මාරක පුස්තකය


විශ්ව සාහිත්‍යයෙන්

අරාබිකරයේ එක් ප්‍රාන්තයක යූනන් නම් රජෙක් විසීය. නුවණින් මඳ වුවත්, පුරෝහිත මඩුල්ලක අනුශාසනයෙන් රට පාලනය කළ ඔහු ජනප්‍රිය පාලකයකු විය. එහෙත් අවාසනාවන්ත කාලයක් ඔහු වෙතද එළඹුණේය.   


පාදයෙහි හටගත් කුෂ්ඨයක් සිරුර පුරා පැතිර යාමෙන් යූනන් රජු රෝගියකු විය. රාජකීය වෙදුන් කොපමණ ප්‍රතිකාර කළත් රෝගය උග්‍ර අතටම හැරුණේය. සැරව ගලන සිරුරෙන් යුතුව, තමන්ටම තමන් අප්‍රසන්නව කල් ගෙවන රජතුමාට ප්‍රතිකාර කරන්නට රටේ සිවු දෙසින්ම වෛද්‍යවරු පැමිණියහ. නමුත් පලක් වූයේ නැත. 


අසල්වැසි රාජ්‍යවලින්ද වෙදුන් කැඳවන ලදී. ඔවුන් කළ ප්‍රතිකර්මද අසාර්ථකවූ තැන, රජු සියලු බලාපොරොත්තු අතහැර මරණය ප්‍රාර්ථනා කරමින් සිටියේය. ශරීරයේ දැවිල්ලත්, දුර්ගන්ධයත් ඉවසිය නොහැකි තරම්ය. රජ ගෙදර මළගෙයක් බඳු විය. 


මෙසේ කාලය ගෙවෙන අතර ඈත රටක සිට එම නුවරට පැමිණි ආගන්තුකයෙක් රජුගේ රෝගය අසා, එය පරීක්ෂා කරන්නට අවසර ඉල්ලා සිටියේය. රාජ පුරුෂයෝ ඔහු අගමැති මැදුරට කැඳවාගෙන ගියහ. 


පාරම්පරික වෛද්‍යවරයකු වූ අමුත්තා සතු දැනුම පිළිබඳව සැහීමකට පත්වූ අගමැතිවරයා ඔහුට අවස්ථාවක් දිය යුතු බව තීරණය කළේය. 
‘‘රජතුමා දැන් වෙදකම් ගැන විශ්වාසයක් නැතිවයි ඉන්නේ...! රෝගය පරීක්ෂා කර බලා සුව කරන්නට හැකිනම් විතරක් ප්‍රතිකාර පටන්ගන්න. බැරිනම් එවේලේම නුවරින් පිටව යා යුතුයි!’’ 


‘‘එහෙමයි මහමැතිතුමනි!’’  
‘‘බොහොම හොදයි! කුමක්ද නුඹේ නම?’’ 
‘‘දෝබන්!’’ 


පසුදින උදයේ රජු පරීක්ෂා කළ දෝබන් එම රෝගය තමන්ට සුවකළ හැකියැයි තිර ලෙසම පැවසීය. 
‘‘හොඳයි! නුඹට කොපමණ කාලයක් වුවමනාද?’’ අගමැති ඇසීය. 
‘‘මාස තුනහතරක් ගතවේවි. සතියකින් සුව​ෙවන ලකුණු දකින්න පුළුවනි!’’ 
දෝබන් පළමුව රජු ඖෂධීය ජලයෙන් නහවා සියතින්ම පිරිසිදු කළේය. ඉන්පසු වාතාශ්‍රය හොදින් ඇති එළිමහන් ස්ථානයක රජුට විවේක ගන්නට සැලැස්වීය. තුවාල මත බෙහෙත් ගැල්වීමක් නොකළ නිසා රජු මෙසේ ඇසීය. 


