රුපියල් පනහෙන් ‘ඇට්හෝම්’ කෑ හියුගෝ මාස්ටර්


 

ඒ කාලේ රුක්මණී දේවී එක චිත්‍රපටයකට රුපියල් තිස්ද‌ාහක් අය කළා. ඒ කියන්නේ අලුත්ම ඔස්ටින් කාර් හයක් ගන්න පුළුවන් සල්ලි. ඔස්ටින් කාර් එකක් ඒ දවස්වල රුපියල් පන්ද‌ාහයි. ලංකාවට බියුක් 8 කාර් දෙකයි ආවෙ. එකක් එඩී-රුක්මණීට. අනෙක් එක අපි දැක්කෙත් නෑ.’ ඒ හියුගෝ ප්‍රනාන්දු නොහොත් හියුගෝ මාස්ටර් 1978 නොවැම්බරයේ කී කතාවකි.   


රුක්මණී-එඩී යුවළම ඒ කාලයේ රුපියල් හැටද‌ාහක් එක චිත්‍රපටයකට අය කළ බව එඩී ජයමාන්න දිනක් මට කීවේය.   
 හියුගෝ මාස්ටර් සිනමා තිරයේ වසර ගණනාවක් පුරා අප හිනැස්සුව ද ඔහුගේ තරම් (වෙනත් නළුවෙකුගේ) හද සසල කළ අතීත කතාවක් මා නොඇසූ තරම්ය.   
මීගමුවේ පෙරියමුල්ලේ ශාන්ත අන්තෝනි මාවතේ ඔහු පදිංචිව සිටියේය. පුංචි බොරැල්ලේ මගේ නවාතැනෙන් කොටුවට පැමිණ බස්රථයකින් මීගමුවේ පෙරියමුල්ලට පැමිණීම තරමක් වෙහෙසකරය. මා හියුගෝ මාස්ටර්ගේ ගෙදරට එන විට උදේ දහය පමණ වෙයි.   
මා එන්නේ ඔහුගේ ජීවන තොරතුරු කොටස් වශයෙන් ලියන්නට බව ඔහු දනී. මේ 80 දශකයේ මුල්ම කාලයයි. තේ කෝප්පයකින් සප්පායම් වීමෙන් පසුව මම ඔහු සමග කතාවට වැටීමි. එවකට ඔහුගේ වයස අවුරුදු 69 කි. එහෙත් ඔහු ජවසම්පන්නය.   
‘කොයිම රස්සාවක වුණත් විශ්‍රාම කාලයක් තියෙන්න ඕනෑ. එ්ක කලාකාරයෙකුට විතරක් වෙනසක් විය යුතුයි කියල මං හිතන්නේ නෑ. මං වුණත් මේ කාලය විශ්‍රාම සුවයෙන් ගත කළ යුතුයි.’ ඔහු කතාව පටන් ගත්තේ එසේය.   
ඔහු කතා කරන විට ඔහුගේ බිරිඳ ඒ අසල වෙයි. දරුමල්ලන් නම් ඒ වෙලාවේ පේන්න සිටියේ නැත.   
‘මේ භූමි භාගයේ උළු හෙවිල්ලපු, හුණු පිරියම් කරපු විදුලිය පහසුකම් සහිත ගෙදරක අද මමත් මගේ බිරිඳත් දරු මල්ලන් සමග පදිංචිව ඉන්නවා.’   
එහෙත් එය සුඛෝපභෝගී නි​ෙවසක් නොවීය. සාමාන්‍ය ගෙදරකි. සාකච්ඡාව පැවැත්වෙන්නේ මැද සාලයේය. පැරණි ගෘහ භාණ්ඩ කීපයක් දක්නට ඇත. හරි නම් ඔහුගේ ජනප්‍රියත්වයේ තරමට මේ නි​ෙවස සුඛෝපභෝගී මදිය.   


