ලංකාවට විනකළ විදේශීය ඔත්තුකරුවෝ


භාරත අගමැතිනිය ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි සහ ඇගේ හිතෛශී චර පුරුෂයෝ

 

රාජ්‍ය තාන්ත්‍රික උපාය ඥානය සම්බන්ධයෙන් කෙල පැමිණි මකියාවෙලි, භූගෝලීය යුද සැලසුම් ප්‍රතිබද්ධ සටන් කලාව සම්බන්ධයෙන් කේවට්ටයකු වූ චීනයේ සන් සූ ද, අද වෙනවිට ලෝකයේ උතුරු-දකුණු බලගතු රටවල් දෙකක පූර්ව පුරෝහිත විශේෂඥයන් වී ඇති බව අමුතුවෙන් නොකිවමනාය. 


ඒ අතරතුර 2018.06.25 දින නිකුත් වූ ඇමෙරිකාවේ Newyork Times පුවත්පතේ ලංකාව සම්බන්ධයෙන් පළ වූ ගවේශනාත්මක ලිපිය ලෝකයේ උතුරු-දකුණු හැම පාර්ශ්වයකම ඇස ඇරවීය. ‘By way of Deception’ ග්‍රන්ථය ලියූ වික්ටර් ඔස්ත්‍රොවොස්කිගේ ග්‍රන්ථයේ ලංකාව හඳුන්වා තිබෙන්නේ “අමු (බුලත්) කොළ හා (පුවක්) ගෙඩි විකන, තැන තැන කිසිදු චාරයක් නැතිව කෙළ ගසන, අවලමේ හැසිරෙන, කුසීත කම්මැලි ගෝත්‍රයක් සිටින මේ (ශ්‍රී ලංකාව නමැති) රටක් “ලෙසටය”. ඒ අලස, කබල් නමුත් උත්සවශ්‍රීයට, රණ්ඩු දබරවලට කෑදර ශ්‍රී ලාංකිකයෝ වෙසෙන මේ දිවයිනට පැමිණි චීනා ද, ඇමෙරිකානුවාද, සිය කලාපීය බලය මුවහත් කර ගැනීමට මේ දිවයින ඉතා මනරම් තෝතැන්නක් බව වටහා ගැනීම පුදුමයක් නොවේ. 


ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදී යුද්ධය නිමාවෙනු දැකීමද එක සිතින් නොපැතූ අය අතර, තක්කඩි ඇමෙරිකාව ඉදිරි පිලේම පසුවිය. ප්‍රවීණ දෙමළ බුද්ධිමතුන් හා බටහිර ලැදි විදේශ දූතයින් අතර පැවතියේ ගහට පොත්ත මෙන් සමීප සුහද ඇසුරකි. 


අගනුවර කැනේඩියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඝාතනය වූ සෑම් තම්බිමුත්තු, එකල සිටි දෙමළ සිදුවීම් පිළිබඳ විශ්වකෝෂයකි. වරක් ඇමෙරිකා තානාපති කාර්යාලයේ (චාන්සරි ගොඩනැගිල්ලේ) පැවති විද්වත් සභාවකදී ඇමෙරිකානු දූතයෝ (Envoy) ඔහුගෙන් මෙසේ ඇසූහ. 


