මීගමුවට ආ රාජසිංහ රජු


ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

 

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන ජාතීන් සියවස් තුනක් තිස්සේ කෙතරම් උත්සාහ කළත් කන්ද උඩරට රාජධානිය යටත්කර ගැනීමට ඔවුනට කෙසේවත් නොහැකි විය. ඒ සෑම ජාතියකටම කන්ද උඩරට රාජ්‍යය දිනාගත නොහැකි මහා අභියෝගයක් විය.   

එහෙත්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පලිගැනීමේ පෞද්ගලික චේතනාවෙන් ඇහැලේපොළ මහ අදිකාරම් සැලසුම් කරන ලද මහා කුමන්ත්‍රණය නිසා කන්ද උඩරට රාජධානිය පහසුවෙන් යටත්කර ගැනීමට ඉංග්‍රීසීන්ට හැකිවිය.   


1850 දී ලංකා ඉතිහාසය ගැන ග්‍රන්ථයක් ලියා පළකළ හෙන්රි චාල්ස් යන ඉංග්‍රීසි ජාතිකයාගේ මතය අනුව සිංහලයන් විසින් ඔවුන්ගේ රජු අල්ලා නුදුන්නේ නම් ඉංග්‍රීසීන්ට කවදාවත් උඩරට රාජධානිය යටත්කර ගැනීමට නොහැකි වනු ඇත


ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පියා, රාමේෂ්වරම්හි නායක්කාර් වංශයට අයිති කපුරාළ කෙනෙකු යැයි සැලකේ. වැන්දඹු මව කිරිකැටි දරුවා සමග ඉන්දියන් සාගරය තරණය කර ලංකාවට පැමිණියේ මහනුවර මලබාර් නෑදෑ පිරිසගේ රැකවරණය පතාය.   


ක්‍රි:ව: 1780 සිට 1795 දක්වා උඩරට රජු වූ ශ්‍රී රාජාධි රාජසිංහ රජුට, නායක්කාර වංශයට අයත් බිසෝවරු පස් දෙනෙකු සිටියත් එකම බිසවකටත් දරුවන් නොමැත. තමන්ට දරුවන් නොසිටි හෙයින් රජුගේ අදහස වූයේ තමන්ගේ ඇවෑමෙන්, තමන්ගේ පළමු බිසව වූ අලවේලු අම්මා සහ තුන්වන බිසය වූ රෙංගනායහි අම්මා යන සහෝදරියන් දෙදෙනාගේ වැඩිමහලු සහෝදරයා වූ මුත්තුසාමි රජකමට පත්කිරීමය. නමුත් රාජාධි රාජසිංහ රජු හදිසියේ මියගිය හෙයින්, පිළිමතලාව්වේ අදිකාරම්, රජුගේ දෙවන බිසව වූ උපේන්ද්‍ර අම්මාගේ ඥාති සොහොයුරියගේ පුතෙකු වූ කන්නසාමි කුමරු, ශ්‍රී වික්‍රම රාජසිංහ යනුවෙන් උඩරට රජු බවට පත් කළේය.   

 


මහ අදිකාරම් පිළිමතලව්වගේ අදහස වූයේ, අටළොස් හැවිරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමන්ගේ අභිමතය පරිදි රාජ්‍ය කරාවිය යන්නය. නමුත් එය එසේ නොවූ නිසා පිළිමතලාවගේ අරමුණ වූයේ සිහසුන කෙසේ හෝ තමා සතුකර ගැනීමය. මෙනිසා 1812 දී ඔහු රජුගේ ආරක්ෂක භට කණ්ඩායම් නායකයා සමග එක්ව රජු මාලිගයේදීම මැරීමට කළ කුමන්ත්‍රණය හසුවී, සිංහල රජු පිළිමතලාවගේ හිස ගසා දැමීය. මේ අතර පිළිමතලාවගේ බෑණනුවන් වූ ඇහැලේපොළ අදිකාරම් ද රජුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නට විය.   


