රට ගිහින් ජේ.ආර්.ට බැණ ලියුම් එවූ ලොක්කා


දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මෙරට විධායක ජනාධිපති ධුරය දරන කාලයේ පවා ඔහු පදිංචිව සිටියේ කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි ‘බ්‍රෙමාර්’ මන්දිරයෙහිය. එහෙයින් එතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ද එහිම රැඳී සිටියහ.   


සාමාන්‍යයෙන් ලොක්කාට ලැබෙන සියලුම ලිපි ලේඛන මුලින් ලැබෙන්නේ බ්‍රෙමාර් නිවසටය. ඉන් පසු ඒ අතරින් රාජකාරි ලියුම් කියුම් තෝරා බේරා ගන්නා පෞද්ගලික ලේකම් ඩබ්ලිව්.එම්.පී.බී. මැණික්දිවෙල මහතාගේ කාර්යය වී තිබුණේ ඒවා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමය. එහිදී ඉතිරි වන පෞද්ගලික ලිපිවලට සුදුසු පරිදි පිළිතුරු යැවීම මැණික්දිවෙල මහතාගේ වගකීමක් විය.   


මේ අතර දිනක් උදෑසන ජනාධිපතිතුමාගේ නමට ලැබී ඇති ලිපි ලේඛන එකින් එක තෝරමින් සිටි ඔහු අතට අමුතුම ජාතියේ ලිපියක් ලැබුණේය. එම ලිපිය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිට ලැබී තිබුණේ ගුවන් තැපෑලෙනි. තනිකරම ව්‍යක්ත ඉංග්‍රීසියෙන් ලියා තිබූ එහි ඇතුළත්ව තිබුණේ අමු තිත්ත කුණුහරුප වැළකි.   
‘කවුරු හරි අසහනකාරයෙක් වෙන්න ඇති’ යි සිතූ මැණික්දිවෙල මහතා එය ලොක්කාගේ අවධානය පිණිස යොමු නොකර පසෙකින් තැබුවේය. ඊට හේතුව වූයේ ඉකුත් මහ මැතිවරණයේදී එජාපයට බැඳගෙන වැඩ කළ ඇතැම් පාක්ෂිකයන් ද ඊට සමාන ලිපි ලොක්කා වෙත එවීම එකල සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී තිබීමයි.   
මේ අතර තවත් දින කිහිපයක් ගෙවී යද්දී මුලින් ලැබුණු ලිපියට සමාන ලිපියක් දෙවැනි වරටත් ජනාධිපතිවරයාගේ නමට ලැබී තිබුණේය. ඇමෙරිකාවේ නිව්යෝක් නුවරින් ගුවන් තැපෑලට දමා ඇති එම දෙවැනි ලිපියේ සඳහන් වූයේ ද අමු තිත්ත කුණුහරුපය. එය ද ලියා තිබුණේ ව්‍යක්ත ඉංග්‍රීසියෙනි. කෙසේ වෙතත් එම දෙවැනි ලිපිය ද කියවා බැලූ මැණික්දිවෙල මහතාට දැනුණේ එය එතරම් හොඳ පෙරනිමිත්තක් නොවන බවය.   


ඒ සමගම යාබද කාමරයේ රැඳී සිටි රාජ්‍ය නායකයා වෙත ගිය ඔහු, “සර්, මෙන්න මේ ලියුං දෙක පොඩ්ඩක් කියවලා බලන්න” යි කියමින් එම ලියුම් දෙකම ලොක්කා අත​ට දුන්නේය.   
“කවුද එවලා තියෙන්නේ” යි අසමින් අසුනේ හරිබරි ගැසුණු ලොක්කා තම උපැස් යුවල ද දෑසේ රඳවා ගනිමින් එම ලිපි එකිනෙක කියවා බලන්නට විය. එම ලිපි දෙකම කියවා බැලූ ජේ.ආර්.ගේ මුහුණ අස්වාභාවික ලෙස කළු පැහැ ගැන්වී තිබුණේය. ලොක්කාගේ මුහුණෙහි පෙණුම එලෙස කළු පැහැයට හැරෙන්නේ ඔහු අසීමිත ලෙස කෝපයට පත්වීමෙන් පසුව බව මැණික්දිවෙල මහතා තම අත්දැකීමෙන් දැන සිටියේය.   
“මේ ලියුං දෙකම එවල තියෙන්නේ එක්කෙනෙක්. ඒ වගේම ඒ පුද්ගලයා හොඳට දැන උගත් කෙනෙක් වෙන්න ඕනෑ” යි කී ජනාධිපතිවරයා එම ලිපි බහා තිබූ ලියුම් කවර දෙක ද අතට ගෙන පරීක්ෂා කළේය.   