‘‘කිමෙක්ද වෛද්‍යවරය? නුඹේ ප්‍රතිකාරය මෙපමණද?’’ 
‘‘නැත දේවයිනි’’ දෝබන් තම මල්ලෙන් යමක් ඉවතට ගත්තේය. ‘‘මෙම පන්දු පිත්තෙන් ඔබතුමා මා සමඟ දැන් ක්‍රීඩා කරන්න ඕනෑ...!’’ 
‘‘මොකක්?’’ 
රජු ඒ අපුරු පිත්ත අතට ගත්තේය. ලී මිටක් සහිත එහි අග කොටස ගෝලාකාර වූ අතර සම් ආවරණයකින් යුතු විය. ‘‘කොහොමද මේකෙන් ක්‍රීඩා කරන්නේ...?’’ ‘‘මා ළඟත් පිත්තක් තිබෙනවා.’’ දෝබන් ඊළඟට එළියට ගත්තේ ලීයෙන් පමණක් නිමවූ පැතලි පිත්තක් සහ කුඩා පන්දුවකි. ‘‘දැන් යමු අර තණ පිටියට’’ 
‘‘මාස ගණනක් එකතැන වෙලා හිටිය ම කොහොමද සෙල්ලම් කරන්නේ? ම..මට වාරු නෑ!’’ 
‘‘අපි උත්සාහ කරමු දේවයන් වහන්ස’’ 


මහත් අපහසුවෙන් සයනයෙන් නැගී සිටි රජතුමා, දෝබන් සමග තණ පිටියට ගෑටුවේය. අඩි විස්සක පමණ පරතරයක් ඇතිව එකිනෙකාට මුහුණලා දෙදෙනා සිටගත්හ. දෝබන් පන්දුව වෙත පළමු ප්‍රහාරය එල්ල කළේය. 
රජු තම පිත්තෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කළත්, කීපවරක්ම අසාර්ථක විය. දෝබන්ගේ දිරිමත් කිරීම නිසාම, ඉක්මනින්ම ඔහු උදේයෝගිමත්ව පන්දුවට පහර දෙන්නට පටන් ගත්තේය. රජු පන්දුවට පහරදෙන වාරයක් පාසා, මීදුමක් ආකාරයෙන් කිසියම් ඖෂධයක් පිත්තෙන් නිදහස් වන බව ඔහුට හැඟුණේ බොහෝ වේලාවකට පසුවය. පිත්තේ සම් ආවරණයෙහි වූ කුඩා සිදුරුවලින් ඖෂධයක් නික්මෙන බවත්, ක්‍රීඩාශීලි අවස්ථාවේ වේගයෙන් හුස්මගන්නා නිසා එය වහා ශරීරගත වන බවත් පසුව දෝබන් රජුට පහදා දුන්නේය. 


දිවා කාලයේ හැකි තරමක් පන්දු ක්‍රීඩාවේ නියැලෙන රජු සැතපිය යුත්තේ ඖෂධීය පැදුරකය. මෙසේ දින කීපයක් ගතවන විට තුවාලවලින් සැරව ගැලීම නතර විය. සති කීපයක් යද්දී තුවාල සුව​ෙවන බව පෙනිණ. 


මාස කීපයකදී රජු සම්පූර්ණයෙන්ම සුවපත් විය. මෙම අපූරු ප්‍රතිකාරය පිළිබඳව සැවොම මවිත වූහ. දෝබන් රාජකීය වෛද්‍යවරයා ලෙස පත්කර, සියලු සම්පත් සලසා දෙන්නට රජු පැකිලුණේ නැත. එපමණක් නොව ඔහු රජුගේ මිත්‍රයාද, උපදේශකයාද වූයේ නිතැතිනි. 
ඒ සමඟම දෝබන්ට විරුද්ධ පිරිසක් රාජසභාවේ ඇතිවිය. පෙරදී රජුට උපදෙස් දෙන නියායෙන් ඔහු නොමග යවමින්, තම තමන්ගේ අභිවෘද්ධියට වැඩ කරගත් උදවිය දෝබන්ට ඊර්ෂ්‍යා කරන්නට වූහ. එහෙත් එළිපිට යමක් කළ නොහැකි වූයේ මරණාසන්නව සිටි රජුට ජීවිතය දුන්නේ දෝබන් වන හෙයිනි. 
කාලය සෙමින් ගලා ගියත් දෝබන් හා රජු භේද කරවීමට සතුරන්ගේ කුමන්ත්‍රණ සහ සැළසුම් කෙමෙන් වේගවත් වෙමින් තිබුණි. රජ මාලිගයේ ඕනෑම තැනකට, ඕනෑම වේලාවක යන්නට දෝබන්ට තිබූ වරප්‍රසාදයම ඔහුට නරකට හිටියේය. 