“ලංකාවට අදාළ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමට තරම් LTTE සංවිධානය සමත් වුණේ කෙසේද?” ප්‍රශ්නයට පිළිතුරු සැපයීම තම්බිමුත්තුට (විෂයානුබද්ධ) ගැටලුවක් නොවුණත් ප්‍රශ්න හා පිළිතුරු සමායෝජනය අනුව සලකා බලන විට දෙපිරිසම එකම නාට්‍යයේ නළුවන් බව කාටත් පැහැදිලි විය. 
ඇමෙරිකාව ලංකාවේ සිට විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමට යාමේදී හැමවිටම සලකා බැලුවේ ලංකාවේ අදහස් නොව LTTE සංවිධානයේ අදහස්ය. LTTE සංවිධානය : ත්‍රස්තවාදී උපක්‍රමවලින් නොපෙලෙන, දේශපාලන විසඳුමකට මඟ සොයන, සාමයට ලැදි පිරිසක් බව හඟවමින් එවකට ඇමෙරිකාවේ නියෝජ්‍ය ලේකම් වූ රිචඩ් ආම්ටේජ් විසින්, විදේශ ත්‍රස්තවාදී සංවිධානවල ලැයිස්තුවෙන් නිදහස් වීමට කටයුතු කර තිබිණි. ‘ශ්‍රී ලංකාවේ සාම සැලසුම් පිළිබඳව ඇමෙරිකාවේ ආණ්ඩුව හා සහභාගීත්වය’ පිළිබඳව, සැන් ෆ්‍රැන්සිස්කො නුවරදී ‘ආසියා පදනම’ (Asia Foundation) වාර්තාවක් ඉදිරිපත් කළේ කලක් ශ්‍රී ලංකාවට ඇමෙරිකා තානාපතිවරයෙකු වූ Jeffery Lunstead ය. ඔහු මෙසේ පෙන්වා දුන්නේය. 


“යුදමය ත්‍රස්තවාදී ක්‍රියාවලට ශ්‍රී ලංකාවට පිටතින් මූල්‍යාධාර එනවාදැයි සොයා බැලීම සඳහා, ඇමෙරිකා භාණ්ඩාගාරයේ විනිමය විශේෂඥයන් පිරිසක් දිවයිනට පැමිණ කරුණු සොයා බැලූහ. එහිදී අනාවරණය වූයේ LTTE සංවිධානය යනු දේශීය කරුණු සම්බන්ධයෙන් සක්‍රීය කණ්ඩායමක් සහ ඔවුන් සමඟ අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධයක් නැති බවය.” (LTTE සංවිධානය ඇමෙරිකාවට තර්ජනයක් නොවන අයුරින් සිය කටයුතු හසුරුවා ගැනීමට ප්‍රවේසම් වී තිබුණි.) 

 

කර්නල් මෙනන් ලෙස විරුදාවලි ලත් ශංකරන් නායර් ඉන්දීය මධ්‍යම ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ පුරෝගාමී රහස් පරීක්ෂකවරයා වේ (වම)

 


ඇමෙරිකාව අභිමුව පැවති “ත්‍රස්තවාදය පිළිබඳ ජගත් යුද තත්ත්වයට LTTE සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය හුදෙක් ශ්‍රී ලංකාවේ ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අභ්‍යන්තර සංවිධානයක් පමණක් බවත්, අවධාරණය විය. (මෙම දූතයින්ගේ නිරීක්ෂණවල ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයිනටද ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය ශ්‍රී ලාංකීය ලේබලය සහිත ද්‍රවිඩයින්ට ද අසීමිත වරප්‍රසාද රැසක් හිමිවිය. “ශ්‍රී ලංකාවේ බොහෝ කාලයක් තිස්සේ දුක් විඳින දෙමළ ජනතාවගේද, දිනෙන් දින පිරිහෙන මානව හිමිකම් සම්බන්ධයෙන්ද, ඇමෙරිකාව ඇතුළු යුරෝපීය සංගමය සැබෑ වුවමනාවකින් පසුවිය.” විදේශ කටයුතු පිළිබඳ කොමිටියේ ඇමෙරිකා නියෝජිත රිචඩ් බවුචර් (රිචඩ් බවුචර් දෙමළ ජනතාව ගැන අව්‍යාජ අනුකම්පාවකින් කටයුතු කළ පුද්ගලයෙකු වූ අතර, වරක් ශ්‍රී ලංකාවට (2007) තමන්ම පැමිණ කටයුතු සිදුවන ආකාරය ගැන පෞද්ගලිකවම සොයා බැලූ කෙනෙකි.) 


