බලු සුරතලුන්ට නවාතැන්පළක්


මිනිසුන් සඳහා වෙන් වූ අධි සුඛෝපභෝගී මෙන්ම අර්ධ සුඛෝපභෝගී හෝටල් ගැනත්, ළමුන් බලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැනත්, අප ඕනෑ තරම් අසා තියෙනවා.

නමුත් බලු සුරතලුන්ටත් දැන් එවැනි අත්දැකීමක් ලබන්නට වරම් හිමිවී ඇතැයි කිවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. ඒ අවස්ථාව අහිංසක බලු සුරතලුන්ට උදාකර දීමට කටයුතු කර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ  විකුම් චතුරංග සහ සුමුදු කල්පනී යුවළයි.

මෙවර සඳැල්ලෙහි කතාබහ ඇරඹෙන්නේ  ඔවුන් දෙදෙනා ගේ හරි අපූරු Paw Topia Dog Hotel Day Care Center එක ගැනයි.

චතුරංග, මුලින්ම අපි මේ වෙනස්ම විදියේ හෝටලය ගැන සඳහනක් කරමු ?

“මේ ආයතනයේ නම තමයි paw topia dog hotel day care center. වෙනත් හෝටල් වගේ නොවෙයි - මේ හෝටලය සුරතල් බලු පැටවුන් සඳහා පමණක් ම වෙන් වූ  විශේෂිත හෝටලයක් සහ ඩේ කෙයා සෙන්ටර් එකක්.  මේ හොටෙල් එක තමයි බලු සුරතලුන් සඳහාම වෙන් වූ ලංකාවේ ඇති ලොකුම සහ එකම luxury hotel එක. මේ day care center එක පිහිටා ඇත්තේ මීගමුවේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසළ. වර්ග අඩි එක්දහස් හයසියයක තරම් භූමි ප්‍රමාණයක විහිදිලා තියෙන මේ හෝටල් පරිශ්‍රයේ  කාමර  විස්සක් තියෙනවා. ඒ විස්ස සින්ගල් රූම් 5යි, ඩබල් රූම් 5යි, ට්‍රිබල් රූම් 5යි, ෆැමිලි රූම් 5ක් ලෙසයි සමන්විත වන්නේ. සම්පූර්ණ ඩේ කෙයා එකම වායුසමීකරණය කරලයි තියෙන්නේ. ඒ වගේමයි එක් කරගෙන එන ඕනෑම බලු සුරතලෙකුට Indoor එකේ වගේම outdoor එකේ සෙල්ලම් කරන්නත් පහසු විදියට තමයි අපි මේ හොටෙල් එක හදලා තියෙන්නේ.”

මේ වගේ ස්ථානයක් ආරම්භ කරන්න ඕන කියලා ඔබ දෙපළට සිතුණේ කොහොමද ?

“2018 , 2019 කාලේ මම සේල්ස් මැනේජර් කෙනෙක් විදිහට රැකියාව කරේ. වයිෆ්ටත් රැකියාවකට යන්න ඕන කමක් තිබුණා. නමුත් අපි ළඟ හිටපු බලු සුරතලුන් දාලා යන්න අපිට තැනක් තිබුණෙ නැහැ. එයාලව අපි එනකම් කන්න බොන්න දීලා ආදරෙන් බලා ගන්න විශ්වාසවන්ත තැනක් තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා අපිට වගේම මේ වගේ ප්‍රශ්න තියෙන ,සතුන්ට කරුණාව ආදරය දක්වන තවත් බොහොමයක් පිරිසක් මේ රටේ ඇති කියලා. ඒ වගේම තමයි නිවාඩු දවසට හරි සති අන්තයට හරි   එළියට ගිහිල්ලා නිදහසේ නාලා කාලා බීලා ඒ දවස විනෝදයෙන් ගත කරලා එන්න අපට පුළුවන්. නමුත් මේ වගේ සතුන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මට හිතුණා අපි වගේම එයාලත් ඒ දේට කැමති ඇති කියලා. ඔන්න ඔය කියන හේතු දෙක නිසා තමයි අපි දෙන්නා මේ වගේ පහසුකම් වලින් පරිපූර්ණ ඩේ කෙයාර් සෙන්ටර් එකක් ආරම්භ කරන්න අදහස් කළේ . ඉතින් ඒ අදහස අද වෙද්දි සාර්ථකව  මල්ඵල ගැන්වී තියෙනවා.”

