ලප කැළැල් ඉවත් කරන අලුත්ම ක්‍රම


ලප කැළැල් නිසා ඔබත් දැඩි මානසික පීඩනයන් ට ලක්වූ අයෙක් ද? ඇතැම් විට මේ ගැටලුවෙන් මිදීමට ඔබ විවිධ ප්‍රතිකර්ම සිදුකරමින් සිටිනවා වන්නට පුළුවන්. මෙතුවක් කාලෙකට ලප කැළැල් ඉවත් කිරිම සිදුවුයේ විවිධ ආලේපන හරහායි. නමුත් තවමත්  කුරුලෑ ළප කැළැල්, ශල්‍යකර්ම ලප කැළැල් , උපන් ලප නිසා ඔබ සිටින්නේ මානසික පීඩනයෙන් නම් ලප නිට්ටාවටම ඉවත් කිරිමේ සාර්ථක රූපලාවණ්‍ය වෛද්‍ය ක්‍රම අපේ රටේ තිබෙනවා.

සිරුරේ ඇතිවන කැළැල් මොනව ද?

සමට යම් හානියක් තුවාලයක් සිදු වූ අවස්ථාවක එය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ දී ඇතිවන ෆයිබ්‍රස් ටිෂූ නැතිනම් තන්තුමය පටක නිසා ඇතිවන වෙනස් කම් කැළැලක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපේ ශරීරයේ පිටතින්ම තිබෙන කොටස තමයි සම. සමේ කැළැල් ඇතිවීම සමේ විතරක් නෙමෙයි ශරීරයේ අභ්‍යන්තර අවයව වගේම ශරීරයේ අභ්‍යන්තර පටකවලත් සිදුවෙනවා. කැළැල් ඇති වෙන්නේ කොලජන් කියන ප්‍රෝටීනය මගින්. මෙය අපගේ ශරිරයේ තිබෙන ප්‍රෝටීන් වලට සමානයි. නමුත් මෙහි තිබෙන තන්තුමය ව්‍යුහ අපේ ශරීරයේ තිබෙන සාමාන්‍ය ප්‍රෝටීන වලට වඩා වෙනස්.

ඒ වගේම මේ දිනවල වෙළෙඳපොළේ බහුලව තිබෙන සම සුදු කරගැනීම වෙනුවෙන් ගල්වන සමහර බ්ලීචින් සහිත රූපලාවණ්‍ය නිෂ්පාදන නිසාත් කුරුලෑ සහ විවිධ ලප කැළැල් ඇතිවීමේ සම්භාවීතාව වැඩි වී තිබෙනවා.

ලප කැළැල් ඇතිවිය හැකි ක්‍රම
විවිධ උපන් ලප වර්ග
සමේ ලෙඩ රෝග නිසා ඇතිවිය හැකි 
ලප කැළැල් (කුරුලෑ, දිලීර)
බාහිර සාධක නිසා ඇතිවිය හැකි ලප කැළැල් 
(හදිසි අනතුරු,ශල්‍යකර්ම, පිලිස්සුම් තුවාල)
ශල්‍යකර්මයක් සිදු කෙරුණු අවස්ථාවක දී කැළැල් ඇති විය හැකි තුවාල කැළැල්
බොඩි පියසින් වැනි අවස්ථාවල දී 
ඇතිවිය හැකි කැළැල්
සතුන් සපා කෑ විටදී ඇතිවිය හැකි කැළැල්

අතීතයේ උපන් ලප ඉවත් කිරිමේ ක්‍රමවේද වෛද්‍ය විද්‍යාවේ නොතිබුණත් අද වන විට උපන් ලප ඉවත් කිරිමේ ලේසර් ප්‍රතිකර්ම ක්‍රම වෛද්‍ය විද්‍යාවේ පවතිනවා.

සමේ ඇතිවිය හැකි කැළැල් වර්ග

1. හයිපට්‍රොෆික් කැළැල් (Hypertrophic)

අපේ සමේ ඇතිවන තුවාලයක් සනීප වී ගෙන එන විට කොළජන් කියන ප්‍රෝටීන් වර්ගය වැඩිපුර නිපදවීමෙන් සමේ මට්ටමට වැඩිය තරමක් උඩට එන කැළැල් වර්ග හයිපට්‍රොෆික් කැළැල් ලෙස හඳුන්වන්න පුළුවන්.          

