකුම අභියෝගයක්. පැය තුනහාමාරක් තිස්සේ තරු හයක් සමග කරන තරු ඉරිදා සජීවිව විකාශය කෙරෙන වැඩ සටහනක්. තරු ඉරිදාට අමතරව ලැබුණු ඊළඟ අභියෝගය තමයි ඩාන්සින් ස්ටාර්. ඉස්සර ගෙදරට වෙලා ටී වී එකෙන් ඒ වැඩ සටහන නරඹද්දී මම කවදාවත් හිතුවෙ නැහැ, මට ඩාන්සින් ස්ටාර් වැඩ සටහනේ පුංචි කොටසක් හෝ ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබේවි කියලා. මේ දිනවල මම නිදි මරා ගෙන බොහොම උද් යෝගීමත්ව කටයුතු කරන්නෙ ඒ වෙනුවෙන්. අලුත් අදහස් තියෙන ළමයින් එක්ක අත් දැකීම් බෙදා හදා ගන්න ලැබීමම ලොකු සතුටක්. හීන දිනන්න එන තරුණ පිරිස එක්ක ඒ හීන බෙදා හදා ගන්න ලැබීම  ලොකු සතුටක්.

සඳුන් ගමගේ