ලුණු සොයන්න ගිහින් අහම්බෙන් මතු වූ බොරතෙල්


 

 

  • 1857 දී පෙන්සිල්වේනියාවේ දී අහම්බෙන් මතු වූ බොරතෙල් අද ලොව අල්ලේ නටවන ප්‍රධාන බලශක්තියයි  

 

පෙනිසිල්වේනියාවේ ග්‍රාමයක ලු‍ණු හෑරීම සඳහා වාෂ්ප එන්ජිමකින් ක්‍රියාකරන උපකරණයක් තැනූ එඩ්වින් එල්. ඩ්‍රාකේ නැමැති අයෙකු 1859 වර්ෂයේ දිනක එම උපකරණය යොදා ගනිමින් පොළෝ මට්ටමින් අඩි හැටනවයහමාරක් ගැඹුරු ස්ථානයක් හාරමින් සිටියේය. ඔහුට කළුපැහැති අපූරු බොර දියරයක් හමුවූයේය. මෙය ලෝකය උඩු යටිකුරු කරනු ඇතැයි එම දියරය සොයාගත් ඩ්‍රාකේ කිසිදා නොසිතන්නට ඇත. බොරතෙල් පොළොව මතුපිටට පැමිණියේ ඒ ආකාරයෙනි.   


එතැන් සිට ඇමැරිකාව පුරා කැණීම් ශිල්පියෝ තෙල් සොයා ළිං හෑරීමට පටන් ගත්හ. අද ලොව බොහෝ නිෂ්පාදන සඳහා සෘජුවම ඛනිජ තෙල් හෝ තෙල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරු ඵල යොදාගනී. 

 
අදින් වසර දස ලක්ෂ හාරසිය ගණනකට පෙර පෘථිවියේ වැඩි කොටසක් මහ මුහුදින් වැසී තිබුණි. එකල මුහුදේ ද ගොඩබිම ද ජීවත් වූ ජීවීහු මිය ගිය පසු ඔවුන්ගේ දේහ කොටස් මහ මුහුදේ මඩ සමග කැලතී පල්පයක් ලෙස තැන්පත් විය. මේ මතට ගංගා ඇළ දොළ ඔස්සේ ආ ශාක කොටස් හා රොන් මඩ ද විශාල වශයෙන් එකතු විය. එම ආගන්තුක රොන් මඩ මගින් ජීවී කොටස් සහිත පල්පය මුළු මනින්ම වැසී ගියේය. කාලය ගත වෙද්දී එම රොන් මඩ ස්ථරය දැඩි වී පාෂාණ බවට පත්විය. ඒ හේතුවෙන් ජීවී කොටස් සහිත පල්පයට එල්ලවූයේ දැඩි තෙරපුමකි. එම මිශ්‍රණයේ වූ කාබන් සහ හයිඩ්‍රජන් යන මූල ද්‍රව්‍ය තුළ වෙනස් කම් රැසක් ඇති වන්නට පටන් ගැණුනි. උඩින් පාෂාණ බවට පත්වූ ආගන්තුක රොන් මඩ හේතුවෙන් යටින් තිබූ පල්පයට ඔක්සිජන් වායුව හමුවූයේ නැත. එයට ඔක්සිජන් හමුවූවා නම් තත්ත්වය අදට වඩා වෙනස් වනු ඇත. පෙනිසිල්වේනියාවේ දී එඩ්වින් ඩ්‍රාකේ හමු වූ ද්‍රාවණය වසර දස ලක්ෂ 140 කට පමණ පෙර තැන්පත් වූ ඒ පල්පයයි. එය පොසිල ද්‍රාවනයක් ලෙස හඳුන්වයි.   
මෙම පල්පය සොයා ගැනීමත් සමඟම ඒ පිළිබඳ පර්යේෂණ පැවැත් වූ මිනිසා එමගින් ගල් අඟු‍රු සහ පොසිල ඉන්ධන ලබාගත හැකි බව තේරුම් ගත්හ. මිශ්‍රණයේ හයිඩ්‍රජන් වැඩිනම් ඉන් ඛනිජ තෙල් ලබාගත හැකි අතර හයිඩ්‍රජන් අඩුනම් ගල් අඟු‍රු ලැබේ. මේ සියල්ල පොදුවේ හඳුන්වන්නේ පෙට්‍රෝලියම් නමිනි. පෙට්ට්‍රෝලියම් යන ලතින් වචනයේ අරුත ගලින් ලබා ගන්නා තෙල් යන්නයි.   