කුප්‍රකට ‘මිග්’ ගුවන් යානා ජාවාරම, අවි-ආයුධ මිලදී ගැනීම වැනි ව්‍යාපාරිකමය අවශ්‍යතාවන්ද තිබූ නිසා, දේශීය-විදේශීය ඇතැමුන්ට යුද්ධය නිමා වීම දැකීම ශෝකබරිත හැඟීම් දැනවූ ආසාත්මික තත්ත්වයකි. යුද්ධය නිමා කිරීම කල්දමා ගැනීමට ඇමෙරිකාව ගත් තුරුම්පුව නම් “මිනිස් ඝාතන අවම කර ගැනීමේ” වුවමනාවයි. 
“අපට ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වෙනු දැකීමට වුවමනාවක් තිබුණද, යුද්ධය නතර කිරීමට යාම නිසා මිනිස් ඝාතන සිදුවෙනවා නම් එය අනුමත කළ නොහැකිය.” - බ්ලේක් 


මෙම යුදමය දේශපාලන ප්‍රයත්නය “කොටි සටන පරාජය කිරීමක් පමණි; LTTE යේ සමූලඝාතනය වීමක් නොවේ.” ආරම්භයේ පටන්ම කොටි සංවිධානය, පෙනී නොසිටින අදෘෂ්‍යමාන බලවේගයක් ලෙස දුටු ඇමෙරිකාව, එය ලාංකීය සම්භවයකින් සමන්විත බවද, අනෙකුත් ප්‍රතිබද්ධ දේශපාලන ව්‍යාපාරයන් සමඟ එකම පෙරමුණක ගමන් කළ යුතු බවද, ස්වාධීන දෙමළ රාජ්‍යයක් හැර අනෙකුත් අවශ්‍යතාවන් ඉටු කරන ධාරාවක් විය යුතුය. - බ්ලෙක් 


LTTE සංවිධානය, මුල පටන්ම දෙමළ මතය, දෙමළ දේශපාලනය වෙනුවෙන් මෙහෙයවිය යුතු ගාමක බලය විය යුතු යැයි, බටහිර ඔත්තුකරුවන් තීරණය කළේ, එම සාධකය හරහා ලංකාවට බලපෑම් කිරීමට විදේශිකයිනට අවස්ථාව ඉතිරිකර ගත යුතු බැවිනි. එම නිසා යුද්ධයට විසඳුම “දේශපාලන විසඳුමක්ම” විය යුතු බව ඔවුහු අවධාරණය කළහ. නමුත් ශ්‍රී ලංකා ජනාධිපති JR ජයවර්ධන ද, යුද්ධයට යුද්ධයෙන්ම පිළිතුරු දිය යුතු බවත්, යුද්ධය එම භාෂාවෙන්ම කෙළවර කළ යුතුව ඇතැයි යන දැඩි තීරණයක පසුවිය. එම තීරණය නිසා වරක් තම “අහස්යාත්‍රා හමුදාවට” අමතර සේවා උපකරණ ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිය විට එය ඉටු නොකිරීමට ලංකාවට වින කළ මේ සංවිධාන හා දූතයින් කටයුතු කළහ. “ඒවා ඔබට වුවමනා නම් අපට දිය හැක්කේ ඉන්දියාවෙන් අසා ඉන්දියාව කියන ආකාරයකට පමණි.” - ඇමෙරිකාව 


මේ වෙන විට TRO (Tamil Rehabilitation Organization) සංවිධානය “පුනරුත්ථාපන” සමිතියක් ලෙස වෙස්වලාගෙන “පුණ්‍යායතනයක්” කටයුතු කරන විලාශයෙන් (2009) කටයුතු කළහ. ඇමෙරිකාවේ මේරිලන්ඩ් හි ‘දෙමළ පදනමක්’ ක්‍රියාත්මක වුණ අතර එම අරමුදල් LTTE සංවිධානයට බැරවිණි. මෙම මුදල්වලින් AK47, ගුවනට විදින මිසයිල යනාදී යුද උපකරණ මිලදී ගැනීමට නිව්යෝර්ක් නුවර රාජ්‍ය කටයුතු පිළිබඳ නිලධාරීන්ට අල්ලස් දීමට යාමේදී ඇතැම් කොටි නායකයින් අත්අඩංගුවට පත්විය. 