හියුගෝ මාස්ටර් යාන්තමට කමිසයක් ඇඟට දමාගෙන ඇත්තේ මා එන නිසා බව පැහැදිලිය. සරම ඇඳ ඇත්තේ ද අපිළිවෙළටය. ඔහු එතරම්ම සරල මිනිසෙකි.   
 ‘අවුරුදු ගණනාවකට ඉස්සර මෙතැනම වරිච්චි බිත්ති වලින් හදපු, පොල් අතු හෙවිල්ලපු පොඩි පැලක හරියකට කෑමක් බීමක් නැතිව ඉනට වස්ත්‍රයක් හරියකට නැතිව නංගිත් මමත්, අම්මාත් තාත්තත් හිටි හැටි මතක් වෙනවා.   
‘වරිච්චි බිත්තියට හේත්තු වී තොල් පුපුරු ගහන තුරු මවුත් ඕගන් පිඹපු හියුගෝ ප්‍රනාන්දු කියන කොලු ගැටයා මතක් වෙනවා.’   
‘සංගීතයෙන් කුසගින්න නැතිබැරිකම මකා ගන්න උත්සාහ කළ මම සංගීතයෙන්ම ජීවිතය ජයගත් හැටි මතක් කරනවා.’   
‘මාසෙ අන්තිමට ලොකු මුදලක් ලැබෙන රස්සාවක් අපේ තාත්තාට තිබුණේ නෑ. සමහරද‌ාට ඔහු ගෙදරින් පිට වුණේ ලැබෙන ඕනෑම කුලියක් කර මුදලක් හොයා ගන්නටයි.   
සමහරද‌ාට උදේ වැඩට ගිය තාත්තා හැන්දෑවට ගෙදර ආවේ සතයක්වත් නැතිව. උදේ කෑම ගැන බලාපොරොත්තුවක් නැති අපි සමහර දවස්වල කැඳ ටිකකින් දවල් වේල පිරිමහ ගත්තා.   
 තාත්තාට දවස් කීපයක් කුලියක් කර ගන්න බැරි වුණොත් රෑ කෑමත් ඇල්වතුර වීදුරුවකින් පිරිමහ ගෙන කුස ගින්නෙම පැදුරු කබලට වෙලා බඩ යට කරගෙන ඉක්මනින් නින්ද එන්න කියමින් දෙවියන් යැද්ද‌ා.’   
දළුපොත සිංහල ඉස්කෝලෙ ඉගෙන ගනිද්දි මම ව්‍යාකරණයට, භූමි ශාස්ත්‍රයට, ක්‍රිස්තු ධර්මයට විශේෂ දස්කම් දැක්වූවා. මම හැමද‌ාම පන්තියේ පළමුවැනියා වුණා.’   
මේ කාලයේදි මීගමුවේ බාලිකා පාසලක විශාල ගොඩනැගිල්ලක් ඉදිවෙමින් තිබුණා. අන්න එතකොට නම් තාත්තාට හැමද‌ාම වැඩ තිබුණා. අපටත් කන්න බොන්න ලැබුණා. තාත්තා අත්වැඩකාරයෙක් විදියටයි වැඩ කළේ.   
 ‘ඒත් අවාසනාවක මහත වැඩපොළේ සිදුවූ අනතුරකින් තාත්තාගේ අතකුත් කකුලකුත් කැඩී තිබුණා. තාත්තා ඔත්පළ වුණා.   
 ‘ඔත්පල වෙච්ච තාත්තාට බේත් කරන්නයි පවුල ජීවත් කරවන්නයි අම්මා කොහුමෝලක වැඩට ගියා. පඩිය දවසට සත විස්සයි. වැඩ තිබුණෙත් සුමානෙකට දින දෙක තුනයි.   
‘මගෙ ඉස්කෝලෙ අධ්‍යාපනයත් කැඩිලා ගියා.’   


