බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමය තුළ අපට ලැබුණු කලාවන් අතර ඡායාරූප ශිල්පය යනු පෘථුල වූත්, ජන ජීවිතය හා සමීප සබැඳියාවක් සහිත වූත්, කලාවක්, කර්මාන්තයක් මෙන් ම සන්නිවේදන මාධ්‍යයකි.
ලාංකේය ඡායාරූප ශිල්පයේ මහගෙදර ලෙස සලකනු ලබන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය පසුගිය ජූනි 05 වැනි දා සිය දියමන්ති ජුබිලිය අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. වසර 75ක් පුරා මෙරට ඡායාරූප ශිල්පයේ නියමුවා ලෙසින් කටයුතු කරන මෙම ස්වෙච්ඡා ආයතනය, සුවහසක් දැයේ දූ දරුවන් මෙකී කලා මාධ්‍ය පිළිබඳ න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ගුරුහුරුකම් ප්‍රගුණ කරවන ජාතික මධ්‍යස්ථානය යි.
වර්ෂ 1950 දී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය නමින් ආරම්භ කළ මෙය අද වන විට ජාතික මෙන් ම ජාත්‍යන්තරය සමග අත්වැල් ගනිමින් අති දැවැන්ත කාර්ය ප්‍රමාණයකට දායක වන ව්‍යවස්ථාපිත ආයතනයකි. කැමරාව නම් තාක්ෂණික ආම්පන්නය අතට ගත් පමණින් ඡායාරූප ශිල්පියෙකු නොවන බවත් තාක්ෂණික ක්‍රියාකරුවෙකුගෙන් ඔබ්බට ගොස් යහපත් සමාජයක් උදෙසා කැමරාව නම් වන ආම්පන්නය කලාවක් හා තොරතුරු මාධ්‍යයක් ලෙසත් භාවිත කරන්නේ කෙසේ ද යන්න සමාජගත කළ තෝතැන්න ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය යි.
ජාත්‍යන්තර ජායාරූප කලා සම්මේලනය FIAP, ඇමෙරිකානු ඡායාරූප සංගමය , ගෝලීය ඡායාරූප සංසදය යනාදී වශයෙන් වන ඡායාරූප ශිල්පයේ ජාත්‍යන්තර ව්‍යුහයන් සමග අත්වැල් බැඳගනිමින් තාක්ෂණිකවත් ව්‍යවහාර බද්ධවත් ඡායාරූප ශිල්පයේ නවමු දිශානතීන් සොයා යන ලංකාවේ ප්‍රමුඛතම ආයතනය ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය බැව් සිහිපත් කරනු ලබන්නේ අතිමහත් ගෞරවයෙනි.
ඡායාරුප ශිල්පය නම් වන කලා සහ වාර්තා මාධ්‍යයේ පැවති ආගන්තුක භාවය තාක්ෂණිකවත් ව්‍යවහාරිකවත් දේශීයත්වය සමග අති සමීප සබැඳියාවක් බවට පත් කරනු පිණිස සංගමය වසර 75ක් පුරා කළ කැපකිරීම් පසුගියදා පැවති සිය 75වන සැමරුම් උළෙලේ දී සියැසින් අත්විඳීමට අපි භාග්‍යවත් වූයෙමු.
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සිය යටගියාව තුළ පුරා ජාතික හා ඡාත්‍යන්තර වශයෙන් සිදුකළ මෙහෙය ප්‍රමාණ කළ නොහැකි තරම් ය. ඡායාරූප ශිල්පය විෂයක් ලෙස ස්ථාපිත කරලනු පිණිස සංගමය මගින් දැයේ දූ දරුවන්ට මෙම විෂය ඉගැන්වීමෙහි ලාත් පංති කාමර අධ්‍යාපනය, විෂය බාහිර ක්‍රියාකාරම්, ප්‍රායෝගික වැඩමුළු, අධ්‍යයන චාරිකා මගින් දැනුම බෙදා හදා ගැනීම මෙහි ප්‍රමුඛතම විෂයානුබද්ධ මැදිහත්වීමයි. ඉන් පරිබාහිරව රජයේ පුණ්‍ය ආයතනයක් ලෙසත්, අවස්ථානුකූල ජාතික වගකීම් වෙනුවෙන් පෙනීසිටින ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙසත් මෙමගින් ඉටුවූ හා ඉටුවන කාර්යභාරය අසීමිත ය. යහපත් සමාජයක් සඳහා වන චර්යාවන් හැඩගැස්වීමෙහි ලා ඡායාරූප ශිල්පීන්ට ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වාදීම, සංගමයේ එදා මෙදා තුර ගමන් මඟෙහි සුවිශේෂතම සංධිස්ථානයක් වේ. නව ව්‍යවහාර විධික්‍රමයක් ලෙස සමාජගත වන ඡායාරූප ශිල්පය තුළ ඡායාරූප ශිල්පියෙකු සතු විය යුතු සදාචාර සීමා මොනවාද යන්න මෙහි මාර්ගෝපදේශ තුළ අන්තර්ගත වේ.
75 වන දියමන්ති ජුබිලියට සමගාමීව පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය වනාහි රටවල් 39ක ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණවලින් හැඩ ගැන් වූ උත්කර්ෂවත් අවස්ථාවයි. ජූලි 05 සහ 06 යන දෙදින පුරා පැවැත්වුණු විවිධාංග අතර ඡායාරූප ශිල්පයේ නව මානයන් ඡායාරූප වැඩමුළු කලාවක් සම්මානලාභී විද්වත් ඡායාරූප කලාවේදීන්ගේ සම්පත් දායකත්වයෙන් මෙහෙයවුණි.
ඒ අනුව ප්‍රධාන තේමා 05ක් මුල් කොට ගත් මෙකී වැඩමුළුවෙහි “ප්‍රචාරණ ඡායාරූපකරණයේ නිර්මාණාත්මක මුහුණුවර” යන දේශනය සරත් පෙරේරා සහ රසික සූරසේන යන ඡායාරූප කලාවේදී දෙපළගේ සම්පත් දායකත්වයෙන් ද “ජංගම දුරකතන ඡායාරූපකරණය” පිළිබඳ දෙසුම බන්දු ගුණරත්න සහ උපනන්ද සෙනෙවිරත්න යන ඡායාරූප කලාවේදීන්ගේ මෙහෙයවීමෙන් ද සිදු කෙරිණි. එසේ ම “ඡායාරූප රසවින්දනය” බන්දු ගුණරත්න සහ හෙන්රි රාජකරුණා යන ඡායාරූප කලාවේදී දෙපළ විසින් කතිකාවට බඳුන් කළ අතර, මංගල ඡායාරූපකරණයේ ආචාරධර්ම හා ව්‍යවහාරය” ප්‍රස්තුතීකරණය ඡායාරූප කලාවේදී නාත සමරසිංහ විසින් ද, “වනජීවී ඡායාරූපකරණය” පිළිබඳ වැඩමුළුව ඡායාරූප කලාවේදී රජීව් අබේසේකර විසින් ද පවත්වනු ලැබීය.
දීප්තිකා අබේසිංහ