වසර පන්ලක්ෂයකට ඉහතදී ජීවත්වූ නව මානව විශේෂයක්


 

වසර 50 කට ඉහත දී ඉතියෝපියාවෙන් සොයාගත් මානව හිස් කබල වසර 500,000 කට ඉහත දී අප්‍රිකාවේ වාසය කර ඇති නව මානව විශේෂයකට අයත් බව මානව විශේෂඥ කණ්ඩායමක් අනාවරණය කරගෙන ඇති අතර එම මානව විශේෂය හෝමෝ බොඩොයින්සිස් (Homo Bodoensis) ලෙස නම් කිරීමට සත්ව විද්‍යාත්මක නාමාවලිය පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ අනුමැතිය ලබාගැනීමට ද පසුගිය ඔක්තෝබර් මාසයේ දී හැකිවී ඇත.  


මානව මුතුන් මිත්තන්ගේ පරිණාමය සිදුවී ඇත්තේ වසර මිලියන 7-5 අතර කාලයේ දී නැගෙනහිර හා දකුණුදිග අප්‍රිකානු ප්‍රදේශයන් බව මානව විශේෂඥයන්ගේ මතයයි. පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන මානව හා සම්භාව අධ්‍යයන විද්‍යාඥයකු වූ චාර්ල්ස් ඩාවින් හා ඇල්ප්‍රඩ් රසල් වොලස් විසින් සත්ව හා මානව පරිණාමය පිළිබඳව තමන් පර්යේෂණ කර ලබාගත් තොරතුරු පිළිබඳ දේශපනයන් 1858 ජුලි මාසයේ දී ලන්ඩනයේ පිහිටි ලීනියන් සමාජයේ දී (සත්ව හා ශාඛ වර්ග කිරීම පිළිබඳ වූ සංගමයකි) පවත්වා ඇත. 1859 නොවැම්බර් 24 වැනි දින චාර්ල්ස් ඩාවින් විසින් තමන් කළ දේශනය සවිස්තරව ඇතුළත් කර ඔන් ද ඔරිජින් ඔෆ් ස්පෙසිස් නම්වූ කෘතිය මුද්‍රණය කර ප්‍රසිද්ධියට පත් කළේය. මෙම ග්‍රන්ථයේ සඳහන් කරුණු කතෝලික දහමට අපහාසයක් බවට නිගමනය කරමින් එවකට එංගලන්ත රජය විසින් තහනම් කරනු ලැබ ඇත. චාල්ස් ඩාවින් පෙන්වා දුන්නේ මානවයාගේ පරිණාමය සිදුවී ඇත්තේ වසර මිලියන 7-5 අතර කාලයේ දී ජීවත්වූ වලිගයක් නැති දෙපයින් යා හැකි ගෝරිල්ලා, චිම්පන්සියා හා ඔරං ඔටං වැනි සතකුගෙන් බවය. ඔහු එම සතා හඳුන්වා ඇත්තේ ග්‍රේට් ඒප් යනුවෙනි. (වඳුරකු නොවේ) ග්‍රේට් ඒප් සතා මානව ස්වරූපයට පත්වූ මුල් අවධිය ඔස්ටුලෝපිතිකස් යනුවෙන් ද මානව ස්වරූපයට වඩාත් ළංවූ මානවයා හැන්ඩි මෑන් හෙවත් ‘හෝමෝ හැබිලිස්’ ලෙස ද හඳුන්වා ඇත. ඉන්පසු සිදුවූ මානව පරිණාමයන් ‘හොමෝ ඉරෙක්ටස්’ ‘හොමෝ නියැන්ඩතාලෙන් සිස්’ හා ‘හොමෝ සේපියන්’ ලෙස හඳුන්වා ඇත.  


ඉතියෝපියාවේ ‘අවාස්ට්’ ගංගා මිටියාවන අසල පිහිටි බොඩෝඩාර් ප්‍රදේශයේ තිබී හමුවූ හිස්කබල කැනඩාවේ එනිපෙන් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිළිබඳ මහාචාර්ය ‘විර්ජානා රොක්සැන්ඩික්’ ප්‍රමුඛ විශේෂඥ කණ්ඩායමක් නිරීක්ෂණය කිරීමෙන් වසර 500,000 කට ඉහත දී අප්‍රිකාවේ ජීවත් වූ නව මානව විශේෂයකට අයත්වන බව අනාවරණය කරගෙන තිබේ. නූතන මානවයා වන හොමෝ සේපියන් මානවයාගේ මතුවීම මෙමගින් පැහැදිලිවන නිසා ඉතිහාසයේ මෙම යුගය ඉතා වැදගත් වන බව මහාචාර්ය මිර්ජානා ප්‍රකාශකර ඇත. නව මානව වර්ගය මෙම යුගයේ සිටි හෝමෝ ‘හේඩෙල් බර්ගන්සීස්’ හා ‘හෝමෝ රොඩේසියන්සිස්’ වර්ගයට සම්බන්ධතාවයක් ඇති බව අදහස් කළත් මෑතක දී කරන ලද විශ්ලේෂණය මගින් ඔවුන් වෙනත් නව මානව විශේෂයකට අයත්වන බව අනාවරණය කර ගෙන ඇත. මෙම අවධියේ මානව වර්ග කිහිපයක් ජීවත්ව සිටි බවත් මානව පරිණාමය පිළිබඳ කතාකිරීම නිශ්චිත මානව භූගෝලීය විචල්‍යනයන් පිළිබඳ නිවැරදි නාමාවලියක් නොමැතිවීම නිසාත් අපහසු කාර්යයක් බව ද ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියාය. පොසිල අධ්‍යයන විද්‍යාඥයින් ​මේ හේතුව නිසා මෙම අපහසුතාවය මඩ්ල් ඉන් ද මිඩ්ල් යනුවෙන් හඳුන්වා ඇත.  
මෙම නව මානව විශේෂය නම් කිරීමට මහාචාර්ය මිර්ජනා රොක්සැන්ඩෙක් ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් ‘සත්ව විද්‍යාත්මක නාමාවලිය පිළිබඳව ජාත්‍යන්තර කොමිසමට’ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම හිස්කබල සොයාගත් ‘බොඩොඩාර්’ ප්‍රදේශයේ නමින් ‘හෝමෝ මොඩෙඉන්සිස්’ ලෙස හැඳින්වීමට පසුගිය ඔක්තෝමබර් මාසයේ දී අනුමැතිය හිමිවිය. මෙම විශේෂඥ කණ්ඩායම තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ මෙම පිරිමි මානවයා උසින් අඩි 5 අඟල් 9 ක් හා ක්‍රි.ග්‍රෑ. 63 ක බරකින් යුක්තව සිටින්නට ඇති බවය.

 

ශාස්ත්‍රවේ දී 
පී.ඩබ්ලිව්. ගුණතිලක