අකිල ධනුද්දර එහෙමත් නැත්තම් ඇන්තනී පවුලේ ලොකු පුතා කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ. හැබැයි අකිල සිනමාවත් එක්ක ගත්තම පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන වාර ගාණ අඩුයි. ඒත් මේ දවස් වල විකාශය වෙන වෙනස්ම කතාවක් වෙන “වීදුරු තිර” නිර්මාණයේ මාලක විදියට ඔහු රංගනයෙන් දායක වෙනවා. ඉතින් මෙවර “සඳැල්ල” කතාබහ ඔහු එක්ක.
ප්‍ර මේ දවස්වල ඉන්න වීදුරු තිර නිර්මාණය ගැන මොකද හිතෙන්නේ?
වීදුරු තිර කියන්නේ ෂාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ නිර්මාණයක්. මේ මම ඔහුගේ නිර්මාණයක රඟපාන පළවෙනි අවස්ථාව. ශලනි එක්ක තිබෙන හිතවත්කමත් එක්ක ඇය තමයි මට නිර්මාණයට ආරාධනා කළේ. මේක ඇත්තටම වෙනස් කතා සංකල්පයක්. සමාජයෙ දකින්න ලැබෙන සම්බන්ධතා ගැන කතාවේ ගැඹුරෙන් පෙන්නලා දෙනවා. කොටස් 35 ක කතාවක්. මේ වෙන විට රූ ගත කරලත් ඉවරයි.
ආදරවන්තයෙක් වුණාට මාලක කියන්නේ වෙනස් චරිතයක්. චරිතෙ ගැනත් කිව්වොත්?
ඔව්. මාලක කියන්නේ ඇත්තටම දරුණු ආදරවන්තයෙක් ගෙ චරිතයක්. ආදරේ තරම කොච්චර ද කියනවා නම්, ආදරේ කරපු කෙනා වෙන කසාදයක් බැන්දත් ඒ කසාදෙ කඩලා හරි නැවත ආදරවන්තියව ලබාගන්න ජාතියෙ අමුතු ආදරවන්තයෙක් ඔහු.
ප්‍ර මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ද ලැබෙන්නේ?
ඇත්තටම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. කතාව වෙනස් නිසා ප්‍රේක්ෂකයො ඉන්නෙත් කුතුහලෙන්. බලපු ගොඩක් අය කතා කළා. ඒ හැමෝගෙන්ම ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ප්‍ර කතාව ඇතුළේ ශලනිගේ ලොකු දායකත්වයක් තියෙනවා. කොහොම ද ඇය එක්ක ලබපු අත්දැකීම?
ශලනි තමයි ඇත්තටම කතාවේ සංකල්පය සහ නළු නිළි තේරීම කළේ. ශලනි එක්ක ලොකු හිතවත්කමක් ඒ තුළ වැඩ කරපු හැමෝටම තිබුණා. ඒ අයට ශලනි ගේ මේ වැඩ කටයුත්තට උදව් කරන්න ලොකු උවමනාවක් තිබුණා. මම හිතනවා ශලනි තමයි ඒක හැමෝටම තමන්ගේ වැඩක් විදිහට බෙදලා දුන්නේ. ඇයට ලොකු අත්දැකීමක් තියෙනවා කලාව එක්ක. ඇය ඒක මේ නිර්මාණය සාර්ථක කර ගන්න උදව් කර ගත්තා. ඉතින් අපි හැමෝටම හොඳ අත්දැකීමක් ලැබුණා.
ප්‍ර ඉදිරියෙදි අලුතින් එන්න තිබෙන නිර්මාණ මොනවද?
එකගෙයි සොකරි, සම්බුලා, පොඩි විජේ, සරා සුසුම්, සූර් එන්න තියෙනවා. ඒ වගේම රාවණා චිත්‍රපටිය නිර්මාණය කරන්න එකතු වෙනවා.
ප්‍ර අකිල කියන්නේ සිනමා නළුවෙක් නේ. ලංකාවේ සිනමා නළුවෙක් විදිහට සාර්ථක වෙන්න නම් මොකද කරන්න ඕනේ?
සිනමා නළුවොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි නිර්මාණයක් අවසන් කළාට පස්සෙ ඒක ප්‍රේක්ෂකයෝ දකින්නේ අවුරුද්දකට විතර පස්සේ. ඉතින් කරපු ගමන් නිර්මාණය එළියට එන්නේ නැහැ. එතකල් ඉවසීමෙන් ඉන්න ඕනේ. ඒ අතරෙ නිර්මාණය විකාශය වෙද්දි නිර්මාණය සම්පූර්ණයෙන්ම බලපු අය වගේම නොබලපු අයත් අදහස් දක්වනවා. ඉතින් සිනමා නළුවෙක් ඔය හැමදේම ඉවසුවොත් තමයි ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න ලැබෙන්නේ.
