බොක්සින් සම්බන්ධව වාර්තාමය වැඩසටහනක් නුදුරේම - ෂිහාන් මධූෂ


කලා ක්ෂේත්‍රය තුළ මේ දිනවල වැඩි කතාබහකට ලක්ව සිටින කලාකරුවකු මෙවර සඳැල්ලට එකතු කරගන්න හිතුවා. සඳැල්ල කවරයද සරසමින් අප සමග සම්බන්ධ වූ ඒ චරිතය නමින් ෂිහාන් මධූෂ.

ප්‍ර ෂිහාන් ගැන මේ දිනවල කතාබහට ලක්වෙන වීදුරු තිර ගැන මුලින්ම කතා කරමු නේද?

ඔව් ඇත්තටම ‘‘වීදුරු තිර’’ කියන්නෙ මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් විකාශය වන ටෙලි නිර්මාණයක්. මේ ඇත්තටම වෙනස්ම කතා සංකල්පයක්. රංගන ශිල්පිනී ශලනි තාරකාගේ කතා සංකල්පයකට අනුව ශාන් ජයරත්න තමයි අධ්‍යක්ෂණය කරන්නෙ. ඇත්තටම මෙහි මගේ චරිතය ‘නාලක’’ කියන්නෙ මට නම් අභියෝගාත්මක චරිතයක්. මොකද මම මේ තුළ රංගනයේ යෙදෙන්නේ අද කාලේ සමාජයේ බෙහෙවින් දක්නට ලැබෙන, නමුත් බොහෝ දෙනෙක් අකමැති චරිතයක් කියන්න පුළුවන්. ඒක වීදුරු තිර නරඹන අය හොඳින්ම දන්න කාරණාවක්. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර කතා කරන්නෙ නැහැ. මේ නිර්මාණය වෙනුවෙන් රංගන ශිල්පියෙකු විදිහට මම ඒ චරිතයට ජීවයක් ලබාදුන්නා කියලා මට කියන්න පුළුවන්.

ප්‍ර ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඉතා ඉහළයි. යහපත් අයහපත් ප්‍රතිචාර දෙකම තියෙනවා. නමුත් වැඩිපුර තියෙන්නේ නම් යහපත් ප්‍රතිචාර තමයි.

මොකද බොහෝ දෙනෙක් මම මේ කරන්නෙ රංගනයක් කියන දේ තේරුම් අරගෙන ප්‍රතිචාර දක්වනවා. අද සමාජය ගැන හිතලා සමාජයේ සිදුවීම් ගැන හිතලා නිර්මාණයක් විදියට අරගෙන ප්‍රතිචාර දක්වන අය තමයි වැඩිපුර ඉන්නෙ.

ප්‍ර මේ චරිත රංගනය භාරගනිද්දි මොකද හිතුණේ?

මම රංගන ශිල්පියෙක් විදියට ඕනෑම චරිතයක්, අභියෝගයක් භාරගන්න සූදානම් කියන තැන ඉන්නවා. කවුරු මොන විදියට හිතුවත්, මොනවා කිව්වත් මට ඒක ප්‍රශ්නයක් කරගන්න බැහැනෙ.

ඉතින් මට මේ වෙනුවෙන් ආරාධනා කළාම නොපැකිළිව භාරගත්තා. ඉහතින් සඳහන් කළා වගේ මම රංගන ශිල්පියෙක් විදියට බැලුවෙ මට ලැබුණු චරිතය උපරිමයෙන්ම ප්‍රේක්ෂකාගාරයට ලබාදෙන්න. එය සාර්ථක වෙලා තියෙනවා කියලා හිතනවා මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාරවලින්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂවරයා ශාන් ජයරත්න, නිෂ්පාදකවරයා රුෂාන් පෙරේරා ඇතුළු මේ කණ්ඩායමටම. මෙහි ප්‍රවීණ, නවක ඉතා දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සියලුම දෙනාගේ සහයෝගය මත අද මේ නිර්මාණය ප්‍රේක්ෂකයා ඉතා ඉහළින් වැළඳගෙන තියෙනවා. ඉතින් මටත් මේ වෙනුවෙන් දායකවෙන්න ලැබීම සතුටක්.

ප්‍ර ඊට අමතරව නියැළෙන නිර්මාණ මොනවද?