2. කී ලොයිඩ් කැළැල් (Keloids)

හයිපට්‍රොෆික් කැළැල්වලට වඩා සමේ මට්ටමට වැඩියෙන් ගොඩාක් උඩට ඇවිත් තද පැහැ ගැන්වෙන කැළැල් අපි කී ලොයිඩ් කැළැල් ලෙස හඳුන්වනවා.

3. ඒට්‍රොෆික් කැළැල් (Atrophic Scar)

අපේ සමට යටින් තිබෙන මාංශ පේශිය හෝ තෙල් කොටසට හානියක් සිදු වූවාට පසුව මෙවැනිවල ගැසුණු කැළැල් ඇතිවිය හැකියි. උදාහරණ පැපොල්, ශල්‍යකර්ම වලින් පසු ඇති වන කැළැල්(ස්ට්‍රෙච් මාක්ස්), සමේ ඇදීම් නිසා ඇතිවන කැළැල්.  

අද වෙන කොට කාන්තා පිරිමි භේදයකින් තොරව තිබෙන ගැටලුවක් තමයි කුරුලෑ ගැටලුව. කුරුලෑවක් ඇවිත් සුව අතට හැරෙන විට සමට සිදුවන හානිය සමග මෙම කැළැල් ඇතිවිය හැකියි. කොලජන් ප්‍රෝටීනය වැඩිපුර ඇතිවීම හෝ අඩුවෙන් ඇතිවීම යන ක්‍රම දෙකටම කුරුලෑ කැළැල් ඇතිවිය හැකියි. කුරුලෑ වලට සහ කුරුලෑ කැළැල් නිට්ටාවටම සුව කිරීම සඳහා අද වෙන කොට වෛද්‍ය විද්‍යාව තුළ බොහෝ ප්‍රතිකාර ක්‍රම පවතිනවා.   

කෙමිකල් පීලින් වර්ගයේ ප්‍රතිකාර, ලේසර් ප්‍රතිකාර මයික්‍රෝනීඩ්ලින් ක්‍රමය, ඒ වගේම සම මතින් ආලේප කරන රෙටිනොල් සහ විටමින් සී යන ද්‍රව්‍ය මගිනුත් කුරුලෑ කැළැල් ඉවත් කර ගැනීමේ හැකියාව පවතිනවා.  ඒ වගේම තමයි පී.ආර්.පී. ක්‍රමය, ප්ලේට්ලට් රිච් ප්ලාස්මා (Platelet Rich Plasma) වැනි ක්‍රම මගිනුත් කුරුලෑ කැළැල් ඉවත් කර ගැනීමේ හැකියාව පවතිනවා.

ලප කැළැල් ඇතිවීම වළක්වන මාර්ග

විශේෂයෙන් බ්ලීචින් ආසාදන තත්ත්වයන්වලදී ඇතිවන කුරුලෑ  වළක්වාගැනීමට කුරුලෑ ඇති වූ සැණින් ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්ය. මීට අමතරව හෝමෝන මට්ටම වෙනස් වීම, ශල්‍යකර්ම වලින් ඉතුරු වන කැළැල් පිලිස්සීම් කැළැල් ඉවත් කිරීමට මීට පෙර හැකියාවක් තිබුණේ නැහැ. එවැනි අවස්ථාවල දී තුවාල සුව වූ සැණින් කැළැල් මැකීමේ කුමන හෝ ප්‍රතිකර්මයකට යොමුවීම යෝග්‍ය වනවා. ඊට හේතුව වන්නේ කැපුම් ස්ථානවල කොලජන් මට්ටම වැඩිවෙන විට එම ස්ථාන සාමාන්‍ය අතට ගැනීමේ හැකියාව අඩුවීමයි.