මෙහි මුල් සේවා ලාභීන් වූයේ කවුරුන් ද?

“මුලින්ම බලු පැටව් හත් අට දෙනෙකු පමණ තමයි අපේ ගෙදර හිටියේ. අපේ පළවෙනි සාමාජිකයා චාලි. එයා තවමත් අපි එක්ක ඉන්නවා.  එයාලට අපි හිටපු ගෙදරම කාමර වෙන් කරලා කන්න බොන්න දීලා බලා ගත්තේ. ඊට පස්සේ  කාලය ගත වීමත් එක්ක ඒ බලු පැටවුන්ට  සුවපහසුව නිදහසේ ඉන්න ඕන නිසා මමයි මගේ නෝනයි එකතු වෙලා බලු සුරතලුන් බලා ගැනීම සඳහා සහ එයාලට දවසක් හරි නිදහසේ සෙල්ලම් කරලා කාලා බීලා යන්න සුදුසු වටපිටාවක් හදන්න අපි තීරණය කරේ.”

එකවර බලු සුරතලුන් කීදෙනෙකු සඳහා නවාතැන් පහසුකම් සැපයිය හැකිද?

“මේ හෝටලයේ Indoor සහoutdoor කියලා කොටස් දෙකක් තියෙනවා.ඒ නිසා Indoor එක ඇතුලේ එකවර බලු සුරතලුන් පනස් දෙනෙකුට සහ outdoor එකේ ලොබි ඒරියා එකේ එකවර බලු සුරතලුන් පහළොස් දෙනෙකුට නවාතැන් පහසුකම් සපයන්න පුළුවන්.”

නවාතැන් පහසුකම් සඳහා රැගෙන එන බලු සුරතලෙකුට මේ ස්ථානයෙන් ලැබෙන සේවාව කොහොම ද ?

“බලු සුරතලුන්ට  සතියේ ඕනෑම දවසක ඕනෑම වේලාවක් ගත කිරීමට  ඉඩකඩ මේ හෝටල් පරිශ්‍රයෙන් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම එක සතෙකුට මාසෙකට වඩා අඩු කාලයකට නතර කරනවා නම්, ආහාර ද සමග වායු සමීකරණය කරන ලද කාමරයක් සඳහා රුපියල් 2500ක මුදලක් අය කරනවා. outdoor එකේ ඉන්න එක්ක ගෙන එනවා නම් දිනකට අප අය කරන්නේ කෑමබීම ත් සමග රුපියල් 1750ක් පමණයි. වායු සමීකරණය කරන ලද කාමරයක මාසයකට වඩා නතර කරනවා නම් රුපියල් පනස් දහසක මුදලක් අය කරනවා. එහෙම නැත්නම් අය කරන්නේ රුපියල් හතළිස් දහසක මුදලක් පමණයි. මේ සියලුම මුදල් ගණන් එක් බලු සුරතලෙකුට නතර කරගන්න කාලසීමාව මත පදනම් වෙනවා. ඒ වගේම එයාලට නාන්න, කන්න බොන්න, සෙල්ලම් කරන්න, කොණ්ඩෙ කපන්න, නියපොතු කපන්න වගේ වෙනත් අදාළ ඕනෑම සේවාවක් ලබාගන්න මෙහි අවකාශය තියෙනවා.”

මේ සතුන්ගේ  කෑමබීම සහ නඩත්තු කටයුතු සඳහා කොපමණ මුදලක් වැය ​ෙව‍නවා ද?

“අපි මෙයාලට අතිරේක ආහාර තුනක් සමග දවසේ ආහාර වේල් තුනම ලබා දෙනවා. බීම වලට නම් එතරම් විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් මාසිකව සේවකයින් ගේ පඩි ගෙවීමට, ලයිට් බිල් වතුර බිල් ගෙවීමට සහ මේ හොටෙල් එකේ සිදු කරන සියලුම නඩත්තු කටයුතු සඳහා ලක්ෂ නමයත් දොළහත් අතර සංඛ්‍යාවක් වැය වෙනවා. නමුත් අපි මාසිකව ඒ හා සමානව ලක්ෂ පහළොවක පමණ ආදායමක් ලබනවා.”

