"කියා දෙන්න ආදරේ" තරම්’හි නඳුන් ඔන්න මේ දවස් වල රොකී කතාවේ ගොඩක් අයගේ අවධානය දිනා ගත් ලූකා. වෙනස් කතා ශෛලියක් සහ වෙනස්ම පෙනුමකින් ලූකාට පණ පොවන ඔහු සැබෑ ජීවිතේ චරිත් මධුරංග. ඉතින් අපි හිතුවා මෙවර “සඳැල්ල” කතා බහට ගොඩක් වෙලාවට පුංචි තිරයේ විලන් එහෙම නැත්තම් නපුරෙකු ගේ චරිතයට පණ පොවන මේ කඩවසම් රංගන ශිල්පියාව එකතු කර ගන්න. මේ කතාබහ ඔහු සමගයි.
ප්‍ර චරිත් මේ දවස්වල ආයෙත් දුෂ්ට චරිතයකින් පුංචි තිරයට ඇවිත් නේද?
“ඔව්, රොකී Chapter II නිර්මාණයේ ලූකා කියන චරිතෙන්.”
ප්‍ර ලූකාගේ කතාව, පෙනුම මේ හැමදේම වෙනස්?
“ඔව්, ලූකා කියන චරිතේ ඇවිල්ලා සංක්‍රාන්ති ලිංගික (transgender) වගේ චරිතයක්. හැබැයි ඒ චරිතේ හාස්‍ය චරිතෙකට වඩා ගැඹුරු චරිතයක් විදිහට තමයි කතාව ඇතුළේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම යාළුවා එක්ක ගේමක් දෙන්න ප්ලෑන් ගහන චරිතයක්. ඉතින් මට අනුව ලූකා කියන්නේ මට ලැබුණු වෙනස්ම චරිතයක් සහ වැඩක් කරන්න පුළුවන් චරිතයක්.”
ප්‍ර චරිතෙ වෙනස් නිසාම රංගනයත් අභියෝගාත්මක වෙන්න ඇති
“ඕනෙම චරිතයක් ගත්තොත් අපි ඒ වෙනුවෙන් සූදානම් වීමක් වෙනවා. ඉතින් ඒ සූදානම් වීම ඇතුළේ අභියෝග තියෙනවා. මේ චරිතෙත් එහෙමයි. හැබැයි, හැම වෙලාවෙම මට ලූකා ගේ චරිතය ගොඩ නඟා ගන්න කණ්ඩායමේ තිර රචකයා, අධ්‍යක්ෂක ඇතුළු හැම දෙනාම ලොකු සහයෝගයක් දෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ චරිතය එළියට එන්නේ.”
ප්‍ර ලූකාට මේ වෙද්දි මොන වගේ ප්‍රතිචාර ද ලැබෙන්නේ?
“සමබර ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. සමහරු ලූකාට බණිනවා තව සමහරු හොඳ කියනවා. මොකද විලන් චරිතයක් නිසා ලූකාට ප්‍රේක්ෂකයෝ බනිනවා. හැබැයි මම හිතන විදිහට ප්‍රේක්ෂකයෝ බනිනවා කියන්නේ ඒ වැඩේ සාර්ථකයි. ඒ වගේම ලූකා ගේ චරිතෙ රඟපාන විදිහ හොඳයි කියන ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ විදිහට විවිධ ප්‍රතිචාර ලූකාට ලැබෙනවා.”
ප්‍ර චරිතෙට ඔබට ආරාධනාව ලැබෙන්නේ කොහොම ද?
“මේ නිර්මාණයේ කලා අධ්‍යක්ෂක සමීන් බාලසූරිය. ඔහු තමයි මට කතා කරන්නේ. ඊට පස්සේ සමීර පියරත්න කතාවේ අධ්‍යක්ෂක තමයි බලලා වැඩේ කරමු කියලා කියන්නේ. ඒ වගේම ජනක සම්පත් මේ නිර්මාණයේ නිෂ්පාදක. ඒ දෙන්නා එකතු වෙලා තමයි මාව මේ නිර්මාණයට තෝර ගන්නේ.”
ප්‍ර චරිත් වැඩි හරියක් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයා ඉදිරියට එන්නේ දුෂ්ටයෙක් විදිහට, මොකක්ද හේතුව?
“හේතුව කියන්නේ ඉතින් හම්බ වෙන්නේ ඒ වගේ චරිත තමයි. වෙන කිසිම හේතුවක් නැහැ. ඒකට කියා දෙන්න ආදරේ නාට්‍යයේ මම රඟපාපු නදුන් ගේ චරිතයත් බලපාන්න ඇති. ඊට පස්සෙ ගොඩක් වෙලාවට ලැබුණේ ඒ වගේ චරිත. හැබැයි ඒ ලැබෙන චරිතවලත් මොකක් හරි වෙනසක් කර ගන්න මම උත්සාහ කරනවා.”
ප්‍ර වෙනස් චරිතයක් කරන්න ආවොත් මොන වගේ චරිතයක් ද බලාපොරොත්තු වෙන්නේ?