ලප කැළැල් මකා ගන්න ලේසර් ප්‍රතිකාරය

ලප කැළැල් මකාගැනීම සඳහා ඉහත සඳහන් කළ ක්‍රම වලට අමතරව - ලේසර් තෙරපි වගේම, දැන් නවීන වෛද්‍ය විද්‍යාවේ තිබෙන ස්ටීරොයිඩ් වර්ගයේ එන්නත් ද ඊට උපයෝගී කර ගන්නවා. ලේසර් කිරණ මගින් ලප කැළැල්වලට ප්‍රතිකාර කිරීම අපට තරමක් ආගන්තුක බවක් දැනුණ ද, මෙය වසර 40කට පමණ පෙර සිට සිදුකරන ප්‍රතිකාරයක්. නමුත් බොහෝ දෙනා මෙම ප්‍රතිකාරයට බිය වන්නේ එය පිළිකා කාරකයක් වේය යන අනිසි බිය නිසයි. එහෙත් කිසිදු පිළිකා අවදානමක් ලේසර් ප්‍රතිකර්මය හරහා ඇති වන්නේ නැහැ.

ලේසර් ප්‍රතිකර්මයක් යනු ආලෝකයේ තෝරාගත් කිරණ කදම්බයක් ඇසුරෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්. ලේසර් කිරණ විශේෂිත ශක්තිජනක කිරණ වර්ගයක් ලෙසයි හැඳින්වෙන්නේ. එහි අධික ශක්තියක් ගැබ්ව තිබෙනවා. මෙලෙස අදාළ රෝගය සඳහා සුදුසු කිරණ විවිධ පරාසයන් ගෙන් යුතුව භාවිතා කරන අතර, එය නිසි ලෙස භාවිත නොකරන්නේ නම් අතුරු ආබාධ ඇතිවන බව සිහි තබා ගත යුතුයි. ලේසර් තවත් රෝග ගණනාවකට ප්‍රතිකාර කිරීමට උපයෝගී කර ගන්නවා. 

ලේසර් ප්‍රතිකර්ම ප්‍රධාන වශයෙන්ම භාවිත කරන්නේ සමේ නව සෛල ඇති කිරීමට සහ සමේ හානියට ලක්වුණ සෛල ඉවත් කිරිමට. සමේ ඇතිවන රැලිවැටීම්, වයස්ගත වීමත් සමග ඇතිව වෙනස්කම්වලට, හිරුඑළිය මගින් හානිවන සම යථා තත්ත්වයට පත්කිරීමට, කුරුලෑ කැළැල් මැකීමට, පිලිස්සුම් කැළැල් ඉවත් කිරීමට, අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ලේසර් ප්‍රතිකර්මය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා සේම - රූපලාවණය වෛද්‍ය විද්‍යාව තුළ ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිකාර තිබෙනවා.

විශේෂයෙන් කිව යුතු කාරණය තමයි ලංකාවේ රූපලාවණ්‍යාගාර මට්ටමින් මේ නවීන තාක්ෂණික රූපලාවණ්‍ය වෛද්‍ය ප්‍රතිකර්ම සිදු කිරීම් කරනවා යන්න. අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකර්මයක් සිදුකිරීමට නම්,  ඒ සඳහා පළපුරුදු රූපලාවණ්‍ය වෛද්‍යවරයකු වෙතින් පමණක්ම ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් ලේසර් වැනි ප්‍රතිකර්ම සෑම වෙලාවකම සිදු කල යුත්තේ වෛද්‍ය උපදේශ මත පමණයි. ලේසර් ප්‍රතිකර්ම හරියාකාරව භාවිතා නොකළහොත්, පිලිස්සීම් - ආසාදන වැනි තත්ත්ව ඇති විය හැකියි. එම නිසා මෙම ප්‍රතිකාර ක්‍රමයන් ගෙන් නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් හොඳින් එම වෛද්‍ය තාක්ෂණය ප්‍රගුණ කළ වෛද්‍යවරයෙකු ගෙන් එම ප්‍රතිකාරය ලබාගත යුතුම බව මතක තබා ගත යුතුයි.

නදීශා අතුකෝරළ