දෙරණ නාළිකාවෙ විකාශය වන ‘‘සැලෙනා නුවන්’’ හි අපූරු ප්‍රේමවන්තයෙකුගෙ චරිත රංගනයක් කරනවා. ඒ වෙනුවෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකටත් සම්බන්ධවෙලා ඉන්නවා. එහි රූගත කිරීම් මේ දිනවල කෙරෙමින් පවතිනවා.

ප්‍ර රංගනයට අමතරව ඔබ නිරූපණයටත්, ගායනයටත් දක්ෂතා දක්වන කෙනෙක්නෙ. ඒ සම්බන්ධ කටයුතු කොහොමද?

ඒවත් කරගෙන යනවා. ඒ දේවල් නැති කරගත්තෙත් නැහැ. නිරූපණය පැත්තෙන් ඉතින් ගොඩක්ම ආරාධනා ලැබෙන්නෙ ෆොටෝ ෂූට්වලට. එතකොට ගායනය පැත්තෙන් ඉඩ ලැබෙන විදියට ඒ කටයුතුවලට සම්බන්ධ වෙනවා. ප්‍රසංග වේදිකාවටත් අවස්ථා ලැබෙන විදියට භාරගන්නවා. මොකද මම ඒ අංශයන්ට ගොඩක් කැමතියි.

ප්‍ර ෂිහාන් වැඩිපුරම ගයන්නෙ ෂිහාන්ගේ ගීත නේද?

ඔව්. ඇත්තටම ෂිහාන් මිහිරංග කියන්නෙ මම කැමතිම ගායකයා. ඔහුගේ ගීතවලට මම මාරම කැමතියි. මම වැඩිපුර ගයන්නෙත් ඔහුගේ ගීත. ඉතින් ගොඩක් අය මගෙන් දැන් ඒ ගීත ඉල්ලනවා.

ප්‍ර කලා හැකියාවන්ට අමතරව ෂිහාන්ගෙ වෙනත් දක්ෂතා මොනවද?

ඇත්තටම මම පාසල් යන කාලේ ගොඩක්ම දක්ෂ වුණේ ක්‍රීඩාවට. සාමාන්‍යයෙන් කෙනෙකුට පිහිටන්නෙ නැති හැකියාවන් මට ක්‍රීඩාවලට පිහිටලා තිබුණා. එක ක්‍රීඩාවක් නෙමෙයි මම කළේ. ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්, ටයිකොන්ඩො, වුෂු, මලල ක්‍රීඩා, ජිම්නාස්ටික්, පිහිනුම් ඒ හැම දේම කළා. මම පාසල් ගියේ රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලට. ඉතින් මම මේ හැම කුසලතාවකටම මගේ පාසල තමයි මුල් වුණේ. පාසල තුළත්, ඉන් පිටතත් ජයග්‍රහණ රැසක් ලබලා තියෙනවා. ඉතින් එදා මම ඒ ලබපු අත්දැකීම් අද මට කලාවටත් සම්බන්ධ කරගන්න හැකිවෙලා තියෙනවා. කලා නිර්මාණ තුළ මට මගේ හැකියාවන් පෙන්නන්න අවස්ථාවන් කිහිප වතාවක් ලැබුණා. මෑතකදී චිත්‍රපටයකටත් ෆුට්බෝල් කෝච් කෙනෙක් විදියට රංගනයේ යෙදෙන්න හැකිවුණා. ඉතින් අද මට ඒ දේවල්වලට සාර්ථකව මුහුණ දෙන්න හැකිවෙලා තියෙන්නෙ ක්‍රීඩාව තුළ මම ලබපු අත්දැකීම්.

මගේ ක්‍රීඩා කුසලතා ගැන කතා කරපු නිසාම මට කියන්න විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි මම පාසල් යන කාලේ බොක්සින් ක්‍රීඩාව ඉගෙන ගත්තා. ඒ සම්බන්ධව ජයග්‍රහණ රැසක්ම ලබාගෙන තියෙනවා. ඉතින් මුලින්ම මේ කටයුත්ත ගැන කතා කරන්න කළින් මගේ ගුරුවරු ගැන කියලා ඉන්නම්. ඒ තමයි කේ.ඩී.පී. පෙරේරා, මනෝජ් වික්‍රමපාල සහ ලලන්ත කරුණාරත්න කියන මගේ ගුරුවරුන් තිදෙනා. මේ අය නිසා තමයි මම බොක්සින් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ.