හියුගෝ මාස්ටර්ගේ ජීවිත කතාවේ කොටස් තුනකට වඩා එක දවසකට ලිවිය නොහැකිය. පටිගත කිරීමේ කුඩා යන්ත්‍ර එකල නොවූ නිසා සියල්ල අතින්ම සටහන් කර ගත යුතුය. සාකච්ඡාව අවසන් වන විට දවල් කෑම වේලාව ළං වෙයි. මම යළි කොළඹ එන්නට සූද‌ානම් වෙමි.   
හියුගෝ මාස්ටර්ගේ බිරිඳ මටත් සමගම දවල්ට කෑම සූද‌ානම් කර ඇත. ඔවුන්ගේ ආගන්තුක සත්කාරය ද එසේය.   
‘කෑම ටිකක් කාලම යමු.’ බිරිඳ කියයි. මීගමු ආරට පිසූ කෑම රසය.   
හියුගෝ සමග චිත්‍රපට ගණනාවකම එකට රඟපෑ ඇන්තනී සී. පෙරේරා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට පටන් ගත්තේද ඔය කාලයේමය. එහි කැමරා අධ්‍යක්ෂවරයා වූයේ ලලිත් ගුණවර්ධනය. දර්ශන ගැනීම් බොහෝමයක් යොදාගෙන තිබුණේ ඇන්තනීගේ ගෙදරමය. එය ජාඇල පිහිටියකි.   
ඇන්තනීට අධ්‍යක්ෂණයෙන් සහාය දෙන්නට පැමිණ සිටියේ තවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ෂර්ලි පී. විජේරත්නය. ඇන්තනීට එවන් සහායක් දෙන්නට හේතුව ෂර්ලිට චිත්‍රපට ක්ෂේත්‍රයට උදව් කළ අය අතර ඇන්තනී මුල් තැන සිටින බැවිනි.   
 විජය කුමාරතුංග මෙහි ප්‍රධාන චරිතය රඟ පෑ අතර ඔහු ඇන්තනීගේ වැඩක් නිසා මුදල් ඉල්ලුවේ නැති බව කීවේ ලලිත්ය.   
 ඇන්තනීට මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව උද‌ාවූවේ රෝහලේදී හඳුනා ගත් නිෂ්පාදකවරයෙකු නිසාය. දෙදෙනාම  සිටියේ අසනීප වී රෝහලේ එක ළඟ ඇඳන් දෙකකය. නිෂ්පාදකවරයා හර්බට් ඇන්තනීය.   
මා ගිය දිනයේ දර්ශන සඳහා පෙනී සිටියේ හියුගෝ ප්‍රනාන්දු, සෝනියා දිසා හා ඇන්තනීය.   
චිත්‍රපට අධ්‍යක්ෂණය ඉගෙන ගැනීමේ පිපාසය නිසා මම ද ලලිත්ගේ ඇඟේ එල්ලී දර්ශන තලවලට යමි.   
 ඇන්තනී සී. පෙරේරා තිරයේ විහිළු කළ ද ඔහු තරමක ආඩම්බර කාරයෙකි. ඔහු එන එන අය සමග හතර අතටම සිනා නොවෙයි. කතාබහ වුව ද ගානට මිම්මටය. බොහෝ විට කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. ඇන්තනී චිත්‍රපටවල ද එසේමය. ඔහු හිනා නොවෙයි. එහෙත් ඇන්තනී දුටු විට අපට හිනායයි. දෙබස් කියන්නෙද හිනාවෙමින් නොවේ. ‘සීරියස්’ තාලයටය. හාස්‍යය ගෙනෙන්නේ ඒ රැඟුම් ලතාවටය.   


 කෙසේ හෝ මදවේලාවක් යත්ම බී.ඇස්. පෙරේරා හා දොන් සිරිසේන ද දර්ශන තලයට පැමිණියහ. දැන් නම් නියම කොමඩියකි.   
 චිත්‍රපටයේ නම ‘තක්කිට තරිකිටය’ එවෙලේ රූප ගත කරමින් සිටියේ හියුගෝ ඇන්තනී හා සෝනියා ගේ දර්ශනයකි.   
මට මතක විධියට ඇන්තනී සැරසී සිටියේ ටයිකෝට් වලිනි. රූගත කළ නිවසේ ආරුක්කුවක් වැනි කොටසක් එළියේ දැකිය හැකිය. ඇන්තනී හියුගෝ සමඟ යමක් කතා කර මොරිස් මයිනර් මෝටර් රථයකින් ආරුක්කුව යටින් ඉදිරියට එයි. කැමරාව මෝටර් රථය සමග අවුත් සෝනියා සිටින තැන මදක් නතර වෙයි.   
සියල්ල සූදානම්ය. රූගත කිරීමට විධානය ලැබෙයි.   
ඇන්තනීත්, හියුගෝත් දෙබසක් කියති. පෙරහුරුව ලෙසටම කැමරාව රථය පසුකරමින් ඇදී ඒමත් සමඟම සෝනියා මහ හඬින් සිනා​ෙවන්නට පටන් ගත්තාය. ඇන්තනීගේත්, හියුගෝත් රඟපෑම එවෙලේ ඒතරම්ම හාස්‍යජනකය. බලා සිටි සියල්ලෝද සිනාසෙන්නට පටන් ගත්හ.   
සිනාව අතරින්ම ‘සොරි’ යයි කිවූ සෝනියා තවත් ටික වේලාවක් සිනාසුණාය.   
‘ආයෙත් ගනිමු’   
රූගත කිරීම් නැවතුණ විටෙක ඇන්තනී හියුගෝ ඇමුතුවේ ඉංග්‍රීසියෙනි.   
‘හියුගෝ අද මෙහෙ නවතිනව නේද? මගෙ කාමරේ මා එක්ක උන්නහැකි.’   