අද ලෝකය පාලනය කරන බලවතා බවට පත්ව ඇත්තේ මෙම ඛනිජ තෙල් සම්පතයි. රැයක් පහන් වන විට ඛනිජ තෙල් බැරලයේ මිල කොතෙක් ඉහළ ගොස් ඇත්දැයි යන්න මත ලෝක ආර්ථිකය තීරණය වී ඇත. වර්තමාන පාරිභෝගික සමාජයට ඛනිජ තෙල් එපමණ බලපෑම් කරමින් සිටී. තෙල් මිල ඉහළ යාම අපගේ දෛනික ජීවිතයට සෘජුවම සහ වක්‍රාකාරයෙන් බලපාන හෙයින් වර්තමානයේ වඩාත්ම කතා බහට ලක්ව ඇති තේමාවක් වන්නේ ද තෙල් අර්බුදයයි. ඒ අනුව ලෝකය දිව යන්නේ ඛනිජ තෙල් සම්පත මතය.   
මේ වන විට ඛනිජ තෙල් මිල ඉතිහාසයේ නොවූ විරූ තරම් ඉහළ අගයකට පැමිණ ඇත. එය ලෝක ආර්ථික අර්බුදයකට හේතු වී තිබේ. බොහෝ දෙනෙකු පවසන්නේ ලොව ඛනිජ තෙල් සම්පත අවසන් වෙමින් පවතින බවයි. ලෝකයේ ඛනිජ තෙල් ඇත්තේ තවත් දශක දෙකකට හෙවත් වසර විස්සකට පමණක් යැයි පිරිසක් කියා සිටිති. එය සැබෑවක්නම් මිල ඉහළ යාම නිසා ඛනිජ තෙල් අර්බුදයක ගිලී ඇති ලෝකය තව අවරුදු විස්සකට පසු අඳුරු වී යනු ඇත. ලෝකයේ ප්‍රධානතම බල ශක්තිය හා සියලුම ආකාරයේ නිෂ්පාදනයන් සඳහා ඛනිජ තෙල් හා ඉන් ලැබෙන අතුරු ඵලයන් යොදාගන්නා ආකාරය විමසා බැලූ විට ඛනිජ තෙල් නොමැති වුවහොත් ලෝකය පත්වන අන්ත අසරණ බව කොතෙකුදැයි සිතා ගත නොහැකි තරමටම දරුණු වනු ඇත. 

 
ඇතැම් විට ජනප්‍රවාදයේ පවතින රාවණ රජු සම්බන්ධ අතිශය ස්වර්ණමය යුගය මෙන්ම මිසර ශිෂ්ඨාචාරය අතුරුදන් වූවා සේ වත්මන් තාක්ෂණික යුගය ද නැවත පරිහානිය කරා යනු ඇත.   


1920 දී ඇන්ග්ලෝ පර්සියානු තෙල් සමාගමට ඛනිජ තෙල් නිධි ගවේෂණය භාර දුන් අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කළේ සෞදි අරාබියේ තව තෙල් බිංදුවක් හෝ නැති බවයි. එමනේම ඇමෙරිකානු භූ විද්‍යාඥයින් 1919 දී කියා සිටියේ 1928 වන විට එරට සියලු තෙල් නිධි සිඳී යන වගකි. ඒ සියලු‍ම අනාවැකි අසත්‍ය වෙමින් තවමත් එම ස්ථාන වලින් තෙල් ලබා ගැනීමට හැකියාව පවතී.   


ලෝකයේ තෙල් නිධි ව්‍යාප්ත වී ඇති ආකාරය 

 
තෙල් නිධි පිහිටි රට තෙල් නිධි ප්‍රමාණය (සියයට) මැද පෙරදිග සියයට 65.4 යි (සෞදි අරාබිය පමණක් සියයට 25යි.) මධ්‍යම හා දකුණු ඇමෙරිකාව සියයට 9.4 යි යුරෝපය සියයට 9.3 යි අප්‍රිකාව සියයට 7.4 යි උතුරු ඇමෙරිකාව සියයට 4.8 යි ආසියා පැසිෆික් කලාපය සියයට 3.7 යි.   


