මගේ තනි ප්‍රසංගයක් නුදුරේම, දකින්න පුළුවන් - නුවන්ධිකා සෙනාරත්න


රියැලිටි ගැන මිනිසුන් තුළ විවිධාකාරයේ අදහස් තිබුණත් ඒ තරග ඔස්සේ කලාවට එක් වූ බොහෝ දක්ෂයින් සිටින වග තහවුරු කළ හැකි තරුවකි මෙවර සඳැල්ලෙන් කතාබහට එක්වන්නේ. ඒ තම මිහිරි කටහඬින් ප්‍රේක්ෂකයන් මන්මත් කරමින් සිටින ගායන ශිල්පිනී නුවන්ධිකා සේනාරත්නයි.

ප්‍ර නුවන්ධිකා කොහොමද මේ දවස්වල කලා කටයුතු?

මේ දිනවල නම් තරමක් කාර්ය බහුලයි. මට පසුගිය දිනෙක සරසවි සම්මාන උළෙලේ හොඳම ගායිකාව විදිහට සම්මානයක් ලැබුණනේ. ඒකත් සමග සංගීත ක්ෂේත්‍රයේ ආරාධනා එහෙම තරමක් වැඩි වුණා. ඒ වගේම ටෙලිවිෂන් වැඩසටහන් කිහිපයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ දේවල් එක්ක ටිකක් වැඩ වැඩි වුණා. 

ප්‍ර මොකද ප්‍රසංග වේදිකාවේ තත්ත්වය?

ප්‍රසංග වේදිකාව ගැන කතා කළොත් මේ දිනවල විදේශීය ප්‍රසංග නම් භාර අරගෙන නැහැ. නමුත් ලංකාවේ ප්‍රසංග කිහිපයක් තියෙනවා. ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි මම මේ දිනවල මගේම අලුත් වැඩක් ආරම්භ කරන බලාපොරොත්තුවෙන් ඒ වෙනුවෙන් මූලික සංවිධාන කටයුතු සිදු කරමින් තමයි ඉන්නේ. ඇත්තටම ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්න ඕන නිසාම තමයි විදේශීය සංචාර භාර ගත්තේත් නැත්තේ. නමුත් මේ වසර අවසානයේ දී නම් යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග කිහිපයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

ප්‍ර නුවන්ධිකාගේ ඒ අලුත් වැඩේ ගැනත් කියමු?

ඒ තමයි මගේ සෝලෝ කොන්සට් එක. ඔක්තෝබර් 18 වෙනිදා කොළඹ බිෂොප් කොලේජ් ශ්‍රවණාගාරයේ තමයි මේ අලුත් වැඩේ එළි දක්වන්නේ. මේකත් මගේ තවත් එක් සිහිනයක් සැබෑවීමක්. මේක මම තනිව කරන මගේ පළමුවෙනි ප්‍රසංගය. ඒක ලස්සන සහ විශේෂ වැඩක් විදිහට එළිදක්වන්න ඕන නිසාම මම මේ දිනවල මහන්සි වෙලා ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රසංගය ලංකාව පුරාම සහ විදේශීය රටවල්වලටත් අරන් යන්න. ඉතින් මට ආදරය කරන, මගේ හඬට ආස කරන හැමෝටම මම මේ ප්‍රසංගයට ආරාධනා කරනවා.

ප්‍ර කොහොමද ඉතින් ලැබෙන ප්‍රේක්ෂක ආදරය?

ඇත්තටම හැම කාලයේදි ම වගේ ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරය මට නොඅඩුවම හිමි වෙනවා. මම හිතන්නේ මේ දවස්වල ඒක තවත් වැඩි වෙලා. මොකද මට සම්මානයක් හිමිවීමත් එක්ක මට ආදරය කරන ගොඩක් ප්‍රේක්ෂකයන් ඒ ගැන සතුටට පත්වෙලා තියෙනවා. ඒ නිසාම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එතැනදි තවත් දෙයක් මතක් කරන්න ඕන. ඒ  තමයි මට මේ සම්මානය හිමිවන සිංහබාහු සිනමා සිත්තමේ ඒ ගීතයේ නිර්මාණකරුවන් ගැන. මෙහි ගී පද රචනය ආචාර්ය සෝමරත්න දිසානායකයන් අතින් සිදු වූ අතර, සංගීත අධ්‍යක්ෂණය මහාචාර්ය සමන් පනාපිටිය විසින් සිදු කර තිබුණා. මේ ජයග්‍රහණය නිසාත් මට තවත් ආදරය වැඩිවෙලා තියෙනවා.