ඉතින් මම කරන අලුත්ම වැඩකටයුත්ත තමයි ලංකාවේ බොක්සින් ක්‍රීඩාව ගැන වාර්තාමය වැඩසටහනක්. ඒක ජාත්‍යන්තර විදියට කරන්න හිතුවා. මේ සංකල්පය, පිටපත, නිෂ්පාදනය සියල්ලම මගේ. එතකොට අධ්‍යක්ෂණය සමීර ලක්මාල්ගෙන්. කැමරාකරණයෙන් එකතු වුණේ ලංකාවේ දක්ෂ කැමරා ශිල්පියෙකු වන ඉසුරු ප්‍රනාන්දු. ඉතින් මේ වෙද්දි මේ වැඩකටයුත්ත සාර්ථකව නිම කරලා තියෙන්නෙ. ඉතා නුදුරේම දකින්න පුළුවන්.

ප්‍ර මේ වගේ වැඩකටයුත්තක් තුළින් බලාපොරොත්තු වන මූලිකම දේ මොකක්ද?

බොක්සින් ක්‍රීඩාවට ඇලුම් කරන අපේම අය වෙනුවෙන් මම ලබපු අත්දැකීම් බෙදාහදාගන්න මට ඕනෑ වුණේ. මගේ බොක්සින් ක්‍රීඩාවේ ඉතිහාසය මේ තුළින් පෙන්වන්නෙ. ඇත්තටම මේ ක්‍රීඩාව සම්බන්ධ කතාබහට ලක්වීමක් සිදුවෙලා නැහැ. මට ඕනෑ වුණේ මම මේ වෙද්දි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු 13ක් වෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ලැබුණු අත්දැකීම් එක්ක මට හිතුණා මේ වාර්තාමය වැඩසටහන කරන්න ශක්තියක් මා තුළ තියෙනවා කියලා. ඒක ඉතාම නුදුරේ දකින්න ලැබෙනවා. මම හිතනවා මේ වැඩකටයුත්ත තුළින් ලංකාවේ බොක්සින් ක්‍රීඩාව තව තවත් ඔපමට්ටම් වෙයි කියලාත්. මෙය ඉතා සාර්ථක නිර්මාණයක් වෙයි කියලාත්.

ප්‍ර මේ දේවල් ගැන කතා කළාම මට හිතුණෙ ෂිහාන් කලාවට එක් වුණේ නැත්නම් අද ලංකාවම දන්න ක්‍රීඩකයෙක් වෙන්න තිබුණා නේද කියලා?

අනිවාර්යයෙන්ම ඔව්.

ප්‍ර කොහොමද මේ දක්ෂතා ලැබුණෙ?

ඒක ඇත්තටම සහජයෙන් වෙන්න ඇති. මොකද මගේ අම්මා, තාත්තා ක්‍රීඩාවට දක්ෂ අය නෙමෙයි. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් ක්‍රිකට්, ෆුට්බෝල් ඇරෙන්න වෙනත් ක්‍රීඩා කරලා නැහැ. නමුත් මම ක්‍රීඩාවට  දක්ෂතා පොඩි කාලේ ඉඳන්ම දක්වපු කෙනෙක්.

ප්‍ර මේවටත් අමතරව තවත් දක්ෂතා තියෙනවද?

ඔව්නෙ. ඇයි මට හොඳට කෑම හදන්න පුළුවන්.

ප්‍ර එහෙනම් ඉතින් ෂිහාන් විවාහ වෙන කෙනාට හොඳයි නේද? ඉතින් කොයි වගේ කෙනෙක්ද හොයන්නෙ?

ජීවිතේ විවාහයක් සිද්ධ වෙනව නම් හරියට විවාහ වෙනව නම් මට ඕනෑ පළමු තෝරාගැනීමම සාර්ථක කරගන්න. ඒකට මම උත්සාහ කරනවා. ඒ ගැන ඉතින් ඉදිරියේදී බලන්න ඕනෑ කොයි වගේ කෙනෙක්ද හොඳ කියන දේ.

ධනූ විජේරත්න