රජුගේ සයනාගාරයේ තිබුණු අගනා භාණ්ඩ කීපයක් දෝබන්ගේ නිල නිවස්නය තුළින් හමුවීම සතුරන්ගේ එක් සැලසුමකි. එහෙත් රජු ඔහු අවිස්වාස කළේ නැත. ඊට වඩා අගනා වස්තු සම්භාරයක් දෝබන්ට පරිත්‍යාග කළ අවස්ථාවේ පවා, ඔහු ඒවා පිළිනොගත් බව රජුට මතකය. 
‘‘රජතුමනි, මා දැන් මෙහෙන් පිටවී මගේ රටට යා යුතු යැයි සිතනවා!’’ එම චෝදනාව නැගුණු පසුව දෝබන් ඉල්ලා සිටියේය. 
‘‘හා හා දෝබන් ඔබ කොහේ යන්නද? ඔබේ ඥතීනුත් මේ රටට ගෙන්වාගෙන ඔබ මේහිම සිටිය යුතුයි. මගේ ප්‍රාණාසම මිත්‍රයාත්, ආරක්ෂකයාත් ඔබයි!’’ 
‘‘එහෙත් රජතුමනි, සරුවට වැඩුණු පැලයක් වුවත් උණුදිය වත්කිරීමෙන් මැරී යනවා නේද?’’ 


‘‘කවුද එහෙම කරන්නේ? ඔවුන් හෙළිකළොත් මා දඩුවම් කරනවා!’’ 
‘‘රජතුමනි, මම අද ඊයෙක පැමිණි ආගන්තුකයෙක් පමණයි!’’ එසේ පැවසූ දෝබන් නිහඬ වූයේය. 
දෝබන් අන්තඃපුර කතුන් හා හිතවත්කම් ඇතිකරගෙන ඇති බවට ආරංචි රජුගේ කනට වැටුණි. මැදි වයසට එළඹෙමින් සිටියත්, දෝබන් විවාහකයකු නොවීය. ඔහුට විවාහයක් සලස්වාදීමට තමන් උනන්දුවූ අවස්ථාවේද ඔහු ඊට අකැමැතිවූ බව රජුට අමතක නැත. 
රාජකීය වෛද්‍යවරයා වශයෙන් අන්තඃපුර කතුන් රෝගීවූ විටදීද දෝබන් ප්‍රතිකාර කර ඇතත්, ඒ රජුගේ අවසරය ඇතිවය. සතුරන්ගේ එම සැලසුමද බිඳ වැටුණත්, සැකයේ බීජය රජුගේ සිතේ රෝපණය වූයේ එදාය. 


