රඟපෑවාට කාගෙවත් මුහුණ සිඹින්න ගියේ නෑ


රැල්ල

 

වර්ෂා අමායා

  • මම හරි ආසයි නයිට් ක්ලබ් යන්න. තාම ගියේ තුන් පාරයි

ඇය ටෙලි නාට්‍ය 38 ක පමණ චරිත නිරූපණය කළත් ප්‍රධාන චරිතයක් ලැබුණේ ‘‘33 කාමරය’’ ටෙලි නාට්‍ය මාලාවෙනි. ලිංගිකත්වය හා සමාජ රෝග පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කරන මෙම ටෙලිනාට්‍ය මාලාව ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. මේ නිසාම බොහෝ දෙනා ඇය සරාගී, සෙක්සි රංගන ශිල්පිනියක් ලෙස හැඳින්වීමට උත්සාහ කළ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඇය සැබෑ ජීවිතයේදිත් එවැනි සෙක්සි චරිතයක් ලෙස සමහරු සැලකූහ. මේ නිසාවෙන්ම ඇයට හොඳ ටෙලිනාට්‍ය නොලැබී ගියේ ඔවුන්ගේ අයුතු බලපෑම්වලට කැමති නොවූ නිසාවෙනි.

නර්තන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රසංග වේදිකාවේ දස්කම් දක්වන ඇය නමින් වර්ෂා අමායා වේ. විවෘතව කතා කරන ඇය තමන්ගේ දිවිය පිළිබඳවත් කලා ක්ෂේත්‍රයේ අයුතු යෝජනා බලපෑම් පිළිබඳවත් මෙවර රැල්ල හමුවේ තම අදහස් දිගහැරියේ මෙලෙසිනි. 

 
ඔයා කලා ක්ෂේත්‍රයේ දිගු කාලයක් හිටියත් ජනප්‍රිය වුණේ ‘‘33 කාමරය’’ ටෙලිනාට්‍ය මාලාවෙන්. එහෙම වුණේ ඇයි?   


මම මේ ක්ෂේත්‍රයට ආවේ ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වෙමින්. මේ වන විට ටෙලිනාට්‍ය 38 ක පමණ රඟපාල තිබෙනවා. ඒ හැම චරිතයක්ම දෙබස් තියෙන චරිත කළේ. ඒත් මට ප්‍රධාන චරිත ලැබුණේ නෑ. චිත්‍රපටවලත් රඟපෑවා. ඒවා ​පොඩි වුණත් හොඳ චරිත මම රඟපෑ​වේ. මට ප්‍රධාන චරිතය ලැබුණේ ‘‘33 කාමරය’’ ටෙලි නාට්‍ය මාලාවෙන්. ඒ වගේම එ්කාංගික ටෙලි නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිත රඟපෑවා. ‘‘33 කාමරය’’ ටෙලිනාට්‍ය මාලාවේ කතාංග 69ක විතර ප්‍රධාන චරිතය රඟපෑවා.   


අද වනවිට අලුත් නිළියන්ට ප්‍රධාන චරිත ඕනෑ තරම් ටෙලිනාට්‍යවල ලැබෙනවා. ඔයා ඔච්චර ටෙලිනාට්‍යවල රඟපෑවත් ප්‍රධාන චරිත ලැබී නෑ. එහෙම වුණේ සමහර අධ්‍යක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගන්න ඔයා උදව් නොකළ හින්දද?   


මට ඒක හිතාගන්න බැහැ. සමහර විට ඒ හින්දා වෙන්නැති කියලා මට දැන් හිතෙනවා. එහෙම අයුතු බලපෑම් ආවා. ඒවාට මගේ අකැමැත්ත පෙන්නුවා. ඊට පස්සේ චරිත ලැබුණේ නෑ. ඔය දේවල් හොලිවුඩ්වල ගත්තත්, බොලිවුඩ්වල ගත්තත් වෙනවා. හැම අධ්‍යක්ෂවරයෙක්ම එහෙම නෑ. හොඳ අයත් ඉන්නවා. හැම තැනම කැපිලි තමයි.   


ඔයාට ඉදිරියට එන්න බැරි වුණේ ඇයි? ඔයා සමග පැමිණි අය අද ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල ඉන්නේ. අයුතු යෝජනා, බලපෑම් ඔයාට වැඩි වුණා ද?   


ඒකට හේතුව මාත් ඉතින් හොයනවා. අපිත් එක්ක එකට ආ කට්ටිය ඉදිරියට ගිහින් තිබෙනවා. මම වැඩක් භාරගත්තාම මහන්සියෙන් කැපවීමෙන් ඒ දේ ඉටුකරනවා. හරි වෙලාවට යනවා. ඔයා කිව්ව වගේ ඔවුන්ගේ ආශාවන් ඉටුකරන්න බැරිවුණු නිසා වෙන්නැති මට ඉදිරියට එන්න අවස්ථාවක් නොදුන්නේ කියලා මට වෙලාවකට හිතෙනවා.   