නුවන්ධිකා ප්‍රවීණ ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් සමග ප්‍රසංග වේදිකාවේ නිතර දකින්න ලැබෙනවා. ඒ අවස්ථාව තරුණ ශිල්පීන්ට ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් ඒ අත්දැකීම මොන වගේ ද? 
දැනට මාත් සමග එකම වේදිකාවේ ගීත ගායනා කරන ලංකාවේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් ශිල්පිනියන් මම කුඩා කාලයේ ටෙලිවිෂනයෙන්, ගුවන් විදුලියෙන් සහ පත්තර වලින් අහපු දැකපු බලපු අය. ඒ අය සමග එකට වැඩ කරන්න ලැබෙනවා කියන එක මට ලොකු හීනයක් වගේ. මම හිතන්නේ මේ දේ මගේ සංගීත ජීවිතේට ලැබුණ හොඳ අත්දැකීමක්. එතුමන්ලව ආශ්‍රය කරද්දී, ක්ෂේත්‍රය ගැන පරණ කතා- ඒ ඇතුළේ තිබුණු රසබර කතා වගේම අපි ඉගෙනගත යුතු තැන් ගැනත් අපිට කියලා දෙනවා. ඇත්තටම ඕනෑම දෙයක මතුපිට දේට වඩා එහි ගැඹුරු දේවල් දැන ගන්න ලැබෙන එක වටිනාකමින් වැඩියි. ඉතින් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේත් ඒ වගේ අතීත කතා දැනගන්න කොට අපිට මේ ක්ෂේත්‍රය ගැන දැනෙන තැන් වැඩි වෙනවා සහ ඒ පිළිබඳ පිවිතුරු හැගීමක් ඇති වෙනවා. මේ ආශ්‍රය නිසා ඒ අවස්ථාව මට හිමි වෙනවා. ඉතින් ඒ අවස්ථාව කවදාකවත් මිල කරලා ගන්න බැරි මගේ වාසනාවට හිමි වූ දෙයක් කියල තමයි මම හිතන්නේ. 

ප්‍ර ඔබේ පරපුරේ කලාකරුවන් අද කටහඬට වඩා ඇදුම් පැලැදුම්, ප්‍රෆෝමන්ස් වලට ලොකු අවදානයක් දෙනවා. නමුත් ඔබ ඒ දේවල් නැතිව විශාල ප්‍රේක්ෂක ආදරයක් ලබාගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකද්ද? 

එකිනෙකා තම තමන් කැමති දේවල් තමයි වේදිකාව උඩදි කරන්නේ. මම මාව වේදිකාවේ දී ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙන්නේත් මම කැමති විදිහට. එතැනදි මට විශේෂයෙන් හැඩ ගැහෙන්න දෙයක් නැහැ. මම පාවිච්චි කරන ඇඳුමේ ස්වභාවය, මම වේදිකාව භාවිතා කරන ආකාරය, ප්‍රේක්ෂකයා පිනවන ආකාරය ආදිය මට අනන්‍ය දේවල් සහ මම කැමති විදිහ. සමහර විට මමත් ඒ දේවල්වලට කැමති වුණා නම් ඒ දේවල් අනුකරණය කරාවි. තවත් දෙයක් තමයි මම කැමතියි ප්‍රේක්ෂකයා මගේ ප්‍රෆෝමන්ස්වලට වඩා කටහඬට ආදරය කරනවාට. ඉතින් ඒ නිසා මම මට කැමති විදිහට මේ කලා ගමන ඉදිරියට අරගෙන යනවා. 

ප්‍ර ඔබ සම්මාන උළෙලවල් කිහිපයකම දකින්න ලැබුණා. ගායනයේ මුල් අඩියේ සිට පැමිණි ඔබ එවැනි සම්මානනීය තත්ත්වයට පත් වෙන කොට දැනුණ හැඟීම මොන වගේ ද?

ලොකු සතුටක් දැනුණා. නමුත් මට වඩා සතුටු වුණේ මගේ අම්මයි, පප්පයි. අපේ පවුලේ කිසිම කෙනෙක් වෘත්තීයමය ගායන ශිල්පීන් නෙවෙයි. මම ඒ තීරණය ගත්ත අවස්ථාවේ මගේ පවුලේ අය ඒ වෙනුවෙන් මට උදවු කළා. මේ වගේ සම්මාන ලබා ගන්න කොට මම ඒ ගත්ත තීරණය නිවැරදි කියන එක වගේම මම ඒ ගමන නිවැරදිව යනවා කියන එකත් තහවුරු වෙනවා. ඒ නිසාම වෙන්න ඇති ඒ අය ගොඩක් සතුටු වුණේ. ඉතින් මට ආදරය කරන අය මගේ ඒ ජයග්‍රහණ දැකලා සතුටු වෙනවා කියන්නේ මට ඒක සම්මානයක් ගත්තා හා සමානම සතුටක්. ඒනිසා ඒ අවස්ථාවේ මට ඒ සතුට දෙගුණ වෙලා තමයි දැනුණේ. 

ප්‍ර වෘත්තීමය ගායන ශිල්පියෙකුට ලංකාව ඇතුළේ තියන තැන ගැන ඔබ තෘප්තිමත් ද?

හැම දෙයක්ම සාපේක්ෂයි. පිටරටවල අපි අහලා තියෙන විදිහත් එක්ක ලංකාව ඇතුළේ ගායන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට තියෙන පහසුකම් අඩුයි. ගායන ක්ෂේත්‍රය තුළ ගායකයෙකුට තිබෙන නීතිමය ඉඩකඩත් හරිම අවමයි. පිළිගත හැකි අවස්ථා අඩුයි. නමුත් ඉදිරියේදී ඒ දේවල් හැදෙයි කියන බලාපො‍රොත්තුවක් තියෙනවා.

ප්‍ර ඔබේ කලා ගමනට සැමියා ඇතුළු පවුලේ අය ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම හැමදෙනාගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. 

ප්‍ර නුවන්ධිකාගේ ගායන ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව කුමක් ද?

තවදුරටත් සංගීත ක්ෂේත්‍රයේ හොඳ ගායිකාවක් ලෙස රැඳී ඉන්න අතරතුර මගේ මේ ප්‍රසංගය ඉදිරියටත් පවත්වාගෙන යන එක තමයි දැනට තියන ලොකුම බලාපොරොත්තුව. 

දුලක්ෂි ලියනගේ