රංගනයෙදි වැඩි හරියක් ලැබිලා තියෙන්නෙ මවගෙ චරිතය - මීනා කුමාරි


සාම්ප්‍රදායික අම්මාගේ චරිතෙ ඉඳන් බටහිර පන්නයේ අම්මා වෙනකල්ම විවිධ මව්වරුන්ගේ චරිතවලට මම පණ දීලා තියෙනවා.

පුංචි තිරයේ ආදරණීය මවක වූ ඇය තවමත් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනූ වසූදායි. එදා සිට අද දක්වාම ක්ෂේත්‍රයේ බොහෝ රංගන ශිල්පීන්ට තිරය ඉදිරියේ මවක වූ ඇය සැබෑ ජීවිතයේත් බෙහෙවින් දයාබර චරිතයක් වූ බව නම් කිව යුතුමය. ඇය නමින් මීනා කුමාරියි. රංගනයට ඇති ඇගේ කුසලතාවත්, ඇගේ  කාරුණික හදවතත් නිසා ඇය ගැන අදටත් බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රියයි. ඉතින් අපි හිතුවා මෙවර සඳැල්ල කතාබහට ඇයව එකතු කරගන්නට.

ප්‍ර මුලින්ම කියන්නකෝ මේ දවස්වල විස්තර ටිකක්.

සහභාගි වුණ ටෙලි නාට්‍ය කිහිපයක්ම  මේ වෙද්දි විකාශය වෙලා අවසන්. ඊට අමතරව මේ දවස්වල ඔබ එන්න ඇවිත් යන්න කියන ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒකේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම චිත්‍රපටි දෙකක රූගත කිරීම්වලට සූදානමින් ඉන්නවා. තව අලුත් නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. තාම වැඩ පටන් ගත්තෙ නැහැ. 

ප්‍ර ඔබව ප්‍රේක්ෂකයන් වැඩිහරියක්  තිරය ඉදිරියෙදි දකින්නේ මවක් විදිහට. මේ වෙනකොට නිර්මාණ කීයකට විතර මවකගේ චරිතෙන් දායක වෙලා තියෙනවද?

ඇත්තටම එහෙම ගණන් කරන්න මතක නෑ. හැබැයි රංගනයෙදි මම වැඩි හරියක් කරලා තියෙන්නේ මවගේ චරිතය තමයි. සාම්ප්‍රදායික අම්මාගේ චරිතෙ ඉඳන් බටහිර පන්නයේ අම්මා වෙනකල්ම විවිධ මව්වරුන්ගේ චරිතවලට මම පණ දීලා තියෙනවා.

ප්‍ර මුලින්ම මවගේ චරිතයකට පණ පොවපු අත්දැකීම කොයි වගේද?

මවගේ චරිතයක් මුලින්ම තිරය ඉදිරියේ රඟපාද්දි ඇත්ත ජීවිතයෙදිත් මම මවක්. ඒ නිසා ඇත්තටම ඒක මට ලොකු පහසුවක් වුණා. ඊට අමතරව මම  මගේ ජීවන අත්දැකීම් සහ මම දැකපු මව්වරුන්ගේ චරිත ලක්ෂණ ලැබෙන චරිතෙත් එක්ක ගළප ගන්නවා. ඒ නිසා ඒ අත්දැකීම හරිම සුන්දර අභියෝගයක් කියන්න පුළුවන්. මට මතක විදිහට මම මුලින්ම මවකගේ චරිතෙන් සම්බන්ධ  වුණේ  "වීදුරු මල්" කියලා ටෙලි නාට්‍යයකට. ඒ චරිතය ඇත්තටම මට  ලොකු අභියෝගයක් වුණා. ඒත් මම හිතනවා ඒකට මට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා. පස්සෙ මට ඒ චරිතය වෙනුවෙන් සම්මානයකුත් ලැබුණා.

ප්‍ර දායක වුණ චරිත අතරින් මීනාට මතක හිටපු අම්මා කවුද ඇහුවොත්?

වසූදා. මම හිතනවා ඒ අම්මට අදටත් ප්‍රේක්ෂකයන් ගොඩක් කැමතියි. මොකද ඒ අම්මා වගේ ජීවිතේ අභියෝගවලට මුහුණ දෙන අය වගේම වසූදා  වගේ ජීවිත හදාගත්තු අය අදටත් මට කතා කරනවා. ඒ වගේම අදටත් මට වසූදා කියලා කතා කරන පිරිසක් ඉන්නවා. ඇත්තටම වසූදා කියන්නේ මට ලැබුණු වාසනාවන්ත අවස්ථාවක් කියලා මම හිතන්නේ. ප්‍රේක්ෂකයන් වගේම මමත් රංගන ශිල්පිනියක් විදිහට හරිම ආස චරිතයක් තමයි වසූදා කියන්නේ. ඒ විතරක් නෙවෙයි මට ජාත්‍යන්තර මලයාලම් චිත්‍රපටයකට එක් වෙන්න වාසනාව ලැබෙන්නෙත් මේ චරිතය හේතුවක් වුණා.

