මගේ කලා ගමන ආරම්භ වුණේ පාසල් වේදිකාවෙන් - අමල් රත්නශාත්න


ටෙලි නාට්‍ය, වේදිකාව, සිනමාව ආදී ඕනෑම කලා නිර්මාණයක සාර්ථකත්වයට එහි ප්‍රධාන චරිතය මෙන්ම ඒ වටා සිටින සෙසු චරිතත් විශාල ආලෝකයක් ගෙන දෙයි. අද සදැල්ලෙන් කතාබහට ලක්වන්නේ එලෙසින් තමාට ලැබෙන ඕනෑම චරිතයක් තමන්ගේ උපරිමයෙන්ම ඉටු කරමින් ටෙලිතිරයේත්, වේදිකාවේත්, සිනමාවේත් දක්ෂතා පෙන්වන කලා තරුවක් සමඟයි. ඔහු නමින් අමල් රත්නශාන්තයි. මේ ඔහු සමඟ කළ සොඳුරු කතාබහයි;

ප්‍ර අමල් මේ දිනවල කලා කටයුතු එක්ක කාර්ය බහුලයි ද?

තරමක් කාර්ය බහුලයි. මොකද ඉදිරියේදී තිරගත වීමට නියමිත අලුත් සිනමා පටයක සහ ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. සිනමා පටය ගැන කීවොත් එය නිර්මාණය වන්නේ ලතා වල්පොල මහත්මියගේ ජීවිත කතාව ඇසුරෙන්. එහි මම හියුගෝ ප්‍රනාන්දු කියන චරිතය තමයි නිරූපණය කරන්නේ. ටෙලි නිර්මාණය අමිල වාරියපොළගේ නිර්මාණ‍යක්. එහිත් රියැදුරු චරිතයක් නිරූපණය කරනවා. මේ නිර්මාණ දෙකම අලුත් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු යටතේ තමයි සිදු වන්නේ. ඉතින් මේ දිනවල ඒ වැඩ කටයුතුවලට කාලය වැයකරලා තියෙන නිසා තරමක් කාර්ය බහුලයි. 

ප්‍ර දැනට විකාශනය වෙමින් පවතින, ඔබ සම්බන්ධවෙලා ඉන්න නිර්මාණ ගැනත් කියමු?

හිරු නාළිකාවේ විකාශනය වන චන්දන ධර්මප්‍රියගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වන සිරිගරාජ් ටෙලිනාට්‍යය, එම නාළිකාවේම විකාශනය වන නිවන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කරන රොන් සොයා ටෙලි නිර්මා‍ණය සහ සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණ වූ මලක් නම් ටෙලි නිර්මාණය ඇතුළු නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව සියත නාළිකාවේ විකාශය වන ප්‍රහසනය මුසු ටෙලි නිර්මාණයක් වන ඔෆිස්ලන්තය ටෙලි නාට්‍යයේත් ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා.

ප්‍ර ඔබ කලාවට අවතීර්ණ වෙන්නේ කොහොමද?

මගේ ආරම්භය පාසල් වේදිකාව. මම මූලික අධ්‍යාපනය ලබා ගන්නේ  කැලණිය ඊරියවැටිය ශ්‍රී සුමංගල ජාතික පාසලෙන්. ඉන්පසු මම උසස් අධ්‍යාපනය සඳහා දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප විද්‍යායතනය පිරිවෙනට සම්බන්ධ වෙනවා. මම එහිදී නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහටත් හදෑරීම් කළා. ඒ වගේම මම විවිධ පාඨමාලාවන් කිහිපයක් ඔස්සේත් මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගත්තා. ඒ පසුබිම යටතේ තමයි කලාවට යොමුවෙන්නේ. 

ප්‍ර ඒ විදිහට හෙමි හෙමින් ආරම්භ වන කලා ගමනේ හැරවුම් ලක්ෂය වුණේ කොතැනද?

