පෙරහරේ නටන මන්ත්‍රීතුමා - නිශාන්ත රම්පිටිය


කලාව එකිනෙකාට පිහිටන ආකාරය හරිම අපූරුයි. මහජන නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරමින් පාරම්පරික නර්තන ශිල්පියෙක් ලෙස පෙරහරට නර්තනයෙන් දායකත්වය සපයන පුද්ගලයෙකු අපට හමු විය. ඔහු නමින් හරන් කාපිටියේ නිශාන්ත රම්පිටිය නර්තන ශිල්පියායි. මේ කතා බහ ඔහු සමගයි.

ප්‍ර මුලින්ම ඔබව හැදින්වුවොත්? 

“මම හරන් කහපිටියේ නිශාන්ත රම්පිටිය. පාරම්පරික නර්තන ශිල්පියෙක්. මම 1983 ඉඳලා මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මට වයස අවුරුදු 11 දී පමණ ඉදලා මේ කටයුත්තේ නියැළෙනවා. මම වසර 16ක් පමණ ජනාධිපති සම්මාන ලබාගෙන තිබෙනවා. හදී ශිෂ්ට ගම්වර්ධන සම්මානය ජීවිතේ එක සැරයයි හම්බවෙන්නේ. ඒක මට 2023 වර්ෂයේ  ලැබුණා.” 

ප්‍ර ඔබ  මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරනවා නේද? 

“ඔව්  මාතලේ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් විදියටත් කටයුතු කරනවා. මාතලේ මහ නගර සභාවේ 2025 වසරේ පොදුජන පෙරමුණෙහි මන්ත්‍රී ධූරය හම්බ වුණේ මට.” 

ප්‍ර ඔබ කොහොමද මේ නර්තන කලාවට මුලින්ම සම්බන්ධ වෙන්නේ? 

“අපේ පරම්පරාවම නර්තන සම්ප්‍රදායේ කටයුතු කරනවා. මගේ ලොකු අප්පා හරන්කහපිටියේ හෙන්දිරික්.  මහදැන පරපුරට තමයි අපි අයත් වෙන්නේ.  ඉතින් පරම්පරාවෙන් ලැබුණු ආභාෂයත් එක්ක දිගින් දිගටම පෙරහැර තුළ නර්තන  ශිල්පියෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ගොක්කොළ කැටයම් කලාව ද සිදු කරනවා. ඒත් එක්කම විවිධ උත්සව වල සැරසිලි සිදු කරනවා.” 

ප්‍ර ඔබ මීට අමතරව උපදේශකයෙකු විදියටත් කටයුතු කරනවා නේද? 

“ඔව් මධ්‍යම පළාතේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පවත්වන ගොක්කොල වැඩමුළුවල  උපදේශකවරයෙකු විදියටත් සම්බන්ධ වෙනවා.” 

ප්‍ර මහජන නියෝජිතයෙක් විදිහට කටයුතු කරන ගමන් ඇයි මේ කලාවට සම්බන්ධ වුණේ? 

“මට මන්ත්‍රී ධුරය හම්බ වුණා කියලා මම පාරම්පරිකව කර ගෙන පැමිණි සහ රැකගෙන ආ කලාව අයින් කලේ නැහැ. මේ සැරෙත් මම ඇසළ පෙරහරට සම්බන්ධ වුණා සහ ජනාධිපති සම්මානයත් ලබා ගත්තා.” 

ප්‍ර ඔබේ රාජකාරි කටයුතු සහ මේ කලා කටයුතු කොහොම ද සමාන්තරව කරගෙන යන්නේ? 

“ඇත්තටම මම මේ කලාව අත්හරින්නේ නැත්තේ මේක මට පාරම්පරිකව ලැබුණු දෙයක් නිසා. ඒක මම ඉස්සරහටත් ආරක්ෂා කරගන්න අවශ්‍යයි. මම මේක අතහැරියොත් මේ දේ ඉස්සරහට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ වැඩ කටයුතු මැද වුවත් මම කලාවත් ඉදිරියට කරගෙන යනවා.” 