ප්‍ර මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙන්නේ?

මාව රංගන ශිල්පිනියක් විදිහට අඳුර ගත්තේ පුංචි තිරයෙන්. ඉතින් එදා වගේම අදටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ගොඩක් තරුණ රංගන ශිල්පීන්ගේ අම්මා වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ක්ෂේත්‍රයේ අයගෙනුත් විශාල ප්‍රතිචාර ලැබෙනවා.

ප්‍ර තිරය පිටුපසත් ඔබ මවක්. කොහොමද කලා කටයුතු එක්ක ඒ වගකීම ඉටු කරන්නේ?

ඇත්තටම මම හරිම සතුටින් කියන්නේ මට මගේ දුවට  හොඳ මවක් වෙන්න පුළුවන් වුණා. ඇය දැන් ඉන්නේ විදේශයක වැඩිදුර අධ්‍යාපනයට ගිහින්. කොච්චර කලා කටයුතුවල යොමු වුණත් ඇගේ ඉගෙනීමට ඒක බාධාවක් වෙන්න මම කිසිම වෙලාවක ඉඩ දුන්නෙ නැහැ. මොකද අනිත් මව්පියෝ වගේම මටත් ඕනේ වුණේ මගේ දුවට හොඳට උගන්වන්න. ඒ දේ වෙනුවෙන් මම  කැප වෙලා වැඩ කළා. කලා වැඩ එක්ක කාලය කළමනාකරණය කරගන්න මම ලොකු සටනක් දුන්නා. මේ වෙනකොට මම සාර්ථකයි කියලා  හිතනවා.

ප්‍ර මවගේ චරිත කරද්දි ඔබේ අම්මවත් මතක් වෙන තැන් ඇති.

අනිවාර්යයෙන්ම. මම සමහර චරිතවලට මගේ අම්මාගේ චරිත ලක්ෂණ, භාෂාව අනුකරණය කරලා තියෙනවා. ඇයගේ සරලකම, ආදරණීය බව, තේරුම්ගැනීම දරාගැනීම වගේ ගතිලක්ෂණ මට ලැබෙන මවගේ චරිතෙ අනුව යොදා ගෙන තියෙනවා.

ප්‍ර ඔබ වරක් මලයාලම් චිත්‍රපටියකටත් සම්බන්ධ වුණා. ඒ ගැනත් මතකය අවදි කළොත්?

ඔව්, ඇත්තටම ඒක මගේ සිනමා අත්දැකීම් අතරෙ මම ලබපු ලොකු ජයග්‍රහණයක් කියන්න පුළුවන්. ෂාජි එන් කරූන් කියන අධ්‍යක්ෂකවරයාගේ කුට්ටි ශ්‍රාන්ක් කියන මලයාලම් චිත්‍රපටය. මමුටි කියන ප්‍රධාන රංගන ශිල්පියා එක්ක තමයි මම රංගනයෙන් සම්බන්ධ වුණේ. මටත්  චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටය තුළ ඇත්තටම මට තිබුණේ කාලි කියලා ගොළු චරිතයක්. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා.

ප්‍ර ප්‍රවීණ රංගන ශිල්පිනියක විදිහට ඔබට බොහෝ වෙලාවට නවක සහ තරුණ රංගන ශිල්පීන් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් දක්ෂ තරුණ පරම්පරාවක් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ වගේම මේ කලාව රැකගෙන ඉදිරියට යන්නෙ කොහොමද කියලත් අපි එයාලට කියලා දෙනවා. තරුණ පරම්පරාව අපි දිහා බලලා ඉගෙන ගන්නේ. ඒ නිසා අපි ආදර්ශවත්ව හිටියොත් හරි කියලයි මම හිතන්නේ. ක්ෂේත්‍රයට එන හැමෝටම කියන්නේ හරි විදිහට හරි දේ ඉගෙන ගත්තොත් මේ ක්ෂේත්‍රය ඇතුළේ දිගු කාලයක් රැඳෙන්න පුළුවන් කියලා.

කෞශල්‍යා ලක්ෂානි