අසනීප වූ සතෙකුට ප්‍රතිකාර කටයුතු සිදු කරන්නේ කොහොම ද?

“මාසිකව මේ බලු සුරතලුන්ව බලන්න අපේ Day care center එකට වෙනම පශු වෛද්‍ය නිලධාරියකු සම්බන්ධ වෙනවා. ඊට අමතරව හදිසි රෝගයක් හැදුණාම අපි මෙයාලව wet එකට එක් කරගෙන යනවා. එහෙමත් නැත්නම් ඒ වෛද්‍යවරයාව අපි ගෙන්වා ගන්නවා. ඒ වගේම ගැහැනු සතුන් ගේ ශල්‍යකර්ම කටයුතුත් එම වෛද්‍යවරයාම ඇවිල්ලා සිදු කරලා දෙනවා.”

මෙහි ගැහැනු සතුන් සහ පිරිමි සතුන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවා ද?

“මේ හෝටලයට එක් එක් දින වලට නතර වෙන්න එන ගැහැනු සතුන් ගේ සහ පිරිමි සතුන් ගේ සංඛ්‍යාව දිනෙන් දින වෙනස් වෙනවා.දැනට පිරිමි සතුන් විසි දෙකක් සහ  ගැහැනු සතුනුත් ඒ හා සමානම සංඛ්‍යාවක් ඉන්නවා.නමුත් අපි හීට් එක වැළඳුණු දවස් 14 ඇතුළත කිසිම ගැහැනු සතෙකු නේවාසිකව නතර කරගන්නේ නැහැ. මොකද ඒක එයාලට කරදරයක් වෙන නිසා.”

කොපමණ සේවක සංඛ්‍යාවක් ඔබ ආයතනයේ වැඩ කරනවා ද?

“මමයි මගේ නෝනයි හැරුණම, අපිත් එක්ක දැනට පස් දෙනෙකු සේවය කරනවා.”

මෙවැනි ස්ථානයක් පවත්වා ගෙන යාම පිළිබඳව ඔබ දෙදෙනාට තිබෙන හැඟීම මොන වගේ ද?

“ඇත්තටම අපි දෙන්නා කාලය ගත කරන්නේ ගොඩාක් සතුටින්. මොකද මට සුමුදුව මුණ ගැහෙන්නෙත් බලු පැටියෙකු නිසා. ඒ කාලෙ ඉඳලම එයා බලු පැටවුන්ට හරිම ආදරෙයි. මම දවසක්  බලු පැටියෙකු ගෙනිහින් දුන්නා. එදා ඇතිවුණ කතාබහ තමයි අද වෙද්දි අපි දෙන්නා විවාහ වෙලා මේ වගේ luxury hotel එකක් පවත්වා ගෙන යන්නත් හේතුවක් වුණේ. සත්තු කියන්නෙ අපි වගේම නිදහසේ සතුටින් ඉන්න කැමති කොටසක්. ‍යම්කිසි මුදලක් වැය වුණත් මේ වගේ සුරතල් බලු පැටවුන්ට කන්න බොන්න, නිදහසේ ඉන්න, සෙල්ලම් කරන්න, කොණ්ඩෙ කපන්න මේ වගේ වෙනස්ම අත්දැකීම් ලබා දෙන්නට හැකියාව ලැබීම ගැන අපි දෙන්නම සතුටු වෙනවා. මෙයත් එක්තරා විදියක පුණ්‍ය කර්මයක් ලෙසයි අපි දකින්නේ. ඒ වගේම තමයි අපේ මේ paw topia dog hotel day care center එක සතියේ ඕනෑම දවසක දු: අංක 075 9006804 ට ඇමතුමක් ලබා දෙමින් දිනයක් සහ වෙලාවක් වෙන් කර ගැනීමේ හැකියාවක් ද පවතිනවා.”

මදූශා දිල්ශානි