වරින් වර දෝබන් ගැන අසන්නට ලැබෙන නරක ආරංචි සූක්ෂම සැළසුමක් විය හැකියැයි රජුට හිතුණේ නැත. ක්‍රමයෙන් ඔහුගේ යහපත් ගතිගුණ පවා රජුට පෙනුණේ කපටි පැවතුම් ලෙසයි. රජුන් ඇසුර බියකරු බව හොඳින්ම වැටහෙන විට දෝබන් ප්‍රමාද වී හමාරය. 
​‘‘දේවයන් වහන්ස...’’ මගේ රටට යන්නට දැන් නම් කාලය හරි! මට අවසර දෙන්න!’’ 
‘‘කොහේ යන්නද දෝබන්? ඔබ රාජකීය වෛද්‍යවරයා! ඔබ මෙහි විසිය යුතුමයි. රජුගේ එම ප්‍රකාශය තම ඉරණම පිළිබඳ අවසන් තීන්දුව බව දෝබන්ට හැඟී ගියේය. 
මාරක අවස්ථාව පමාවූයේ නැත. දෝබන්ගේ අතවැසියකු ලෙස සේවය කළ තරුණයෙක්, එක්තරා දිනෙක රාජ ද්‍රෝහියකු ලෙස අල්ලාගන්නා ලදී. තරුණයාගේ හිස මුඩුකර තිබුණි. ඔහුට විරුද්ධව ඇති චෝදනාව, නැව්තොට භාර නිලධාරියා විසින් රාජ සභාව ඉදිරියේ හෙළි කරන ලදී. 
‘‘දේවයන් වහන්ස...! මේ තරුණයා අවසරපතක් නැතිව, විදෙස් නැවක සැඟවී රටින් පිටවන්නට තැත් කරද්දීයි අල්ලාගත්තේ! මොහු අපගේ දෝබන් වෛද්‍යතුමාගේ අතවැසියෙක්!’’ 
‘‘කුමක්ද මොහු සැඟව යන්නට හේතුව?’’ 
‘‘අප තරවටු කරලායි එය දැනගත්තේ. දෝබන් වෛද්‍යතුමා මොහුගේ හිස බූගා රහස් පණිවුඩයක් හිසේ කෙටු බවත්, කොණ්ඩය වැවුණාට පසු වෛද්‍යතුමාගේ රටට යන්නට කී බවත් මේ තරුණයා ප්‍රකාශ කරනවා!’’ 


‘‘කුමක්ද එහි තේරුම?’’ 
‘‘අපි මොහුගේ කොණ්ඩය බුගා බැලු විට දැන් ප්‍රහාරයට කාලය හරි! වහාම සේනාව රැගෙන එන්න’ කියා කොටා තිබෙනු දුටුවා!’’ 
‘‘වහාම දෝබන් මෙහි කැඳවනු!’’ රජු කෝපාවිෂ්ටව ගුගුළේය. 
රාජසභාව මධ්‍යයට පැමිණෙන දෝබන්, තමාගේ කාලය අවසන්ව ඇති බව දුර තබාම දැනගත්තේය. තමන්ට විරුද්ධව ඇති චෝදනාව ඇසූ ඔහු ඉතා සන්සුන්ව මෙසේ ප්‍රකාශ කළේය. 


‘‘රජතුමනි මෙයත් බොරු චෝදනාවක්! මෙම තරුණයා මගේ අතවැසියකු බව ඇත්ත! නමුත් ඔය පණිවුඩය ඔහු​ගේ හිසේ කෙටූ තැනැත්තා මා නම් නොවේ!’’ ‘‘දෝබන් තවත් බොරු කරන්න බෑ! මගේ හිතවත්කමින් ප්‍රයෝජන අරගෙන මේ රට සතුරන්ට පාවා දෙන්න නුඹ කළ දේ හොඳටම පැහැදිලියි!’’ 
‘‘අහෝ මෙය බොරු චෝදනාවක්! කුමන්ත්‍රණයක් රජතුමනි!’’ 
‘‘කට වහගනු! තවත් මා රවටන්නට නුඹට ඉඩක් නෑ දෝබන්! රජු යළි ගර්ජනා කළේය. හෙට උදෑසන හිස ගසා දමනතෙක් මේ ද්‍රෝහියා දඟගෙයි ලනු!’’ 
මරණයට කැපවූ දෝබන් වෛද්‍යවරයා පසුදා උදෑසන යළි රාජසභාව ඉදිරියට ගෙන එන ලදී. අගමැතිවරයා ඔහු අමතා මෙසේ කීවේය. 
‘‘දෝබන්! නුඹ රාජ ද්‍රෝහියකු බව හළිවී හමාරයි. එහෙත් රජතුමා සුවපත් කළ වෛද්‍යවරයා ලෙස සලකා, දඬුවම ලිහිල් කරන්නට එතුමා තීරණය කළා! එහෙත් නුඹ කළ වරද පිළිගෙන, මේ රාජසභාව ඉදිරියේ පාපෝච්චාරණය කළ යුතුයි.!’’ 


