"සමනොළ ගිරි හිස මුදුන පෙනෙන්නේ.
මගේ හදවතම පිනෙනි පිරෙන්නේ.
සීත ගඟුලෙ දිය බුදු පුදලන්නේ.
සාදු සාදු සිරි පතුල වඳින්නේ."
රතු පැහැති සාටකයක් දෙඋරතලයෙහි හොවාගෙන සුදු ඇඳුමින් සැරසුණු 11 වියැති දරුවෙකු රබාන වයමින් විරිදු ගයනු දැකීම නෙතුට ප්‍රිය දසුනකි. සමාජ මාධ්‍යය, පාසල, පන්සල සහ උත්සව අවස්ථා වර්ණවත් කරමින් පුංචි පුතෙකුගේ මියුරු නාදය අප දෙසවන් වැලඳ ගනී.
ර/නිවි/ඇලපාත ජාතික පාසලේ හය ඒ පන්තියේ එච්.බී. සදෙව් තිලක්ෂණ සමරසිංහ තම උපන් හැකියාවෙන් මේ වන විට රටක් හඳුනාගෙන හමාරය."විරිදු සදෙව්" නමින් ඔහු ළමා සහ වැඩිහිටි රසිකයෝ හඳුනති. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බුළුගහහේන, උඩනිරිඇල්ල, පලාවෙල උපන් ප්‍රතිභා අංකුරයක් වන සදෙව් යන්තම් දනිපනි ගාන වියෙහිදී ම බෙලෙක් පිඟානකට තට්ටු කරමින් විරිදු ගයන්නට පටන් ගත්තේ පවුලේ අයගේ සිත් පිනවමිනි.
එක වසරේ දී පමණ පටන් විරිදුවලට අමතරව ගීත හා පද්‍ය ගායනය සමග සංගීත භාණ්ඩ වාදනය කෙරෙහිද ඔහු උනන්දු විය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කීවාක් මෙන් ඔහුට එම හැකියාවන් සඳහා ඇගයීම් ලැබෙන්නට විය. මුලින් ම දහම් පාසල් පද්‍ය ගායනා තරගවල පළමු ස්ථානය දිනා ගැනීමට සදෙව් සමත් විය. ගීත ගායනය,හා විරිදු ගායනය ඔස්සේ පළාත් මායිම් ඉක්මවා ජාතික මට්ටමේ අවධානයක් ලබා ගැනීමට සදෙව් සමත් වී ඇත.
එක වසරේදී පමණ රබාන වාදනයෙන් පෙන්වූ හැකියාව වසර කිහිපයකදී වර්ධනය විය.ඒ සඳහා සදෙව්ට අත දුන් අය රැසක් සිටිති.
මව, අනූෂා ලක්මාලි, පියා, නිහාල් අමරසිංහ සහ සහෝදරයන් තිදෙනා ඒ අතරින් මුල් වෙති. සදෙව් මුලින් ඉගෙන ගත් පලාවෙල රත්නාකර ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය වන එම්.කේ. දිල්රුක්ෂි මහත්මිය සදෙව්ගේ දක්ෂතා හඳුනාගෙන ඔහු දිරිමත් කළාය. "මාගේ දක්ෂතාව සමාජයට පෙන්වීමට මට බොහෝ අවස්ථාවන් ලබා දුන්නේ විදුහල්පති තුමියයි. ශිෂ්‍යත්ව විභාගයෙන් පසු මා හට ර/නිවි/ඇලපාත ජාතික පාසලට යාමට වරම් ලැබුණා.
අප විදුහලේ විදුහල්පති වන, විදුර සමරසේකර මහතා ඇතුළු පාසලේ ගුරුභවතුන්ගෙන් මට ලැබෙන මග පෙන්වීම ඉහළයි. විදුහලේ සංගීත ගුරුතුමිය ද මාගේ දක්ෂතා ඔප දැන්වීමට මහත් සේ උදව් කරනවා. ඒ හැමෝටම ස්තුතියි. අනාගතයේ හොඳ කලාකරුවෙකු වීම මගේ අරමුණයි." සදෙව් තිලක්ෂණ පවසයි. ඔහුට අපේ සුබ පැතුම්.
තිඹිරියාගම බණ්ඩාර