මෙම කාලයේ රදළවරුන්ගේ විරෝධයද, බීමත්කමට ඇබ්බැහිවීමේ හේතුවෙන් රජුගේ හැසිරීම් දරුණු විය. ඇහැලේපොළ පවුලේ ඝාතනයට අදාළ ආඥාව රජු බීමත්ව සිටි අවස්ථාවක නිකුත් කරන ලද්දක් සේද සැලැකේ. සිංහලයේ මෙම ඓතිහාසික පාවාදීමේදී, ඉංග්‍රීසි - සිංහල දෙපක්ෂය අතර සම්බන්ධතාවය ජෝන් ඩොයිලි විසින් සිදුකරන ලද අතර, ඇහැලේපොල අදිකාරම් විසින් මොල්ලිගොඩ අධිකාරම්, එක්නැලිගොඩ අදිකාරම්, බටුපිටියේ රාළ යන රදළයන්ද, සත් කෝරළය, තුන් කෝරළය සහ සබරගමුවේ ජනතාවද මේ සඳහා නම්මා ගන්නා ලදී.   


ඇහැලේපොල සහායෙන් ඉංග්‍රීසින් උඩරටට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ අතර, කන්ද උඩරට බලා පැමිණි ඉංග්‍රීසි හමුදාවට බලන කපොල්ලේදී එය රැකවල්ලා සිටි, මොල්ලිගොඩ අදිකාරම් ඇතුළු සිංහල හේවායන්ගෙන් කිසිම විරෝධයක් එල්ල නොවුණි.   


උදාවී ඇති තත්ත්වය අවබෝධ කරගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දළදා වහන්සේ ඉවතට වැඩම කිරීමේ කටයුත්ත ඉඹුල්මල් ගෙදර රාළ සහ තවත් භික්ෂූන් වහන්සේලා කීප නමකට පවරා, තමන්ට හිතේෂී දොරගමුවේ පිහින රාළත්, මොළංගොඩ පිහින රාළත්, හේවා විස්සේ මඩුප්පිලි රාළත් කැටිව, තමන්ගේ බිසෝවරුන්ද සමගින් උඩවත්ත කැලෑව හරහා ගමන්කර, මහවැලි ගඟෙන් එතෙරවී, මැද මහනුවර, උඩපිටියේ ගල්ලැහැවත්තේ බොමුරේ ආරච්චිගේ නිවසට පැමිණියෝය. තමන්ගේ හැඩරුවට සමීප හැඩයෙන් යුතු, හේවා විස්ස මඩුප්පිලරාළ පමණක් නතර කරගත් රජු අනික් දෙදෙනාට යන්නට හැරියේය.   


හෙළයේ අවාසනාවන්ත දිනය වන 1815 පෙබරවාරි 18 දින උදාවී හෝරා කීපයක් ගතවුණි. මාරාවේශ වූ සබරගමු වැසියන් කීපදෙනෙකු සහ ඉංග්‍රීසි හේවා පන්නයක්ද සමගින් එක්නැලිගොඩ නිලමේත්, බටුපිටියේ රාළත්, බෝමුරේ රාළගේ නිවසට කඩා වැදුණහ. එලෙස කඩා වැදුණු සිංහලයන් රජුගේත් බිසවගේත්, සළු පිළි කඩා ඉරා, පැළඳ සිටි රන් අබරණ පැහැරගෙන ඇත. බටුපිටියේ රාළ බිසවුන්ගේ නාසවල සහ කන්වල පැළඳ සිටි රන් ආභරණ පැහැරගෙන ඇත්තේ එම ඉන්ද්‍රියන් ඉරා, රුධිරය සිරුර පුරා ඇද හැලෙද්දීය.   
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දෙස ඇඟිල්ල දිගුකළ එක්නැලිගොඩ නිලමේ ‘‘මේකා ඌරෙක් වගේ වැල් පටක් ගෙන අත් පා කුදලාපිය’’ පැවසූ විට අත්පා බඳිනු ලැබූ රජු, නිවසින් පිටතට බිම දිගේ ඇදගෙන විත් තිබේ.   