පාදවලට යදම් ලා සිටි දෝබන් මෙහිදී කථා කළේය. ‘‘රජතුමනි, මා කිසිදා සිහිනෙන් හෝ මේ රාජ්‍යයට අහිතක් නොසිතුවෙමි. එහෙයින් නොකළ වරදක් පිළිගැනීම මට කළ නොහැකිය. ඔබතුමන්ගේ තීන්දුවට එරෙහිව මම කිසිවක් නොකියමි. එහෙත් මගේ මරණයෙන් පසුව හෝ ඒ හිතෛෂීභාවය ඔප්පු කර පෙන්වන්නට මම කැමැත්තෙමි.!’’ 
‘‘මරණයෙන් පසුව? හහ් හහ් හා! තා කෙසේද එය කරන්නේ?’’ දෝබන් සිය හිණතුරින් කුඩා මංජුසාවක් එළියට ගත්තේය. 
‘‘මගේ හිස ගසා දැමූ පසු මෙන්න මේ බෙහෙත් කුඩ බන්දේසියක අතුරා හිස ඒ මත තබන්න. එවිට මම කථාකර මා වෙනුවෙන් සාක්ෂි දෙමි!’’ 
රාජසභාව ඒ කථාව අසා විශ්මයෙන් නෙත් අයාගත්හ. 


‘‘හො... හෝ! ඒක නම් අපූරුයි!’’ රජු සිනාසුණි. ‘‘ඕව් නුඹ වැන්නන් මියගියත් විශ්වාස කළ නොහැකියි. එය නරඹන්නටම වහා මොහුගේ හිස සිඳලනු!’’ 
ඒ අවස්ථාවේ තම ලෝගුව තුළින් කුඩා පොතක් එළියට ගත් දෝබන් එය රජුට පිළිගැන්වීය.’’ මේ පෙතෙහි සඳහන් කුඩා මන්ත්‍රය කීමෙන් මගේ හිස කථා කරවිය හැකිවනු ඇති!’’ 
සතුරු පිරිස් ජයග්‍රහීව බලා සිටයදී, දෝබන් වධක භූමියට ගෙන යන ලදී, සැණකින් ඔහුගේ හිස ගසා දැමිණ. දෝබන් කී පරිදිම ඔහු දුන් බෙහෙත් කුඩු බන්දේසියක අතුරා, හිස කෙළින් අතට එහි තබා රජු හමුවට ගෙන එන ලදී, වෛද්‍යවරයා දුන් පොත අතට ගත් රජු එහි පිටු පෙරළීමට උත්සාහ කළේය. එහෙත් එය පහසු නොවීය. පොතේ පිටු එකිනෙකට ඇලී තිබුණෙන්, ඇඟිල්ලක් කටේ දමා තෙත් කරගැනීමට සිදුවිය. පිටු ගණනාවක්ම පෙරළුෑ නමුත් එහි කිසිවක් ලියා නොතිබුණි. 


රජු තව තවත් පිටු පෙරළා බැලුවේය. පිටු දහයක් දොළහක් පෙරළුෑ පසු එක් පිටුවක මෙසේ ලියා තිබුණි. 


‘‘රජතුමනි, ඔබගේ රෝගය සුවපත් කර ජීවිතය ගලවාදුන් මා ඉන් පසුවත් ඔබට හිතවත්ව ක්‍රියා කළා. එහෙත් ඔබ වටා සිටි කපටි හිතවතුන් මට ඊර්ෂ්‍යා කළා. ඔවුන් ක්‍රමයෙන් අපේ හොඳ හිත පලුදු කළා. කළගුණ නැත්තකු සේ ඔබ මා ඝාතනය කළා!’’ 


‘‘එවන් දුර්ගුණ ඇති ඔබට මා ද දඬුවමක් දී හමාරයි! ඔබ මේ පොතේ පිටු පෙරළන්නට දිවෙන් ඇඟිලි තෙත් කරද්දී, එහි කවා තිබූ මාරක විෂ ඔබේ සිරුරට ඇතුළු වුණා.’’ 
‘‘මා දැන් මැරී හමාරයි. ඔබද මොහොතකින් මියයනු ඇත.!’’ මෙය කියවා හමාර ​ෙවත්ම රජු මැරී වැටු​ණේය. 


අරාබි නිසොල්ලාසය ඇසුරෙනි.

 

 

 

රන්ජිත් ප්‍රිය