සකුගේ කතාවේ දුෂ්ට නැන්දා වූ ඇය - තිරය ඉදිරියේ වැඩි හරියක් දුෂ්ට නපුරු චරිත වලටම පණ පෙව්ව ද, සැබෑ ජීවිතයේ නම් බොහෝ ආදරණීය චරිතයක් බව කිව යුතුම ය. මෙවර “සඳැල්ල” කතාබහ ඈ සමගයි.
ප්‍ර මුලින්ම කියන්නකෝ මේ දවස්වල කරන කියන වැඩ ගැන විස්තර ටිකක්.
මා රංගනයෙන් දායක වූ "අමුතු දීගේ" සහ"රොන් සොයා" කියන ටෙලිනාට්‍ය දෙක මේ දිනවල විකාශය වෙනවා නේ. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් සිදු කෙරෙනවා. විශ්ව ලංකා ගේ අලුත් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තියෙනවා කුරුණෑගල. ඒ වගේම ඉන්දික ධර්මතිලක ගේ අලුත් ටෙලි නාට්‍යය හෙට අනිද්දා පටන් ගන්න නියමිතයි. තව කීර්ති.කේ. රත්නායක ගේ “මූණු” කියන ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු මේ දවස්වල සිදුවෙමින් යනවා.
ප්‍ර මේ දවස් වල විකාශය වෙන"අමුතු දීගෙට" මොන විදිහේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නේ ?
අමුතු දීගෙ දි මගෙ චරිතෙ මුලින් හරි සන්සුන් විදිහට තිබිලා පස්සේ ටිකක් වෙනස් වෙනවා. තමන්ගේ පුතා ගේ චර්යාවත් එක්ක. ඒ නිසා ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර වෙලාවට ප්‍රේක්ෂකයෝ හම්බුණාම අහනවා ඔයා කොහොමද ඔහොම හොඳින් ඉඳලා එක පාරට වෙනස් වෙන්නේ කියලා. ඒ විදිහට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.
ප්‍ර "අමුතු දීගේ" නිර්මාණය ඇතුළේ ඔබට තියෙන්නේ මවක ගේ චරිතයක් වුණත් ඇය සාම්ප්‍රදායික මවක්. චරිතය ගැනත් කිව්වොත් ?
ඇත්තටම අමුතු දීගේ මට තියෙන්නේ හරිම සාම්ප්‍රදායික මවක ගේ චරිතයක්. තමන්ගේ ළමයි දෙන්නා සහ තමන් ගේ පවුල සතුටින් තිබීම විතරයි ඇයගේ එකම අරමුණ. ඒකත් එක්ක ඇයට වෙන කිසිම දෙයක් වැදගත් නැහැ. පවුල ගැන හිතලා තමයි හැම දෙයක්ම කරන්නේ. ඇය කුලයෙන් ඉහළ කෙනෙක්. හැබැයි ඇය කුල හීන කෙනෙක් සමග විවාහ වුණා කියලා ඇගේ අයිය ගේ පවුලේ අය ඇයට සලකන්නේ නැහැ. ඉතින් ඒ කිසිම දෙයක් හිතන්නෙ නැතුව තමන්ගේ පුතාල ගේ ජීවිත සැපවත් කරන්න හිතලා වැඩ කරන අම්මා කෙනෙක් ගෙ චරිතයක්.
ප්‍ර හර්ෂිකා අපි ගොඩක් වෙලාවට තිරයෙන් දකින්නේ නපුරු චරිතයක් විදිහට. මොකක්ද හේතුව?
ඒක නම් මම දන්නෙත් නැහැ. මට හම්බෙන්නෙම එහෙම චරිත. වාසනාවට ද අවාසනාවට ද කියලා මම දන්නෙත් නැහැ. අපි ජනප්‍රිය වර්ගයේ නිළියෝ නෙවෙයි. සාමාන්‍ය මට්ටමේ නිළියෝ. ඒ නිසා සාමාන්‍යයෙන් හොඳ වැඩක් ලැබුණාම ඒක ඇතුළේ අපිට පෙන්නන්න පුළුවන් දක්ෂතාව උපරිම පෙන්නන එක තමයි අපිට කරන්න වෙන්නේ. අනිත් එක එහෙම තෝරලා බේරලා නිර්මාණ කරන්න අමාරුයි. මොකද ගොඩක් නිර්මාණ අපිට ලැබෙන්නෙ නැති නිසා. ඒත් සමහර වෙලාවට වෙනස් චරිතත් ලැබෙනවා. රස රහසක් නිර්මාණේ අරුණා කියන්නේ ඒ වගේ චරිතයක්. ඒ චරිතෙටත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒනිසා ඇත්තටම ඉතින් චරිත ලැබෙන විදිහට තමයි තීරණය වෙන්නේ. වෙනස් චරිත කරන්න පුළුවන්කම තිබුණත් ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි එක චරිතයක් කළාම ඉදිරියට ලැබෙන්නෙත් ඒ විදිහමෙ චරිත. අධ්‍යක්ෂකවරයෙක් නිර්භය වෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට ඒ වගේ කෙනෙක් අරන් වෙනසක් කරන්න.
ප්‍ර ඔබේ වෘත්තීය ජීවිතේ ගැනත් මතක් කරමු.....
මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ වගේම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක් විදිහටත් වැඩ කරනවා. මම නාට්‍ය හා රංග කලාව උගන්වන්නේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ. පාසලෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා, මේ දෙකම සමබරව කර ගෙන යන්න. මමත් පුළුවන් තරම් රැකියාවට මුල් තැන දීලා අනිත් වැඩත් හොඳට කරන්න තමයි උත්සාහ කරන්නේ.
ප්‍ර ගුරුවරියක් විදිහට ඉඳලා කොහොම ද රංගනයට පිවිසෙන්නේ?
ගුරු වෘත්තිය මම අවුරුදු 26 ඉඳන් කරන්නේ. මම රංගන ක්ෂේත්රයට එන්නේ අවුරුදු 35 ත් පැනලා. එතකල් මම වේදිකා නාට්‍යවල රංගන ශිල්පිනියක් විදිහට රංග වින්‍යාස ශිල්පියෙක් සහ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් හැටියට තමයි හිටියේ. ඊට පස්සෙ ඒ අත්දැකීමුත් එක්ක තමයි ටෙලිනාට්‍යවලට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ.
රංගනය ඉගෙනගෙන රංගනය උගන්වමින්, රංගනයේ නිරත ෙවන ඇය - වේදිකාව පුංචි තිරය මෙන්ම රිදී තිරයෙන් ද ඔබ හමුවට එන හර්ෂිකා රත්නායකයි.
ප්‍ර ක්ෂේත්රයට ඇවිත් ටික කාලයක් වුණත් ඔබ මේ වෙද්දි රිදී තිරයෙත් දැකගන්න ලැබෙනවා නේ ද?
ඔව්, ඇත්තටම මම ක්ෂේත්රයට ඇවිත් අවුරුදු දහයක් වත් නැහැ. හැබැයි වාසනාවකට වගේ මට චිත්‍රපට හයක විතර රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේ මදර් ලංකා චිත්‍රපටය, සූරිය සුළඟ චිත්‍රපටය එනවා. මන්ධාරා චිත්‍රපටය තිරගත වුණා. ඊට අමතරව සුර්යා චිත්‍රපටය සහ ධනුෂ්ක රත්නායක ගේ පරාග චිත්‍රපටිය එන්න තියෙනවා.
ප්‍ර කලාව උගන්වන කෙනෙක් විදිහට වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන මොකද හිතෙන්නේ?
හැම ක්ෂේත්රයකම වගේ ටෙලිනාට්‍ය කලාවෙත් හොඳ වගේම නරකත් තියෙනවා. මම හිතන්නේ අපි ඒ වලින් හොඳ නරක තෝර ගෙන ඉදිරියට යන්න ඕනේ කියලා.
ප්‍ර මේ දවස්වල ගොඩක් නවකයො ක්ෂේත්රයට එනවා. ඒ අයට මොකක්ද කියන්න තියෙන්නේ?
අලුත් අය ඇත්තටම එන්න ඕනේ, අලුත් මුහුණු, දක්ෂයෝ ක්ෂේත්රයට ඕනේ. හැබැයි එනකොට තමන් කරන්න යන දේ ගැන හොඳ අවබෝධයකින් එන්න ඕනේ කියලා මම හිතනවා. ලැබෙන චරිතෙ ගැන වුණත් හොඳ අධ්‍යයනයකින් සහ පුහුණුවකින් ආවොත් කවදාවත් වරදින් නැහැ. ඒ වගේම කලබල නැතුව තමන්ගේ වැඩේ නිවැරදිව කළොත් මේ ක්ෂේත්රය ඇතුළේ දුර ගමනක් යන්න පුළුවන්. රඟපෑම කියන්නේ හිතන තරම් ලේසි විෂයක් නෙවෙයි. අපිත් තාම ඉගෙන ගන්නවා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ලැබෙන වැඩේට පුළුවන් උපරිම සාධාරණයක් කරන්න. එතකොට තමයි මේ ක්ෂේත්රයේ රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ.
ප්‍ර රංගන ජීවිතයෙ හැරවුම් ලක්ෂ්‍ය වුණේ කොතැන ද?
මාව රංගන ශිල්පිනියක් විදිහට මිනිස්සු අතරට ගෙන ගියේ සකූගේ කතාව. ඒකෙන් තමයි මාව ප්‍රේක්ෂකයෝ අඳුර ගත්තේ.
ප්‍ර ඉදිරි බලාපොරොත්තුව
මම වෙනත් වෘත්තියක නිරත වෙන කෙනෙක් නිසා ඒකත් එක්ක මට ලැබෙන චරිත හොඳට කරන එක තමයි මගේ බලාපොරොත්තුව. රංගනය සහ මගේ වෘත්තිය කියන මේ දෙකම මම හරි කැමැත්තෙන් කරන්නේ. ඒ නිසා ඒ දෙකම සාර්ථකව කරගෙන යන්න තමයි මට ඕනේ.
ප්‍ර මේ වැඩවලට පවුලෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති. ඒ ගැනත් මතක් කළොත්?
අනිවාර්යයෙන්ම. මගෙ පවුලේ මගෙ තාත්තා, මගෙ සැමියා සහ මගේ දුවලා දෙන්නා ඉන්නේ.මම කරන්නෙ වෘත්තීන් දෙකක් නිසා සාමාන්‍ය ජීවිතේ මට ලැබෙන වෙලාව ගොඩක් අඩුයි. ඒත් එයාලා ඒ හැමදේම සමබර කරගන්න මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ හින්දා තමයි මම අද මේ තැන ඉන්නේ.
කෞශල්‍යා ලක්ෂානි