“එන ඕන චරිතයක් කරනවා. ලූකා කියන්නෙත් මම එහෙම ආසාවෙන් කරන චරිතයක්. මම මට ලැබෙන ඕනෙම චරිතයක් කරන්න කැමතියි.”
ප්‍ර මේ දවස්වල වැඩ කටයුතු මොනවද?
“මේ දවස් වල රොකීට අමතරව විකාශය වෙනවා දෙරණේ මහාරාණි කියල නාට්‍යයක්. විශ්ව අයියා අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂවරය ගෙ මල්පිට මල් කියලා නිර්මාණයක් කළා. ඒක ඉදිරියෙ දී එන්න තියෙනවා. ඒ වැඩ ටික තමයි දැනට තියෙන්නේ.”
ප්‍ර ඔබ පුංචි තිරයට එන්න පෙර වේදිකාවේ හිටියේ. මේ වෙනකොට වේදිකාවේ වැඩ කටයුතු කොහොම ද?
“ඔව්. වේදිකාව, සිනමාව සහ ටෙලිවිෂනය කියන්නේ වෙනස් මාධ්‍ය තුනක්. ඒ තුනෙන් වේදිකාව කියන්නේ සිනමාවට සහ පුංචි තිරයට පුහුණුව ගන්න තියෙන හොඳම තැනක් කියලයි මම හිතන්නේ. වේදිකාවේ වැඩ කටයුතු ගැන කිව්වොත් රාජ්‍ය නාට්‍ය උලෙළ එන්න තියෙනවා. ඒකට මම සම්බන්ධ වෙනවා. ඊට අමතරව මේ දවස්වල තරංග බණ්ඩාර ගේ දෙවඟනක් කළුවරේ කියලා නාට්‍යයක් යනවා. ඒ වගේම රාජිත දිසානායක ගේ නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ගිය අවුරුද්දේ යෞවන සම්මාන උලෙළ හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනයෙන් දෙවැනි තැන, හොඳම රංග වස්ත්‍රාභරණ කියන සම්මාන තුනම මට ලැබුණා. ඒ විදිහට වේදිකාවේ වැඩත් කරගෙන යනවා.”
ප්‍ර නළුවෙක් වෙනවා කියන එක චරිත් ට පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් ද?
“ඔව්, මම හිතන්නේ ඒකට විතරයි මම දක්ෂත්.”
ප්‍ර එහෙනම් පාසල් කාලෙත් චරිත් කලාවට සම්බන්ධ වෙන්න ඇති....
“ඔව්. මම හත අට වසර වල ඉඳන්ම නාට්‍ය කරන්න පටන් ගත්තා. එතණින් රාජ්‍ය නාට්‍ය උලෙළට ආවා, ඊට පස්සේ සමස්ත ලංකා පාසල් නාට්‍ය උලෙළට. ඒකෙන් මට හොඳම නළුවා කියන සම්මානය අවස්ථා ගණනාවක දීම ලැබිලා තියෙනවා. පාසලෙන් පස්සේ මම කොළඹ නාට්‍ය කරන්න ආවා. රජරට කැම්පස් එකෙත් නාට්‍ය කළා. ඊට පස්සේ තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාව හැදෑරුවා.”
ප්‍ර රංගනයට අමතරව චරිත් මොකද කරන්නේ?
“මම Black lotus කියලා වෙෙළඳ දැන්වීම් ආයතනයක නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක් (creative director) විදිහට වැඩ කරනවා. ඒකෙනුත් අවශ්‍ය වෙලාවට වැඩ ටික කර ගන්න මට ලොකු සහයෝගයක් ලැබෙනවා.”
ප්‍ර කලා වැඩවලට චරිත්ට පවුලෙන් මොන වගේ සහයෝගයක් ද ලැබෙන්නේ?
“ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා. එයාලා මම රඟපාන ඒවා බොහොම ආසාවෙන් බලනවා. පාසල් කාලේ ඉඳන් ලැබුණු සහයෝගය තාමත් ඒ විදිහටම අඩුවක් නැතුව මට ගෙදරින් ලැබෙනවා. ඒක මට ලොකු ශක්තියක්.”
ප්‍ර ඉදිරි බලාපොරොත්තුව...?
“රංගනය පැත්තෙන් ගත්තොත් හොඳ නළුවෙක් වීම තමයි මගේ ඉලක්කය, ඒ වගේම මම වැඩ කරන වෙෙළඳ දැන්වීම් කර්මාන්තය ගත්තොත් හොඳ වෙෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් වෙන එක තමයි මගේ ඉලක්කය වෙන්නේ.”
ප්‍ර චරිත් ගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද කියලා ඇහුවොත්?
“මම හිතන්නේ කියා දෙන්න ආදරේ නාට්‍යයේ නඳුන් ගේ චරිතය.”
ප්‍ර ඔය පේන විදිහට ඇත්ත ජීවිතෙත් චරිත් නපුරු ද?
“අපෝ නැහැ, චරිත් නපුරු නැහැ”.
කෞශල්‍යා ලක්ෂානි