මෙම ඉංග්‍රීසි සේනාංකය සමග භාෂා පරිවර්තකයකු ලෙස පැමිණි, ඩී.වී.ඒ. දියෙස් මහතා රජු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිදුවූ සිදුවීම් මෙසේ වාර්තාකර ඇත.   
නිවස ඇතුළත සිදුවන තිරශ්චීන ක්‍රියා තවදුරටත් බලා සිටිය නොහැකි වූ දියෙස් මහතා ‘‘අච්චෙයර් නිංග පයිප්පඩ ඉන්ඩාම් ඉංගාලේ වාංගෝ’’ යනුවෙන් ද්‍රවිඩ භාෂාවෙන් පැවසීය.   
එවිට ඔවුහු ‘‘නාගතා පාත්ති කොංගෝ’’ යනුවෙන් පවසමින් නහයෙන් කනෙන් ලේ පෙරාගෙන බියෙන් වෙවුලමින් පැමිණ දියෙස්ගේ ඇඟේ එල්ලුනහ.   
අනේකාකාර නින්දා වද හිංසාවලට භාජනය වුණ ඔවුහු, රළු බොරළු මාවත ඔස්සේ, කටු පඳුරු පීරමින් බිම ඇද වැටී මහත් අසීරුවෙන් ගමන් කළහ. ඉනේ සිට දණහිස දක්වා වැටුණ රෙදි කඩක් පමණක් ඇඳ සිටි ඔවුන්ගේ උඩුකය නිරුවත් විය. එම නිසා ඔවුහු දෙඅත්වලින් පියයුරු ආවරණය කරගෙන සිටියහ.   


සිංහලයේ රජතුමා අල්ලාගත් පුවත 1815 පෙබරවාරි 19 දින, තෙල්දෙණියේ රජුගේ ධාන්‍ය ගබඩාවේ සිටි ජෝන් ඩොයිලි එවකට ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් වෙත දන්වා යවන ලදී. එම පණිවිඩය ලැබෙනවිට ආණ්ඩුකාරවරයා රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් සිටියේය. වසර තුන්සියයක් මුළුල්ලේ ජාතීන් තුනකටම කළ නොහැකි වූ උඩරට ජයග්‍රහණය ගැන ඔහු සතුටු කඳුළු වගුරා ඇත. ඉතාමත් ඉක්මනින් ආරක්ෂිත මාර්ග ඔස්සේ රජු ඇතුළු පිරිස කොළඹට එවන ලෙස රොබට් බ්‍රවුන්රිග් ජෝන් ඩොයිලිට දන්වා යවන ලදී. ඒ සමගම දෝලා දෙකක් ද කර්නල් හාඩි සහ කර්නල් හුක් ප්‍රමුඛ සොල්දාදුවන් සියයක පිරිසක්ද ජෝන් ඩොයිලි වෙත යවන ලදී.   


රජු ඇතුළු පිරිස කොළඹට යැවීමේදී ඩොලියිට කරුණු කීපයක් වැදගත් විය. ආරක්ෂිත මාර්ග සොයා ගැනීම ප්‍රධානම කරුණ විය. අනික් කරුණ වූයේ රජතුමාට සහ බිසෝවරුන්ට සුදුසු ඇඳුම් සපයාදීම, ගමනට අවශ්‍ය දෝලා සහ දෝලාකරුවන් ලබාගැනීම සහ නැවතුම් පොළවලදී අවශ්‍ය සැප පහසුකම් ලබාදීමය. මෙහිදී මහනුවර නගරය මගහැර විකල්ප මාර්ග භාවිත කිරීමට ඩොයිලි පරිස්සම් විය.   