ජාත්‍යන්තර බලශක්ති විශේෂඥයන් පවසන්නේ ලෝකයේ ඛනිජ තෙල්වල ස්වර්ණමය යුගය දැන් අවසන් වෙමින් තිබෙන බවයි. බ්‍රිතාන්‍යයේ බලශක්ති ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද පෙට්‍රෝලියම් රිවීව් නම් ප්‍රකාශනයේ ක්‍රිස් ස්ක්‍රෙබොව්ස්කි පෙන්වා දෙන්නේ ලෝක තෙල් නිෂ්පාදනය මේ වන විට අඩු වෙමින් පවතින බවයි. ඔපෙක් සංවිධානයේ රටවල දෛනික බොර තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 33 ක් පමණ වන බවත් එය වැඩි වන බවක් පෙනෙන්නට නැතැයි ද ඔහු ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ ලොව ඛනිජ තෙල් නිපදවන රටවල් 18ක පමණ තෙල් නිෂ්පාදනය පහළ බැස ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. 

 
දැනට ලෝකය වාර්ෂිකව ඛනිජ තෙල් බැරල් බිලියන තිහක් පමණ භාවිත කරයි. එමෙන්ම ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසන්නේ අනාගතයේ දී තෙල් බැරල් ට්‍රිලියන 2.6 ක් පමණ අනාගතයේ සොයා ගැනීමට අපේක්ෂා කරන බවයි.   


ඔපෙක් සංවිධානය තම තෙල් සම්බන්ධයෙන් අධි තක්සේරුවක සිටිමින් තෙල් බැරල් බිලියන 900 ක් පමණ ඔවුන් සතුව පවතින බව කියා සිටිය ද සැබැවින්ම ඔවුන් සතු වන්නේ බැරල් බිලියන 500 ත් 600 ත් අතර ප්‍රමාණයක් බව ද පෙට්‍රෝලියම් රිවීව් සඟරාව චෝදනා කරයි. මෙම ව්‍යාජ සංඛ්‍යාලේඛන මත සිටිමින් ලෝක ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීම හේතුවෙන් ලෝකය තව තවත් අර්බුදකාරී තත්ත්වයකට පත් වන බව ද ඔවුන් පවසයි.   


තත්ත්වය මෙසේ වුවද ලොව ඇති අති නවීන තාක්ෂණය භාවිතා කළ ද කොතරම් ඛනිජ තෙල් සම්පතක් මහ පොළොවේ පවතීදැයි කිසිවෙකුත් නිවැරදිව ගණනය කර නැත. ඛනිජ තෙල් සම්පත සීමා සහිත බව පැහැදිලි කරුණකි. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේ දක්වා අනාවරණය කරගෙන ඇත්තේ තෙල් ඇති ස්ථාන වලින් සියයට 30 ක ප්‍රමාණයක් බවයි. එහෙත් තෙල් පවතින වෙනත් ස්ථාන සොයා ගැනීම ද අතිශය දුෂ්කර කාර්යයකි. ශ්‍රී ලංකාව අවට මුහුදු පත්ලේ ද තෙල් ඇතැයි යන විශ්වාසයේ පිහිටා පර්යේෂණ දියත් වෙමින් පවතී.   


ඇමෙරිකානු පර්​ෙ‌ය්ෂකයෝ තෙල් සොයා යාමේ කාර්යයේ දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටිති. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් තෙල් පිළිබඳ පර්​ෙ‌ය්ෂණ සිදු කරන ළිං මිලියනයක් පමණ පිහිටා ඇත. පර්සියානු ගල්ෆ් කලාපයේ එවැනි ළිං 2000 ක් පමණ ඇති අතර සෞදි අරාබියේ 300 ක් පමණ තිබේ.   


ලබාගන්නා ඛනිජ තෙල් වලින් අප නිෂ්පාදනය කරන්නේ ද බැරල් සියයකින් තෙල් බැරල් තිස් පහක් වැනි ඉතාමත්ම අඩු ප්‍රමාණයකි. තවත් ආකාරයකින් පැවසුවහොත් සියයට 65 ක් අපතේ යයි. 

 
(මතු සම්බන්ධයි)

 

 

විකිපීඩියා විශ්ව කෝෂයෙනි