සංග්‍රාමය නිමා කිරීමට නොව එය තව තවත් උත්සන්න කිරීමට පියවර ගත් තවත් යම දූතයෙකි, මයික් ඔවෙන්ස්. ඔහු කලක් අගනුවර ඇමෙරිකා තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ කටයුතු කළ අතර, ඉන්දියාව, නේපාලය, මාලදිවයින හා භූතානය වැනි රටවලද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කළේය. එදා ක්‍රමයෙන් ප්‍රසාරණය වුණු LTTE බලය ඉන්දියාව සමඟ සම්බන්ධ කරන්නට රාජ්‍ය තාන්ත්‍රික සෙනෙහස හා දාරක ප්‍රේමය ලැබුණේ ඔහුගෙනි. 


ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් LTTE සංවිධානය මුළුමනින්ම විනාශ කරන්නට දින 12කට පෙරදී, එනම් 2006 මැයි 06 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී හදිසි රහස් හමුවක් පැවැත්විණි. “කොටි සංවිධානය සම්බන්ධයෙන් අපි දැන් කළ යුත්තේ කුමක්ද?” දැවෙන ප්‍රශ්නය එය විය. එහි ප්‍රධානත්වය ගත්තේද මයික් ඔවෙන්ස්ය. 


1. LTTE සංවිධානය මතු වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දුක් වේදනා මත නිසා, දැන් කළ යුතුව ඇත්තේ නිල වශයෙන් සාකච්ඡා මේසයේදී LTTE සංවිධානයට සම තත්ත්වයක් ලබාදීමය. 


2. වෙනම රටක් ලෙස කටයුතු කිරීමේ විසඳුම 1976 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් සම්මත කරගෙන තිබූ නිසාත්, එය ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්ත පාලන මණ්ඩලයටද හඳුන්වා දී තිබූ නිසා අනෙකුත් කලහකාරී සන්නද්ධ සංවිධානවල බලය හා පිළිගැනීමටද හානි නොකරමින් හා පිළිගැනීමත් පවත්වා ගනිමින් ‘සම අවස්ථාව’ සලසා ගැනීම. 


3. අබලන් වූ LTTE නායකත්වය (හදිසි මෙහෙයුමක් කර) වහාම ලංකා භූමියෙන් ඉවතට ගැනීම. (මේ ගැන මාස කිහිපයකට පෙර, ඇමෙරිකාවේ දෙමළ සංවිධානවල නියෝජිතයන් සමඟ, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාකච්ඡා වට කිහිපයක්ම ගෙනගොස් තිබිණි. 


4. ව්‍යවස්ථාවේ ඒකීය (Unitary) සාධකය එසේම තිබියදී, දෙමළ ජනතාවට තමන්ගේ පළාත්වල නිසි පොලිස් බලතල, ඉඩම් බලතල සහිතව ජීවත්වීමට ප්‍රස්තාවන් සලසා ගැනීම. 


2009 මැයි 06 වැනිදා පැවති මාධ්‍ය හමුවේදී ඔහු කෙළින්ම මෙසේ කීය. : “LTTE යේ සියලුදෙනාම (ප්‍රධාන පෙළේ නායකයින් සමඟ) හා යටත් කර ගැනීම හා මුදවා ගැනීමේ ක්‍රියාදාමයට දායක වෙන්නට ඇමෙරිකා රජය වශයෙන් අප කැමතියි.” 