එම නිවසේ මහා ලොකු ඉඩක් නැත. ඒත් යාලුකම ඊට වැඩිය. හියුගෝ සර්පිනාව වයන විට ගී ගයමින් නටන්නේ ඇන්තනීය. විනෝද ගමනකදී හියුගෝට එක්වන්නේ ද ඇන්තනීය. තිරයේ යාලුකම මෙන්ම සැබෑ ජීවිතයේද එසේමය.   
 හියුගෝලා, ඇන්තනීලා අතිශය ජනප්‍රිය නළුවන් වුව ද මහා සල්ලි කන්දරාවක් හම්බ කළ බවක් පෙනෙන්නට නැත.   
 මේ අතරතුර මම දෙතුන් වතාවක්ම හියුගෝ හමුවීමට මීගමුවේ පෙරියමුල්ලට ගියෙමි. ඒ හැම විටම ඔහු මට ඉතා ලෙන්ගතුකමින් සැලකුවේය.   
 ජීවන අරගලය වෙනුවෙන් අධ්‍යාපනය ද කඩාගෙන අසීමිත දුක් කන්දරාවක් විඳි හියුගෝ රැකියාව වශයෙන් ලී පෙට්ටි හදන ආයතනයක පෙට්ටි හදන්නකු ලෙස වැඩ කළේය. ඒ අතරම ජපන් මැණ්ඩලිනයද සර්පිනාව ද පුරුදු වෙමින් උන්නේය.   
 ‘මේ කාලයේ මීගමුවේ නගර සභාවේ වැඩ කළ ඇලෝයි (බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න) රස්සාවෙන් අස්වූයේ සම්පූර්ණ කාලයම නාට්‍ය කලාව වෙනුවෙන් යෙදෙන්න.   
‘මම පෙට්ටි කොම්පැණියේ වැඩ කරමින් හිටියේ මගේ ඥ‌ාතියකු වන මලකියස් මාස්ටර් යටතේයි. දවසක් පෙරියමුල්ලේ මලකියස් මාස්ටර්ගේ ගෙදර ළමා නාට්‍යයක් පෙන්නුවා. ඒකෙ සර්පිනාව වාදනය කළේ මමයි.’   