ප්‍ර මේ නර්තන කලාවට සම්බන්ධ වී වැඩ කිරීමත් එක්ක ඔබේ අත්දැකීම් මොන වගේද? 

“මහනුවර ඇසළ පෙරහරේ දියවඩන නිලමේතුමා ළඟ කණ්ඩායමේ මගේ මාමා කෙනෙක් හිටියා. ඒ දිබ්බල සිරිසේන ගුරුතුමා. එතුමා එක්ක මම පෙරහරට සම්බන්ධ වෙලා තිබෙනවා. අපි පොඩි කාලේ පෙරහරට සම්බන්ධ වෙන්නේ එතුමාට උදව් කරන්න. ඉස්සර හඟල කියල අඳිනවා. ඒක දැන් වගේ රෙදි වලින් නෙමෙයි ලණුවක් අල්ලලා එහෙම තමයි ඇන්දේ. ඒකට තමයි අපිව එක්කන් ගියේ. එතුමා අපේ උදව්වෙන් හගල ඇඳ ගත්තට පස්සේ අපිට වේට්ටියක් දෙනවා ඇඳ ගන්න. ඊට පස්සේ තාලම්පොටක් අපිට දීල  පෙරහරට දානවා. ටික කාලෙකින් නයියණ්ඩි ඇඳුම කියලා ඇන්දුවා. ඒ වගේම ඥානදාස වේරපිටිය ගුරුතුමා සමගත් පෙරහරේ නර්තනයේ යෙදුණා. එහෙම පෙරහරේ ගිහින් තමයි නර්තන ශිල්පියෙකු දක්වා මේ ගමන ආවේ.” 

ප්‍ර ඔබ කුමන පෙරහරවලට ද සම්බන්ධ වෙලා තියෙන්නේ? 

“මම මාලිගාවේ පෙරහරේ, නාථ දේවාලේ පෙරහරේ නර්තනයේ යෙදිලා තියෙනවා. ඒ අමුණුගම සේදරමන් ගුරුතුමා, අමුණුගම ගුණසේන ගුරුතුමා සහ එතුමා ගේ පුතා ශාන්තසේන අමුණුගම කියන අයත් එක්ක. ඒ වගේම පල්ලැහැගොඩ සිරිවර්ධන ගුරුතුමා එක්ක පත්තිනි දේවාලයේ පෙරහරේ නර්තනයේ යෙදිලා තියෙනවා. ඒ වගේම කතරගම දේවාලයේ පෙරහරේත් නර්තනයේ යෙදිලා තියෙනවා.  ශ්‍රී ඩයනා ගුරුතුමා සමග කොළඹ වරායේ නැව්වල සංදර්ශනවල නර්තනයේ යෙදෙන්න ගිහින් තිබෙනවා.”  

ප්‍ර ඔබ මේ කලාව රැක ගෙන ඒම සම්බන්ධයෙන් අන් අය ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද? 

“ඇත්තටම ජනතාව ගෙන් ලොකු ප්‍රසාදයක් තිබෙනවා. ඒවගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සංස්කෘතික නිලධාරීන්, පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන් ලොකු උනන්දුවක් සහ මට ලොකු සහයෝගයක් ලැබෙනවා.” 

ප්‍ර වර්තමානයේ සහ අතීතයේ පෙරහර පැවැත්වෙන විදිය සම්බන්ධව කතා කළොත්? 

“දැන් ඉස්සරට වඩා හුඟක් වෙනස් පෙරහර යන විදිහ. සාම්ප්‍රදායික සිරිත් විරිත් තරමක් නවීකරණය වෙලා තියෙනවා. ඉස්සර අපි බොහොම දුෂ්කර විදිහට තමයි පෙරහරට සම්බන්ධ වුණේ. දළදා පෙරහරේ කොච්චර නැටුවත් ඇඟට වෙහෙසක් දැනෙන්නේ නැහැ. කොහොම නමුත් ඉතා ආසාවෙන් සහ උනන්දුවෙන් මේ කටයුතු සිදු කරගෙන යනවා.”

සුදර්ශනි කෝණාර