ඔහුගේ කතාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් විය. “අපි සාමකාමීව උත්සාහ කරනවා. මට මේවා ගැන වැඩිය කියන්නට විදිහක් නෑ. වෙන්නට යන්නේ කුමක්ද කියා කලින් කියන්නටත් අමාරුයි. පළමුව අපි සීමිත සටන් විරාමයක් ඉල්ලාගෙන, තුන්වැනි පාර්ශ්වයකට භාරදෙන්නට ඕනෑ. ඒ සමඟම තවත් පිරිසක් දිගටම දේශපාලන ක්‍රියාන්විතයට අනුයුක්ත කළ යුතුය.” 


සිවිල් ජනතාව තමන්ගේ සමාගමයෙන් ඉවත් වීමට කැමති නොවන බව LTTE ය කියා තිබුණත්, ජනතාව නිදහස් වී යාමට කැමැත්තෙන් සිටිනවා. “කනිෂ්ඨ නිලධාරීන්ට ශ්‍රී ලංකා රජය පොදු සමාවක් දී තිබුණත්, ප්‍රධාන පෙළේ නායකයින්ට ද පොදු සමාවක් අප රජයෙන් කෙසේ හෝ ලබාගත යුතුයි. අපි ප්‍රධාන නායකයා සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධව පිළිතුරු සෙවීම ලේසි නෑ. පහසු වුවත්, ක්‍රියාත්මක කරගැනීම ඉතා සංකීර්ණ, අසීරු දෙයක්. අපේ කාලයත් බොහෝ ඉක්මනින් ගෙවී යනවා. කෙසේ හෝ අපි දවසකින් දෙකකින් මේ ගැටලුවට විසඳුමක් සොයාගත යුතුය.” මේ වෙනවිට ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා වූ රොබට් බ්ලේක් තම රටට රහසිගත කේබල් පණිවුඩයක් යැවීය (විකිලීක්ස්) 
“ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ නිලධාරීන්ද, ආරක්ෂක ඇමතිවරයාගේ ලේකම්වරයාද, විදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයාද, දවස මුළුල්ලේම මහන්සි වී හමුවීය. 


ඒ අතරතුර මන්නාරම බිෂොප්තුමා, එහි ජනතාව ආරක්ෂිත ප්‍රදේශවලට පැමිණ ඇති බව දන්වා තිබිණි. දැනටමත් සංග්‍රාමය ඔඩුදුවා ඇති බැවින්, අපි ඉල්ලූ පරිදි ‘යටත්වීම’ (Surrender) පිළිබඳ තත්ත්වයට රජය විරුද්ධ විය. එනමුත් යටත් වීමට කැමැත්තෙන් පැමිණෙන්නන්ට අභයදානය දෙන බවද, දන්වා සිටියේය.” 


“අපි නොදන්නා දේවල් ගැන අපි දන්නේ නෑ” 
ඇමෙරිකා ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් (2009) 
පරාජය මග හැරීම 


චරපුරුෂ සටන් සංග්‍රාමයේ ජය හා පරාජය පිළිබඳව ජගත් සටන් කලා චක්‍රවර්තී සන් සූ ට අනුව න්‍යායාත්මක විග්‍රහය 


ඓතිහාසික යුද විශ්ලේෂක සන් සූ සිය ‘Art of War’ කෘතියෙන් කියා පෑ බොහෝ කරුණු මානසික හේතුඵලවාදය මත විහිදුනු කාරණාය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ චිත්ත චෛතසික දාර්ශනික විග්‍රහයද එයමය. ඊටද වඩා තියුණුය. නමුත් එම හැදෑරීම් ජන සමාජයට අප්‍රසිද්ධ නිසා, වෙනත් විවිධ පුද්ගලයන්ගේ තීන්දු නිගමන හරහා ප්‍රචාරය වන්නට පටන් ගත්තේය. 

බුදුරජාණන් වහන්සේ මාර පරාජය “ඉන්ද්‍රීය යථාභූත ඥානය” හරහා සිය විශ්ලේෂණය ඉදිරිපත් කළ අතර, සන් සූ වැනි සටන්කාමීන් හුදු මනෝ විද්‍යාත්මක මුෂ්ටි හරහා යුද සංග්‍රාමයන් විවරණය කළහ. 


