හැමෝම කැමතියි හැඩට ඉන්න. අද වෙන කොට ඕනෑම කාන්තාවකට නැතුවම බැරි දෙයක් වන මේකප් එක කෙනෙකු ගේ රුව හැඩ කරනවා වගේම ඒ අයගේ පෞරුෂයත් ඒ තුළින් පිළිපබිඹු වෙනවා. ඔබත් මේකප් කිරීමට ආධුනිකයෝ නම් මේ කතාව ඔබටයි.
රූපලාවණ්‍ය නිෂ්පාදන හිතුමනාපෙට මිලදී ගන්න එපා
ඕනම නිෂ්පාදනයක් මිලදී ගන්න කලින් ඒ නිෂ්පාදනයේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා පළමුව බැලිය යුතු වෙනවා. සෑම නිෂ්පාදනයක්ම ඔබේ සමට නොගැළපෙන නිසා ඒ පිළිබඳව රූපලාවණ්‍ය ශිල්පියෙකු ගෙන් උපදේශයක් ගැනීම ඉතාම වටිනවා. ඒ වගේම ඔයාගේ සමට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක, ලිප්ස්ටික් එක, කන්සීලර් පවුඩර් වැනි දේවල් මිල දී ගන්න කලින් ඔබේ සමට ගැළපේ ද කියා ටෙස්ට් කර බැලීමත්, අනිවාර්ය වෙනවා. ගොඩක් දෙනෙක් ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්නේ අතේ මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කිරීමෙන්. මේක ෆවුන්ඩේෂන් එකක් ටෙස්ට් කරලා බලන නිවැරදි ක්‍රමය නොවෙයි. මොකද මුහුණේ පැහැය හා අතේ මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශයේ පැහැය එකිනෙකට වෙනස්. එවිට ඔයාගේ මුහුණට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක නිවැරදිව තෝරා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ෆවුන්ඩේෂන් එකක තෝරාගැනිමේ දී ඉන් ස්වල්පයක් මුහුණේම ආලේප කර බැලීම වැදගත් වෙනවා . එයත් ආලේප කළ සැණින් සමට ගැළපෙන නිෂ්පාදනය සොයා ගත නොහැකියි. සමට ගැළපෙන ෆවුන්ඩේෂන් එක සොයාගත හැක්කේ මුහුණේ ෆවුන්ඩේෂන් ස්වල්පයක් අලේප කර විනාඩි කිහිපයකින් සමට එය උරා ගත් පසුවයි.
සරල Foundation එකක් තෝරා ගන්න
ඕනම මේකප් එකක ආකර්ෂණීය භාවය දිස්වන ප්‍රධානම දෙය වන්නේ මේකප් එකකදි ආලේප කරන foundation එක තුළයි. දවස තිස්සෙම බර මේකප් තට්ටුවක් දාගෙන සාමාන්‍ය පරිදි කාර්යයන් කිරීමට අපහසු නිසා රැකියාවකට යන සාමාන්‍ය ගමනට යන කාන්තා ඔබ Full coverage එකක් සහිත foundation තට්ටු කිහිපයක් ආලේප කිරීම ඒ තරම් සුදුසු නැහැ. සාමාන්‍යයෙන් කාර්යාල ගමනකට සාමාන්‍ය ගමනට සුදුසු වන්නේ ඉතාම සරල මේකප් එකක්. ඒ නිසා ඉතා සැහැල්ලු foundation එකක් හෝ foundation එකක් වෙනුවට BB ක්‍රීම් එකක් භාවිත කරන්නටත් හැකියාව පවතිනවා.
Foundation එකක් තේරීමේ දී සමේ වර්ණයම විතරක්ම බලන්න එපා.
ඔබේ සමේ වර්ණය අනුව මේ නිෂ්පාදන තෝරා ගැනීමත් කළ යුතුයි. ඔබේ ඇස් වටා අඳුරු පැහැ වී තිබෙනවා නම් හෝ කුරුලෑ කැළැල් සහ කුරුලෑ සම මත තිබෙනවා නම් ඒවා මතත් ඔබේ foundation එක තෝරාගැනීමේ දී තෙල් නොමැති foundation එකක් තොරා ගැනීමටත් වග බලා ගත යුතු වෙනවා. foundation එකක් තෝරා ගැනීමේ දී වොටර් බේස්, ඇල්කොහොල් බේස්, වොටර් බේස් ඔයිල් ෆී, සිලිකන් බේස් වැනි foundation වර්ගයක් තිබෙන නිසා සමේ වර්ණයට හැඩයට, සමේ රෝග තත්ත්වයන් foundation එකක් තෝරාගැනීමේ දී රූපලවණ්‍ය ශිල්පියකු ගේ සහය ඇතිව තෝරා ගත යුතුය. ඒ වගේම තමයි කැළැල් නොමැති ව සම හොඳ තත්ත්වයක තිබෙනවා නම් foundation එකක් ආලේප නොකරම මොයිස්චරයිසින් ක්‍රීම් එකක් හෝ සන්ක්‍රීම් එකක් ආලේප කිරීමෙන් පසුව සමට ගැළපෙන පවුඩර් වර්ගයක් ආලේප කළ හැකිය.