ඔයා ‘‘33 කාමරය’’ ටෙලිනාට්‍ය මාලාවේ රඟපෑව හින්දා ගොඩාක් කැපිලි කෙටිලි ආවා නේද? ඒක රංගනයටත් බලපෑවා නේද?   


ඒ නාට්‍යයේ රඟපෑව එක ගැන ​ගොඩාක් දෙනෙක් මට හොඳ කිව්වා. සමහරු වෙනත් අධ්‍යක්ෂවරුන්ට කියලා තිබුණා, මෙයා ගන්න එපා කියලා ‘‘33 කාමරය’’ ටෙලිනාට්‍ය මාලාවේ රඟපාන හින්දා. ඒ මිනිසුන්ගේ මානසිකත්වය මම දන්නේ නෑ කොහොමද කියලා. ඉස්සර ජනප්‍රිය ඉහළ මට්ටමේ නිළියෝ පවා ලිංගික දර්ශන, අඩ නිරුවත් දර්ශන රඟපාලා තිබෙන්නේ. අපි එතනදී කරන්නේ රඟපෑමක් විතරයි. අපි කාගේවත් මුහුණු ඉඹින්න ගියේ නෑ. ඇයි මේක මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ. 

 
අපේ සමහර චැනල්වල අධ්‍යක්ෂවරු පවා මගෙන් අහලා තිබෙනවා. ඇයි ඕවාට යන්නේ කියලා. මම ඒ අයට පහදලා දීපු අවස්ථා තිබුණා. ඔයාලත් මෙහෙම වැරැදියට දකිනවා නම් අපි කොහොමද ගමේ අයට, ගෙවල්වල අයට මුහුණ දෙන්නේ. ඒ අයත් වැරැදි විදිහට බලන්න ගන්නවා නේද? ඒක සාධාරණයි කියලා මම ඔවුන්ට කියලා තිබෙනවා.


ඒ හින්දා ඔයාට අනෙක් ටෙලිනාට්‍යවල චරිත දෙන්න කතා කරන්​නේ ඔවුන්ගේ එක එක ආශාවන් ඉෂ්ට කරනවා නම් විතරද?  


ඔව්. සමරවිට මම එහෙම ඇක්ට් කරනවා දැකලා, පෞද්ගලික ජීවිතේත් ඒ වගේ කියලා හිතන පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි එවැනි යෝජනා කරන්නේ. මොකද මම එක්තරා යූ ටියුබ් නාලිකාවක සංකච්ඡාවකට ගියාම අහපු ප්‍රශ්නවලට උත්තර නොවෙයි දාලා තිබුණේ. මාත් එක්ක සුහදව කතා කරපු දේවල් දාලා මට ලොකු බලපෑමක් ආවා. මගේ චරිතය නකර චරිතයක් විදිහට තමයි ඒවායින් පෙන්නුවේ.   


ඒත් මගේ ඇස් ඉස්සරහ වැරැදි වැඩ කරන සමහර කට්ටිය අද හොඳට රඟපානවා. ඒ ගොල්ලන්ට කැපිලි නෑ. ඒ මොකක්ද දන්නේ නෑ. මගේ මොකක්දෝ අවාසනාවට ඒ යූ ටියුබ් නාලිකා ‘‘ඉන්ටර්විව්’’ එකට ගිය නිසා ගොඩාක් දේවල් මට නොලැබුණා. ඒ අතරේ මට නරක නාමයකුත් ආවා. ‘‘බඩුවක්, ගණිකාවක්’’ හා සමානව තමයි සමහරු මාව හැඳින් වූයේ.   


මට දුක මට මේ ෆීල්ඩ් එකේ කිසිම කෙනෙක් කපා දමලා චරිත අරගෙන, කාත් එක්කවත් නිදාගෙන චරිත අරගෙන නම කැත කරගෙන සිටිය කෙනෙක් නොවෙයි මේ අවුරුදු 16 පුරාම. ඒත් මට මේක නිසා බලපෑම් වැඩි වුණා. මම වැරැදි වැඩක් කරලා නෑ. වැරැදි වැඩ එළියේ කරන කට්ටියට චරිත ඕනැ තරම්. මම ඒ අයගෙන් අහන්නේ ඇයි මම මොකක්ද කරලා තිබෙන වැරැද්ද කියලයි. ඒ අයට චරිත දුන්නාට කමක් නෑ. මට කැපිලි දාන්නේ ඇයි?   


සමහර නිළියන් අද මුදලට විකිණෙන තත්ත්වයට ඇවිත්. ඔයාටත් එහෙම ආරාධනා ඇවිත් ඇති නේද? ඔයා ඒවාට එකඟවෙලා තිබෙනවාද?   


අනේ ඔව්. එහෙම අනන්ත අප්‍රමාණ යෝජනා ඇවිත් තිබෙනවා. දැනටත් එනවා. ඒ අතරේ ආදර යෝජනා, විවාහ වෙන්න යෝජනා පවා එනවා. වයසින් අඩු කට්ටිය වැඩි කට්ටිය හරියට එනවා. අර විදිහට ගණිකාවක් මට්ටමට සල්ලි දීලා කතා කරන අයත් ඔය අතරේ ඉන්නවා.   