අළු යට ගිනි 


භාරත අගමැතිනිය ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි සහ ඇගේ හිතෛශී චර පුරුෂයෝ 


කර්නල් මෙනන් ලෙස විරුදාවලි ලත් ශංකරන් නායර් ඉන්දීය මධ්‍යම ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ පුරෝගාමී රහස් පරික්ෂකවරයා වේ. (වම) 


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබාගත්තේ වර්ෂ 1948 දී නම්, එසේ නිදහස ලබාගත් ශ්‍රී ලංකා දිවයින, කලාපයේ හා ලෝකයේ කුමන අය සමඟ වසඟයට පත් වී කුමක් කරාවිදැයි යන සැකය වඩාත් ඉක්මනින් පහළ වූයේ භාරත දේශයටය. ඒ නිසා ඒ පිළිබඳව ඔත්තු බැලීමට නිදහස ලබා වසර 5ක් ගතවීමට මත්තෙන්, එනම් 1953 දීම, එම චර පුරුෂ රාජකාරිය සඳහා වරම IB නමින් හඳුන්වන (Internal Intelligence Bureau) 
අභ්‍යන්තර බුද්ධි අංශයට පැවරුණි. පොලිස් සේවයේ සිට පැමිණි Oonie Krishnan මෙම කොන්ත්‍රාත්තුවේ ප්‍රධානියාය.


ලංකාවේ දෙමළ ත්‍රස්තවාදීන්ගේ මුල් පෙළේ නායකයින්, දකුණු ඉන්දියාවේ සිටි අතර, ක්‍රිෂ්ණන් ඔවුන් සමඟ හාදකමකින් පසුවිය. එසේ වුවද, ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳව ඔහු එකතු කළ බුද්ධිමය තොරතුරු දකුණු ඉන්දියාවට නොදී මධ්‍යම ඉන්දියාවේ බුද්ධි අංශය වෙත පමණක් දෙන්නට ඔහු වගබලා ගත්තේය. 
කලකට පෙර නැගෙනහිර බංගලී දේශයේ සිදු වූ දේශපාලන ක්‍රියාන්විතයක් ගැන අධි තක්සේරුවකින් හා අභිමානයකින් සිතූ ලංකාවේ ඒ. අමිර්තලිංගම් “ශ්‍රී ලංකාවට කෙළින්ම සම්බන්ධ වෙන්නැයි” ඉන්දියාවට කීවේ 1971 තරම් ඈත කාලයකදීය. 


තමන්ගේ (ඉන්දියාවේ) කලාපීය ප්‍රවේශම හා අනාගත බල ව්‍යාප්තිය ගැන ස්වේච්ඡාවෙන්ම නිර්ලෝභීව කටයුතු කරන අය, ශ්‍රී ලංකාවේ සිටින බව ඉන්දියාවට වහා තේරුම් ගිය නිසා, 1970 දශකයේ පටන්ම ද්‍ර.එ.පෙ සමඟ ඉන්දියාව අප්‍රකාශිත ගිවිසගත ගමනක යෙදුණි. 


State Bank of India ආයතනයටද ලංකාවේ විශේෂයෙන් දෙමළ ජනතාව වෙසෙන (වතුකරය ඇතුළු) තදාසන්න ප්‍රදේශවල ශාඛා තිබිණි. එම ආයතනය තුළ සැරිසැරූ නිලධාරීන් හරහා තොරතුරු ඒකරාශී විය. 
අශෝකා රයිනා (Ashoka Raina) ගේ තොරතුරුවලට අනුව MEA නොහොත් (Ministry of External Affairs - ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය), ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ උණුසුම් පුවත් රැස් කරන ප්‍රධාන මෙවලමක් විය. 