ඒ වගේම ෆවුන්ඩේෂන් එකක් තේරිමේ දී ,
වෙළෙඳසලක් කෘත්‍රිම ආලෝකය තුළ හිඳ හරියටම ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරා ගැනීමට අපහසු වෙනවා. ඔබ ෆවුන්ඩේෂන් එකක් තෝරා ගත් යුත්තේ ස්වභාවික ආලෝකයක දී පමණයි.
ෆවුන්ඩේෂන් එකක් භාවිත කිරීමේ ආකාර කිහිපයක්ම තිබෙනවා. ස්ටික් ආකාරයට, පවුඩර් එකක් ආකාරයට එහෙමත් නැත්තම් දියරමය වශයෙන්ද ෆවුන්ඩේෂන් එකක් ලබාගත හැකියි.
ඔබේ සම වියළි ද ,තෙල් ද , සාමාන්‍ය ද ?
ඔයාට තියෙන්නේ වියළි සමක් නම් දියරමය ෆවුන්ඩේෂන් එකක් හෝ ෆවුන්ඩේෂන් ස්ටික් එකක් තෝරාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මෙමගින් සමේ වියළි බව අඩු කරනවා.
ඒ වගේම ඔබගේ සම තෙල් සහිත සමක් නම් තෙල් රහිත දියරමය හෝ පවුඩර් ලෙස පවතින ෆවුන්ඩේෂන් එකක් භාවිත කිරීම සුදුසු වෙනවා. පවුඩර් මගින් ඔයා ගේ සමේ තෙල් උරා ගන්න නිසා තෙල් අධික බව පාලනය වෙනවා. එපමණක් නොවෙයි මුහුණට දීප්තියක් වගේම මුහුණේ ඇති වී තිබෙන කුරුලෑ අසාදන තත්ත්වයන් ද මෙමගින් අවම කර ගැනීමේ හැකියාව පවතිනවා.
ඔබට තිබෙන්නේ සාමාන්‍ය සමක් නම්,
තෙල් සහිත හෝ වියළි බවක් නොමැති නම් එවැනි සමකට ගැළපෙන්නේ පවුඩර් වර්ගයේ ෆවුන්ඩේෂන් එකක්. මෙවැනි වර්ගයේ ෆවුන්ඩේෂන් එකකින් ඔබගේ සම රැලි වැටී පෙන්නුම් කිරීම අවම කර මුහුණ දීප්තිමත්ව පවත්වා ගැනිම ගැනීමට වෙනවා.
ෆවුන්ඩේෂන් එක ආලේප කිරිමේ කලාව
foundation එකක් ආලේප කිරීම මේකප් එකක දී වැඩි අවධානයක් දිය යුතු මූලික පියවරක්. මෙහිදී මුහුණුම ඇඟේ පැහැයටම ගැනීම සිදු කරන ලබන අතර ෆවුන්ඩේෂන් ආලේප කිරිමේ දී නිතරම ස්පොන්ච් එකකින් බ්ලෙන්ඩර් කළ යුතුය. ඔබ නිතරම එළිමහනේ සහ තාක්ෂණික උපකරණ (පරිගණක) සමග වැඩ කරන කෙනෙක් නම් SPF අගය 50ක් වත් අඩංගු සන් ප්‍රොටෙක්ෂන් ෆවුන්ඩේෂන් එකක් තෝරා ගත යුතුයි.
යුවතියන්ට හොඳටම ගැලපෙන්නේ ලික්විඩ් ෆවුන්ඩේෂන්
දිනපතා මේකප් කරන යුවතියක් නම් වැඩිපුරම ගැළපෙන්නේ ලික්විඩ් වර්ගයේ ෆවුන්ඩේෂන් ආලේපනයක්. තෙල්,මිශ්‍ර, වියළි සම ට අදාළව ලික්විඩ් foundation වෙළෙඳපොළේ තියෙනවා. මෙම foundation එක ස්ටික් ෆවුන්ඩේෂන් එකකට වඩා පහසුවෙන් භාවිත කළ හැකි අතර, දිගු වේලාවක් මුහුණේ පවත්වා ගෙන යාමට නම් ලික්විඩ් ෆවුන්ඩේෂන් එක ගාන්න කලින් ප්‍රයිමර් එකක් භාවිත කළ යුතුය.
නදීශා අතුකෝරළ