පිරිමියෙක් වුණත් අඩි උස සෙරප්පු දාන මාර්ක්


මාර්ක් බ්‍රයන් උපන්නේ පිරිමියකු ලෙසය. මාර්ක් බ්‍රයන් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ වැසියෙකි. 61 වැනි වියෙහි පසුවන මාර්ක් රොබෝ ඉන්ජිනේරුවකු ලෙස රැකියාව කරයි. විනෝදාංශයක් ලෙස පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කරයි. මාර්ක් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. විවාහකය. දියණියන් තිදෙනකුගේ සෙනෙහෙබර පියෙකි. සතියකට තෙවරක් ‘ජිම්’ යන මාර්ක්ට ඇත්තේ මස්පිඩුවලින් පිරි ශක්තිමත් සිරුරකි. තමන් ප්‍රියතම දේවල් මොනවාදැයි විමසුවොත්, මාර්ක් පවසන්නේ ඔහු කැමති මෝටර් කාර්වලට සහ ලස්සන පෙනුමැති තරුණියන්ට බවය. සිරුරේ හැඩය හොඳින් පෙනෙන අයුරින් ස්ලිම් ෆිට් ෂර්ට්වලින් සැරසෙන මාර්ක් සියයට සියයක්ම පිරිමියෙකි.  

කෙසේ නමුත්, මාර්ක්ගේ ‘පිරිමිකම’ ඇත්තේ ඉනෙන් ඉහළ කොටසේ පමණි. මාර්ක්ගේ ඉනෙන් පහළ කතාව හාත්පසින්ම වෙනස් එකකි. මාර්ක් බ්‍රයන්ට අමුතු ආශාවක් ඇත. එක්තරා විදියකට එය විකෘති ආශාවකි. මාර්ක් නිවසින් එළියට බසින්නේත්, දිනපතා ඔෆිස් යන්නේත් කලිසමකින් සැරසී නොවෙයි. ස්ලිම් ෆිට් කමිසයකින් සහ සායකින් සැරසී අඩි උස ‘හීල්ස්’ සපත්තු පැලඳගෙනය. මාර්ක්ගේ අසාමාන්‍ය ආශාව එයයි.   


මාර්ක් ඒ ගැන මෙසේ කියයි. “සාය අඳින්න සහ හයි හීල්ස් පලඳින්න මට සිතක් පහළ වෙද්දී මට අවුරුදු 21 යි. එතකොට මා ටෙක්සාස් ලුබොක් විද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව ඉගෙන ගන්නවා. මට විද්‍යාලයේ පෙම්වතියක් හිටියා. ඇය හරි ආසයි හීල්ස් පැලඳ නටන්න. ඇයයි මමයි එකම උස. හීල්ස් පැලඳ නටන්න මා පොලොඹවා ගත්තේ ඇයයි. මුලින් ඒක පහසු වුණේ නැහැ. ඒත් ඒක අපූරු වෙනස් විදියේ අත්දැකීමක් වුණා. ඒ පෙම්වතිය මට අහිමි වුණා. ඒත් සාය සහ හයි හීල්ස් සපත්තු පලඳින්න මා තුළ කැමැත්ත අඩු වුණේ නැහැ.”   


කොතරම් කැමැති වුණත්, ආරම්භයේ දී මාර්ක් ප්‍රසිද්ධියේ හයි හීල්ස් පැලඳියේ නැත. “මා ටෙක්සාස් වැසියෙක්. ටෙක්සාස් පිරිමි සැබෑ පිරිමි. ගැහැනු විදියට ඇඳුම් අඳින්නේ හෝ අඩි උස සපත්තු පලඳින්නේ හෝ නැහැ. මෙහෙ ලිංගික සංක්‍රාන්තිකයෝ නැහැ. අනෙක මා එහෙම කෙනෙක් නොවෙයි. සමලිංගිකයෙක් හෝ නොවෙයි. මගේ ආශාව වෙනස්. වෙනස එපමණයි. ඒත් දැන් ඉස්සර වගේ නොවෙයි. දැන් ටෙක්සාස් සමාජයත් වෙනස් වෙලා. කවුරු මොනවා ඇන්ඳත් ඒ ගැන කාටවත් තැකීමක් නැහැ. කාගේවත් කැමැත්තට කාගෙන්වත් බාධාවක් නැහැ.” යැයි මාර්ක් පැහැදිලි කර තිබේ. 

 
“මීට වසර කීපයකට කලින් මා හොලොවීන් දිනයට සායකින් සහ අඩි උස සපත්තුවලින් සැරසිලා එළියට ගියා. කවුරුත් මොකවත් කීවේ නැහැ. දවසක් දෙකක් කාර්යාලයට ගියා කවුරුත් මොකවත් කීවේ නැහැ. අපහාසයෙන් හිනා වුණේ නැහැ. කාන්තා පාර්ශ්වය මට වැඩිය ළං වුණා. වෙනස ඇයි විමසන්න වුණා. ඊට පස්සේ මා අවස්ථා කීපයක් ඒ විදියට චිත්‍රපට නරඹන්න ගියා. ප්‍රසිද්ධ අවන්වල්වලට කෑමට ගියා. කාගෙන්වත් අප්‍රසාදයක් එල්ල වුණේ නැහැ. විරෝධයක් එල්ල වුණේ නැහැ” යැයි මාර්ක් වැඩිදුරටත් කියා සිටී.   
මීට සිවු වසරකට පෙර, ‘ඕනෑ දෙයක් වුණාවේ’ කියමින්, මාර්ක් දිනපතා සායකින් සහ අඩි උස සපත්තුවලින් සැරසී රැකියාවට යෑමට පටන් ගත්තේය. අද ඔහු නිවසින් පිට ඕනෑ තැනකට යන්නේ ඒ විදියටය. මාර්ක්ගේ බිරිඳට හෝ දරුවන්ට හෝ ඒ ගැන ගැටලුවක් නැත. ‘යාළුවෝ මුලින් මට විහිළු කළා. මා ඔවුන්ට කීවේ, ඔයාලත් මං වගේ ඇඳලා බලන්න. වෙනසක් දැනේවි’ මාර්ක් පැහැදිලි කර තිබේ. මට ඉන්නේ ලොකු දියණියන් තිදෙනෙක්. ඔවුන් මගේ වෙනස දකින්නේ වෙනස් විදියට. ඒක ඔවුන්ට ලැජ්ජාවක් නොවෙයි. මගේ බිරිඳගෙන් මට සහාය ලැබෙනවා. 

 
‘මට දැන් 61 ක්. කවුරුවත් කියන දේවල් ගැන මගේ තැකීමක් නැහැ. කවුරු මොනවා කීවත් මට ඒවායින් වැඩක් නැහැ. සමාජයේ පවතින රාමුවෙන් මා පිට පැන්නා. ඒක මගේ කැමැත්ත. මගේ බිරිඳගෙන් විරෝධයක් නැතිනම්, දියණියන්ගේ අකමැත්තක් නැතිනම් කවුරු විරුද්ධ වුණත් ඒක මට ප්‍රශ්නයක් නොවෙයි’ යැයි මාර්ක් බ්‍රයන් වැඩි දුරටත් කියා සිටී.   

 

නැෂනල් ඉන්ක්විසිටර් සඟරාවේ ලිපියක් ඇසුරිනි   
ලූසිත ජයමාන්න