ඉන්දීය ඔත්තු සේවය පිළිබඳව විශිෂ්ට පර්යේෂණාත්මක සේවාවක් කළ අශෝකා රයිනා 


මේ වෙනවිට ඉතාලියේ හා එංගලන්තයේ විදේශ කටයුතු පිළිබඳ දූතයෙකු වූ Apa Pant හා පකිස්ථානයේ හා චීනයේ තානාපතිකම් කර තිබූ ජී. පාර්තසාරථි, මනා සිහියකින් කටයුතු කළ රජිව් ගාන්ධිව දැනුම්වත් කරමින් පසුවිය. පාර්තසාරථි ඉන්දියාවේ කටයුතු පිළිබඳ අසල්වාසී පකිස්ථානය සමඟ නිදහසේ සාකච්ඡා කිරීම රජිව් ගාන්ධිට හිසරදයක් වී තිබිණි. 


මේ සම්බන්ධතා මත පෝෂණය වූ අන්තවාදී මතධාරීන්ගේ යටිකූට්ටු වැඩ මැද්දේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 40ක අවි තොගයක් මදුරාසි වරායේදී ඉන්දියානු රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අවි සියල්ලම ශ්‍රී ලංකා හමුදාව විනාශ කිරීම සඳහා එකතු කරන ලද්දක් විය. මෙම තනි නමුත් දැවැන්ත සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ ගරිල්ලන් හා ඉන්දීය ත්‍රස්තවාදීන් අතර අදෘෂ්‍යමාන මෙහෙයුම් රාශියක් (ලංකාවේ උතුරු - නැගෙනහිර දේශපාලඥයින්ගේ සහයෙන්) කෙරීගෙන යන බව රජිව් ගාන්ධිට ඉතා පැහැදිලි විය. 
ඉන්දියාවේ සහ මියන්මාරයේ රාජ්‍යතාත්ත්‍රිකයකු ද ලෙස කටයුතු කළ ගෝපාලස්වාමි  පර්ථසාරති (1940.05.13) ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ අවසාන අදියරේ දී  බෙහෙවින් ප්‍රසිද්ධ වූ නමකි. 


දෙමළ ජනතාවට ක්‍රමයෙන් මතුවට අනපේක්ෂිත ලාංකීය තත්ත්වයන් ගැන ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය වෙත ඉන්දියාව (ආජෙන්ටිනාව හරහා) කරුණු ප්‍රකාශ කළ අතර, යාපනය තුළ අනවශ්‍ය ලෙස හමුදා බලය වැඩි කරගෙන යාම ගැන ඉන්දියාව කෙළින්ම ලංකාවට බැණ වැදුනාය. එපමණක් නොව එම කාරණය සමතුලනය කර ගැනීමට උතුරේ ගරිල්ලන්ට ඉන්දියාවෙන් අවි ආයුධ එවන්නටද නොනිල අවසරයක් හදා ගත්තේය. 


තමන්ගේ (රාජ්‍යයක්) ගැන සිහින මැවූ ලෝක ව්‍යාප්ත ද්‍රවිඩ ජනතාව විශාල වශයෙන් එකතු කරමින් සිටි දැවැන්ත අරමුදල් කෙළින්ම එවුවේ ඉන්දියාවටය. අන්තර්ජාතික බැංකු මංකොල්ල, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, ස්වර්ණාභරණ ජාවාරම් වැනි කටයුතු හරහා පොදි ගැසූ මුදල් හරහා ‘පාතාල කණ්ඩායම්’ 35ක් පමණ එකල ක්‍රියාත්මක විය. මදුරාසි වෙරළ තීරයට මුහුණලා සිටි බේසන්ට් නගර් හි සුඛෝපභෝගී නවාතැන් හා මහල් නිවාසවල පදිංචි වී සිටි මේ (වායු සමීකරණයෙන් යුත් රථවාහනවල ගමන් ගත්) කුප්‍රකට සුපිරි කොල්ලකරුවන් සමඟ ලංකාවේ ත්‍රස්තවාදීන්ද එකතු විය. 


