වසරේ නැගී එන ළමා නිවේදිකාව සම්මානය - සදුෂි සවින්ද්‍යාට


මෙරට දක්ෂ යෞවන යෞවනියන්ගේ ජයග්‍රහණ හා හැකියාවන් ඇගැයීමේ අරමුණෙන් New Generation Sri Lanka ආයතනය මගින් 6 වැනි වරටත් සංවිධානය කළ නව පරම්පරාවේ ආසියානු සම්මාන උළෙල වන Top 40 Award – 2025 හි වසරේ නැගී එන ළමා නිවේදිකාවට හිමි සම්මානය (upcoming kids TV Presenter of the year – 2025) හිමිකර ගැනීමට 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන දන්කොටුවේ සදුෂි සවින්ද්‍යා අමුකොටුව සමත් වූවාය.

සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති අතර, එහිදී විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දැක්වූ යොවුන් ශිල්පියෝ 40 දෙනෙක් සම්මානයට පාත්‍රවූහ.

වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳුෂි සවින්ද්‍යා ශිෂ්‍යාව මෙම සම්මානයට පාත්‍ර වූයේ සිරස TV හි Kids 1st වැඩසටහනේ නිවේදිකාව ලෙස කටයුතු කළ නිසාය. ඇය මේ නිසාම පසුගිය ‘‘පිනකල්’’ සම්මාන උළෙලේදී හොඳම ළමා නිවේදිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. මෙවර සම්මානයත් සමග සදුෂි ‘‘සඳැල්ලට’’ට කියූ කතාවයි මේ.

‘ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි. ලංකාවෙන්ම හොඳම 40 දෙනා අතරට පුංචි මට එන්න ලැබීමම ලොකු භාග්‍යයක්. අම්මටයි, තාත්තාටයි ගොඩක් ස්තුති කරන්න ඕනේ. එයාලා තමයි මාව දිරිමත් කරලා හැම දේටම යන්න ඉඩ හදලා දෙන්නේ. මේ අවුරුද්දේ දෙවැනි වරටත් හොඳම ළමා නිවේදිකාව වෙන්න ලැබීමම මගේ වාසනාවක්. ඒ ගැන කියන්න වචන නැති තරම්. මම ඉගෙන ගන්නා පාසලටත් ඒ ගෞරවය හිමිවිය යුතුයි.

මම කලා ක්ෂේත්‍රයට එන්නේ කොරෝනා කාලයේ ගීතයක් ගායනා කරමින්, ඒ කාලයේ මම ගන්නෝරුව හෙළසර රේඩියෝවෙන් ‘‘හෙටට පිපෙන මල්’’ වැඩසටහන කළා. ඒ පුංචි වයසේදි ගොඩාක් අත්දැකීම් ලබාගත්තා. ඊට පස්සේ තමයි සිරස TV kids 1st වැඩසටහනට ළමා නිවේදිකාවක් ලෙස සම්බන්ධ වෙන්නේ.

ළඟදී කළ CIB අවුරුදු TV වෙළෙඳ දැන්වීමටත් මාව තේරුණා. ඊට සම්බන්ධ කළ තිළිණ මාමාට ගොඩාක් ස්තුතියි. එයින් පස්සේ CIB ආයතනයේ ළමා ඇඳුම් ඇඳ නිරූපණයෙන් දායක වෙන්න අවස්ථාවකුත් ලැබුණා. ඒ සඳහා සම්බන්ධ කරගත් සංජීව මාමාට ස්තුතිය පුද කරනවා. මේ හරහා ගොඩාක් ෆොටෝ ෂූට්වලට මට ආරාධනා ලැබුණා.

මම ගායනය, වාදනය, නර්තනය හදාරනවා. රංගනයෙන් ඒකාංගික ටෙලිනාට්‍යවලත් රඟපෑවා. මගේ ගීත 2ක් කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. ඒ Starline fm අනුග්‍රහයෙන්. එහි නිර්මාතෘ හේමන්ත මාමා තමයි ඒ අවස්ථාව ලබා දෙන්නේ. මම භරත නැටුම්වලින් ඉදිරියට යන්නත් සුපුන් සර් ළඟ ඉගෙන ගන්නවා. මට අවශ්‍ය හැම දෙයක්ම හොඳට හදාරලා, අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යන්නයි. ඒ වගේම හැමෝගෙම ආදරය දිනාගත් කලා ශිල්පිනියක් වීමටයි. මේ ගමනේදී මට උදව් කළ හැම දෙනාටම ස්තුතිය පුද කරන්න ඕනේ.’’

පුංචි සදුෂි හෙට දිනයේ කලා ක්ෂේත්‍රයේ බැබළෙන තරුවක් වනු නොඅනුමානය. සදුෂිට ‘‘සඳැල්ලෙන්’’ සුබපැතුම් එක් කරන්නෙමු.

සමන්ත යහම්පත්