1815 පෙබරවාරි මස 22 දින තෙල්දෙණියෙන් ගමන් ආරම්භ කළ රජතුමා ඇතුළු පිරිස රාත්‍රී 8.30 ට පමණ හක්කෙටුවාගල ආසන්නයේ පිහිටි දඹරාව ධාන්‍ය ගබඩාවට ළඟා වූහ. දඹරාවෙන් පිටත් වූ රාජකීය පිරිස එතැන් සිට සැතපුම් දෙකක් දුරින් පිහිටි වඩා ඉඩකඩ ගොඩනැගිලි තිබූ දූල්වැවට කැඳවාගෙන එන ලදී. රජුට විරුද්ධව වධ හිංසා සහ අපහාස පමුනුවනු ලැබේයැයි ප්‍රසිද්ධ වූ ආරංචිවලින් පිරිස බියට පත්ව සිටියහ. මෙනිසා දූල්වැවේ සිට රජ පිරිස ගමන් කළේ වෑඋඩටය.   


රාජකීය පිරිස වෑඋඩ සිට කොළඹට පැමිණි ගමන් මග පිළිබඳව විවිධ මත ඇත. සමහරුන් පවසන්නේ ඔවුන් වෑඋඩ, කුරුණෑගල, හලාවත, මීගමුව හරහා කොළඹට පැමිණි බවය. කුරුණෑගල, දඹදෙණිය, ගිරිඋල්ල, මීගමුව හරහා කොළඹට පැමිණි බවට ද මතයක් ඇත.   


හලාවත සිට මීගමුව හරහා කොළඹට පැමිණියේ ලන්දේසීන් විසින් කනින ලද හැමිල්ටන් ඇළ දිගේ බවටද මතයක් ඇත.   
කෙසේ හෝ සිංහලයේ අවසන් රජතුමන් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 මාර්තු පස්වැනි දින රාත්‍රිය ගත කළේ මීගමුවේ හැමිල්ටන් ඇළ ඉදිරිපිට වූ නිවසක බවට මතයක් ඇත.   
මීගමුවෙහි පුරාවෘත්ත පිළිබඳ ගවේෂණයක යෙදී සිටින විදුහල්පතිවරයකු වන නන්දන පෙරේරා පවසන්නේ, 1815 වනවිට කුරුකුලසූරිය තම්බි මුදියන්සේ නමැත්තෙකුට අයත්ව තිබූ හැමිල්ටන් ඇළට එකල මුහුණ ලා තිබූ නිවසක ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එක් රැයක් නවාතැන් ගත් බවය.   


ක්‍රි.ව. 1815 දී ඉංග්‍රීසීන් විසින් උඩරට රාජ්‍ය ආක්‍රමණය කළ සමයේදී, මීගමුවේ දේශීය ජනතාව අතර කැරැල්ලක් ඇතිවී ඇත. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මෙම කැරැල්ල සංසිඳවීමේ බලය පවරා ඇත්තේ එවකට ඉංග්‍රීසීන්ට හිතවත්ව සිටි මෙම කුරුකුලසූරිය තම්බි මුදියන්සේටය. ඔහු එය සමථයකට පත්කළ නිසා ඔහු ඉංග්‍රීසි රජයේ අති විශ්වාසවන්තයකු බවට පත්විය.   


1815 මාර්තු පස්වැනි දින හැමිල්ටන් ඇළ ඔස්සේ රාජකීය පිරිස පැමිණෙන විට ​රෑ බෝවිය. රජතුමා ඇතුළු පිරිස රැගෙන ආ ඉංග්‍රීසි භට කණ්ඩායමේ නායකයාට අවශ්‍ය වූයේ නුදුරේ ඇති රජයේ නිවසක නැවතීමටය. එය ඇසූ රජතුමා එයට විරුද්ධ වූ අතර, තමන්ට එම රටවැසියකුගේ නිවසක ගත කිරීමට අවශ්‍ය බව ඔහු පැවසීය. එනිසා ඉංග්‍රීසි රජයට හිතවත් වූ තම්බි මුදියන්සේට අයත්, හැමිල්ටන් ඇළට මුහුණ ලා පිහිටි නිවස තෝරාගන්නා ලදී.   