රෙන්ගා කුමාරමංගලම්, ඉන්දියාවේ සලීම් ප්‍රාන්තය වෙනුවෙන් ඉන්දීය කොන්ග්‍රස් (1) පිල නියෝජනය කළ මන්ත්‍රීවරයා සමඟ ලංකාවේ උමා මහේෂ්වරන් සමඟ සබඳතා ගොඩනගා ගත්තේය. 


අසල්වාසීන් ලංකාවේ බලවත් ත්‍රස්තවාදී ගරිල්ලා නායකයින් සමඟ තමන්ගේ ඇයි-හොඳැයිකම් පවතින බව ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් දකුණු ඉන්දීය දේශපාලන චරිතවලට නව පණක් ලැබිණි. 
රොබට් කාල්ඩ්වෙල් සටන්කාමී ද්‍රවිඩ ව්‍යාපාරයේ පුරෝගාමියා යැයි කිවහොත් නිවැරදිය. ඔහු උතුරේ තින්නවේලියේ රදගුරු පදවිය හොබවා තිබිණි. දෙමළ රාජධානියේ මිලිටරි කුලය වූයේ ‘මාරාවර්’ වරුය. අධිරාජ්‍යවාදීන් ලක්දිව අත්පත් කරගන්නා තුරු මාරාවර් කුලය සටන්කාමීන් ලෙස තම පළාත් පාලනය කරගත්හ. එබැවින්, විදේශීය ආක්‍රමණ ගැනත් ඔවුන්ගේ පාලනය ගැනත් ඔවුන් තුළ දැඩි ජුගුප්සාජනක ප්‍රතිරෝධයක් තිබිණි. 

බ්‍රිතාන්‍ය පාලකයින් යටතේ ලංකාවේ ජනතාවට ගෙවන්නට සිදු වූ අපකීර්තිමත්, නිවට, වහල් ජීවිතය ඔවුන්ගේ උග්‍ර කේන්තියට පාත්‍ර විය. එපමණකින් නොනැවතී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් දෙමළ ජනතාව ක්‍රමයෙන් සන්නද්ධ හැඟීම්වලින් තොරව නිවට නියාලු බියගුළු පිරිසක් කරන්නට උත්සහ කළ බවද ඔවුන්ගේ මතයයි. 


මන්නාරම, යාපනය කොටසේ විසූ මේ ප්‍රවේණිගත ප්‍රාණ බලය සහිත අතීත දෙමළ සනුහරය යළි සක්‍රීය කිරීමට පශ්චාද් ඊළාම් යුද සමයේදී කරළියට පැමිණි බිෂොප්වරු උත්සාහ ගත්හ. ඒ දේශීය බිෂොප්වරුනට වතිකානුවේ රොටොනෝ වැනි අය ඉතා විරල උත්තේජයක් විය. 


මාරාවර් නමැති කුලයේ සටන්කාමී කුලයේ සාමාජිකයින් දෙමළ සමාජයේ විශේෂයෙන් පීඩිත, දුප්පත් දෙමළ වර්ගයාගේ උන්නතිය, නැගී සිටීම වෙනුවෙන් අනභිභවනීය සේවයක් හා කැපවීමක් කළ බව කාල්වේල් රදගුරු උදම් අනයි. බ්‍රිතාන්‍ය ජාතිකයින් පැමිණ මේ සමාජය බෙලහීන කර කතෝලික හේවායින්ට හිලව් කරන ලදී. එමගින් සිදු වූයේ දෙමළ සංස්කෘතික අරටුව සමඟ නැගී සිටි හා ගමන් කළ පැලැන්තිය අභාවයට යාමයි. එම ජාතික සාධකය අවබෝධ කරගත් කාල්වේල් යළිත් මාරාවර් රණශූර කුලය නැගී සිටුවන්නටත් එමගින් යළිත් දෙමළ ජනතාවගේ නූපන් ශ්‍රී විභූතියට පණ පොවන්නටත් නායකත්වය ගත්තේය.

 

 

රවි ප්‍රසාද් හේරත්