කලාවට ඇවිත් කාලයක් යනකොට මට මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙක් යටතේ වැඩකරන්න අවස්ථාව ලැබෙනවා.  ඒ ලාල් ජයලාල් රෝහණ  මහතා, හෙන්රි ජයසේන මහතා වැනි ප්‍රවීණයින්. ඔවුන් යටතේ මම නාට්‍ය ගැන වගේම මේ ක්ෂේත්‍රය ගැනත් හැදෑරීම් කරනවා. ඊට පසුව තමයි මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂය හමුවන්නේ. ඒ තුසිත සිල්වා මහත්මයාගේ පාරමිතා නම් නාට්‍ය මාලාව. එය ජාතක කතා පොත ඇසුරින් නිර්මාණය වූවක්. එයට සම්බන්ධ වූ පසු මට කලා ජීවිතේ තවත් එක් සුවිශේෂ තැනක් හිමිවෙනවා. එනම් මට ජීවිතේ පළමුවරට සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව මම පාරමිතා ටෙලි නාට්‍ය මාලාවේ දෙවන සහය අධ්‍යක්ෂක. එතැන තමයි මගේ හැරවුම් ලක්ෂය.

ප්‍ර ඔබ වේදිකාවටත් සම්බන්ධයිනේ. කොහොම ද ඉතින් ඒ වැඩ කටයුතු?

2012 වර්ෂයේ දී පමණ රාජ්‍ය නාට්‍ය තුනකට සම්බන්ධ වෙලා වැඩකටයුතු කළා. ඉතින් මේ දිනවලත් සුමිත් ගල්හේනගේ ගේ ටෙලි මාකටින් කියන අලුත් වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කරනවා. 

ප්‍ර මේ වන විට කලාව නිසා ලබාගත්ත ජයග්‍රහණ මොනවා ද?

කලා විභූෂණ සහ කලා කීර්ති යන සම්මාන ද්විත්වය හිමිවෙලා තියෙනවා. ඊට අමතරව 'මහතලා හටන' ටෙලි නාට්‍යයේ ඇල්ලේපොළ හාමුදුරුවනේගේ චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයක් ලබාගෙන තිබෙනවා.

ප්‍ර කලාව ඔබේ වෘත්තිය ද?

ඔව්. වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. නමුත් දැනට මම මගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා AR Creative නමින්. එහි කෙරෙන්නේ සම්මාන, බැජ් වගේ දේවල් නිර්මාණය කිරීමයි.

ප්‍ර කලාකරුවෙක් වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මේ හරහා බොහෝ ඇසූපිරූ තැන් ඇසුරට ලැබෙනවා. ඒ වගේම විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න ලැබෙනවා. මම හිතන්නේ කලාව කියන්නේ වාසනාවට ලැබෙන වෘත්තීයක්. ඉතින් කලාකරුවෙක් වෙන්න ලැබීම ගැන සතුටුයි.

ප්‍ර කලාවට සහයවන පවුලේ අයවත් මතක් කරමු?

මට තියෙන්නේ නිදහස් ජීවිතයක්. මට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනාම විවාහ වෙලා වෙනම ජීවත් වෙනවා. මගේ අම්මා ලොකු කාලයක් අසනීප තත්ත්වයෙන් සිටිය නිසා මම ඇය වෙනුවෙන් කැපවුණා. දැන් ඇයත් ජීවතුන් අතර නැහැ. ඉතින් දැන් මම පූර්ණ කාලීනවම කලාවට යොමුවෙලා ඒ කටයුතු කරමින් ඉන්නවා.පවුලේ අය වගේම මට මේ තැනට එන්න උදව් කරපු බොහෝ දෙනෙක් ඉන්නවා.

ප්‍ර කලාවේ ඉදිරි බලාපොරොත්තු මොනවා ද?

හොඳ නිර්මාණවලට දායක වෙමින් දක්ෂ රංගන ශිල්පියෙකු වීම තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම මගෙම නිර්මාණයක් එළිදක්වන්නත් ලොකු ආසාවක් තියෙනවා. ඒ වෙනුවෙන් මම මේ දිනවල පොඩි පිටපතක් ගැටගහමින් ඉන්නවා.

දුලක්ෂි ලියනගේ