“දෙකම නිව්යෝක්වලින්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. ඒත් එයා මට මේ විදියේ ලියුං එවන්න හේතුවකුත් ඇතිනේ” යි තමාටම කියාගත් ජේ.ආර්. ඒවා යළි තම පෞද්ගලික ලේකම්වරයා අතට දුන්නේ එම ලිපි පොලිස්පතිවරයා වෙත යවන ලෙස එහි සටහනක් ද යොදමිනි.   
ඊළඟ විනාඩි කිහිපය තුළ එවකට පොලිස්පතිවරයාව සිටි ආනා සෙනෙවිරත්න මහතා බ්‍රෙමාර් මන්දිරය වෙත පැමිණි අතර “මිස්ට සෙනෙවිරත්න මෙන්න මේ ටිකක් හොයලා බලන්න කියලා එච්.ඊ. කීවා” යි කී මැණික්දිවෙල මහතා එම ලිපි දෙකම පොලිස්පතිවරයා අතට පත් කළේය.   
ඊළඟ මොහොතේ එම ලිපි දෙකම කියවා බැලූ ආනා සෙනෙවිරත්න මහතාගේ හිස ගිනි ගත්තේ එහි රටේ රාජ්‍ය නායකයාට කර තිබූ අපහාස සැලකික්කට ගැනීමෙනි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ පොලිස්පතිගේ උපදෙස් පරිදි එදිනම සවස ‘බ්‍රෙමාර්’ මන්දිරය වෙත ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමයි.   


“ඩේවිඩ් මේ ගැන පත්තරවලට ලීක් වෙන්න ඉඩ තියන්න එපා” යි මැණික්දිවෙල මහතා එවකට සිටි ජනාධිපති ප්‍රවෘත්ති ලේකම් ඩේවිඩ් කරුණාරත්න මහතාට රහසින් උපදෙස් දී තිබුණේය. එහෙත් ඊට පසු දා නිකුත් වූ ‘ඇත්ත’ පත්‍රයේ එම සිද්ධියට අදාළ මුළු විස්තරයම මුල් පිටුවේ පළ කර තිබුණේ කළු අකුරින් කොටු කරමිනි. ඒ දැක වඩාත්ම කලබල වී තිබුණේ ජනාධිපති ප්‍රවෘත්ති ලේකම්වරයා සහ ඔහුගේ සහායක නිමල් සමරතුංගය.   
“කොහොම ද ඩේවිඩ් මේ කාරණේ ගැන ඇත්තකාරයා දැනගත්තේ” යි තම ප්‍රවෘත්ති ලේකම්වරයාගෙන් විමසූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඊළඟට කියා සිටියේ ඊට අදාළ ප්‍රවෘත්ති නිවේදනයක් ජනාධිපති කාර්යාලයේ ප්‍රවෘත්ති අංශයෙන් සියලුම පුවත්පත් වෙත නිකුත් කරන ලෙසය.   


“කොහොම ද සිරා මේ කතාව උඹලගෙ අතට ආවේ?” යි ඇත්ත කර්තෘ බී.ඒ. සිරිවර්ධන මහතාගෙන් විමසූ ඩේවිඩ් කරුණාරත්න මහතාට ඇත්ත කතුවරයා පිළිතුරු දී තිබුණේ සාවඥ සිනාවකිනි.   
මෙරට ජනාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමේ සිද්ධියට ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයෛ් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සම්බන්ධයක් ඇතැයි රහස් පොලීසියට විශ්වාසදායක තොරතුරක් ලැබී තිබුණේ මේ අතරතුරය. ඒ අනුව විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් නිව්යෝක් නුවර පිහිටි එ.ජා. සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය වෙත ගොස් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණහ.   


එහිදී එම කාර්යාලයේ ප්‍රධානියකුගේ මේස ලාච්චුවක තිබූ ‘භාණ්ඩ’ කිහිපයක් සොයාගත් විමර්ශන කණ්ඩායම අදාළ ප්‍රධානියාගෙන් ඒ ගැන ප්‍රශ්න කර තිබුණේය.   


“ආ.. ඒක සාමාන්‍ය දෙයක්. අනිත් එක ඒක මගේ පෞද්ගලික කාරණයක්නේ...” යි කී එම ප්‍රධානියා විමර්ශන කණ්ඩායම හමුවේ පිළිතුරු දී ඇත්තේ ද ඕනෑවට එපාවටය. එවකට මෙරට පැවැති සෑම පුවත්පතකම පාහේ පළ වී තිබූ එම ප්‍රවෘත්තිය දුටු බොහෝ දෙනා සිතුවේ එතෙර ගිය රහස් පොලිස් කණ්ඩායම අදාළ පුද්ගලයා කුදලාගෙන ඉතා ඉක්මනින්ම මෙරටට පැමිණෙතැයි යනුවෙනි. එහෙත් එවැන්නක් සිදු නොවීම බොහෝ දෙනකුගේ පුදුමයට හේතුවක් විය.   


අන්තිමේදී සිදු වූයේ එවකට සිටි විදේශ ඇමැතිවරයා වූ ඒ.සී.එස්. හමීඩ් මහතාගේ නියමයෙන් ඔහු ආපසු කැඳවීම පමණි. ඊට එහා කිසිවක් සිදු නොවීය. ඒ අනුව බොහෝ දෙනකු සැක කළේ එවකට මෙරට සිටි මුල් පෙළේ බලවතුන් දෙපළක් අතර ඇති වූ කඹ ඇදිල්ලක ප්‍රතිඵලයක් වශයෙන් හටගෙන ඇතැයි කියන එම සිද්ධිය දෙපාර්ශ්වයේම එකඟත්වය මත යටගැසී තිබෙන බවය. මුලින් සති කිහිපයක් ගතවන තුරු රටේ බලවත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ එම සිද්ධිය පසුව ‘මී...ක්’ හඬක්වත් නොනැගී යටපත් වීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර