යකුන් මෙල්ල කරන ඊ ගහේ කතාව


වෙසමුණි රජුගේ ආයුධයක් සේ සලකන ඊ-ගහ යකැදුරන්ට ද ඉතාම වැදගත් ආයුධයකි. යක්ෂයෝ මෙල්ල කරන්නට ඊ ගහ භාවිතා කරති. අලි මෙල්ල කරන්නට හෙණ්ඩුව භාවිතා කරති. ළමයින් මෙල්ල කරන්නට පෙර කාලයේ වේවැල පාසල්වල භාවිතා කළහ. හරක් මෙල්ල කරන්නට කඹ හෝ නාස් ලණු භාවිතා කළහ. අපරාධකරුවන් උද්ඝෝෂකයන් මෙල්ල කරන්නට බැටන් පොලු, මුගුරු, ගෑස් භාවිතා කරති. අද නම් ගිනිඅවි ද භාවිතා කරති. මැති ඇමතිවරුන් මට්ටු කරන්නට ජනතාව ඡන්දය හා මනාපය භාවිතා කරති. 
 

කෙසේ නමුත් යක්කු මෙල්ල කරන්ට භාවිතා කරන්නේ ඊ ගහයි. මේ ගස් අතර යක්කු ගෙන්වන එළවන ආරක්ෂිත උපකරණයක් ලෙස භාවිතා කරන ඊ ගහ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ පාරම්පරික යකැදුරෙක් මෙන්ම නර්තන ශිල්පියෙකුවන කලාගුරු ලක්ෂ්මන් හේවගේ මහතා මෙසේ කියයි. 
මෙහි දී වෙසමුණි රජු යකුන්ට අධිපති තෙදැති වෙසමුණි දෙවියෝ පිළිබඳව කතාව ද වැදගත් වෙනවා. සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙක් වන වෙසමුණි දෙවියෝ සිරිලක සියලු‍ යක්ෂයන්ට අධිපතිකම් දරයි. වෙසමුණි, වෛශ්‍රවණ, කුවේර යන නම්වලින් හඳුන්වන වෙසමුණි දෙවියන්ට ඉහළින් යන්නට තරම් එඩිතර යක්ෂයෙක් නැත. මේ සිරිලකට පැමිණ ඇති සියලු‍ යක්ෂයෝ දොල පුද ගැනීමට වරම් ගෙන ඇත්තේ වෙසමුණි දෙවිදඳුගෙනි. ඕනෑම යක්ෂයෙක් හට වෙසමුණි රජුගේ නාමය සිහිකළ පමණින් බියෙන් තැතිගනී. දැඩිමුණ්ඩ දේවතාවුන්වහන්සේ වෙසමුණි දෙවියන්ඟේ මුණුපුරාය. ශාන්තිකර්ම, යක් තොවිල්වලදී මෙම දෙවියන්ට විශේෂිත ස්ථානයක් ලැබෙනවා. 


මේ අනුව, මෙම දෙවියන්ඟේ ආයුධය වන ඊ ගහ ශාන්තිකර්මවල දී යකුන් බියගැන්වීමට, ආවේශ කිරීමට, එළවීමට, නැටවීමට යොදා ගනී. වෙසමුණි දෙවියන්ට ඇත්තේ ඉතාම භියකරු ගාම්භීර පෙනුමකි. එමෙන්ම වෙසමුණි දෙවියන්ඟේ බැල්ම ආකර්ශනය ලබා ගැනීම අපහසුය. සියලු‍ යක්ෂ, ප්‍රේත, අමනුෂ්‍ය දෝෂ දුරුකිරීමට වෙසමුණි දෙවියෝ සමත්ය. වෙසමුණි දෙවියන්ඟේ බලයෙන් කළ හැකිදේ බලි තොවිල් කලාවේදි උගන්වා තියනවා.

 

සියලු‍ම යක්ෂ, ප්‍රේත, අමනුෂ්‍ය දෝෂ නැතිකිරීමට මෙන්ම, සර්ව ආරක්ෂාවට, යක්ෂයන්ඟේ ආරක්ෂාවට මෙම දෙවියන්ඟේ බලය ලබාගත හැකියි. වෙසමුණි දෙවියන්ඟේ බල පිහිටන රැසක් තියනවා. 

වෙසමුණි කාලම, වෙසමුණි සැරය,වෙසමුණි ඉනාව,වෙසමුණි බන්ධනය, කල්ලු‍ වෙසමුණි මුද්‍රාව, වෙසමුණි අඩංගුව වැනි වෙසමුණි දෙවියන්ඟේ බලගතු වූ මන්තර තියනවා. මේවා ගුරු උපදේශයකින් තොරව නොකළ යුතු මන්තරයි. පොඩ්ඩක් ගැස්සුනොත් ඇදුරා පිට එනවා. නැතිනම් ආතුරයා පිට එනවා. නැතිනම් කුකුල් බිල්ල වෙත දිෂ්ඨිය වැටෙන්නට හැකියි. මේ නිසා ඊගහ එක්ක කටයුතු කිරීමේ දී සිහියෙන් කල්පනාවෙන් මන්තර දැනගෙන ඉගෙනගෙන ශාස්තරය සූත්තරය ගැන දැනගෙන කටයුතු කළ යුතු වෙනවා. 
පහතරට ශාන්තිකර්මවල දී ඊ ගහ යොදා ගන්නවා. සෑම යක්දෙස්සෙකු අත පොල් පන්දමක් හා ඊ ගස බැගින් ගෙන නැටීම මෙහි සාම්ප්‍රදායික ලක්ෂණයකි. 


ගොක් කලාව අතරේ ගත් කල ඊ ගහ ද ගොක් කොළවලින් තමයි සකස් කරන්නේ. ළපටි පොල් කොළය ගොක් කොළය යනුවෙන් හැඳින්වේ. ගොබයේ ඇති කොළ, ගොබ කොළ, ගොප් කොළ, ගොක් කොළ වූ බව කිය වෙනවා. 


 ඊ ගහ තොවිලයක දී සකසා ගන්නේ වෙසමුණි රජුගේ නයනායුධය සංකේතවත් කිරීම සඳහාය. යකුන්ගේ නායකයා වෙසමුණි රජු වශයෙන් සැලකේ. ඔහු යකුන්ට බැට දෙන්නේ එකී නයනායුධයෙනි. 
පුවක් මල් කිනිත්තක්, බුලත් කොළයක්, පඬුරක් හා රත්මලක් ගෙන දෙරියන් සාඟුලක් දිග පුවක් පටියක හෝ අඟලක වට ප්‍රමාණයක් වූ දණ්ඩක් ආධාරයෙන් ඊ ගහ සකස් කර ගන්නවා. 


මෙයින් යකුන් දමනය කර ගැනීමට හැකියාවක් තියනවා. යකුන්ට කතා කිරීම හා යකුන් මෙල්ල කර ආතුරයාගේ දොස් නිරාවරණය කිරීම සඳහා ඊ ගහ යොදා ගන්නවා. ආවේෂ කරනු ලබන ආතුරයින් තමා වෙත ගෙන්වා ගැනීම, ඔවුන්ගේ ගමන් මග පෙන්වාදීම හා ආතුරයා මෙල්ල කිරීම ආදිය සඳහා ඊ ගහ භාවිතා වේ. යාගය අවසානයේ දී ආතුරයාගේ ආරක්ෂාව පතා මෙම ඊ ගහ දින තුනක් යන තෙක් හෝ ඊට වැඩි කාලයක් තමා වෙත තබා ගන්නා ලෙස යකැදුරෝ ආතුරයින්ට උපදෙස් දෙති. 


ඒ අනුව මෙකී රංග භාණ්ඩය යකුන් දමනය කරන ඉතා බලගතු රංග භාණ්ඩයක් ලෙස හැඳින්විය හැකියි. දිෂ්ටි මන්ත්‍ර ජප කර දුම් අල්ලා පේ කරගෙන යාගය ආරම්භ කිරීම පාරම්පරික පහතරට නර්තන ශිල්පීන්ගේ පිළිවෙතක්ය. 


යකැදුරා විසින් ආතුරයාගේ ආරක්ෂාවට දින තුනක සිට දින 21 දක්වා කාලයක් ඊ ගහ ආතුරයාගේ ආරක්ෂාව සඳහා වහලේ හෝ අදාළ තොවිලය කළ නිවසේ ඉහළ ස්ථානයක තබන්නට සලස්සනවා. 


යක් දෙස්සන් යක්ෂයන් ගෙන්වන්නේද යක්ෂයන් පලවා හරින්නේද ඊ ගහ තබාගෙනයි. යාගය ශාන්තිකර්මය තොවිලය සිදුකරන රඟමඩල තුළ ඊ ගහ ඉතා වැදගත් වෙනවා. රඟ මඩලේ ඊ ගහ මගින් අඳින ඉර සීමාව මෙහි දී වැදගත් වෙනවා. යක්ෂයාටද ආතුරයාටද යකැදුරාටද මෙය ඉතාම වැදගත් වෙනවා. යකැදුරාගේ ගුරුවරයාට සමාන කරන්නට හැකියි. ඊ ගහ වියත් හතරයි සුල බු කාලක් වශයෙන් ඊ ගහ සකස් කරන ආකාරය සඳහන් වෙනවා. ගොක් අතු, රත්මල්වලින් සකස් කර ගන්නාවූ ඊ ගහ රිදී පැහැය ගත යුතුයි.

 

 

සටහන හා ඡායාරූප : හබරාදුව 
නිමල් අල්ගෙවත්ත