රිතික් ආ මොහොතේ... ඇස ගැටුණු ඡායාරූප පෙළක්...


බොලිවුඩයේ සුපිරි තරුවක්වීම එකතකට අපූරු වාසනාවක් වන්නේ කෝටි සංඛ්‍යාත ජනකායකගේ ආදරය සහ ගරුත්වය ලබාගැනීමට හැකි වීම නිසයි. බොලිවුඩ් තරුවලට ආදරය කරන්නේ  ඉන්දියාවේ මහා ප්‍රේක්ෂකාගාරය විතරක්ම නෙවෙයි. බොලිවුඩ් තරුවලට ආදරය කරන මිනිස්සු සෑම රටකම වගේ සිටිනවා. ඒ තමයි බොලිවුඩයේ සුපිරි බව. ඒ සිනමාවේ සුපිරි තරුවක් පසුගියදා මෙරටට පැමිණියා. ඒ තමයි රිතික් රෝෂන්. 

එයා මේ විදිහට විශේෂයෙන්ම ලංකාවට ආවේ, දකුණු ආසියාවේ ඉදිකෙරුණු සුවිසල් තරු හෝටල ව්‍යාපෘතියක් වන Cinnamon Life at City Of Dreams සංකීර්ණයේ නිල විවෘත කිරීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසයි.  මේ උත්සවයට එන්න හිටියේ බොලිවුඩයේ සුපිරිම තරුව වන ෂාරුක් ඛාන්. නමුත් අවසන් මොහොතේ ඔහුට ඒමට නොහැකි වූයේ භාරතයේ පැවැත් වූ ප්‍රධානතම සිනමා සම්මාන උළෙලකට සහභාගී වීමට තිබූ නිසා යැයි ආරංචි පැතිර ගියා. ඉතින් ඔහු වෙනුවට පැමිණි රිතික් රෝෂන් මේ උත්සවය වෙනුවෙන් පැමිණියේ පුද්ගලික ජෙට් යානයකින්. ඔහුටම වෙන්වූ ආරක්ෂකයින් යොදා තිබුණු අතර, අමතරව මෙරටදී විශේෂිත ආරක්ෂාවක් ලබා දී  තිබුණා. රිතික් ගේ මෙම සහභාගීවීම වෙනුවෙන් විශාල මුදලක් ලබාදෙන්නත් ඇති. තරුවක් මේන්ටේන් කිරීම තරුවක් විසින්ම අනුගමනය කළ යුතු දෙයක්. ඔවුන් ආවාට ගියාට සම්භාෂණවලට හෝ උත්සවවලට සහභාගී වන අය නෙවෙයි. ඉතින් මේ සුපිරි තරුව ගැන කිව්වොත්, ලෝකයේ කඩවසම්ම පිරිමි මුහුණු පහ අතරට වතාවක ඔහුව නම් කර තිබුණා. 

ඒ විතරක් නෙවෙයි, තෙවතාවකදීම Sexiest Asian Man හෙවත් සරාගීම මිනිසා ලෙසත් ඔහුගේ නම සඳහන් වුණා. ඊටත් අමතරව  Sexiest ෆාදර් හෙවත් සරාගීම පියා ලෙසත් ඔහු නම් වුණා. රිතික් ගැන බොහෝ දේ කියන්න තරම් ඔහු දක්ෂයෙක්. වාර්තාවල සඳහන් ආකාරයට සහතික ලත් කිමිදුම්කරුවකු වන අතර, රූබික් කැටය නියමිත වර්ණ අනුව සෑදීමට ඔහුට ගත වන්නේ ඉතා කෙටි කාලයක්. රිතික් යනු අක්ෂි පරිත්‍යාගශීලීයෙක් ලෙසත් සඳහන් වෙනවා. ඔහුගේ දකුණු අතේ එකට යා වුණු මාපටැඟිලි දෙකක් දැකගන්න පුළුවනි. 

යොවුන් වියේ දී ස්කෝලියෝසිස් රෝගී තත්ත්වයෙන් එනම් කොඳු ඇට පෙළෙහි වූ ඇලය නිසා ප්‍රතිකාර ගැනීමටත් සිදු වූ බව සඳහන් වෙනවා. හැබැයි පසු කාලීනව බොලිවුඩයේ නළුවන් අතරින් නර්තන ජවනිකාවලදී දක්ෂතාවයෙන් ඉදිරියෙන්ම සිටින්නෙ ඔහු කියලත් කියැවෙනවා. බිලියනයක ක්‍රීයාකාරී පරිශීලකයින් පිරිසක් ළඟා වූ විට වතාවක ෆේස්බුක් සමාගම  විශේෂිත වීඩියෝවක් පවා නිකුත් කළ අතර එම වීඩියෝවට ඇතුළත් කර ගත් එකම ඉන්ඳියානු චරිතය මේ සුපිරි තරුව වීමද විශේෂත්වයක්. 

ඉතින් රිතික් මෙරටට ආ උත්සවයට විශේෂ ආරාධිතයින් රැසක් ඇරයුම් ලැබ සිටි අතර, මේ එම අවස්ථාවට සහභාගී වූ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රීෂාන් බාලේන්ද්‍ර සහ සිනමන් ලයිෆ් හි සාමාන්‍යාධිකාරි මෙන්ම තවත් ආරාධිතයින්ගේ ඡායාරූප පෙළකි.

සඳුන් ගමගේ