එතැනට ඇලෝයි (බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න) ආවේය. හියුගෝ සර්පිනාව වයනු දුටු බී.ඒ.ඩබ්ලිව්. ඔහුගේ නාට්‍යවලට සම්බන්ධ වීමට කතා කළේ එහිදීය.   
‘මට ඕනැ වුණේ ගීත නිබන්ධකයෙකු, සංගීතඥයකු වෙන්න මිස නළුවකු වෙන්න නෙමෙයි.’   
‘කඩවුණු පොරොන්දුව ඉන්දියාවේ කරන කොට ජේ. සිංහ තිරනාටකය ලිව්වේ මගෙත් අදහස් අරගෙනයි.   
 ‘කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ හෙට්ටියාගේ චරිතය රඟපාන්න හිටියේ එඩී යාපා. ඔක්කොම ලෑස්ති කරල තිබුණත් ඒ දවස්වල කෝච්චි ස්ට්‍රයික් එකක් තිබුණා. ඉතින් එඩීට ඉන්දියාවට එන්න බැරි වුණා. මට කඩවුණු පොරොන්දුවේ හෙට්ටියට රඟපාන්න සිද්ධ වුණා. (ඒ කාලයේ ඉන්දියාවට ගියේ දුම්රියෙනි)   
‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ රූපගතකිරීම් සඳහා ඔවුන් නාට්‍යයේ තිබූ තිර ආදිය ද රැගෙන ඉන්දියාවට ගිය බව සුප්‍රකට කතාවකි.  
 ‘ඉන්දියාවේ ගිහිල්ල ආවට පස්සෙ නාට්‍ය වැඩවලිනුත් පෙට්ටි වැඩපොළේ රස්සාවෙනුයි ගාණක් ලැබුණු නිසා සල්ලි ප්‍රශ්න ඒ තරම් දැනුනේ නෑ. හැබැයි මේ කාලයේදී ඔත්පළව සිටි තාත්තා නැති වුණා. ඒක මට මහා විශාල දුකක් වුණා.  


 ‘පස්සේ පස්සේ නාට්‍යවලිනුත් ලොකු මුදලක් ලැබුණේ නෑ. ඔය කාලෙදි තමයි මට කසාදයක් කරගන්න කියල ගෙදරින් බල කලේ. මම ටිකක් ලැජ්ජාකාරයෙක්.’  
‘මට කවද‌ාවත් ප්‍රේම සම්බන්ධයක් තිබුණෙ නෑ. ඒකට හේතුව මට සමාජ තත්ත්වයක් නැති වීමයි. ජීවත්වීමේ සටන නිසා ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධ වුණොත් මට තෑගි බෝග දෙන්න වෙනවා. ඒකට මා ළඟ සල්ලි නෑ.’  
‘මම මනමාලියො හත් දෙනෙක් විතර බලන්න ගියා. ඒ කවුරුවත්ම හිතට ඇල්ලුවේ නෑ. අන්තිමට හරි ගියේ දැන් ඉන්න බිරිඳ එළිසබෙත්.’  
යෝජනාවෙන් පස්සේ මංගල්‍යයට දින නියම වුණා. ඒත් එතකම් අපි කතා කරලා නෑ. ඇට්හෝම් කන්න සල්ලි නැති නිසා කොළඹ එක්සත් පරෝපකාර සමිතියට ලිව්වා. අපි හදිසි අවස්ථාවකට සල්ලි ගන්න ඒ සමිතියෙ සාමාජිකයො හැටියට සල්ලි මාසෙන් මාසෙට බැඳල තියෙනවා. මට රුපියල් 160 ක් ලැබෙන්න ඕනෑ. ලියුම්වලට උත්තර නැති නිසා කොළඹ ගිහින් බැලුවම ඔෆිස් එක එතැන නෑ.’ පෙට්ටි කොම්පැණියෙත් වැඩ කළ නිසා මට යාළුවෙකුගෙන් රුපියල් පනහක් ඉල්ල ගන්න පුළුවන් වුණා.’ හියු​ගෝ වියදම් කළහැටිද අපූරුය. 
‘කේක් ගෙඩියක් ගැනීමට රුපියල් හතරයි සත පනහයි. කේක් කෑලි සීයට රුපියල් හතරයි. මල් පොකුරට රුපියල් දහයයි. ට්විඩ් කෝට් එකටයි රෙද්දටයි රුපියල් විසිදෙකයි. මීගමුවේ ඉඳල එළිසබෙත්ගෙ ගෙදරට එන්න රුපියල් හය ගානේ කාර්වලට දුන්නා.’   