මේ හින්දා සමහරු කෘත්‍රිම ආකාරයට තමන්ගේ අඟපසඟ පවා වෙනස් කර ගන්නවා. ඔයාත් එවැනි දේවල්වලට යොමු වුණාද?   


මම කියන්නේ නෑ ඒවා හොඳ නෑ කියලා. එයාලට සල්ලි තියෙනවා නම් එයාලාගේ කැමැත්ත අනුව ඒ දේවල් කළාට ප්‍රශ්නයක් නෑ. මටත් පුළුවන් මට සල්ලි තියෙනවා නම් කැමැත්ත තිබෙනවා නම් මටත් ඒ දේවල් කරගන්න පුළුවන්. අපි මේ ජීවත්වෙලා ඉන්න ටික කාලයේ අරයා කොහොමද සුදු වුණේ. එයාගේ පපුව ලොකු වුණේ කොහොමද? කියලා හොයනවාට වැඩිය තමුනුත් මොනවා හරි දෙයක් කරගෙන ලස්සනට ඉන්න තමයි මම කැමති. මම ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. 

 
ඔයා සාමාන්‍යයෙන් පාටිවලට නයිට් ක්ලබ්වලට යනවාද?   


මෙහෙමයි මම හරි ආසයි නයිට් ක්ලබ්වලට යන්න. ඒත් ගිහින් තිබෙන්නේ තවම තුන්පාරක් විතරයි. අපි ඩාන්සින්වලට කෙල්ලෝ කොල්ලෝ ගිහින් යාළුවෝ එක්ක සෙට්වෙලා නයිට් ක්ලබ්වල හොඳට එන්ජෝයි කරලා තිබෙනවා. අපේ ෆන් එකට ගියේ. නැතුව වෙන වෙන වැඩ කරන්න නොවෙයි. අපේ විනෝදයට යන්නේ.   
ඔයා ‘‘33 කාමරය’’ නිසා සමහරු කාමුක නිළියක් සෙක්සි නිළියක් ලෙස හඳුන්වනවා. ඒකට කැමතිද?   


මම හිතනවා මට එහෙම ‘‘ලුක්’’ එකක් තියෙනවා නම් හොඳයි කියලා. එහෙම හැමෝටම සෙක්සි කාමුක පෙනුමක් පිහිටන්නේ නැහැනේ. ඒ හින්දා වෙන්නැති හැමෝගෙම ආකර්ෂණය ලැබෙනවා ඇත්තේ. ලිංගික යෝජනා ඉදිරිපත් කරන්නෙත් ඒ හින්දා වෙන්නැති.   


ඔයා ගෙදර දී නිරුවතින් ඉන්නවා කියලයි ආරංචි. ඇත්තද ඒ කතාව?   


මෙහෙමයි මම පාරේ යනකොට හොඳට දිගට ඇඳලා යන්නේ. රූගත කිරීම්වලට ගියත් එයට අදාළ ඇඳුම් අඳින්නේ. කොටට ඇඳලා මම පාරේ යන්නේ නෑ. ඔයා කිව්ව දේ ඇත්ත. මගේ ගෙදර මගේ කාමරේ ඇඳුම් නැතුව නිරුවතින් ඉන්න තමයි මම ​ගොඩක් කැමති. එතනදී මම පුදුම නිදහසක් විඳින්නේ.   


ඔයාට කලා ක්ෂේත්‍රයේ අයගෙන් විවාහ යෝජනා ආදර යෝජනා ඇවිල්ලා තිබෙනවාද?   


අපොයි ඔව්. මම ඒවාට කැමති වුණේ නෑ. හැබැයි දැන් මට හිතෙනවා එළියේ ඉන්න කට්ටියට වඩා කලා ක්ෂේත්‍රයේ අය හොඳයි කියලා. ඉස්සර මම ඒ අය ගැන වැරැදියට හිතාගෙන හිටියේ. දැන් සමාජයේ පිට ඉන්න මිනිසුන්ට වඩා කලා ක්ෂේත්‍රයේ ඉන්න අය හොඳට ආදරෙන් ඉන්නවා කියලා මට හිතෙනවා.   


ඔයා කලා ක්ෂේත්‍රයේ අයගෙන් ඉල්ලන්නේ මොකක්ද?   


මම කියන්නේ අපිට කැපිලි දාන්න එපා. අපෙන් වැඩ ගන්න. ඕනැම අභියෝගයකට අපි සූදානම්. එක එක්කෙනාගේ කේළම් අහලා චරිත නොදී ඉන්න එපා. අපි නම කැත වෙන විදිහේ දේවල් මේ ෆීල්ඩ් එකේ කරලා නෑ. එහෙම කතා කරලා මානසිකව වට්ටන්න එපා.

 

 

කතාබහ කළේ :
සමන්ත යහම්පත්
ඡායා : සජීව ලක්ෂාන්