මෙම නිවසේදී ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු රාජකීය පිරිසට කුරුකුලසූරිය තම්බි මුදියන්සේ ඇතුළු පවුලේ සැමගෙන් ඉහළම සත්කාර ලැබුණි. මීගමුවේ ඉස්සන් කිරි හොද්ද රජු ඉතාමත් ආශාවෙන් අනුභව කළ බවක්ද එහිදී පැවසේ. මෙම සත්කාර පිළිබඳව රජු කෙතරම් සංතෝෂයට පත්වූයේද යත්, රජු විසින් නිවැසියන්ට කිසියම් තිළිණයක්ද ප්‍රදානය කරන ලදී. එම පවුලේ පසු පරම්පරාවක ඇත්තන් මෙම තිළිණය කෞතුකාගාරයට භාරදුන් වගක් ද පැවසේ.   


පසු කාලයක එම පැරණි නිවස කඩා දමා ‘‘ශ්‍රී වික්රාජ්’’ යන අලුත් නිවස ගොඩනංවා ඇත.   


සමහරුන් පවසන සිංහල රාජකීය පිරිස වෑඋඩ, කුරුණෑගල, දඹදෙණිය, ගිරිඋල්ල, වේයන්ගොඩ ඔස්සේ මීගමුව එන අතර වතුර පිපාසය ඇති වී උස්පිල ගෙදර අසල නැවතී එම නිවසින් ජල බඳුනක් ඉල්ලාගෙන පානය කළ බවය.   


පුදුමයකට මෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලාගත් තැන වු බෝමුරේ ආරංචිගේ නිවස ඉදිරිපිට විශාල සියඹලාගසක් තිබුණා සේ මේ උස්පිල ගෙදර ඉදිරිපිටද විශාල සියඹලා ගසක් තිබී ඇත.   


‘‘ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා මෙම උස්පිල ගෙදර දී දිය පානය කළේය.’’ යන පුවත පැතිරයත්ම එම නිවස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරගනීය යන බියෙන් එම නිවසේ අයිතිකරුවන් උස්පිල නිවස බිමටම සමතලා කළ බව කියැවේ. සියඹලාගස නම් මේ සියල්ල දෙස බලා සිටී. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රාත්‍රියක් ගතකළ නිවසද කඩා දැමුනේ එම හේතුව නිසා බව පැව​සේ.   


පසුදා එනම් මාර්තු හයවැනි දින හැමිල්ටන් ඇළ ඔස්සේ නැවත ගමන් ඇරඹූ රාජකීය පිරිස වත්තල තොටුපළෙන් එතරව මට්ටක්කුලිය හරහා කොළඹට පැමිණියහ.   
මෙසේ කොළඹට සම්ප්‍රාප්ත වූ සිංහලේ අවසන් රජතුමා 1815 මාර්තු 06 දින සිට 1816 ජනවාරි 24 දින දක්වා කොළඹ කොටුවේ ගාලු මුවදොර ආසන්නයේ පිහිටි නිවසක රඳවා තබන ලදී. 1816 ජනවාරි 24 දින රාජකීය පිරිස ‘‘කොන්වෝලිස්’’ නැවෙන් මදුරාසිය බලා පිටත්කර යවන ලදී. එහි වෙල්ලෝර් බලකොටුවේ සිරකරුවෙකු මෙන් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ 1832 ජනවාරි 30 දින මියගියේ වසර ගණනාවක් රෝගාතුරව දුක්විඳීමෙන් පසුවය.

 

 

 

 

පීටර් කැනියුට් පෙරේරා