හියුගෝ තම අනාගත බිරිඳ සමග මුලින්ම කතා කළේද කැන්ද‌ාගෙන එන අතරතුරදීය.  
‘කතා කරන්න බලන හැම වෙලාවකම කවුරු හරි බලාගෙන ඉන්නවා. මම ලැජ්ජාකාරයා.’  
‘මේ කාලෙ ගණක්ෂර ගැන මට අවබෝධයක් තිබුණෙ නෑ. ඒත් මුළු ජීවිත කාලෙටම විවාහය පවතින්න ඕනැනේ. ඒක නිසා එළිසබෙත් එක්ක කතා කරන මුල් වච​ෙන සුබ අක්ෂරයකින් පටන් ගන්න ඕනැ. මම හිතාගත්තා අයන්න සිංහල හෝඩියේ මුල් අකුර නිසා එළිසබෙත් එක්ක කතා කරන මුල් වචනෙ අයන්නෙන් පටන් ගත්ත.’ කවුරුවත් අපි දිහා නොබලන වෙලාවක් බලල මම ‘අයියා ආවද? කියල එළිසබෙත්ගෙන් ඇහුවා. එයාට අයියල තුන්දෙනෙක් ඉන්නවා.  
‘කොයි අයිය ද?’ එළිසබෙත් ඇහුවා.  
‘පොඩි අයියා?’ මට නිකම්ම කියවුණා.  
‘ඒ ගොල්ලො පිටිපස්සේ කාර් එකේ?’  
මම ඇය වෙනුවෙන් අරගෙන තිබුණු මිදි පොකුරෙන් මිදි ගෙඩියක් එළිසබෙත්ට අතට දුන්නා. එයා පෙරියමුල්ල අපේ ගෙදරට එනකම්ම ඒ මිදිගෙඩිය සූප්පු කරමින් ආ හැටි මතකයි.’  


‘ඇට්හෝම්’ එකෙන් මට රුපියල් 90 ක් ලැබුණා. ඒ කාලයේ මඟුල් ගෙදරකට සාමාන්‍යයෙන් දෙන්නේ සත පනහයි. සල්ලි තියෙන අය රුපියල් දෙකක් දෙනවා. මට රුපියල් දෙකේ කවර දහයක් විතර ලැබුණා.  
ඇට්හෝම් එකෙන් ලැබුණු සල්ලි වලින් රුපියල් පනහේ ණයත් බේරලා රුපියල් හතළිහක ලාබයක් ලබා ගන්නත් මට පුළුවන් වුණා.’  
 ඔබ හියුගෝ ප්‍රනාන්දුගේ චිත්‍රපට දැක ඇත්නම් ඔහුගේ කතා ලතාව සිහියට නැගෙනු ඇත. හාස්‍ය රසය උපදින්නේ ඔහු ඇද පැද කතා කරන විලාසයටය.  
 සම්මුඛ සාකච්ඡාවලදීද ඔහු කතා කරන්නේ ඒ විලාසයෙනි. මනාලියට දුන් මිදි ගෙඩිය සූප්පු කරමින් ආවා යැයි කී ඔහුගේම වචනය සිනහ උපදවන්නකි.  
හියුගෝ උපන්නේ 1912 ජූලි 14 දාය. මෙලොවින් සමුගත්තේ 1999 අප්‍රේල් 12 දාය. කඩවුණු පොරොන්දුව තිරගත වූයේ 1947 ජනවාරි 21 දාය. සිදුවීම්වල කාලය තීරණය කීරීම ඒ අනුව පහසුය.
ජනප්‍රියත්වය අහස උසට ගොඩ නැගුන ද මේ බොහෝ කලාකරුවෝ ධනකුවේරයෝ නොවූහ.  
හියුගෝ ප්‍රනාන්දු කරදරයකින් තොර ජීවිතයක් අවසාන කාලයේ ගත කළ ද කඩවුණු පොරොන්දුව නම් ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටයේ බොහෝ කලාකරුවන් ජීවිතයේ අවසාන කාලය ගෙවුවේ මුදල් අගහිඟකමෙනි.  
 බොහෝ මුදල් හරි හම්බ කළ ද එඩී-රුක්මණී අවසාන කාලයේ ආර්ථික අගහිඟකම්වලට මුහුණ දුන්හ. බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ බිරිඳ ග්‍රේස් ද සිය සැමියා මියගිය පසු නඩු හබවලට පැටලී රෝගීව ආර්ථික අපහසුකම්වලට මුහුණ දුන්නාය.  
 එහෙත් අපේ සිනමා ඉතිහාසය විචිත්‍රවත් කළ මේ සොඳුරු මිනිසුන් හමුවීම වාසනාවක් යයි මට සිතෙයි.

 

 

 රොඩ්නි විද‌ානපතිරණ