ප්‍ර අකිල කරපු චරිතවලින් අමතක නොවෙන චරිතයක් කිව්වොත්?
අමතක නොවෙන චරිතයක් කිව්වොත් කතා දෙකක් නෑ සිංහබාහු චිත්‍රපටියේ සිංහයගේ චරිතේ. ඒ චරිතෙ මම තරුණ සිංහයා. මගේ පියා මම වයසට ගිහාම වැඩිහිටි සිංහයා. අපෙ මල්ලි පොඩි සිංහයා. ඉතින් ඒක අපේ පවුලේ හැමෝටම සුවිශේෂී වුණා. ඒක ඇත්තටම ලංකාවටම අමාරු කාලෙක කඩා වැටුණු සිනමාව නැවත නඟා සිටුවන්න කියලා සෝමරත්න දිසානායක මාමයි රේණු නැන්දයි එකතු වෙලා කරන්නේ. ඒත් නොහිතපු විදිහට මගෙ අප්පච්චිගෙ අනතුරත් එක්ක අපිට චිත්‍රපටිය නවත්තන්න වෙනවා. ඒත් ඒ වෙද්දිත් නිර්මාණයට සෑහෙන්න වැඩ කරලා තිබුණ නිසා ආයෙ වැඩ පටන් ගත්තා. ඒත් එක්කම වැඩිහිටි සිංහයගේ චරිතෙත් මටම කරන්න කියද්දි මම ඒක කරන්නේ අප්පච්චිව සතුටු කරන්න. ඊට පස්සෙ දවස් 18 වගේ යද්දි චිත්‍රපටිය ඉවර කරනවා. කොහොම හරි අපි ඒ වෙච්ච මහන්සිය සහ කැපකිරීම්වලට හරියන්න චිත්‍රපටිය අති සාර්ථක වෙනවා. ඒත් චිත්‍රපටිය එනකොට අප්පච්චි අපි අතරෙ නැහැ. ඉතින් ඒ චරිතෙ කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ප්‍ර නැවත හපන් පැදුර පටන් ගැනීමත් එක්ක ඒ ආදරණීය කලාකරුවගේ මතක හැමෝම යළි අවදි කරනවා. පුතා විදිහට ආදරණීය පියා ගැන මතකය අවදි කළොත්?
ඇත්තටම හැම වෙලාවෙම අප්පච්චිව එක එක විදිහට අපිට මතක් වෙනවා. අප්පච්චි ගොඩක් වෙලාවට කිව්ව දෙයක් තමයි එයා නැති වුණ කාලෙක එයාගෙ මළගෙදරට සූ ගාලා සෙනඟ එන මිනිහෙක් වෙන්න ඕනේ. කවදහරි එයා නැති කාලෙක එයාට ආදරේ කරන මිනිස්සුන් ගේ හදවතේ ලස්සන මතකයක් වෙන්න ඕනේ කියන එක. ඉතින් අප්පච්චි ඒ වෙනුවෙන් හැම වෙලාවෙම මහන්සි වුණා. ඒකට ප්‍රතිඵලත් ලැබුණා. මේ වෙද්දි හපන් පැදුර ආයෙ පටන් අරන් තියෙනවා. ඒකට AI වලින් අප්පච්චිව නිර්මාණය කරලා තිබ්බා. ඒක දකිද්දි හරිම සතුටුයි අපිට. ජැක්සන් ඇන්තනී කියද්දි හැමෝගේම හිතේ ලස්සන හැඟීමක් තියෙනවා. ඒ ගැන සතුටුයි. මම පුතානේ, ඉතින් මට අප්පච්චිව හැම වෙලාවෙම මතක් වෙනවා.
ප්‍ර ඔබත් පියෙක්. කොහොමද කලා වැඩ එක්ක ඒ වගකීම ඉටු කරන්නේ?
මේ හැමදේම කරන්නේ එයාලා වෙනුවෙන් තමයි. පියෙක් විදිහට මගේ වගකීම දරුවොන්ට හරියටම ඉටු කරන්න තමයි මම උත්සාහ කරන්නේ. එයාලගේ පොඩි දේත් මට ගොඩක් වටිනවා. ඒ වෙනුවෙන් ඉක්මනට වැඩ ටික කරලා හැම වෙලාවෙම මම වෙලාව ඉතුරු කර ගන්න බලනවා. මගෙ අප්පච්චි කළෙත් ඒක තමයි. අප්පච්චි වගේම මාත් පොඩි ලෝකයක් හදනවා. එයාලව මේ ලෝකෙට වැඩදායි අය කරන්න මම හැම වෙලාවෙම මහන්සි වෙනවා. ඉතින් මම හිතනවා ජීවත් වෙනවා කියන්නේ ඒකට තමයි.
ප්‍ර ඉදිරි බලාපොරොත්තුව?
මම කරන දේවල් මට පුළුවන් උපරිම හොඳට කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව
කෞශල්‍යා ලක්ෂානි